Hima Mal Renu හිම මල් රේණු – 27වෙනි කොටස
නිවස තුළ වූයේ දිගු නිහැඬියාවකි. එම අමුතු නිහඬ බවට හේතුව වූයේ පුංචි අම්මාත් නංගීත් නිවසේ නොමැති වීමය. මා සිතටද දැනුණේ පුදුමාකාර නිදහස් බවකි. පුංච් අම්මාගේ පැරණි මිතුරියකගේ ප්‍රිය සාදයකට ලැබුණු ආරාධනයක් නිසා ඔවුන් පිටව ගියේ මීට සුළු මොහොතකට පෙරය.
“දුව එන්නේ නැද්ද පා(ර්)ටියට යන්න…?”
තාත්තා පෙරදිනත් මා විමසුවේ මා මීට පෙරත් එයට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබියදීමය.
“මං කිව්වේ තාත්තේ…මං එන්නේ නැහැ කියලා…ඔයාලගේ ෆැමිලි එකට කරපු ඉන්විටේෂන් එකකට මං නිකං බලෙන් ආවා වගේ වෙනවනේ…”
පුංචි අම්මා මෙන්ම නංගීද රිදවන අදහසින් මම වචන වලින් පහර ගැසීමි. නංගීද දැන් කොහොමත් සිටින්නේ මා සමඟ නොමනාපයෙන් බව මම දනිමි. මම ඇයට ටෙලාන් ගැන පැවසූ දිනෙන් පසු ඈ මා සමඟ සිත් නොහොඳින් පසු වූවාය.
“මොකක්ද ළමයෝ ඒ කතාව…අපි ඔයාට වෙනස් කමක් කළා වගේනේ ඔයා කතා කරන්නේ…?”
පුංචි අම්මා ඒ මොහොතේ කීවේ මට හිස ගස්සමින් මුහුණ ඇද කරගෙනය.
“හරි…හරී…එහෙනම් ඔයා නැන්දා එක්ක ඉන්නකෝ…”
කතා බහ දුරදිග යාදෝයි බියෙන් තාත්තා කීවේ මා යමක් පැවසීමට පෙරය. පුංචි අම්මා කෙරෙහි හටගත් නොරිස්සුමෙන් මෙන්ම කිසිත් කියාගන්නට අවස්ථාවක් නොලද නිසා ඇති වූ නොසතුටිනුත් යුතුව මම හුන් තැනින් මෑත් වූයෙමි.
මම මිදුලට බැස්සේ සිත පුරා වූ සැහැල්ලු බවත් සමඟය. නිවසේ කිසිවෙකු නොමැති නම් මොන තරම් අපූරුද කියා මට ඒ මොහොතේත් සිතිණ. මිදුල දිගේ විත් මම බංකුව මත හිඳ ගතිමි.
“ලොකු මැණිකේ…ලොකු බේබි…”
චන්ද්‍රම්මා මා සොයා ආවේ තේ කෝප්පයද අතැතිවය.
“චන්ද්‍රම්මට මම කොච්චරවත් කියනවා…මට බේබි කියන්න එපා කියලා…මං බබෙක් නෙවේ…”
මම නොසතුටෙන් ඇයට පුංචි දෝෂාරෝපණයක් එල්ල කළෙමි.
“අනේ මැණිකේ…මට කියවෙනවනේ ඉතින්…මෙච්චර කල් වැඩ කරපු තැන්වල අයට කතා කළේම බේබි කියලානේ…”
“චන්ද්‍රම්මා බලා ගත්තේ පොඩි අයවද…?”
උපහාසයෙන් මම ඇසුවේ ඈ දිගු කළ තේ කෝප්පය අතට ගනිමිනි. ඈ සේවයට ගෙන තිබුණද මගේ තේ කෝප්පය නම් සෑදුණේ නැන්දා අතින්මය.
“අනේ නැහැ ලොකු මැණිකේ…බේබි… මැණිකෙලා වගේ අයම තමා හිටියේ…”
“එහෙනම් ඉතින් බේබි බේබි කියන්නේ මොකද…? මළ විකාර…”
මම කියන විට ඈ අතින් මුව වසාගෙන සිනාසුණාය.
“කෝ නැන්දා…?”
“නෝනා කා එක්කද කතාව ටෙලිපෝන් එකෙන්…මං ලොකු මැණිකේට කාරණාවක් කියන්න එක්ක ආවේ…”
මා සිතේ කුතුහළයක් ඇතිකරමින් ඈ කීවාය.
“මොකක්ද චන්ද්‍රම්මා…?” මැඩගත් කුහුළින් මම ඇසීමි.
