Pini Muthu Palasa පිනිමුතු පලස
පරිසරය යළිත් අඳුරු වුණේ වැස්සක පෙර නිමිති කියා පාමිනි. තරුෂි කතා කරන තුරු මම සිඟිත්තා දෙස බලා සිටියෙමි.
“මංදි..”
නැවත ඇගේ හඬින් මම සිඟිත්තා කෙරෙන් දෑස් මුදවාගෙන තරුෂි දෙස බැලීමි.
“මට ඔයා ගැන දුකයි මංදි…ඔයාගේ අනාගතේ මොනවගේ වේවිද කියලා හිතනකොට මට බයක් දැනෙනවා…ඔයා අම්මා ගාවට යන එක තමා හොඳම දේ…
ඈ පැවසුවේ මා කෙරෙහි උපන් අනුකම්පාවෙන් බව මම දනිමි.
“මේ ලෝකේ මට අනුකම්පා කරන එක්කෙනෙක් හරි ඉන්නවා කියලා හිතන කොටත් මට සතුටක් දැනෙනවා…”
මඳහසක් මුව මත තවරාගෙන මම කීවෙමි.
“ඒක අනුකම්පාව නිසා නෙවේ…ඔයා ගැන තියන ආදරේ නිසා කිව්වේ…රජිව් අයියා වුණත් වෙන කෙනෙක්ව මැරි කරයි කියලා හිතන්න බැහැ…මිස්ගේ වුවමනාවට හරි එයා කාව හරි මැරි කළත් එයා සතුටින් නම් ජීවත් වෙන එකක් නැහැ කියලා නම් මට විශ්වාසයි.”
“මට බයත් හිතෙනවා තරූ…එයා මෙහෙම හැසිරෙන්න්න එක හේතුවක් තමා මම රට යනවා කියපු එක…මිස් ඒකටත් මට හින්ට් එකක්ද මංදා ගැහුවා…”
“මොකක්…?”
ඈ පුදුමයෙන් විමසන විට මම එම සිදුවීම ඈ හා පැවසුවෙමි.
“එයා බය වුණාද දන්නැහැ…කොහොම වුණත් මංදි…රජිව් අයියාත් තේරුම් ගන්න ඕන…මිස් කවදාවත් මේ දේට නම් කැමති වෙන්නේ නැහැ කියලා…ඔයාටත් ජීවිතයක් තියෙන්න ඕන…හැමදාම අනුන්ගේ තැන්වල වැටිලා ඉන්න බැහැ…එයාලගේ අවශ්‍යතාවය ඉටු වුණාට පස්සේ…ඔයාව නිකම්ම පැත්තකට විසි වෙයි…මිස් ඔයාට රජිව් අයියාව තැටියක තියලා පිළිගන්වන්නේ නැහැ මේන් කියලා…”
ඒ කතාවට නම් මා මුවට සිනහ නැඟිණි. එය කිසිදිනක සිදු නොවන බව මමද හොඳාකාරවම දනිමි.
“ඔය කියන දේ කවදාවත් වෙන්නේ නැහැ කියල මං හොඳටම දන්නවා තරූ…”
“හ්ම්ම්…ඔයා ඉක්මනට මෙහෙන් යයි නේද…?”
ඈ අසන විට මම සුසුමක් හෙළමින් ඊට හිස සැළුවෙමි.
පසුදින තරුෂි මට ඇමතුමක් දී කීවේ අයියා මා සොයාගෙන ඇගේ නිවසට පැමිණි බවත් වහාම නිවසට පැමිණෙන ලෙස දැන්වූ බවත්ය. අම්මා ඔහුගේ ආයතනයේ අංකයට ඇමතුමක් දී මා පිළිබඳව විමසා ඇති බවත් අද හෙටම මට විදෙස් ගත වීමට කටයුතු සූදානම් බවත් අයියා විසින් ඇයට දන්වා තිබිණි.
මම ඒ පුවත චිත්‍රා මිස්ට දැන්වූයෙමි.
“ආහ්…ඒ කියන්නේ ඔයාට යන්න වෙනවා…?”
