රත් දෝතළු – 50
තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය අසල හිඳගතිමි. ඈ කතාකරන්නේ ශෝකයෙනි. සිතේ තිබෙන දුක වේදනාව ඈ මෙසේ පිටකරන්නේ සිරකරගෙන සිටිනු බැරි නිසාම වන්නට ඇතැයි කියා මට සිතේ.
“මට මේ ළමයි දෙන්නා ගැනත් හරිම වේදනාවක් තියෙන්නේ ළමයෝ… කටින් නොකීවාට මේ දෙන්නෙත් ඒ වගේම දුකකින් ඉන්නවා ඇති කියලා මට හිතෙන්නේ… පොඩි කාලේ ඉඳන් අම්මාගේ ආදරේ ලැබුණේ නැහැ… තාත්තට දරුවෝ ගැන බලන්න තරම් විවේකයක් කොහෙද තිබුණේ… ඒ මනුස්සයත් පව්… එයා දරුවන්ට ආදරේ පෙන්නන්න කළේ… ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දුන්න එක… ඒක තමා ආදරේ කියලා එයා හිතුවේ… අදට වුණත් ඒ දෙන්නාම ආදරේ නංගිට වඩා මට…”
“මැඩම් ඒ දෙන්නටම ආදරෙයිනේ…”
“ඒත් ළමයෝ… මට බය අහස් ගැන…”
“ඒ ඇයි මැඩම්…?”
මම ඇසුවේ මවිතයෙනි.
“විහඟ පුතා කොච්චර දැඟළුවත්… කසාදයක් බඳගන්න යනකොට නම් හොඳ කෙනෙක් තෝර ගනියි… ඒත් අහස්… එයා ඒ ගැන කතා කරනවටවත් කැමති නැහැ…”
“ඒ ඇයි මැඩම්…?”
“එයා හරි අමුතු අදහස් තියන ළමයෙක්… එක පැත්තකින් එයා ගැහැණු සංහතිය ගැනම කළකිරුණු කෙනෙක්…”
එය නම් මා නොදැන සිටි කාරණයකි. එය එසේ වීමට බරපතළ යමක් සිදුවිය යුතුය.
“ඇයි මැඩම් ඒ…?”
“එක්කෙනෙක් කරපු දෙයක් නිසා තමා අරවින්දි…”
ඇයට ඉන් එහා යමක් කීමට අවස්ථාවක් නොවූයේ මැද දොරින් කිසිවෙකු එහි පැමිණි නිසාය. පැමිණියා නොව කඩා වැදුණා කීවොත් නිවැරදිය.
ඈ පැමිණියේ සැඩ රළ පෙළක් මෙනි. නොඑසේ නම් සැඩ සුළඟක් කඩා වදින්නාක් මෙනි. ඇයට පෙර ඈ ගැල්වූ සැර විළවුන් සුවඳ ඈ පෙරටුකොට ගෙන හැමීය.
“කෝ… මේ…”
ඈ ආලින්දය මැද නතර වුණේ කීමට ගිය දේ නොකියා මුව හයාගෙන මා දෙස බලාගත්වනමය. අමුතු සතෙකු දුටුවාක් මෙන් ඈ බලා සිටිනු දැක මා සිතේ ඇති වූයේ අපහසුතාවයකි. මම අසුනින් නැඟී සිටියේ ඉවතට යෑමේ සූදානමින් වුවද විනිෆ්‍රීඩා මහත්මිය අතින් අල්ලා මා වළකාලුවාය. මම දෙගිඩියාවෙන් යුතුව ඈ පසෙකම අසුනේ යළි ගිළී ගියෙමි. මේ කවුද කියා අනුමානයක් මේ වනවිටත් මා සිතේ ඇතිව තිබිණි.
“විශාකා…”
විනිෆ්‍රීඩා මහත්මිය සොයුරිය ඇමතුවේ ඈ සිටිවනම සිටගෙන සිටි නිසා විය යුතුය. විශාකා මහත්මිය සොයුරියට වඩා හාත්පසින්ම වෙනස් අයෙකු විය. සිහින් ඉරි දෙකක් මෙන් සැකසූ ඇහි බැමි යුගල ඇගේ මුහුණට කිසිසේත්ම නොගැළපුණේය. දිගටි මුහුණේ වූයේ නපුරු පෙනුමකි. ගිණි රත් පැහැයෙන් ආලේප කරන ලද තොල් ආලේපනය ඇගේ ඇගේ මුහුණට සුන්දරත්වයක් එක් කළා යැයි කියා මම නොසිතමි. ඇගේ දෑස් වලින් පවා පිළිබිඹු වූයේ දුෂ්ට පෙනුමකි.