“මම මෙහෙම කේළම් කියනවා කියලා ලොකු බේබි හිතන්න එපා…මැණිකේ මට බොහොම කරුණාවෙන් සළකනවනේ… මම ඒකමයි මැණිකෙට මේ කාරණාව කියන්න හිතුවේ…”
ඈ එක දිගට කියවගෙන ගොස් නැවතුවේ මා දෙස වුවමනාවෙන් බලමිනි.
“කියන්න චන්ද්‍රම්මා…”
“මැණිකේ…අර චූටී බේබී…”
මා හද ගැස්ම වේගවත් විය ඈ නංගී ගැන කුමක් කීමට සැරසෙනවාද?
“චූටි බේබි…?”
“ඔව් බේබි…චූටි බේබි මේ ඊයේ පෙරේදා දවසක මෝටර් බයික් එකක නැඟලා ඇවිත් හන්දියෙන් බැහැ ගත්තා…”
“මෝටර් බයික් එකක…ආවා…චන්ද්‍රම්මා කොහොමද දැක්කේ…හන්දියෙන් බැස්සා කියලා…?”
සැකයක් මා සිතේ ඇති විය.
“මං සුපර් මාර්කට් ගිහින් එද්දී දැක්කේ…මහා ලොකු බඩු ගොඩාක් අරන් එන්න තිබ්බේ නැති නිසා මම මේ ටික පයින්ම ආවා…ත්‍රී වීල් එකකට මොකට බොරුවට සල්ලි නහස්ති කරනවද…? චූටි බේබි මාව දැක්කේ නැහැ…මං ටිකක් පමා වෙලා…හිමින් හිමින් ආවා…ගේ ළඟින්ම බැස්සා නම් මං මොකුත් හිතන්නේ නැහැ…මඟින් බැස්සෙ ඇයි කියලයි මං කල්පනා කළේ…මේක කියන්දෝ නොකියන්දෝ කිය කියා මං හිත හිත උන්නේ ලොකු බේබි…චූටි බේබි තාම පොඩියි…මේ මහා නරක මිනිස්සු ඉන්න රටක් ලොකු බේබි..”
ඈ ශෝකී හඬකින් කීවාය.
“චන්ද්‍රම්මා ඕක කියපු එක හොඳයි…”
“ගැහැණු දරුවෙක්ට වරදක් වුණොත් ඒක හදන්න බැහැ ලොකු මැණිකේ…”
“ඒක ඇත්ත චන්ද්‍රම්මා…මං මේ ගැන තාත්තට කියන්නම්…”
“ලොකු බේබි කේළම් කිව්වා කියලා ආරවුළක් ඇති කරගනීද…?”
“කවුද…නංගීද…?”
“ලොකු නෝනා…” ඈ පැකිළෙමින් මෙන් කීවාය.
“මං එයාට බය නැහැ…” මඳහසක් පාමින් මම කීවෙමි.
“හ්ම්ම්…නිය පටින් කඩන්න තියන දේ පොරොවෙන් කපන්න වෙනකල් පමා කරන්න නරකයි ලොකු බේබි…”
ඇයට තේරෙනෙ දේවත් මේ මිනිසුන්ට නොතේරෙන එක නම් බරපතළ වරදකි. තාත්තා වුවද නැන්දා කී දේ ගැන හෝ යම් පියවරක් ගෙන තිබූ බවක් පෙනෙන්නට නැත.
චන්ද්‍රම්මා ඉවතට ගිය පසු මම එළෙසම සුළු මොහොතක් හිඳගෙන හිඳ ගෙතුළට ආවෙමි. චන්ද්‍රම්මා මා හා පැවසූ දේ මම නැන්දා හා කියන විට ඈ මා දෙස බලා සිටියේ කැළඹුණු දෑසිනි.
“අපි හිතුවට වඩා කාරණාව බරපතළයි වගේ දුව…”
“ඒක තමා නැන්දා…ටෙලාන් තෙෂාරගෙ එෆෙයාර් එකත් කරගෙන යනවා…ගිය සතියෙත් එයා මීට් වෙන්න ඇවිත් තිබ්බා…”
“මේ කොල්ලා කරන්නෙ සෙල්ලමක් කියලා මේ කෙල්ලොන්ට නොතේරෙන හැටි…”
“අපි මොනවා හරි කරන්න වෙනවා නැන්දා..”