ඈ ඇසුවේ මවිතයෙන් මෙනි.
“ඔව්…මිස්…මං යන්න එපැයි…”
“හ්ම්ම්…මොනව කරන්නද ළමයෝ…”
ඈ කීවේ එපමණකි.
“මං දැන් ගොඩක් දවස් මෙහෙ හිටියානේ මිස්…රජිව් අයියාටත් දැන් හොඳයිනේ…”
“ඔව්…ඔව්…මට තේරෙනවා…”
සුසුමක් හෙළමින් ඈ කීවාය. මම කාමරයට පැමිණ සූදානම්ව යළි පිටතට පැමිණෙන විටත් චිත්‍රා මිස් ආලින්දයේ අසුනක් මත හිඳගෙන කල්පනා බරව බලා සිටියාය. රජිව්ගේ කාමරයට ගොස් මම ඔහුගෙන් සමුගන්නට සූදානම් වුවද ඔහු තවමත් සුව නින්දකට වැටී සිටිනු දැක කාමරයෙන් පිටතට පැමිණියෙමි. සිතට දුකක් නොදැනුණා කියා මම නොකියමි. එය වචන වලින් පැවසිය නොහැකි තරමට දුකකි. එසේ මුත් මා යා යුතුය. ඔහුට නොකියා පිටව යන්නටද මසිත ඉඩ නොදෙන සෙයකි.
“පුතා නිදි නේද…?”
චිත්‍රා මිස් පහත් හඬින් මා විමසුවාය.
“ඔව් මිස්….නින්ද ගිහින්…”
“මෙහෙන් වාඩිවෙන්නකෝ ටිකක්…”
ඇඳුම් බෑගය පසෙක තබා මම ඇයට කීකරුව ඈ අසල වූ අසුනක හිඳ ගතිමි. කිසිත් නොකී ඈ කළේ දිගු හුස්මක් ඇදීමය.
“පුතා නිදි වෙලේ ඔයා යන එක හොඳද මංදා…එයා ඇහැරියාම ගියා නම් තමා හොඳ…”
“එයා නිදි වෙලේම ගියා නම් තමා හොඳ මිස්…”
එයට එකඟ නොවී මම කීවෙමි.
“ඒත් ඉතින්…පුතා ඇහැරිලා ඔයා ගැන අහනකොට මට තමා උත්තර බඳින්න වෙන්නේ…එයා හිතයි මම ඔයාව පිටත් කරලා යැවූවා කියලා…”
නොසතුටු හඬකින් මෙන් ඈ කීවාය. ඈ කියන්නක් මා කරන්නේ කුමකටද කියා මම සිතුවේ නොමනාපයෙනි.
“මිස් මට යන්න කිව්වේ නැහැනේ…අනික අයියා මාව හොයන් තරූලා ගෙදර ආවා කියලා කිව්වාම හරිනේ මිස්…”
මමද කීවේ සිත තුළ උපන් නොපහන් හැඟුමෙන් යුතුවය.
“ඔයා දැන් මොකේද යන්නේ…?”
“පාරට ගියාම ත්‍රී වීල් එකක් හම්බෙයි මිස්…”
“අනේ…දරුවෝ….මම ඔයාට ස්තූති කරලා මදි…”
ඈ තව දුරටත් කතාව කරගෙන යාමට සූදානම් වන බවක් පෙනෙන්නට වූ නිසා මා සිත නොඉවසිළිමත් විය. තව සුළු මොහොතකින් ඇඳිරි වැටෙනු ඇත. මා ඉක්මනින් පාරට යා යුතුය.ඇයට ඒ බවක් නොවැටහෙන සැටියකි.
“ඔයා අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කළා ළමයෝ…මම එදා ඔයාට කතා කරපු විදිය කොයි තරම් නරකද කියලා…මම අදටත් පසු තැවෙනවා…”
“දැන් ඒ දේවල් කතා කරලා වැඩක් නැහැ මිස්…මං ඒ හැමදේම අමතක කරලා ගොඩක් කල්…මිස් ඒවා මතක් කරලා ඇයි මේ හිත රිද්ද ගන්නේ…”
“අපිට කරදරයක් වුණාම තමා අපි වටේ ඉන්න සැබෑ මිනිස්සු කවුද කියලා අඳුනගන්න පුළුවන් වෙන්නේ මංදාකිණි..මතකනේ…එදා රුවින්දි පැනලා ගිය හැටි…?”
