NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 10

Tharu Mal Viyan තරු මල් වියන් – 10

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

මේනකගේ විවාහය සිදුවූයේ ඉතා චාම්වය. තාත්තාත් පුංචි අම්මාත් එයට සහභාගී වනු ඇතැයි කියා නොසිතුවද ඔවුන් පැමිණියේ නැන්දාත් පුදුම කරවමිනි. පුංචි අම්මා නම් අංජලීට මුහුණ දුන්නේ ලැජ්ජාව මුසුව යැයි කියා ඇයට සිතිණි. ඈ තාත්තා සමඟ කෙසේ වුවද පුංචි අම්මා සමඟ සුහදව කතා බහ කළාය.

“අපි ඔයාව අතෑරලා දැම්මා කියලා හිතන්න එපා දුව…”

ශෝකී හඬකින් පුංචි අම්මා කියන විට ඈ ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළාය. මල්ලීට දැන් සය වසරකි. අම්මාගේ මරණයේ උණුසුම යෑමටත් පෙර තාත්තා ඇයව විවාහ කර ගැනීම දැන් ඇයට වැටහේ. කළකිරීම් මුසු හැඟීමක් සිතට නැඟුණද ඈ වහා ඒ හැඟීම සිතෙන් පලවා හැරියේ ගෙවුණු අතීතය ගැන දැන් සිතා පලක් නොවන බව වටහාගෙනය. රංගිකාත් ගයානිත් අංජලී වෙත පැමිණියේ ඡායාරූප ගැනීමට ඇයව කැඳවාගෙන යෑමටය.

“අද මෙයාගේ ලස්සන…”

මාලක ඈ වෙත ළංව රහසින් කීවේය.

“අද විතරද….?”

අංජලී ඇසුවේ ලැජ්ජා මුසුවය.

“ඔව්..ඔව්…මේකප් එක නිසා…”

මාලක කීවේ ඇයව අවුස්සන්නටය. ඈ මුව ඇද කරගෙන ඔහු අසළින් මෑත් වූවාය. නැන්දාට දැන් ගිම්හානි සිටින නිසා පාළුවක් නැත. ඇයද ටික කලකින් මාරුවීමක් ගෙන පැමිණෙනු ඇත. අංජලීද සති අන්තයේ පන්තිය නිම වී නිවසට පැමිණියේ ගිම්හානි කළ ඉල්ලීමටය.

“මෙයාට මං කිව්වොත් තමා බැරි…නෑනා කියන්න ඕන ගෙදර එන්න…”

මාලක ඇයව අල්ලාගෙන කිවේ කිසිවෙකු අසල නැති විටකය.

“එහෙම තමා…ඔයාට ජෙලද…?”

“ඔව්…වෙන වැඩ නැතුවට…”

“ජෙල නේන්නම්…ඒකනේ ඔය කියවන්නේ…”

ඈ ඔහු කෙරෙන් මෑත් වෙමින් කීවේ නැන්දාත් මාමාත් නිවසේ සිටි බැවිනි. තමා නිවසේ නැතැයි කියා තම කාමරය කිසිදු වෙනසක් කර නොමැත. වෙනසකට ඇත්තේ කාමරය පිළිවෙළකට අස් පස් කර තැබීම පමණි. කොහේ සිටියත් නිවස තරම් තැනක් නැතැයි කියා ඇයට සිතිණි. එනමුත් මේද තමාට අයත් තැනක් නොවේ යැයි කියා ඇයට හදිසියේ සිතිණි. කෙදිනක හෝ මේ නිවසින්ද පිටව යෑමට දිනක් උදාවනු ඇත. එවිට තමා පිටව යා යුතු නොවේද…? මවගේ මරණයෙන් පසුව කුරුණෑගල නිවස කුලියට දෙනු ලැබිණි. මාමා ඉඳහිට එහි ගොස් වත්ත පිටිය පිළිබඳව සොයා බලා පොල් කඩන දිනවලට පොල් විකුණා එම මුදල්ද තම ගිණුමේ තැන්පත් කරනු ලබන බව ඈ දැන සිටියාය. ඈ ඒ පිළිබඳව කිසිත් සොයා බලන්නට උනන්දුවක් දැක්වූයේ නැත.