“මං ආයෙමත් කියන්නම් අයියට…”
“එයාටත් ගාණක් නැහැ…අනික තාත්තා කළබල වෙලා… නංගීට ගහන්න ගියොත් එහෙම එයා තවත් මුරණ්ඩු වෙයි…ඒ නිසා හිමින් මොනවා හරි කරන්න කියන්න…”
“ඒක නම් ඇත්ත…මේ වෙලේ මොළේ කල්පනා කරලා වැඩක් කරන්න ඕන…” මා මුවින් දිගු සුසුමක් පිට වූයේ ඉබේමය.
****** ****** ****** ******* ****** *************** ****** ****** *******
විභාගයට ඇත්තේ ඉතා කෙටි කාලයක් වුවද තෙෂාරා එක දිගට පාසල් ආවේම නැත. මේ නිසා මට ඇයව බැලීමට යෑමට වුවමනා විය. ටෙලාන් නිසා ඇයත් තම අනාගතය අඳුරු කරගන්නවා දැකුමට මා තුළ කැමැත්තක් නොවීය. ඈ ඉගෙනීමට දුර්වල අයෙකු නොවේ. එසේ තිබියදීත් ටෙලාන් වැන්නෙකුට අසුව මුළාවී මුළු ජීවිතයම ආගාධයක හෙළා ගත යුතුද…? මම නදීරාට මගේ අදහස පැවසූ විට ඇගෙන් ලැබුණේ මා බලාපොරොත්තු වූ ප්‍රතිචාරයමය.
“මොළේ අමාරුව හැදිලද…? පිස්සු නැතුව නිකන් ඉන්න…පහු ගිය කාලේ එයා හැසිරුණ විදිය අමතක වෙන්න තරම් මැරිලා ඉපදිලා නැහැනේ…බලු වලිගේ ඇද අරින්න බැහැ…එයා තාම ටෙලාන් එක්ක නැටිල්ල…අපි කියන ඒවා එයා අහයිද…?”
ඈ නොමනාපයෙන් එක දිගටම කියවගෙන ගියාය.
“ඒ වුණාට අනේ…එයා අපේ පන්තියේ ළමයෙක් නේ…තෙෂාරා නෙවේ…කවුරු වුණත් කරන්නේ වැරදි දෙයක් නම්…ඒකෙන් එයාව ගළවා ගන්න එක නේද යුතුකම…අර දෙන්නා වගේ තැන් තැන්වල විවේචනය නොකර…?”
නදීරා මොහොතක් මා දෙසම බලා සිටියාය.
“අනේ මන්දා අනේ…ඔයා නම්…අවීශ්ගෙන් අහලා ඕන දෙයක් කරගන්න…”
“ඒ මොකටද එයාගෙන් අහන්නේ…එයා මගේ භාරකාරයද…?” නොරුස්සුමෙන් මම කීවෙමි.
“ආහ්..! මෙයා බලන්නකෝ…වෙන්න ඉන්න භාරකාරයනෙ…අනික දැන් අපි දෙන්නා තනියමද යන්න හදන්නේ…? මම නම් එන්නේ නැහැ…කවුද දන්නේ ටෙලානයා ඔය ගෙදරටත් යන එනවද කියලා…”
නදීරා කියන්නේ සත්‍යයකැයි කියා මටද වැටහිණ.
“හ්ම්ම්…”
“අවීශ් හා කිව්වොත් මං එන්නම්…හිතුවක්කර වැඩ කරලා මට බැහැ ටින්කිරි ගා ගන්න…”
ඈ භාෂිත ගේ තවත් වචනයක් අල්ලා ගෙන ඇති බව දැන මා මුවින් සිනහවක් පිට පැන්නේය.
“ඇයි…ඒ පාර මොකටද හිනා වෙන්නේ…?”
“නැහැ..මොකුත් නැහැ…ඔයා අහනවද එහෙනම් අවීශ්ගෙන්…?”
“ඇයි…මම තෝල්කයද…?”
“මෙච්චර දවසක් කළේ…අද බැරි මොකද…?”
“මොනවද…කළේ…?”
“තෝල්ක රස්සාව…”
“මේකි නම් ඇත්තමයි…මාවම බිල්ලට දියන්…”
“බිල්ලට දෙන්න ඕන වුණොත් එතකොට බලාගමුකෝ..යමු…”
මම ඇයව ඉදිරියට තල්ලු කරමින් අවීශ් ලා සිටි දෙසට පා තැබීමි. නදීරා නුදුරින් නැවතී අවීශ් අමතන විට මිතුරන් ගෙන් මිදී ඔහු අප වෙත පැමිණියේ නදීරා දෙසම බලාගෙනය.
“ඇයි මොකෝ සීන් එක නදීරා…?”