මම හිස සැළුවෙමි.
“ඒ මිනිස්සුන්ට තියෙන්නේ පුතාගේ දේපළ ගැන තන්හාව…අම්මණ්ඩි සේරටම හපන්…දුව කරපු හරිය අමතක වෙන්න මම මැරිලා ඉපදුණේ නැහැනේ…”
කළකිරීම් මුසු හඬකින් ඈ කීවාය. රජිව් දැන්ම අවදි වන පාටක් පෙනෙන්නට නැත. චිත්‍රා මිස් නොයෙක් දේ කියමින් මා තව තවත් පමා කළාය.
“මම දන්නවා දරුවෝ…ඔයා පුතාට ගොඩක් ආදරේ කරනවා කියලා…මම ඒක මගේ ඇස් දෙකෙන්ම දැක්කා…එදා ඔයා මෙහෙන් යන්න ගියේ මගේ අක්කා කියන කෙනා ඔයාට කියපු දේවල් නිසා කියලා මට ප්‍රේමා කිව්වා…ඔයා අසරණ වෙලා ඉන්න වෙලේ…ඔයා ඉන්න තැන වෙන කෙනෙක් හිටියා නම්…රජිව් වගේ කෙනෙක්ව ලේසියෙන් අතාරින්නේ නැහැ කියලා මම දන්නවා…ඔයා එයාව දාලා ගියෙත් එයාට තියෙන ආදරේ නිසානේ…”
මා දෑසට කඳුළු පිරිණි. අද මා ඔහුගෙන් සමුගන්නෙත් ඔහුට ඇති ආදරය එළෙසම මා සිත තුළ සඟවාගෙනය.
“ඕවා කියන්න එපා මිස්…මම දන්නවා… මං වගේ කෙනෙක් එයාට ගැළපෙන්නේ නැහැ…මං එයා ගැන හිතන්නේ නැහැ…රජිව් අයියාට හොඳ කෙනෙක් ලැබෙන්න ඕන…මගෙත් ප්‍රාර්ථනාව ඒකයි…”
“කොයි අම්මත් කැමති තමන්ගේ දරුවෝ සන්තෝෂෙන් ජීවත් වෙනවා දකින්න තමා ළමයෝ…ඒක මටත් පොදු දෙයක්…”
“මං දන්නවා මිස්…”
හැඬුම අතරින් මම කීවෙමි.
“ඔයා රට නොයා තව ටික දවසක් මෙහෙ නවතින්න ළමයෝ…”
“බැහැ මිස් මට ඒක කරන්න බැහැ…”
“මට තේරෙනවා..මං හරි ආත්මාර්ථකාමී ගැහැණියක් වෙන්නැති…රජිව් සතුටින් තියන්නයි මට ඕන…”
“මිස් හදන්නේ තාවකාලික සතුටක් ලබා දෙන්නයි…”
කඳුළු පිස ගනිමින් මම කීවේ නොපහන් හැඟීමෙනි.
“නැහැ…මට ඕන එයා හැමදාම සතුටින් ඉන්නවා දකින්නයි…මට ඒකට ඔයාගේ උදව් ඕන…”
“මට පුළුවන් දෙයක් මං කරන්නම් මිස්…”
“පුතාගේ සතුට ඔයායි…කොහෙවත් නොයා මෙහෙට වෙලා ඉන්න කිව්වේ මම ඒ නිසයි…”
“මම කොහොමද මිස් හැමදාම මෙහෙට වෙලා ඉන්නේ…?”
“ඇයි…බැරි මංදාකිණි…?”