“කවදා හරි ඔයාට හොඳ දෑවැද්දකුත් තියනවානේ…බය වෙන්න එපා ඒ නිසා…”

වරෙක මාමා කීවේ විහිළුවට මෙනි. සීයා මාමාගේ නමට ඉඩම ලියන්නට යන විට මාමා සිය කැමැත්තෙන්ම එය අම්මා නමට ලියන්නට යැයි පැවසූ බවක් අම්මා අංජලී හා පැවසුවේ පසු කලෙකය.

“මොනවද අනේ කාමරේට වෙලා කල්පනා කරන්නේ…?”

ගිම්හානිගේ හඬ ඇසී අංජලී තිගැස්මෙන් හැරී බැලුවාය.

“මොකුත් නැහැ අක්කේ…”

සැහැල්ලු සිනහවක් මුවට නංවාගෙන අංජලී කීවාය. ගිම්හානි විත් ඈ පසෙක යහන මට හිඳ ගත්තාය.

“ඉතින්…?”

“ඔයා කියන්නකෝ…කොහොමද මෙහෙ හොඳද…?”

ගිම්හානි අසන විට අංජලී පෙරළා ඇසුවාය.

“හරී ෂෝක්…උදේට තමා කම්මැලි…අම්මයි තාත්තායි වැඩට ගියාම…”

“ඔයාට ට්‍රාන්සර් එක ඉක්මනට ලැබෙයිද අක්කා…?”

“බලන්න ඕන…මැරි කරලා පදිංචිය මාරු කරනවා කියපු නිසා චාන්ස් එකක් තියෙයි…”

“ඉක්මනට හම්බුණොත් හොඳයි නේද…?”

“ඔව්…ඒත් ඉතින් දන්නවානේ…බලමු…”

කෙටි සුසුමක් පා කරමින් ගිම්හානි කීවාය. මාලක පිටතින් ජනේලය අසලට පැමිණියේ ගිම්හානිද එහි සිටින බව නොදැනය.

“ආහ්…”

ඔහු එසේ කියා වහා නොපෙනී ගියේ ඔවුන් කිසිත් ඇසීමටත් පෙරය.

“මොකද එයා පැනලා ගියේ…මොකක් හරි හොර වැඩක්…”

ගිම්හානි කීවේ සිනහසෙමින් වුවද අංජලීගේ සිතේ ඇති වුයේ තිගැස්මකි.

“මං නංගිගෙන් අහන්නමයි හිටියේ…”

ගිම්හානි කියන විට අංජලී ඈ දෙස බැලුවේ තරමක චකිතයකිනි. එකත් එකටම ඒ මාලක ගැන විය යුතු යැයි කියා අනුමානයක් ඈ සිතේ ඇති විය.

“මොකක්ද අක්කේ…?”

සිතේ වූ කැළඹීම පිටතට නොපෙන්වා ඈ ඇසුවාය.

“මෙහෙම ඇහුවට නංගී මා එක්ක තරහ වෙන්න එපා…ඔයයි මල්ලියි අතරේ අෆෙයාර් එකක් තියනවද…?”

අංජලී සිතූ දේ නිවැරදිය. ගිම්හානි එය වටින් ගොඩින් නොවිමසා ඍජුවම ඇසුවාය. දැන් තමාද එයට ඍජු පිළිතුරක් දිය යුතුය.

“ඔව්…අක්කේ…”

සිත තුළ වූ තැතිගැන්ම සඟවාගෙන ඈ කීවාය.

“හ්ම්ම්…මට තේරුණා…”

එසේ කී ගිම්හානි මොහොතකට නිහඬව සිටියාය.

“එයා නිතරම ඔයාට කතා කරනවා නේද…?”

“අනේ නැහැ අක්කේ…වැඩ එක්ක නිතරම කතා කරන්නේ නම් නැහැ…ඒත් ඉඳලා හිටලා රෑට නම් කෝල් එකක් ගන්නවා…ඒත් වැඩි වෙලා අපි කතා කරන්නේ නැහැ…”

ගිම්හානි පුදුමයෙන් බලා සිටියාය.

“එහෙමද…?”

ඈ ඉන්පසුව කිසිත් නෑසුවාය.

