Featuresවත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

-

spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත් ආණ්ඩුවේ ආකර්ෂණය ඔහුය. ඒ ගැන විවාදයක් නැත. අනෙක් මැති ඇමැතිවරු විගඩමක් වී ඇති තැන ඔහු කෙරෙහි වූ විශ්වාසය තවමත් රැක ගන්නට ඔහු සමත් වී ඇත. ඇත්ත එයය. ලංකා දේශපාලන ඉතිහාසය පුරාම නායකත්වය ඇදහීම, නායකත්වය රැකීම සිද්ධ වී ඇත. මහින්ද රාජපක්ෂ හොඳයි ඔහු වටේ සිටි අය නරකයි. රණසිංහ ප්‍රේමදාස හොඳයි ඔහු වටා සිටි අය නරකයි. කාටත් එය පොදු කාරණයක් වී ඇත. අද අනුර හොඳයි වටේ ඉන්න අය නරකයි. මේ ලංකාවේ දේශපාලනය කියවන විදිහය. ඉහත ආරම්භ සියල්ල පොදු ජන මතයට කාන්දු කර ඇත. මෙරට ජනපති පත්වීම තුළ අඩුම ඡන්ද ප්‍රතිශතය ගත්තේ අනුරය. එහෙත් මහ මැතිවරණයකදී ඉහළම මන්ත්‍රි ප්‍රතිශතය දිනා ගන්නට ඔවුන් සමත් විය. ඒ සටන දියත් කළේ අනුරය. ඒ ගැන විවාදයක් නැත. 

NPP political drama

එහෙත් වත්මන් ආණ්ඩුව කන්ටේනර 323ක් පන්නන විට එයට වගකිවයුත්තකු නැත. බාල ගල් අඟුරු ගෙනැවිත් බාල වැඩ කරද්දී ඊට වගකිව යුත්තකු අදටත් නැත. ඉන්දියාව සමඟ හොර රහසේ ගිවිසුම් ගත කර අස්සන් කොට ඒ මොනවාදැයි වසර දෙකක් යන තෙක් රටට හෙළි නොකර හිඳීම මේ ආණ්ඩුවේ වැඩක් යැයි කීමට විපක්ෂයේ වුව කිසිවකු නැත. භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 තවමත් අබිරහසක් වන අතර එය එසේම වන්නට ඉඩ හැර සිටීම ආණ්ඩුවේ අමුතු දක්ෂකමක් වී ඇත. වත්මන් ආණ්ඩුව වංචාව, දූෂණය නවත්වා ඇති බැවින් එයම වටිනවා යැයි කීමට ජන මතය පුරුදු කර ඇත. මේ අය හොරා කන්නෙ නැහැනේ. ඒ මදැයි කීමට ජනතාව පුරුදු කර ඇත. ඒ අතින් මේ ආණ්ඩුව ඉස්තරම්ය. මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ගිය වසරේ ඉදිරිපත් කළ වත්කම්, බැරකම් දුටු ජනයා ඔළුවේ අත ගසා ගත්තද ඊට අදාළ හේතු දැක්වීමේදී නැවත ඔළුව පොළොවේ ගහ ගන්නා මට්ටමට පත් විය. ඒ තරමට කතා තොගයක් මතු වී අවසානයේ ‘ඔව් සල්ලි තියෙනවා ඇයි මොකද?’ කියන තැනට පත් විය. ගම්මිරිස් විකුණා ලබන මුදල්, ටියුෂන් කර ඉපැයූ මුදල්, ඉඩම් විකුණා ඉපැයූ මුදල් කොටහළු මඟුලෙන් ඉපැයූ මුදල් එමටය. මේ සියල්ල ඇදුණේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ වීම නිසාය. වසන්ත සමරසිංහ කෝටි 29ක් පමණ මුදල් උපයා තිබුණේ දහඩිය මහන්සියෙන්මය. ලාල්කාන්ත වුව සාධාරණ විදිහට ඉපැයූ මුදල්ය. සෙසු අයද එසේමය. එබැවින් කතා කීවෝ ගොළු වී කාලය ගෙවී ගියේය.

