ක්‍රිකට්වලට දෙයියන්ගේම පිහිටයි – Sri Lankan Cricket
බොහෝ දේ සිදුවෙමින් ඇත. අන්ධකාර රාත්‍රින් තුළද, ආලෝකවත් දහවල් තුළද බොහෝ දේ සිදුවෙමින් ඇත. රහසිගතවද, එළිපිටද බොහෝ දේ සිදුවෙමින් ඇත. එහෙත් අවසානයේ සියල්ල හෙළිදරවු වනුයේ විදුලි කොටන්නාක් මෙන්ය. විදුලි වේගයෙනි. කිසිවක්ම නොවූ ගානටය. වත්මන් ආණ්ඩුව මහා වික්‍රමයක් කර ඇතැයි ආණ්ඩු ගැත්තෝ උදම් අනති. ප්‍රීති වෙති. ජය ඝෝෂා පවත්වති. හුරේ දමති. ඒ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කොට නව කමිටුවක් පත් කිරීම හේතුවෙනි. හිටපු පාලක මණ්ඩලය කිවු කළ ගැම්මක් නැත. ගැම්ම නම් ශම්මි සිල්වා ප්‍රමුඛ පිල ඉවත් කොට නව කමිටුවක් පත්කර ඇතැයි කිව යුතුය. ශම්මි සිල්වා එම තැනින් ඉවත් කළ නොහැකි වූයේ ඊට බලධාරීන්ගේ වුවමනාවක් නොතිබූ නිසාය. ඒවා දන්නෝ දනිති. රනිල් වික්‍රමසිංහ පාලන කාලයේදී ශම්මි සිල්වා ක්‍රිකට් පුටුවෙන් පැන්නීමට එවකට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට ඕනෑ විය. ඔහු ඒ වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් ගත්තේය. ඔහුට අවංකවම ශම්මි එළවීමට ඕනෑ වූයේ ඇයි? රොෂාන් රණසිංහ නමට ක්‍රීඩා ඇමැති වූ අතර ඔහුට උපදෙස් දීමෙන් නොනැවතී තීන්දු තීරණ ගෙන තිරය පිටුපස නිල ක්‍රීඩා ඇමැති වූයේ අර්ජුන රණතුංගය. අර්ජුනට වුවමනා ඔහුට ඕනෑ එපා ලෙස ක්‍රිකට් හැසිරවීමය. ඔහුගේ සහෝදරයන් ක්‍රිකට් ආයතනයට රිංගා එය විනාශ කරන කල ඔහු නිහඬය. එහෙත් තිලංග පාර්ශවය පසුව ශම්මි පාර්ශවය ක්‍රිකට් කරන කළ අර්ජුනට නින්ද නොයන රෝගය ඇත. රොෂාන් රණසිංහට නොව ශම්මි එළවීම වුවමනා වූයේ අර්ජුනටය. රොෂාන් කළේ අර්ජුනගේ රූකඩය වී බිලිවීමය.
මේ බව දත් ශම්මි ප්‍රමුඛ නඩය කළේ සාගලට කිට්ටු වීමය. සාගලට කිට්ටු වී රනිල් ලවා රොෂාන්ගේ අතපය බැඳ දැමීමය. මේ දෙස බලා සිටි අය කියවන්නට වූයේ ශම්මි එළවිය නොහැකි පතාක යෝධයකු බවය. ක්‍රීඩා ඇමැතිත් ඔහුගේ පන්දු හමුවේ දැවි ගිය බවය. ක්‍රිකට් ආයතනය පරිපාලනයක් තුළ හොඳ නරක තීරණය වන්නේ හරි සරල කාරණයක් මතය. එනම් තරග ජය පරාජය මතය. තරග ජය ගන්නේ නම් පරිපාලනය හොඳය. තරග පරාජය වන්නේ නම් ක්‍රිකට් පරිපාලනය අන්තිම නරකය. ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනනුයේ 1996දීය. එහෙත් මේ කියන ක්‍රිකට් රටාවට අනුගත වූයේ හැත්තෑව දශකයේ සිටය. ක්‍රිකට් පාලක මණ්ඩලය ඇති වන්නේද හැත්තෑව දශකයේදීය. එකල ක්‍රිකට් දින්නද පැරදුණද මෙරට ප්‍රේක්ෂකයාට එතරම් වගේ වගක් නොවීය. එයට හේතුව අපි ක්‍රිකට් තරග දිනිය හැකි මහ ලොකු පිලක් නොවන බවට තිබූ විශ්වාසය. එහෙත් අනූව දශකය සමඟ ක්‍රිකට් උද්‍යොගය වැඩි වූ අතර එතෙක් රාජකීය, තෝමස් අතර බෙදී