පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ – Kate Winslet
බ්‍රිතාන්‍යය ජාතික නිළියක වන ඇය රංගන හැකියාවෙන් සේම සුන්දර පෙනුම නිසාවෙන් ලොකු කුඩා කාගේත් ආදරය දිනා ගත්තා. ලොවක් වසඟ කෙරූ ටයිටැනික් ආදර කතාවේ පෙම්වතිය Rose ගේ චරිතය නිසාවෙන් ලොව පුරා ප්‍රේක්ෂක හදවත්වල සදාතනික මතකයක් වීමට Kate Winslet ට හැකිවූවා. රංගනය උදෙසා ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන රැසක් දිනා ගත් ඇය හොලිවුඩයේ සාර්ථකම නිළියක් ලෙසින් හැඳින්වෙනවා. පසුගිය වසරේ තිරගත වූ Goodbye June චිත්‍රපටයෙන් කේට් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් ලෙසින් වැඩ ඇරඹූ අතර මේ වසරේදී ඇය The Lord of the Rings: The Hunt for Gollum, The Still Waters චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයින් හමු වීමට බලාපොරොත්තු වෙනවා.
පනහ හැවිරිදි කේට් Goodbye June චිත්‍රපටය ඔස්සේ අධ්‍යක්ෂණයට පිවිසියා. පවුලක ඇති බැඳීමේ අපූරුව කියන Family Drama වර්ගයේ කතාවක් වන මෙහි තිර රචනය ඇගේ පුත් ජෝ ඇන්ඩර්ස් විසින් සිදු කිරීම විශේෂත්වයක්. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම කන්දක් නගිනවාක් වැනි වැඩක් බවයි කේට් පවසන්නේ.

“Oh my god. ඒක අමාරු වැඩක්. කොහොම වුණත් ටික ටික ඉහළට යනකොට සැනසිල්ලක් දැනෙනවා. මමත් එක්ක වැඩ කරන අධ්‍යක්ෂවරුන්ට මම හැම වෙලාවෙම මගේ උපරිම සහයෝගය ලබා දෙනවා. අධ්‍යක්ෂකවරයා සහ මා අතර තියෙන ඒ බැඳීමට ලොකු තේරුමක් තියෙනව වගේම මම ඒකට ගොඩක් ගරු කරනවා. මට හිතෙන්නේ මම ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ අය ගොඩක් සහයෝගය දක්වන, මාව ශක්තිමත් කෙරුව හොඳ මිනිස්සු. නමුත්, යම් දෙයක කොටසක් වීමට, මට කලින් ඒ වැඩේ බොහෝ වාරයක්, දක්ෂ විදිහට කෙරුව අයගෙන් ලැබෙන අනුමැතිය මාව පොළඹවනවා. ‘අනේ, සමහරවිට මටත් ඒක කරන්න පුළුවන්’ කියලා හිතෙනවා.”
ඇය එසේ පවසන්නේ හුස්මක් ඉහළට ගනිමින්.
“නමුත් රඟපෑම කියන්නෙ වෙනස් දෙයක්. ඔබේ රඟපෑම හරියට වැඩ කරනවද නැද්ද කියලා කලින් කියන්න විදිහක් නෑ. ඒ නොදන්නකම හැම වෙලාවෙම ඉතුරු වෙනවා. ඒ නිසාම අපි ඒක කරනවා. ඒ බිය තමයි අපිව පොළඹවන්නෙත්. ඒක අපිව තවත් ඉස්සරහට තල්ලු කරනව වගේම අලුත් දේවල් උත්සාහ කරලා බලන්න පොළඹවනවා. “
ඇය හැඟීම්බරව පවසයි. ඇගේ පුතු ජෝ ඇන්ඩර්ස් මේ වෙනවිට තවත් අලුත් චිත්‍රපටයක් ගැන සිතමින්, සිහින දකිමින් ඉන්නා බවයි කේට් පවසන්නේ. ඔහුට තමා මෙය සිදුකළාද කියා විශ්වාස කිරීමට අපහසු තරමේ සතුටක් දැනෙන බව ඇය පවසනවා.

