NovelsRath Dothaluරත් දෝතළු - 05

රත් දෝතළු – 05

-

spot_img

රත් දෝතළු – 05

“අරවින්දි…”

අඩ නින්දකට වැටී සිටි මා තිගැස්සී අවදි වූයේ කිසිවෙකු මා අමතන හඬිනි. ලෙහුණු කොණ්ඩයද බැඳ ගනිමින් මම වහා ඉදිරිපසට දිව ආවෙමි.

“ආනේ… සුධර්මා… එන්න… එන්න…”

ඈ මගේ පාසල් මිතුරියක වූවාය. සාමාන්‍ය පෙළ විභාගයටත් පෙර ඈ පාසලෙන් සමුගත්තේ මව්පියන්ගේ බලකිරීමට විවාහ වීමට සිදු වූ නිසාය. දැන් ඈ තෙදරු මවකි. අසල්වාසීන් වුවද මා ඇයව දුටුවේ බොහෝ කලකිනි. ඈ දරුවාත් ඔසවාගෙන විත් ඉස්තෝප්පුවේ වූ අසුනක ගිලී ගියේ මහත් විඩාබර බවක් පළකරමිනි. මාත් ඇයත් එකම පන්තියේ වුවද දැන් දැන් ඈ කෙරෙන් පළවූයේ වඩා වියපත් පෙනුමකි.

“හරි මහන්සියි බං…”

“මං දොඩම් ටිකක් හදන්නම්…”

මම වහා කීවේ ඈ කෙරෙහි උපන් අනුකම්පාවෙනි.

“අනේ එපා කෙල්ලේ… මට වතුර ටිකක් දියන්…”

මා වළකාලමින් ඈ කියන විට මම වහා දුව ගොස් කළයෙන් වතුර වීදුරුවක් පුරවාගෙන දිව ආමි. ඈ එය එක හුස්මට හිස් කළාය.

“හරිම තිබහින් බං හිටියේ…”

මුවේ ඉහිරී ගිය වතුර බිඳු කීපයක් ඈ පිටි අත්ලෙන් පිසිමින් කීවේ හිස් වීදුරුව මවෙත දිගු කරමිනි.

“කොහෙද අද ගියේ…?”

දොර උළුවස්සට බර දී මම ඇසීමි.

“අද බර කිරනවා බං… ත්‍රී පෝෂ දෙනවා… ඒකට ගන්න ගිහින් එන ගමන්…”

දරුවා කිරි සොයමින් දෝ ඇගේ හැට්ටය පහුරු ගාන්නට විය. ඈ කෝපයෙන් දෝ අත ගසා දමන විට ඔහු හඬන්නට විය.

“කොච්චර බිව්වත් මූට මදි බං… කොයි වෙලෙත් වවුළා වගේ එල්ලිලා කිරිම බොන්න ඕන… බත් ඇටයක් කටේ තියන්නේ නැහැ… බර අඩුයි කියලා මිඩ් වයිෆ් නෝනා අදත් බැන්නා… මේ වවුළ් පැටියා අහනවැයි ඕක…”

ඇගේ කතාවට මා මුවට සිනහ යන්නට ආවද මම ඒ ආයසයෙන් මැඩ ගතිමි. ඈ සිටියේ කෝපයෙනි. දරුවා හඬන්නට වූ බැවින් ඈ හැට්ටයේ බොත්තම් විවර කර තන පුඩුව දරුවාගේ දෙතොලේ තැබුවාය. ඔහුගේ මුවින් නික්මුණේ සතුටට පත් සිහින් කෙඳිරියකි.

“අනේ පව් සුධර්මා…”

“පව් මුන් නෙවේ අරවින්දි…අපි…”

ඈ සුසුමක් හෙළමින් කීවාය.

“මුන්ට කන්න බොන්න නැතුව නෙවේ අරවින්දි… අපි එක වේලක් කාලා ජීවත් වුණේ… ආසාවට මුන් ත්‍රී පෝෂ ගුළියක් කන්නේ නැහැ… අපි පොඩි කාලේ කොච්චර ආසද…”

ඈ එසේ කියා ඇගේ බෑගයෙන් පිටතට ගත් ත්‍රී පෝෂ පැකට්ටුවක් මවෙත දිගු කළාය.