ගිය ක්‍රිකට් ආධිපත්‍යය ආනන්ද, නාලන්ද ආක්‍රමණයට නතුවිය. කෙසේ වෙතත් ක්‍රිකට් පිළිබඳ මහා ලොකු පිපිරීම පටන් ගනුයේ 1996දී මෙරට ක්‍රිකට් ලෝක ශූරයන් වීමත් සමඟය. එතැන් සිට ක්‍රිකට් ලෝලී මනස හැදුණේම ලංකාව යනු පැරදවිය නොහැකි පිලක් ලෙසය. 96දීත් අපට අත්වූ වාසි ගොඩක් විය. ඇතැම් කණ්ඩායම් මෙරටට නොඒම නිසා අතිරේක ලකුණුද හිමි විය. මේවා වෙනම කතාය. කෙසේ වෙතත් 96 ලද ජයග්‍රහණය තුළ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ආනා පුංචිහේවා විශාල වැඩකොටසක් කළ මුත් සියලු ගෞරව එදත් අදත් යනුයේ අර්ජුනටය. එදා වට්මෝර්ගේ දායකත්වය පවා අර්ජුන ළඟ අතුරුදන් වූයේ ක්‍රිකට් වෙනසේ දෙවියා අර්ජුන ලෙස සුරුවම් කරමිනි. එහෙත් 1999දී අර්ජුන ප්‍රමුඛ 96 ලෝක ශූරයන්ට මූලික වටයෙන්ම ගෙදර යන්නට සිදුවිය. එතැන් සිට මෙරට ක්‍රිකට් ගැන කතා බහ අඩුවැඩි වශයෙන් අප්‍රසන්නය. අර්ජුන 96 ගැන උදම් ඇනුවද 99දී වූ අසාර්ථකත්වය ගැන වචනයක් නොදොඩති. 96දී සිටි ආනා පුංචිහේවා පන්නා ක්‍රිකට් පරිපාලන බලය තිලංගලාට දෙන්නට ක්‍රියා කළේද අර්ජුනමය. ක්‍රිකට් අතීතය දන්නෝ එය දනිති. ඒ වෙනුවට විධායක නිලධාරි තනතුරක් අලුතින් ක්‍රිකට් ආයතනය තුළ අටවා විශාල වැටුපක් තම සහෝදර ධම්මික රණතුංගට ලබා දුන්නේද තිලංගට සභාපති පුටුව තෑගි කරමිනි. එතැන් සිට තිලංග සෙල්ලම අල්ලා ගත්තේ ක්‍රිකට් නිලවරණයට අයත් ඡන්දය ඇති ක්‍රීඩා සමාජ මුදලට ගනිමිනි. මුදල් නිසා එම ක්‍රීඩා සමාජ සිය ඡන්දය ඇස් පියාගෙන තිලංගට දුන්නේය. තිලංග ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිකට් ආයතනය ලෙස වෙනස් කොට හැකි උපරිම ලෙස සිය බලය තහවුරු කර ගත්තේය. අර්ජුනට ඉන්පසු කොපමණ ආස වුණත් ක්‍රිකට් පරිපාලනයට ඒමට නොහැකි විය. අර්ජුන සමඟ සිටි අරවින්ද, සනත් පවා අර්ජුනට එරෙහිව පරිපාලනයේදී සිට ගත්හ. ඔහුට විරුද්ධව තිලංග පැත්ත ගත්හ. එහෙත් 96 ක්‍රිකට් ක්‍රීඩකයන් පැත්තකට කොට වෙනස්ම පිරිසක් සමඟ තිලංග ගමන ගිය අතර ඒ කාලයේ අඩුවැඩි අයුරින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණද ලැබීය. සංගා, මහේල එකවර ඉවත්වීම නිසා මෙරට ක්‍රිකට් විනාශ වූවා යැයි එකළ ජනප්‍රියම මතය වූයේ ඔවුන් දෙපළ ගිය පසු බොහෝ තරග පරාජය වූ නිසාය. අර්ජුනත් ප්‍රසිද්ධියේම එම චෝදනාව කළේ මෙරට ක්‍රිකට් කඩා වැටිමට සංගා, මහේල වගකිව යුතු බව කියමිනි. ඔවුන් දෙපළ තම ආදේශක තැනට වෙන අය අත්හදා නොබැලූ බවටද චෝදනා විය. එහෙව් සංගා අද ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ක්‍රිකට් පරිවර්තනයට එකතුවී ඇත. පසුගිය පාලන කාලවලත් සංගා, මහේල ක්‍රීඩා අමාත්‍යාංශය තුළ ප්‍රබල චරිත විය. එහෙත් කළ කෙන්ගෙඩියක් නැත.