“ආතක් පාතක් නැති එකියක් වගේ මම කොහොමද මිස් මෙහේ ඉන්නේ…? මිනිස්සු මොනවා නොකියාවිද…මිස්ටත් දොස් කියයි…”
“මිනිස්සුන්ට නම් මොනවා කියන්න බැරිද ළමයෝ…මම කියන්නේ ඔයාට ආතක් පාතක් නැතුව මෙතන වැටිලා ඉන්න කියලා නෙවේ…රජිව්ව කසාඳ බැඳලා මෙහෙ ඉන්න කියලා…”
තිගැස්සී ගිය බැල්මෙන් මම චිත්‍රා මිස් දෙස බැලුවෙමි. එය මට අදහාගන්නට නොහැකි දෙයකි. මට ඇසුණේ වැරදියටද….?
“මිස්…!”
“මොකද ඔයා බය වෙලා…? මම කිව්වේ ඇත්තටම ළමයෝ…මගේ දරුවගේ සතුට තමා මගෙත් සතුට…රටින් ගියා කියලා ඔයාට සතුටින් ඉන්න පුළුවන්ද…? බැහැනේ…රජිව් බලාගන්න පුළුවන් ඔයාට විතරයි…එයාව බලා ගන්න විතරක් නෙවේ…එයාට ආදරය කරන්න…එයාව තේරුම් ගන්න…ඔයාට තරම් මේ ලෝකේ වෙන කාටවත් බැහැ…එයාගේ අම්මා වුණ මටවත් බැහැ මංදාකිණි…”
මට හැඬිණි. චිත්‍රා මිස් ළඟ දණ ගසාගෙන ඇගේ උකුළේ හිස තබාගෙන මම ඉකිබිඳිමින් හැඬුවෙමි.
“අම්මේ…මොකද මේ…ඇයි මේ මංදාකිණි අඬන්නේ…?”
රජිව් අවදි වන්නට ඇත්තේ මගේ හැඬුම් හඬ නිසා වන්නට ඇත. මම වහා හිස ඔසවා කඳුළු පිස ගතිමි. ඔහු අප දෙසත් මගේ ඇඳුම් බෑගය දෙසත් මාරුවෙන් මාරුවට බැල්මක් හෙළුවේය.
“ඔයා යන්නද හදන්නේ…අම්මා ඒ පාර මොනවද එයාට කිව්වේ…?”
රජිව්ගේ හඬේ වූයේ කෝපයට පත් බවකි. මම වහා හුන් තැනින් නැඟී සිටියෙමි. චිත්‍රා මිස්ගේ කතාවෙන් මා සිටියේ තවමත් වික්ෂිප්තවය.
“මම මොනවා කියන්න්ද ළමයෝ…? මංදාකිණිගේ අයියා එයාට එන්න කියන්න කියලා තරුෂිලා ගෙදරට ඇවිත් කියලා ගිහින්…එයාට අද හෙටම රට යන්න වෙයි…එයාට හැමදාම අපි එක්ක ඉන්න බැහැනේ…”
චිත්‍රා මිස්ගේ හඬේ වූයේ නොපහන් බවකි. ඔහු වහා මා දෙස බැලුවේ ඒ ඇත්තදැයි විමසන්නාක් මෙනි.
“දැන් එයා මේ යන්නද හදන්නේ…?”
නොසතුටෙන් ඔහු ඇසීය.
“නැතුව ඉතින්…අයියා ඇවිත් එක්ක යන්න එනකල් බලන් ඉන්නද…?”
මවාගත් නොමනාපයක් පෙන්වා ඈ කිවාය.
“ඔයාට යන්න ඕනද…?”
“යන්නැතුව එයා මෙහේ ඉන්නද…? මාත් ඕකම ඇහුවා එයාගෙන්…බැහැ කියන්නේ…”
ඔහු යළිත් මා දෙසට බැල්මක් හෙළුවේය.
“ඔයාට යන්නම ඕනද මංදාකිණි…?”
“හ්ම්ම්…එයාට රට යන්නම ඕනලු…මං කිව්වේ ඔයාව බැඳලා මෙහෙට වෙලා ඉන්න කියලා…ඒක කරන්න බැහැ කියන්නේ…”
ඒ ඇසූ ඔහුද පුදුමයට පත් වූයේ මා මෙන්මය.