“මේක පොඩි උන් දෙන්නටවත් හදලා දියන් කෙල්ලේ… අපේ උන් මේවා කන්නේ නැහැ…”

“අනේ පව් සුධර්මා… පොඩි උන්ට හම්බුණ දේනේ…”

“උඹ ගනින්කෝ මේක… මුන් ඕවා කන්නේ නැහැ… තව පැකට් දෙකක් තියනවා… මටත් දැන් ඇති වෙලා බං… මූ ටිකක් ලොකු වුණාම මාත් යනවා ගාර්මන්ට් එකට… අපි කරුම ගෙව්වා මදිවට ළමයින්ටත් කරුම ගෙවන්න දෙන්න බැහැ…”

ඈ කතා කරන්නේ කළකිරීමෙන් බව මට වැටහිණි. අම්මා පෙරදිනක කීවේද මෙවන් කතාවක්ම බව මට සිහි විය.

“මොනවා කරන්නද සුධර්මා…”

“ගෙදර ප්‍රශ්න කියලා අම්මලා මාව කසාද බන්දල දුන්නා… අද මම සතුටින් ඉන්නවද අරවින්දි… බැඳපු මනුස්සයා හොඳයි තමා… දෙයියනේ කියලා කාලා ඇඳලා ඉන්නවා… කවදාවත් සංඬු සරුවල් වෙලා නැහැ… ඒත් බං හම්බකරන දේ කාලා බීලම ඉවරයි… ඉතුරුවක් නැහැනේ…”

ඇගේ සිතේ වේදනාව ඈ මෙසේ මා ඉදිරියේ දිග හැරියේ කලකින් හමු වූ නිසා වන්නට ඇත.

“රස්සාවක් හොයා ගන්න එක අමාරුයි සුධර්මා…”

“ඔයා ඒ ලෙවලුත් කරලා රස්සාවක් නැතුව ඉත්දී ඕලෙවල් වත් නොකරපු අපි ගැන මොන කතාද…”

“මාත් ගාර්මන්ට් එකෙන් නැවතුණේ තාත්තා අසනීප වුණ නිසානේ…”

“හ්ම්ම්… ඒක මං දන්නවා… ආයේ යන්න බැරිද අරවින්දි…?”

“බැහැ සුධර්මා… හිටි ගමන්මනනේ නැවතුණේ… ආය යන්න අදහසක් නැහැ…”

ඈ සුසුමක් හෙලුවාය. පුතුට නින්ද ගොසිනි.

“මේ ගමේ හිටියායි කියලා අපිට කරන්න දේකුත් නැහැනේ නේද අරවින්දි… කිරි කපන්න කියලැයි… සංදීපට කියලා රටවත් යන්න හදාගන්න බැරිද…?”

“අම්මෝ… අපේ අම්මා එක්ක…! කොළඹින් රස්සාවක් හොයාගන්නද අහනකොටත් මූණ නොරොක් කරන් හිටියේ… රටම යන්න දෙයි…”

“මොනවා වුණත් අරවින්දි… ඔයාලගේ අම්මලා ඔයාට ඉගැන්නුවානේ… අපේ අම්මලා වගේ බන්දලා දුන්නේ නැහැනේ… ඒ අතින් නන්දිකා නැන්දා හොඳයි… මේ තරමට නැහෙන්නේ ඔයාලා නිසානේ…”

“ඒක ඇත්ත සුධර්මා…”

“පුළුවන් කාලෙක ඒ දෙන්නව හොඳට බලාගන්න ඕන අරවින්දි…පව්…! කෝ දැන් මාමා… බලන්න එන්නවත් බැරි වුණා…”

“තාත්තා ගිහින් ජයතිස්ස මාමාලා ගෙදර…”

“හ්ම්ම්… මාත් ගිහින් එන්නම්… අරුන් දෙන්නා එන්න කලින් ගෙදර වැඩ ටික ඉවර කරගන්න ඕන…”

ඈ නැඟී සිටිමින් කීවාය.