“ඒ තරම් හොඳ පිටපතක්, නළු නිළියන් කණ්ඩායමක්, ආකර්ෂණීය දෙබස්, මේ හැමදේම එක්ක මගේ සහයෝගය නැතිව වුණත් පුතා මේක හරියට කරනව කියලා මම දන්නවා. මම වැඩිපුර වැඩ කළා. මට කවදාවත් ඒක ඉවර කරන්න ඕන වුණේ නැහැ. මම ඒකට කොච්චර ආදරේ කළාද කියලා මට කියන්න තේරෙන්නෙ නැහැ.”
කේට් පවසන්නේ සිය පුතු කෙරෙහි උපන් සැබෑම ප්‍රේමයෙන්.
“මේ වගේ වැඩකට ආදරණීය කණ්ඩායමක් තෝරා ගන්න ඇත්තටම සංවේදීකම කියන දේ තියෙන්න ඕන. ප්‍රවීණයන් ඉන්නකොට මම ඔවුන්ට කලින් අහලා නැති දෙයක් මට කියන්න බැහැ. අධ්‍යක්ෂවරුන් දේවල් උත්සාහ කරනකොට, ඔබ එය උකහා ගන්නව. මේ සිහිනය හැබෑ කරන්න වුවමනා දේවල් මට සහජයෙන්ම දැනුණා. අපි හැමෝම උපරිමය සිදු කළා. මම ඇති තරම් දේවල් දැකලා ඇති කියලා මට හිතෙනවා. මම ඇති තරම් ඉගෙන ගත්තා, නමුත් මගේ ජීවිතයේ මුල් අවධියේදී, ටයිටැනික් හැරුණු විට, මම කළ අනෙක් සියල්ල ඕනෑම සිදුවීමකට සූදානම්ව ඉන්න ඕන විදිහේ ඒවා. මම විශිෂ්ට අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කළා. වැඩ කරන්න අමාරුයි කියන අය එක්කත් වැඩ කරා. සමහර වෙලාවට ඔබට අනිත් නළු නිළියො එක්ක මිතුරු වෙලා එකිනෙකාගෙ සහයෝගය දැඩිව ඕනෙ වෙනවා. මම එහෙම කරලා තියෙනවා. කාලය ගෙවිලා ගිහින්. මට හිතෙන්නෙ අපි ප්‍රයෝජනවත් නෑ කියල හිතන දේවලින් ගොඩක් ඉගෙන ගන්නව කියලා. හරි ඉක්මනින්ම. මම ළමයි එක්ක වැඩ කරන්න කැමතියි. ඒක ලේසියි. ඔවුන් දරුවො බවට පත් කරන්න මම දන්නවා. ඇත්තටම දරුවන්ට, ඉතා කුඩා දරුවන්ට උගන්වන්න අමාරුයි. නමුත් අපි ඔවුන්ට ළමයින් විදිහට ඉන්න පුළුවන් පරිසරය නිර්මාණය කරා.”
කේට් සිය චිත්‍රපට අත්දැකීම් එසේ අවදි කරනවා.

“ජූන් කියන්නෙ එංගලන්ත කාන්තාවගේ සළකුණ. කාන්තාවන්ගෙ තියෙන අපූරු අවංකභාවය, ඔවුන් තම ජීවිතයේ අවසාන හෝ පසුකාලීන පරිච්ඡේදවලට ඇතුළු වුණාම රෝහල් ඇඳේදි පවා කොහොමහරි තමන්ගෙ පවුල රැගෙන යාමට ඇයට තියෙන හැකියාව, හැම කෙනෙක්ටම ඇගෙන් අවශ්‍ය ආදරය දීමට ඇයට තියෙන ශක්තිය ප්‍රකාශ කිරීමට ඇති හැකියාව. ඔබ කුමන වයසක වුණත් ඔබ තවමත් කාගෙමහරි දරුවෙක්. කතාවේ මට ඉතා පැහැදිලිව පෙනෙන අනෙක් සුන්දර දේ තමයි ඔවුන් හැමෝම එකට බැඳල තියෙන දේ තමයි ළමා කාලය. ජීවිතයේ ඔබට කුමක් සිදු වුණත්, ඔබ අවසානෙට යන්නේ මොන දිශාවටද, ඔබ අවසානෙ ජීවත් වන්නේ කොතැනද කියන දේවල් නොසලකා, එය ඔබ ළඟම රැඳෙනවා. ඒක හොඳ ළමා කාලයක් වුණත් නැතත්, ඒ මතකයන් හැම විටම ඔබ එක්ක තියෙනවා.”
“මම හිතන්නේ කවුරුහරි මම ඉන්න චිත්‍රපටියක් බලලා ඉවර වෙලා එයාල ගෙදර ගිහින් ඒ ගැන හිතන්න ඕන. නැතුව එයාලා ෆිල්ම් එක ඉවරවෙලා එළියට යනවනං, පබ් එකට යනවනං ඒක වැඩක් නෑ. ඒක විහිළුවක් වගෙ පෙනුනට චිත්‍රපටයක් හදනකොට, ඒක ඇත්තටම සැබෑවක් කියලා දැනෙන්න සලස්වන්න වගකීමක් තියෙනවා. මට ප්‍රේක්ෂකයින් රවට්ටන්නවත් ඔවුන්ට බල කරන්නවත් ඕන නෑ. ඔවුන්ට හැකි තරම් මෘදු හා සංවේදීව ඒ දේවල් අත්විඳින්න ඉඩ දෙන්න ඕනෙ. මම නළු නිළියන්ට නිදහස දුන්නා. ඔවුන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කළා. ඒකෙන් මට අධ්‍යක්ෂකවරිය විදිහට ගොඩක් වෙලාවට මහන්සි දැණුනා. නමුත් මම මට දැනුණු පීඩනය හැංඟුවා. නළු නිළියන්ට මගෙන් කිසිම පීඩනයක් එන්නෙ නැති විදිහට ඉන්න උත්සාහ කළා. කොහොම හරි, කොහොම හරි මම ඒ දේවල් කළා.”
“මම හැමදාමත් චිත්‍රපටවලට ආදරේ කළා. පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ. මම ලොකු තිරේක ඉස්සෙල්ලම බැලුවෙ E.T ෆිල්ම් එක. තාත්තා මාව විතරක් ඒක බලන්න එක්කගෙන ගියා. මට පුදුමයි තාත්තා ඇයි මාව විතරක් එක්කන් ගියේ කියලා. අනිත් අයට වඩා මම ඒකට කැමතියි කියල හිතන්න ඇති. නැත්තම් එයාට ඒ අත්දැකීම මාත් එක්ක බෙදාගන්න ඕනෙ වෙන්න ඇති. මට කවදාවත් ඒක අමතක වෙන්නෙ නැහැ.”
කතාව අවසානයේ ඇගේ හඬ බිඳීයයි.