k.d.lalkantha

ප්‍රශ්නය තව වටයකින් එළි වීමට නියමිතය. එදා තුෂ්නිම්භූත වූ අය මෙදා පොළොවේ පස් කන මට්ටමට වත්කම් බැරකම් වසරක් ඇතුළත ගොඩ නැඟී ඇතිවාට සැක නැත. එහෙත් එය මෙවර ජනතාවට බලාගත හැකිවේද? තවමත් ඉතිරි පැනයකි. ගිය වසරේ මේවා ප්‍රසිද්ධ වූ කල සිට මේ ලියුම්කරු ගෙනා තර්කය නම් නැවත ඔය ප්‍රකාශ බැලිය නොහැකි බවය. ඊට කුමන හෝ ජිල්මාට් එකක් දමන බවය. පනත එහා මෙහා කර සියල්ල වසා දමන බවය. එයට අදාළ තුරුම්පුව ආණ්ඩුව ගැසුවේය. එනම් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා 2026 ජූලි 24 දිනැති ගැසට් පත්‍රයේ පළ කරන ලද පනත් කෙටුම්පතේ, වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනයා විසින් භාවිත කළ හැකි ආකාරය සීමා කිරීමට යෝජනා කළේය. මේ ගැන ලොකු සංවාදයක් පහුගිය දින කිහිපයේ ඇති විය. වමේ දූෂණ නැති අවංක ආණ්ඩුවේ හෙළුව වසාගෙන සිටි සළුව ඉබේම කඩා වැටුණි. මේ ආරක්ෂාව කුමක්ද වසරක් ඇතුළත ලබා ඇති ශීඝ්‍ර වර්ධනය වසා හෙළි වීම වසා දැමීමය. එහෙත් එය කැත බව වැටහුණු කළ ඒ පිළිබඳ කිසිත් නොදත් ජනපති මැදිහත් වී එය මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් අදාළ නොවන පරිදි වෙනස් කිරීමට යෝජනා කළ බවට පුවතක් නිර්මාණය විය. එතැන් සිට කතා බහ ජනපති ගැනය. ජනපති නොදැනුවත්ව සෙසු ඇමැතිවරු තම ගැලවුමට ගෙනා වගන්තිය ජනපතිට සැල වූ වහාම ඉවත් කර ඇත. ජනපති නොදැනුවත්ව වුවහොත් මිස දැනුවත්ව එවැනි ඔල මොට්ටල වැඩ සිද්ධ විය නොහැකි බව දැන් පැහැදිලිය. එබැවින් ජනපති වර්ණනාව උපරිම ජයටම සිද්ධ වේ.

NPP political drama

එසේනම් මෙවැනි සංශෝධන ගෙන එන්නෙ කවුද? ජනපතිට හොරා මේවා ගෙන එන්නෙ ඇයි? සමාජයෙන් විරෝධයක් නොආවේ නම් ජනපති මෙවන් සංශෝධනයක් ගැන නොදනී. එසේ නම් එය ඉබේම සම්මත වේ. ජනපති මැදිහත්ව එම සංශෝධනයේ මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් අදාළ නොවන පරිදි වෙනස් කරන්නැයි කීම වීර ක්‍රියාවක් වී ඇත. එසේනම් ඉදිරි මාසවලදී මහජන නියෝජිතයන්ගේ වත්කම් නැවත දැක බලා ගැනීමට හැකිවනු ඇත. වසන්තලාගේ, ලාල්ලාගේ උත්සාහයේ ප්‍රතිඵල දැක බලා ගත හැකිය. මර්වින් සිල්වා අභිභවා ගිය ඒ විශ්මිත ඉපයීම් හෙළිවනු ඇත. විකාරය. ජනපති එසේ කීවේය, මෙසේ කීවේය ලොකු ඇගයීම් වුවද එක වත්කමක් එළියට ඒදැයි බැලීම වටී. ස්ථිරවම කිව හැකිදේ නම් ඒ කිසිවක් මෙවර ප්‍රසිද්ධ නොවන බවය. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලන තොරතුරු නොදෙන මේ ආණ්ඩුව මෙවර ගියවර සෙල්ලම නටන්නට ඉඩ දෙන්නෙ නැත. එය අනිවාර්යය. ජනපති වගන්ති වෙනස් කළද කිසිවක් වෙනස් නොවන බව පැහැදිලිය. මේ ඒ මොහොතට එන ප්‍රශ්නය බේරා ගැනීමකි. ඊට මේ ආණ්ඩුව උපන් හපනුන්ය. මේ ආණ්ඩුව යටින් සියල්ල කරමින් සිටින අතර උඩින් ඒ කිසිවක් නොවන ගානට ඉන්නට සමතුන්ය.