“මොකුත් බිව්වේවත් නැහැනේ…”

“පස්සේ වෙලාවක එන්නම්…”

ඇයත් සමඟ මමද කඩුල්ල තෙක් ඇවිද ආවෙමි. ඈ දරුවන් තිදෙනෙකු සමඟ ඔට්ටු වෙන සැටි සිහි වී මා සිතේ බියක් ඇති වූයේ එවන් ඉරණමකට මා මුහුණ දුන්නා නම් කෙසේද යැයි ඇති වූ සිතුව්ල්ල නිසාය.

නිවසේ වැඩකටයුතු සමඟ දින ගතවන බවක් හෝ නොදැනිණි. ඒකාකාරිව ගෙවන දවස් නිසා මා සිටියේ හෙම්බත්වය. දැනට මා සිතේ වූ එකම බලාපොරොත්තුව රැකියාවක් සොයා ගැනීමය. නිර්මාණිට ඇමතුමක් ගන්නට සිතා සිටියා මිස එය දිනෙන් දිනම කල් ගියේය. ඊට වැඩිමනත්ම හේතුව වූයේ අම්මා මා කොළඹ රැකියාවකට යනවාට අකමැති වීමය. එසේ කියා මට තවත් බලා සිටින්නට නොහැකිය. එදින සැඳෑවේ මම සූදානම්ව අම්මා සොයා පිටුපසට පැමිණියෙමි. ඈ සිටියේ ළිඳ අසලය.

“අම්මේ…”

මගේ හඬ ඇසී ඈ හැරී බැලුවේ සේදූ චීත්තයේ දිය මිරිකමිනි.

“කොහේ යන්නද ලොකු දුවේ…මේ…?”

ඈ මා දෙස වඩාත් වුවමනාවෙන් බලමින් ඇසුවාය.

“හංදියට දුවලා එන්නම්… නිරූට කෝල් එකක් අරන්…”

“අර මොකෝ හදිසියේ…?”

වඩා පුදුමයෙන් මෙන් ඈ ඇසුවාය.

“හදිසියක් නැහැ… එයාට කියන්න ඕන ජොබ් එකල් හොයලා දෙන්න කියලා…”

“කොළඹින්…!”

“කොළඹින් හරි ඒරොප්පෙන් හරි අම්මේ… මට දැන් ඕන රස්සාවක්… මේ විදියට ගෙදරට වෙලා ඉන්නේ කොහොමද…?”

නොසතුටෙන් මම ඇසීමි.

“අනේ මන්දා ළමයෝ… තියන ප්‍රශ්නවල හැටියට මට උඹව ගෙදර තියන් ඉඳලත් බැහැ… රස්සාවාකට යවලත් බැහැ…”

සුසුමක් හෙළමින් ඈ කීවේ මා පිළිබඳව උපන් අනුකම්පාවෙනුත් සෙනෙහසිනුත් වන්නට ඇති මුත් ඒ දෙකටම අපේ ප්‍රශ්න විසඳිය නොහැකිය.

“එහෙම කියලා මට ගෙදරට වෙලා ඉන්න බැහැ… අම්මාත් කවදා වෙනකල් කියලා රබර් ගස් එක්ක ඔට්ටු වෙන්නද…? අම්මාත් ලෙඩ වුණොත්…? ඊට වඩා අපි මේ ඉඩම බේරගන්න එපැයි… පාරට බහින්නද…?”

මා කියූ දේවල් ඇයට දැඩිව බලපෑ බවක් ඇගේ ශෝකී මුහුණින්ම මට වැටහිණි.

“හරි… හරි… තව හවස් වෙන්න කලින් ගිහින් එන්න… මල්ලිත් නැහැනේ එක්ක යන්නවත්… වැස්සකුත් එන්න වගෙයි… කුඩේ අරන් යන්න…”

ඈ එසේ කියන විටයි මටත් එය සිහි වූයේ. අම්මා කුඩය සිහි කළේ හොඳ වෙලාවට කියා මට සිතුණේ මඳ දුරක් එන විටම ඇද වැටෙන්නට වූ සිරි පොදය නිසාය. කුඩයක් මිලදී ගත්තේ එදින නිර්මාණි බලෙන් මෙන් අත මිට මෙළවූ මුදලිනි. මා මුවින් සුසුමක් ගිලිහුණේ ආත්මානුකම්පාවෙනි.

-12 වන සඳුදා නැවත හමුවෙමු-

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you