ඈ හැඳ සිටියේ අත් දිග සුදු පැහැති හැට්ටයකුත්, ක්‍රීම් පැහැ දිගු කලිසමකුත්ය. අව් කන්නාඩිය ඇගේ නළලතට උඩින් හිස මත රැඳවී තිබිණි. විනීෆ්‍රීඩා මහත්මිය තුළ මා දකින කරුණාවන්ත මෘදු ගුණය ඈ අසලකවත් පිහිටා ඇති බවක් පෙනෙන්නට නොවීය. කුහුළින් පිරී ගිය ඇගේ නපුරු බැල්ම මා දවා හළු කරන්නට සැරසෙන සේ මා වෙතම දැල් වී ඇති බව දැක මම වෙනතක නෙතු රැඳවීමි. අඩියට දෙකට පියවර තබමින් අප අතරට ආ ඇය අත් බෑගය සැටිය මතට විසි කරමින් එහි ඇද වැටුණේ මවාගත් අහංකාර උඩඟුවකිනි.
“කවද්ද ලංකාවට ගොඩ බැස්සේ…?”
විනිෆ්‍රීඩා මහත්මිය ඇසුවේ උපහාසයෙනි.
“මං ආවේ පෙරේදා… ඒක වැඩක් නැහැ…. කවුද මෙයා… අලුතින් කෙනෙක් වැඩට ගත්තා කියලා මං දන්නේ නැහැනේ…”
රළු හඬකින් ඈ කීවේ උඩඟුවෙන් මා දෙසට බැල්මක් හෙළමිනි. මට වුවමනා වුයේ මේ සමාගමයෙන් මිදී යෑමට වුවද විනිෆ්‍රීඩා මහත්මිය තවමත් මගේ අත මුදා හැරියේ නැති නිසා මම එහිම හිඳ සිටියේ නොකැමැත්තෙනි.
“මගේ ගෙදර කරන කියන දේවල් ඔයාට කිය කියා කරන්න ඕන කියලා මං දැනන් හිටියේ නැහැනේ විශාකා… ඔයා කියන කරන දේවල් මට කියලද කරන්නේ…?”
විනිෆ්‍රීඩා මහත්මිය ඇනුම්පද කීවාය.
“හරි හරි… දැන් මෙතන තියන ප්‍රශ්නේ ඒක නෙවේනේ… කොහෙන්ද මෙයාව වැඩට ගත්තේ… හොඳට හොයල බැලුවද…?”
තරමක් හෝ මෙල්ල වුවද ඈ යළි විමසුවේ පෙර උඩඟු බවෙන් යුතුවමය.
“මෙහේ වැඩට ආව කවුරුත් නැහැ… අරවින්දි මගේ දුව…”
මම අලුතින් තිගැස්සී ගියෙමි. විශාකා මහත්මිය මට වඩා තිගැස්මට පත්ව සොයුරිය දෙසට බැල්මක් හෙළුවේ මුව හයාගෙන දෑස් නළල මත රඳවාගනිමිනි. ඇසූ දෙයින් ඈ කම්පනයට පත්වූවාක් මෙනි.
“මොනවා… මොකක්ද ඒ කතාවේ තේරුම…?”
ඈ යළිත් මා වෙත හෙළූ අවඥා සහගත බැල්මකින් යුතුව සිය සොයුරිය විමසුවාය. කුමක් හෝ හේතුවකට මේ මොහොතේ නම් මට ඈ කෙරෙන් දෙනෙත් ඉවතට ගන්නට නොහැකි විය. නොමැති නම් මට ඇගේ මුහුණේ හැඟීම් දැකගන්නට වුවමනා වූවා වන්නට ඇත. විනිෆ්‍රීඩා මහත්මිය කෙසේ මා පිළිගනු ලැබුවද ඇගේ සොයුරිය නම් මා දුටු මොහොතේ පටන් මා නොරුස්සන බවත්, හෙළා දකින බවත් මේ වන විටත් මට පසක් වී හමාරය. මෙය යම් පෙරළියක ඇරඹුමක්ද ?
“ඇස් දෙක දොට්ට පනින්න තරමට පුදුමෙන් බලන් ඉන්න දෙයක් මං කිව්වේ නැහැ විශාකා… අරවින්දි මගේ දරුවෙක් විදියට මෙහේ ඉන්නේ…”
“මොනවා…! කොහොමද එහෙම වෙන්නේ… ඔයා ළමයි හොයන්න අනාථ නිවාස ගානේ ගියාද…?”
ඈ විමසුවේ සමච්චලයට මෙනි.
“විශාකා…”
විනිෆ්‍රීඩා මහත්මිය උස් හඬින් කෑ ගැසුවාය.
“කොහෙන් ආවද… කොහොම ආවද කියන එක ඔයාට වැදගත් නැහැ… මං කරන්නේ මට ඕන දේ… මං ගැන බලන්නත් මෙතන කවුරුහරිම ඉන්න එපැයි…”
“ඔයා ගැන බලන්න අපි ඉන්නේ…”
“අපි කියලා කිව්වේ කවුරු ගැනද…?”