NPP political drama

ගිය වසරේ ප්‍රසිද්ධ වූයේ වත්මන් ආණ්ඩුවේ අවංකයන්ගේ වත්කම්ය. එය ජවිපේ සාමාජිකයන්ගේ වුව ඇස් එළියට පනින හෙළිවීම් විය. හැමදේම එකිනෙකාගෙන් ඉල්ලාගෙන භුක්ති විඳි සහෝදරවරු කෝටිපතියෝ බව දැනගත් කළ එතෙක් ජවිපේ සඟවාගෙන සිටි ලෝකය රටටම හෙළිදරවු විය. ඔවුන් රැකියාවක් නොකර එතරම් කෝටිපතියන් වීමේ රහස කොටහළු මඟුල් පවා පෙන්වා වසා ගැනීමට දඟලන දැඟලිල්ල විළි ලැජ්ජාවේ බැරි විය. පොල්කොට උඩ වේදිකා හදාගෙන ටියුෂන් කළ යුගයට පවා යන්නට විය. තම බිරියගේ වැටුපෙන් ජිවත් විය නොහැකි බව ප්‍රසිද්ධියේ කී ලාල් කාන්ත අනුරාධපුර භූමි භාගයක පමණ හිමිකරු බව දැන ගන්නට ලැබීම රටම ලැබූ භාග්‍යයකි. මෙතරම් වත්කම් තබාගෙන මුදල් තබාගෙන ටී. බී. සරත් කියන පරිදි හකු බස්සාගෙන වැඩ කර ඇත්තේ රට වෙනුවෙනි. මෙවැනි සහෝදරයෝ මොන රටක වෙසෙත්ද? එසේ නම් ඔවුහු දැන් සැප විඳිය යුතු නැද්ද? හොරාට දුක් විඳි අය ප්‍රසිද්ධියේ සැප විඳිය යුතු නැද්ද? සරත් අහන්නෙ එය නොවේද?