“නැන්දලා දන්නවද අක්කා…?”

අංජලි ඇසුවේ බියෙනි.

“මං හිතන්නේ නම් නැහැ…අම්මලා දන්නවා කියලා…ඒත් නංගී…ඔයා පරිස්සමෙන්…මං නම් මේකට කැමති නැහැ…තේරුණාද…අම්මලා වුණත් කැමති වෙයි කියලා හිතනවද ඔයා…?”

එය නම් ඇයටද විශ්වාස නැත. ඈ හිස සෙළවූයේ නැතැයි අඟවන්නටය.

“මේනකගේම මල්ලි වුණත් මටත් එයා ගැන කිසිම විශ්වාසයක් නැහැ…”

ගිම්හානි එසේ කියා නිහඬ වූයේ අංජලීට සිතන්නට යමක් ඉතිරි කරමිනි.

“මං ඔයාව ගෙන්නගෙන ඔයාට අමතර බරක් පැටෙව්වා වගේ…”

ගිම්හානි යළිත් කියන විට අංජලී සිනහවක් මුවට නංවාගන්නට උත්සහ දරමින් ඈ දෙස බැලුවාය.

දින කීපයක පටන් අංජලී සිටින්නේ කණස්සළු මුසුව බව රංගිකාත් ගයානිත් දැන් සිටියා සේම එයට හේතුවත් දැන සිටියද ඇගෙන් හාරා හාරා ඒ ගැන විමසන්නට වීමෙන් ඈ තව තවත් කණස්සල්ලට පත්වන බව දන්නා නිසා නිහඬව සිටියෝය.

“අංජලීගේ මූඩ් එක හරි නැහැ…මොකක් හරි අවුලක්ද…?”

දහවල කෑම ගනිමින් සිටින විට මියුර ඇසුවේ ඈ දෙස නිරීක්ෂණාත්මකව බලා හිඳ අනතුරුවය.

“ආහ්…ඇයි එහෙම ඇහුවේ…?”

තිගැස්මෙන් යුතුව ඈ විමසුවාය.

“මට ඔයාගේ හිත කියවන්න පුලුවන්…”

මියුර කීවේ විහිළුවටය.

“අපි දැනන් හිටියේ නැහැනේ මෙයාට අනුන්ගේ හිත් කියවන්න පුළුවන් කියලා…”

හිමානි කීවාය.

“ඒකනේ පරචිත්ත විඥාණනය කවද්ද පහළ වුණේ…?”

රංගිකා විහිළු කළද මියුර ඒ ගැන සැළකිල්ලක් නොදක්වාම අංජලී දෙස බල සිටියේය.

“ඒවා ඕන නැහැ…මූණ දැක්කාම පේනවා…මං හරිද අංජලී…?”

ඈ කිසිත් නොපවසා බත් කටක් අනන්නට වූයේ බිමට නැඹුරු කරගත් හිසිනි.

“ඔයාට එයාගේ හිත දැනෙන්නේ…ඔයා එයාට හුඟාක් ලෙංගතු නිසා වෙන්නැති…එහෙම වුණාම ඒ වගේ දැනෙනවා…”

රංගිකා කියන විට තුෂර බලා සිටියේ අංජලී දෙසමය.

“ඔහොම කියන්න එපා…සමහර අයට ජෙල…”

සෙනුර කීවේ තුෂර දෑසින් පෙන්වමිනි. එය ඉඟි බිඟියෙන් පවසන්නට වුවමනා නැත. සැවොම ඒ ගැන දන්නෝය. කෙසේ වුවද අංජලී පසුවන්නේ අපහසුවෙන් බව දැන ගයානි කතා බහ වෙනතකට යොමු කළාය.

“කෑම කාලා කන්න බඩ්ඩක් තියනවා…”

ඈ අගේ කරමින් කීවාය.

“මොනවද අප්පා ඒ…”

හිමානි ඇසුවේ මවිතයෙනි.

“අයියා චොක්ලට් එවලා තිබුණා යාළුවෙක් අතේ…”

“ෂා…මරුනෙ…”

හිමානිත් රංගිකාත් කෑ ගැසුවේ එක්වරමය.