ක්‍රිකට් ගැන බොහෝ දේ කිව හැකි වුවත් තිලංගගේ පාලනය ඉවත් කළ නොහැකි තැන හැම විටම එකල පාලකයන් කළේ අතුරු කමිටු පත් කිරීමය. අතුරු කමිටුවලට දැම්මේ ධර්මදාසලාය. ඒ අතර ජයන්ත ධර්මදාස ප්‍රමුඛය. ඔහු තිලංග සමඟ හැමදා තරග කර පරාජය වන අතර අතුරු කමිටුව හරහා බලයට එයි. ජනපති මහින්ද රාජපක්ෂ ඔහුව අතුරු කමිටුව හරහා බලයට ගෙනාවේම නව ලෝකයක් හදා ගන්නට බව අමුතු රහසක් නොවේ. අතුරු කමිටු හැමදා පවත්වා ගෙන යා නොහැකිය. ඊට නිශ්චිත කාල රාමුවක් ඇත. නැවත ඡන්දයෙන් බලයට පිරිසක් ආ යුතුය. එසේ නොවුණොත් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ උදහසට ලක්වී මුදල් ආයෝජන නොලැබී යන්නේය. මුදල් නොලැබෙන්නේ නම් ක්‍රිකට් ආයතනය අම්බලමක් තරම් නොවටී. එවිට නැවත අතුරු කමිටු විසුරුවා ඡන්ද පවත්වන අතර ඒ ඡන්දවලින් තිලංග බලයට ඒ. තිලංගට ඒමට නොහැකි පසුබිම හැදූ කල ඔහුගේ එහෙයියකු වූ ශම්මි තරග කළේය. ජන්ද පදනම තිලංගගේය. ශම්මි දිනූ අතර මුලදී තිලංගට වුවමනා විදිහට වැඩ කළේය. එහෙත් රහ දැනුණු පසු ශම්මි කළේ තිලංග පන්නා බලය සියතට ගැනීමය. ඒ සඳහා ඔහු තිලංගට වඩා මුදල් වියදම් කළේය. ඡන්ද දෙන ක්‍රීඩා සමාජවලට තිලංගට වඩා ශම්මි හොඳ විය. ඊට අමතරව ශම්මි ක්‍රිකට් ගැන ලියන බොහෝ මාධ්‍ය වේදීන්ද මුදල්වලට තම කුලී ලියන්නෝ බවට පත්කර ගත්තේය. එතැන් සිට ශම්මිගේ රාජ්‍ය නිර්මාණය විය. දේශපාලකයින්ටද ශම්මි වියදම් කළේය. හැම සතාම ශම්මිගේ සත්තු වත්තේ සිටියෝය. තිලංග ඍජුව දේශපාලනය කළ නිසා ඔහුට එතරම් දුරට හැම දෙනා ඩැහැ ගන්නට නොහැකි විය. ඔහුගේම මාධ්‍යයක් තුළ ඔහු පුම්බා ගත්තද ශම්මි කළේ හතර අත ඉන්න ක්‍රිකට් ලියන්නෝ මිලට ගැනීමය. මෑත කාලයේ ක්‍රිකට් සෙල්ලම හොඳටම කළේ ශම්මිය. ඒ ගැන විවාදයක් නැත. ශම්මිව ඒ නිසාම කිසිවකු එළවනවාට නොකැමැති විය. දේශපාලකයෝද ඒ අතර විය. ජවිපෙ වුව එදා විපක්ෂයේදී ශම්මිව විවේචනය කළේ බොරුවටය. ඔවුන් සිටියේද ශම්මි සමඟය. ඒ බව බලය ලැබී වසර එකහමාරක් පමණ ගෙවෙන තෙක්ම ශම්මි සමඟ ගෙන ගිය කුළුපග ඇසුරින් පැහැදිලිය. ශම්මි සමඟ යාපනයේ පිට්ටනි හදන්නට ගියේය. විස්සයි විස්ස ලෝක කුසලාන තුළදී වුව ආණ්ඩුව සිටියේ ශම්මි සමඟය. අභාග්‍යයට එතැනදී ශ්‍රී ලංකා පිල අන්ත පරාජය වැලඳ ගත්හ. එහිදී ශ්‍රී ලංකා පිලට ක්‍රිකට් ලෝලීන් බැන වදිද්දීත් මේ ක්‍රිකට් ආයතනය එළවන්නැයි කියද්දීත් මේ ආණ්ඩුව කිසිත් නොකළේය. එතරම් විරෝධතා මැද නිහඬව සිටි ආණ්ඩුව එකවරම ශම්මි එළවා අලුත් කමිටුවකට බලය දී ඇත. එය වූ කලී සුවිශේෂී