ඈ කිසිත් කීමට පෙරම ඔහු යමක් වටහාගෙන ඇතිවාක් මෙන් ප්‍රශ්න කළේය.
“ම්ම්ම්…මේ…එක්කෙනෙක් කොහෙද යන්න අහනවා…”
ඔහු එවර ඉක්මන් බැල්මක් මවෙත හෙළා යළි නදීරා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් දෑසේ රන්දාගෙනය.
“ඒ කොහෙද…?”
“තෙෂාරලා ගෙදර…”
“ආහ්…ඒ…මොකටද එහේ යන්නේ…? නැහැ…නැහැ…ඕන නැහැ…”
එසේ කී ඔහු වහා ආපසු හැරුණේ ඒ ගැන යළිත් කතා නොකරන්නැයි පවසන්නාක් මෙනි. මම වහා ඔහුගේ බාහුවෙන් අල්ලාගන්නා විටම ඔහු ආපසු හැරුණේ
“මොකද නදීරා මේ…?” යැයි අසමිනි.
ඒ මා බව දැක ඔහු නිහඬවම නැවතී යළිත් වරක් බැලුවේ නදීරා දෙසමය. මම ඔහුගේ බාහුව මුදා හැරියේ සිත ඉහිරී ගිය ලැජ්ජා මුසු හැඟීමෙනි.
“ඇයි දැන් එහෙ යන්න හදන්නේ නදීරා…?” ඔහු ඇසීය.
“ස්කූල් ආවෙත් නැහැනේ…මොකද දන්නේ නැහැ…ඒකනේ යමු කියන්නේ නදීරා…”
“අසනීප වෙලා නෙවේනේ නදීරා…”
“ඒ වුණාට පන්තියේ ළමයෙක්නේ නදීරා… ස්කූල් නොඑන්නෙත් මොකක් හරි ප්‍රශ්නයක් නිසාද දන්නැහැනේ…”
“අනුන්ගේ ප්‍රශ්න විසඳන්න කළින් තමන්ගේ ප්‍රශ්න විසඳන් ඉන්න එපැයි නදීරා…තමන්ගේ වැඩ පාඩු කරන් අනුන්ගේ ඒවා කරන්න යන්න ඕන නැහැ නදීරා…”
නදීරා අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ ගිරයට අහුවුණු පුවක් ගෙඩියක් මෙන් අසරණවය.
“අදට විතරක් යමු නදීරා…ගිහින් බලලා ආවා කියලා මොකුත් වෙන්නේ නැහැනෙ…මොකද්ද හේතුව කියලාවත්…ඊට පස්සේ ආයේ ඕන නැහැ…”
“ඒකට ගෙදර යන්නම ඕනද නදීරා…? කෝල් එකක් දිලා අහන්න පුළුවන්නේ…”
“ඒක වැඩ නැහැනේ නදීරා…” මම කීවේ මුහුණ ඇද කරගනිමිනි.
“අනේ මේ…මුන් දෙන්නගේ වාදේ ඉන්ටර්වල් ඉවර වෙනකල් තියෙයි වගේ…මෙන්න මෙහේ එනවා යන්න…දැන් එපා කියලා නේ කියන්නේ ඔය…”
මෙතෙක් නිහඬව සිටි නදීරා බාධා කරමින් මා අතින් අදිමින් කියන විට අවීශ් ආපසු හැරී මිතුරන් අතරට යන විට මමද නොසතුටෙන් නදීරාත් සමඟ පන්ති කාමරයට ආවෙමි.
“මදැයි…වචන ටිකත් අපරාදේ…” නොරුස්සුමෙන් මම කීවෙමි.
“ඔව්…ඔව්…නදීරා….නදීරා…කියපු ටික…මගේ කන් දෙකත් රිදෙනවා…”
විවේක කාලය අවසන්ව අවීශ්ලාද පන්තියට ගොඩ වන විට මම මුහුණ හකුළුවා ගෙන ඉවත බලා ගතිමි. නදීරාටත් පිස්සුය. නැතිනම් ඔහුගෙන් අවසර ගත යුතුද….? නොමනාපයක් මා සිතේ ඇති විය.
“අන්න…ස්කූල් ඇරිලා යමු කිව්වා…”
තේෂාන් රහසින් මට කියන විට මම පුදුමයෙන් අවීශ් දෙස බැලීමි. බුම්මාට්ටා…ඔහු ඒ මොහොතේත් සිටියේ ඉවත බලාගෙනය. මෙතෙක් වේලා සිතේ වූ දොම්නස පහව සතුටක් සිත පුරා ඉහිර ගියේය. යළිත් වතාවක් මා ඔහු ජය ගතිමි. මම නදීරා දෙසට හැරී ඇසක් ඉඟි කර යළිත් අවීශ් දෙස බලන විට ඔහුද මා දෙස බැලුවේ නෙරවා ගත් දෑසිනි. මම මඳහසක් පෑවෙමි.