එසේනම් මේ හදිසියේ නව සංශෝධනයක් ගෙනාවේ කවුරු වෙනුවෙන්ද? රජයේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට සහ සභාපති ධුරවලට පත් වූ පෞද්ගලිකත්වයට හානි වේයැයි බියෙන් රජයේ තනතුරුවලට පත් වීමට මැළිකමක් දක්වන බව එම වගන්ති වෙනස් කිරීමට හේතුව බව ආණ්ඩුව දක්වන මතය. මෙය මොන තරම් කෙප්පයක්ද? ගිය වසරේ එලෙස ප්‍රසිද්ධ වූ නිලධාරීන්ගේ වත්කම් මොනවාද? ජනතාව ඒවා ඉල්ලනවාද? අනෙක් අතට නිලධාරීන් වුව තමන් අවංකව ඉපැයුවේ නම් ඒවා හෙළිවනවාට බය ඇයි? එවැනි හෙළිවීම් වන නිසා රාජ්‍ය සේවයට එන්නට බිය වනවා යැයි කීම මොන තරම් ප්‍රලාපයක්ද? එය ගෙනාවේම මහජන නියෝජිතයන්ගේ හෙළුව වසා ගන්නට මිස වෙන දෙයකට නොවේය. ඉන්ද ජවිපේ කට්ටියගේ වත්කම් ප්‍රසිද්ධ වීම වළක්වා ගන්නටය. එය ජනපති වළක්වා ඇතැයි දැන් හැමෝම පස්වනක් ප්‍රීතියට පත්වේ. එහෙත් එය කිසිදු වෙනසක් වෙතැයි නොසිතේ. වෙනසක් වී ඇත්නම් ජවිපේ ඇමැතිලාගේ වත්කම් ප්‍රසිද්ධ වනු ඇත. එය මෙවර එසේ නොවන බව කැට තබා කිව හැකිය. තව නොබෝ කලකින් එහි ඇත්ත නැත්ත දැක බලා ගත හැකිය. කෙසේ වෙතත් මේ සිද්ධිය හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන ජනපති ගත් ක්‍රියා මාර්ගයට යම් සහනයක් ලැබී ඇත. එහිදී අඩියක් තබා අඟලක් පස්සට නොගිය ජනපති මෙම වගන්තිය වෙනස් කිරීම නිසා ජනතා වීරයෙක් වී ඇත. විශ්‍රාම වයස දීර්ඝ කරන එක ජනපති දැනුවත්ව කරන නිසා එයට මැදිහත් වීමට ජනපතිට වුවමනා නැති බව ඉන් පැහැදිලිය. එය ජයගත් පසු මේවා ඉබේටම හරි යන බව ජනපති හොඳාකාරව දනී. ඉන්පසු ඕනෑම දෙයක් පහසුවෙන් කරගත හැකි බව ඔහු දනී. රටේ අවැඩ තීරණ ගනුයේ ටිල්වින් සිල්වා ප්‍රමුඛ පිරිසය. එය යහපත් කරනුයේ ජනපතිය. මේ සමාජයට දී ඇති විශ්වාසය වේ. මේ සේරම එකය. ජනපති මේ සියල්ලෙහිම පෙරමුණේ රාලය. ඔහු යනුයේ ඔහුගේ ගමනය. රට චීන ක්‍රමයට යනවාද? තනි පක්ෂ ක්‍රමයට යනවාද? යන්න ටිල්වින් සිල්වාගේ පමණක් අදහසක් නොවේ. ජනපති මේ ඒකාධිපති බලයෙන් උමතු වී ඇත. ඔහු දූෂිතයන් හිරේ යවා ගෙදර යතැයි සිතන අය එසේ සිතනුයේ කපටි කමටය. අනුර කාගෙත් මිතුරාය. ඒ නිසා සැවෝම ඔහු පමණක් හොඳ කර ටිල්වින් බිමල්ලා ප්‍රමුඛ නඩය වැරැදි කරුවෝ කර ඇත.

NPP political drama

පහුගිය කාලයේ සිදු වූ හැම ප්‍රශ්නගත සිදුවීමක් පිටුපස සිටියේ අනුරය. ඔහුගේ අමාත්‍යාංශය. එහෙත් කිසිවකු ඒවා ප්‍රශ්න කරනු දක්නට නොලැබිණි. කන්ටේනර් පැන්නීම බිමල්ගේ කරමත තබා ඉවත් වීමට ජනපති උත්සාහ කළද එහි මුල් වගකිව යුත්තා ඔහුය. භාණ්ඩාගාරය සාංඝික දේපළක් ලෙස රකිනවා කී අනුර එහි මුදල් අතුරුදහන් වෙද්දී වචනයක් නොකියා මුනිවත රකිමින් සිටී. කිසිවක වග නොවන මේ ආණ්ඩුවේ සියලු පව් ජනපති කර නොගසා වෙන වෙන අයට පවරනු පෙනේ. ඒ අතර පාර්ලිමේන්තුවට පැමිණ කතාවක් කර මෙවැනි සංශෝධනයක් ඉවත් කර හොඳ ප්‍රතිරූපයද ගොඩනඟා ගනී. එයට ආවඩන එයට දිරි දෙන බළකාය මේ නොකියා කියනුයේ අනුර කෙරෙහි තවමත් විශ්වාස කළ හැකි බවය. ඒ අතින් බලන කල අනුර වැරැදි නැත. ඔහු ඉතාම අපූරුවට පොළොවේ දේශපාලනය කියවමින් සිටී. ඊට අවැසි ලෙස චරිතයට පණ පොවමින් සිටී. දැන් කට්ටියම අපූරුවට ඇන්දෙමින් සිටී. ඉතිරිය මහජන නියෝජිතයන්ගේ වත්කම් බලා කතා කරමු. වගන්තිය ඉවත් කළ නිසා එය දැක බලා ගත හැකිය. එය දැක බලා ගැනීමට හැකි වුවහොත් කතා කරමු.

Tiran Kumara Bangagamaarachchi
ටිරන් කුමාර බංගගම ආරච්චි විසිනි.

Latest news

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...
- Advertisement -spot_img

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you