“කෑම නොකාපු අයට චොකලට් නැහැ…”

මියුර කීවේ අංජලී අවුස්සන්නට සිතාය.

“ආහ්…ඒවා කොහෙද…චොක්ලට් මගේ ෆේවරිට්…”

අසුන මතින් නැඟී සිටි ඈ මියුරගේ මුදු මුදු කෙස් රැළ් අතින් අවුල් කරමින් සෝදන බේසම වෙත යන විට මියුර කෑ ගැසුවේය.

“කොණ්ඩෙට අත තියන්න එපා…බොහොම අමාරුවෙන් හදා ගත්තේ…”

“අපෝ මහ ලොකු කොණ්ඩේ…පාරේ හිටන් හිටියොත් කාක්කෝ කූඩුත් හදයි…”

අංජලී කියන විට සැමදෙන අතර පැතිර ගියේ උස් සිනාහඬකි. පසුදින උදැසන අංජලී කාර්යාලයට පැමිණෙන විට ඇගේ මේසය මත චොක්ලට් පිරුණු වට්ටියක් තිබුණේ ඇයවත් රංගිකාත් මවිත කරමිනි.

“වාව්…චොකලට්…”

රංගිකා කෑ ගැසුවාය.එහි කුඩා කාර්ඩ් පතක අංජලීගේ නම සටහන්ව තිබිණි.

“ඔයාට…”

රංගිකා කීවාය.

ඒ නම් තුෂරගේ ක්‍රියාවක් වන්නට ඇතැයි කියා එකත් එක්ටම දෙදෙනම සිතූහ. අංජලී ඒ වෙත හෙළුවේ උදාසීන බැල්මකි. තුෂරගෙන් මේ පිළිබඳව අසන්නට නොහැකි නිසා ඈ නිහඬව සිටියාය. අංජලී එය ගෙන කිසිදු තැකීමක් නොකරම කබඩය මත තබන සැටි රංගිකා බලා සිටියේ මවිතයෙනි. ඈ චොකලට් වලට කෙතරම් ප්‍රියදැයි කියා ඈ දැන සිටියාය.

“ඕක ඔතන තියන්නේ ඇයි…?”

රංගිකා ඇසුවේ එය එව්වේ තුෂර නම් ඔහු එය දකින විට සිත රිදවා ගනු ඇතැයි සිතාය.

“මේක මෙතන තියන්න ඇත්තේ කවුද කියලා ඔයා දන්නවානේ රංගි…මට තුෂරගෙන් මොකුත් ගන්න බැහැ…”

“කොහොමද කියන්නේ තුෂරමද කියලා…?”

අංජලී දෑස් නෙරවා මිතුරිය දෙස බැලුවාය.

“එයා නැතුව වෙන කවුද…?”

ඈ අසන විට රංගිකා දෙවුර සැළුවාය.

“සිකුරිටි දන්නවා ඇතිනේ…”

රංගිකා කියන විට අංජලී ආරක්ෂක නිලධාරීන් සිටින කාමරයට ඇමතුමක් ගෙන ඒ පිළිබඳව විමසන විට පැවසුවේ එය පිටතින් පැමිණි අයෙකු ඇයට දෙන ලෙස පවසා භාර දුන් බවය. ඈ සිතේ මවිතයෙන් යුතුව රංගිකා දෙස බැලුවාය.

“ඇයි…?”

“පිටින් ආව කෙනෙක් අංජලී මිස්ට දෙන්න කියලා දුන්නාලු…”

අංජලී කියන විට රංගිකාද පුදුමයට පත් වූවාය.

“කවුද අනේ…ඔයා චොක්ලට් වලට ආසයි කියලා දන්නේ…?”

රංගිකාද අසන විට අංජලී දෙවුර සැළුවා විණා කිසිත් නොකීවාය. කෙසේ වුවද එය මිතුරන් අතරේ බෙදා දුන්නා මිස අංජලී එයින් එකකට හෝ අතක් නොතැබීමට ප්‍රවේශම් වූයේ සිතේ වූ පුදුමය කුතුහළය නිසාමය. දින ගණනාවක් යන තුරු ඈ ඒ පිළිබඳව සිතුවාය.

-7 වෙනි සඳුදා නැවත හමුවෙමු-

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you