“ඇයි අහස්…?”
“අහස්…! තමුන් විහිළු කරනවද විශාකා මා එක්ක…? ඒ ළමයා මෙතන්ට වෙලා මං ගැන බල බල හිටියා නම් මේ බිස්නස් කවුද රන් කරන්නේ…?”
විනිෆ්‍රීඩා මහත්මිය ඇසුවේ කෝපය මුසුවය.
“ඒක එහෙම වුණත් ඉතින් මෙතන කොල්ලෝ දෙන්නෙක් ඉන්න තැනක්නේ… ගින්දරයි පුළුනුයි එක ළඟ තියන්න හොඳ නැහැ…”
“පුළුන් පෙඟිලා නම් ප්‍රශ්නයක් නැහැනේ… ඇරත් කොල්ලෝ දෙන්නාව මං මෙතන බලෙන් තියන් නැහැ… කැමති වෙලාවක යන්න පුළුවන්…”
එවන් දෙයක් බලාපොරොත්තු නොවූ විශාකා මහත්මිය සොයුරිය දෙස බැලුවේ තිගැස්මෙනි. ඇගේ මුහුණ බලා සිටියදීම අඳුරු විය. ඈ සිය සොයුරියට වඩා ඇල්මක් ඇගේ දේපලවලට දක්වනවා ඇති බව මට පෙනී ගිය සත්‍යයකි. අහස් සහ විහඟ මේ නිවසින් පිටව ගියහොත් මේ දේපළ ඔවුනට අහිමි වේ යැයි කියා බියක් ඈ තුළ ඇති වූවා වන්නට ඇත.
“තමන්ගේ වගේ පිට උන් බලයිද… මං අහන්නේ ඒකයි…”
මෙවර ඈ විමසුවේ මවාගත් අනුකම්පා මුසු වූ හඬකිනි.
“තමන්ගේ උනුත් බලයි මට දේපළ සල්ලි තියනකල්… මේ මොකුත් නොතිබුණා නම් ඔයා වුණත් එයි මෙහෙ…”
“අනේ මන්දා… ඔයාත් මොනවා කියනවද කියලා…”
ඈ හිස ගස්සමින් කීවාය.
“හරි අමාරුයි නේද එහෙම කියනකොට…?”
විශාකා මහත්මිය මුහුණ පුළුටු කරගෙන ඉවත බලාගත්තාය. කලකින් නිවසට පැමිණි පසුව වුවද ඈ සොයුරියගේ සුවදුක් නොවිමසා මෙලෙස කතාකරනු ඇසෙන විට මා සිතේ ඉපදුණේ ශෝකය මුසු නොමනාපයකි. මෙතෙක් වේලා ඇය තම සොයුරියගෙන් සුවෙන්ද කියා හෝ නොවිමසුවාය.
“මේ ළමයි දෙන්නාගෙන් කවුරුවත් මට කෝල් එකක් දෙන්නේ නැහැ… කොයි වෙලේත් ෆෝන් ඕෆ්…”
ඈ මැසිවිළි නැඟුවාය.
“ඔයා දරුවෝ ගැන නොබලා… දරුවෝ ඔයා ගැන බලයිද… කෝ රිචී…?”
“එයා ඉතින් ඔෆිස් එකේ…”
ඈ කීවේ නොසැළකිලිමත්වය. ඇයට සැමියා ගැනද හැඟීමක් නැති ගානය.
“ඔව් ඉතින් ඒවාත් බලන්න එපැයි… නැතුව කොහොමද ඔයාට ලෝකේ වටේ සවාරි ගහන්න සල්ලි…?”
විනිෆ්‍රීඩා මහත්මිය කතාකළේම හරහටමය. ඈ තම සොයුරිය කෙරෙහි කිසිදු ප්‍රසාදයක් නැති බවට එයම සාක්ෂියකි. මේ කතාබහට අතරමැදියෙකු වී මෙහි රැඳී සිටීමට මට වුවමනා නොවිණි. මෙතනින් යෑමට වුවමනා වුවද විනිෆ්‍රීඩා මහත්මිය තවම මගේ සුරතින් අල්ලාගත් ගමන් ය.
“ඒවායින් වැඩක් නැහැ… මට ලංඩන් ගියවෙලේ රොසෑන් මීට් වුණා… ෂා කෙල්ල තවත් ලස්සන වෙලා…”
ඈ වුවමනාවෙන් සොයුරිය දෙස බලා කී අතර මම සිතමින් සිටියේ මේ රොසෑන් කවුද කියාය.
-16 වෙනි සඳුදා නැවත හමුවෙමු-