මෙහෙයුමක්ද? කාගේ හෝ ඉල්ලීමක්ද යන්න වැදගත් නැත. එහෙත් ශම්මි අනුර ඩීල් එකක ප්‍රතිඵලයක් ලෙස එය සිදුවූ බව සමස්ත නාට්‍ය දෙස බලන කල පෙනෙන්නට ඇත. ශම්මි සිය කැමැත්තෙන් ඉවත් වූ අතර ඔහුගේ පිලද ඉවත් විය. ශම්මි පමණක් ඉවත් වූයේ නම් ඉතිරි අයට බලය ලැබේ. මේ ක්‍රියාවලිය දෙස බලන කල එය මනාව සැකසූ පිටපතක් බව පෙනේ. ජනපති හෝ ක්‍රීඩා ඇමැතිට අයි.සී.සී.යට අතුරු කමිටු ඉල්ලා කෙදිරි ගා හැකි මුත් ශම්මිට එක ලියුමකින් එය වළකාලිය හැකිය. එසේ නම් ශම්මි එතරම් කීකරු වූයේ ඇයි? වැදගත් ප්‍රශ්නය. ඒ මේ ආණ්ඩුවට බය නිසාද? නැතහොත් ඊට වඩා ලොකු සැලසුමක ප්‍රතිඵලයක්ද? කෙසේ වුව ශම්මිගේ අධිකාරිය කුමන අයුරකින් වුව බිඳ දැමීම හොඳය. එය සෑහෙන ප්‍රමාද වී හෝ කළ හොඳ වැඩකි. කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි ඒ දේ කිරීම වටී.
ඒ අතර පත් කළේ ”අතුරු කමිටුවක්” නොව ”පරිවර්තන කමිටුවක්” වැනි බයිලාවන් ක්‍රීඩා ඇමැති කියමින් සිටී. ඒ අය කාගේ අනුග්‍රහයෙන් කාගේ ඉල්ලීමට ආවාද වැඩක් නැත. කළ යුත්තේ වැඩ කිරීමය. එහෙත් ඒ වැඩේ කියන තරම් ලේසි නැත. කුමක් වුව ඒ ගැන කීමට කල් වැඩිය. එහෙත් කිව යුත්ත නම් ලොකු සිස්ටම් චේන්ජ් කරනවා යැයි කියූ අයද වැඩ කරනුයේ පෙර අයටත් අජූත විදිහට බවය. එදා මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ආයතනයට අත පෙවීම වැරැදියි කී අනුර කුමාර අද ඒ දේ දුව දුව කරමින් සිටී. ක්‍රීඩා ඇමැති පඹයකු මෙන් එදත් අදත් ක්‍රිකට් ප්‍රශ්නවලදී වැඩ කරන අතර ජනාධිපති තම විෂය පථයට ක්‍රිකට්ද ලියාගෙන ඇත. ක්‍රීඩා ඇමැත්තා හිරිකිතක් නැතිව මේ අනුරගේ වික්‍රමයක් බව කියමින් උදම් අනමින් සිටී. මහින්ද රාජපක්ෂ කළෙත් ඔය දේමය. එහෙත් එය කැතට පෙණු නු අතර අනුර කරද්දී එය ලස්සනට පෙනෙන්නට පටන් ගෙනය. ඒකාධිපතිකමද මහින්ද කරද්දී කැතය. අනුර කරද්දී ලස්සනය. ශම්මිගේ වැඩේ හෙට ඊට වඩා අපූරුවට ඉරාන් කරන විට ක්‍රිකට් තරගයක් දෙකක් දිනුවහොත් හැමට සියල්ල අමතකය. එහෙත් අපි දැන් ක්‍රිකට්වලින් බොහෝ ඈතට ගොස්ය. ලාංකේය ක්‍රිකට් පරිහානියේ කූටප්‍රාප්තික හෙවණැල්ල ශම්මි නොව ඊට බොහෝ කල් තිබූ ඒවාය. ඉන්දීය ක්‍රිකට් ආයතනය දූෂිත නැතැයි සිතිය හැකිද? එහෙත් ඉන්දීය ක්‍රිකට් දියුණු නිසා ඒ සියල්ල වැසී ඇත. එමෙන්ම ලංකාවේ ක්‍රිකට්වලට නැවත පණදීම ලේසි නැත. එයට නව ජීවයක් දීමට ලොකු වෙහෙසක් ගත යුතුව ඇත. එය දෙවියන් වහන්සේට වුව කළ හැකි නම් වරදක් නැත. එබැවින් ලංකාවේ ක්‍රිකට්වලට නැවත ජීවය දීමට දෙවියන්ට බාරය.