“දින්නා කියලා හිතන්න එපා කියපන් තේෂාන්…”
ඔහු මට ඇසෙන්නට ගෙරවිලි හඬකින් කියන විට මම ඔහුට දිව ඇද කළෙමි. දැනටමත් මා දිනා අවසන් බව කීමට වුවමනා වුවද මම මුණිවත පිරුවෙමි.
“මූණේ තියෙන පෙම් පාට…දැන් හරිනේ…” නදීරා මා සවනට ළංව හිමින් කෙඳිරුවාය.
****** ****** ****** ****** ***** ****** *********** ****** ****** ******
අවීශ් අප කැඳවාගෙන පැමිණියද රථයෙන් බැසීමට හෝ උනන්දු නොවීය. ඔහු සිතේ තෙෂාරා කෙරෙහි කිසිදු මනාපයක් නැති බව මම දැන සිටියෙමි. ප්‍රසාද් සමඟ ඔහු රථයට වී සිටින විට නදීරාත්, තේෂානුත් සමඟ මම නිවසට පැමිණියෙමි. නිවසේ සිටින මෙහෙකාරිය අපට අසුන් පනවා තෙෂාරා කැඳවීමට ගෙතුළට නොපෙනී ගියාය. සුළු මොහොතකට පසු තෙෂාරා ආලින්දයට පැමිණියේ කුහුළින් දැල්වුණු දෑසින් යුතුව බව අපි දුටිමි.
“ඔයාලා…? මං ඒත් පුදුම වුණා…යාළුවෝ වගයක් ඇවිත් කීවාම…මාව බලන්න කවදාවත් යාළුවෝ ඇවිත් නැහැ…”
ඇගේ හඬේ පුදුමයකුත් සතුටකුත් වගේම ශෝකයකුත් රැඳී ඇතැයි කියා මට සිතිණි. ඈ අප ඉදිරියේ හිඳ ගන්නා විට ඇගේ දෑස්වල දිලිසෙන කඳුළු ගුළි දැන්, දැන් වැටෙන්නට ඔන්න මෙන්න මෙන් දිස් විය.
“ඔයා ඉතින් යාළුවෝ කියලා ආශ්‍රය කළේ කාවද…?”
තේෂාන් ඇනුම්පදයක් එල්ල කරන විට ඈ කෝපයට පත්වනු ඇතැයි කියා මා සිතූ මුත් ඈ කළේ දුක්මුසු සිනහවක් පෑමය.
“ඒ වගේ අයට යාළුවෝ කියන්නත් ලැජ්ජයි…මට නම් එපා ආයේ ඒ වගේ අය…”
ඇගේ හඬේ වූයේ කළකිරීම් මුසු බවකි.
“ඇයි ඔයා ස්කූල් එන්නෙ නැත්තේ…?” මම ඇසීමි.
“මට ස්කූල් එන්න හිතක් නැහැ…”
“ඔයාට හිතක් තියෙන්නේ…ටෙලාන් එක්ක ඇවිදින්න යන්න විතරද…? එයා නිසා ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න එපා තෙෂාරා…ඔයා ස්කූල් එන්න…කොහොම හරි එක්සෑම් ගොඩ දාගන්න බලන්න…අනික් අය හිතන දේවල් එහෙමයි කියලා එයලාට විශ්වාස කරන්න දෙන්න එපා… ඔයා කවුද කියලා පෙන්නන්න…ඔයා ගැන අනික් අය මවන් ඉන්න චිත්‍රය ඒක නෙවේ කියලා ඔප්පු කරලා පෙන්නන්න…ඔයාට ඉගෙන ගන්න පුළුවන් තෙෂාරා…ඔයා දක්ෂයි…කොල්ලෙක් නිසා ජීවිතේ අඳුරු කරගන්න එපා…පස්සේ ඔයාට පසු තැවෙන්න වෙයි…අපි ඉන්නවනෙ ඔයා එක්ක….ඒ නිසා ස්කූල් එන්න…”
මම එසේ කියා අවසන් වන විටම මෙන් ඈ මහා හඬින් හඬන්නට වුවාය. අපි තිදෙන මුහුණින්, මුහුණ බලා ගත්තේ ඈ හඬන්නට වූ හේතුව කුමක්ද කියා සිතා ගන්නට නොහැකිවය.