“මොනවා…අම්මේ…ඔයා…එහෙම ඇහුවද…?”
අදහාගන්නට නොහැකිවාක් මෙන් ඔහු විමසුවේය.
“අහපු නිසා නේන්නම් කියන්නේ…කොහෙද ඉතින් එයා කැමති නැහැ කිව්වා…රට යන්න ඕනලු…”
මා වෙත හැරී ඇසක් ඉඟි මැරූ චිත්‍රා මිස් කීවාය. ඇයට වුවමනා රජිව් අවුස්සන්නටය.
“ඒක වෙන්න බැහැ…එයා කවදාවත් එහෙම කියන්නේ නැහැ…”
රජිව් ඒ දේ විශ්වාස නොකරන්නක් මෙන් කීය.
“එයා ඔයාට ආදරේ නැහැ…ඒකනේ ඔය යන්න හදන්නේ…අල්ලලා දාන්න…ඔයා එයාට ආදරේ නැහැනේ මංදාකිණි…නේද…? ඒකනේ යන්න හදන්නේ…”
ඇයට වුවමනා රජිව් අවුස්සනට හෝ මා සිත විමසන්නටය. මා සිතේ ඔහු කෙරෙහි ඇති ආදරය මා කෙසේ පවන්නද…? එය ලියා කියා නිම කළ නොහැකිය. මට වුවමනා වූයේ මම ඔහුට ආදරය කරන බව කෑ ගසා කීමට මුත් මා මුව ගොළුව ගොසිනි.
“ම…ම…”
මට කියා ගත හැකි වුණේ එපමණකි.
“එයා ඔයාට පණ වගේ ආදරෙයි පුතේ..එයාට යන්න දෙන්න එපා…”
චිත්‍රා මිස් එසේ කියා මගේ හිස පිරිමැද පිටුපසට ඇදුණාය. අවසන ඈ සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණේ මා නොසිතුව ලෙසිනි.
“මේ ඇත්තමද මංදාකිණි…?”
ඔහු මා වෙත ළංව මගේ මුහුණ සිය දෝතට මැදි කරගෙන විමසුවේ තවමත් පහව නොගිය පුදුමයෙන් යුතුවය. මා මුවට වචන නොනැඟුණද දෑසින් කඳුළු ගලා ගියේ නම් වැසි කැට ඇද වැටෙන්නාක් මෙනි.
“දැන් ඉතින් අඬන්න එපා…ඔයා හුඟාක් ඇඬුවා…හුඟ කාලයක් ඇඬුවා…”
කම්මුල් තෙමූ කඳුළැල් පිසළමින් රජිව් කීය. මම ඔහුගේ ළය මඬලේ හිස තබාගෙන ඔහු එපා යැයි කියන විටත් හැඬුවෙමි.
“අද මං අඬන්නේ දුකට නෙවේ රජිව් අයියේ…සතුටට…”
බිඳුණු හඬින් මම කීවෙමි. ඔහු මා තදින් තුරුළු කොට ගන්නා විට මම සෙමෙන් හිස ඔසවා ඔහු දෙස බැලීමි. ඔහුගේ ගිලී ගිය දෑස් දිලිසුණේ වෙනදා මෙන්ම ආදරයෙනි. මගේ කරවටා දෑත දමා ගත් රජිව් මා කැඳවාගෙන ගෙමිදුලට පැමිණියේය. බටහිර අහස ගිණි රත් පැහැයෙන් දිලෙන්නට වූයේ පරිසරය පුරා රන් පැහැයක් විහිදුවමිනි. අපි දෙදෙනම නිහඬවම තණ පලස දිගේ ගේට්ටුව දෙසට ඇවිද ආවෙමු.
“මම දැන් ඉස්සර තරම් ලස්සන නැහැ මංදාකිණි…”
මා කරෙන් දෑත ඉවතට ගත් රජිව් හදිසියේ කියන විට මම පුදුමයෙන් විසල් කොට ගත් දෑසින් ඔහු දෙස බැලුවේ ඒ හඬේ වූයේ ශෝකයක්ද කළකිරීමක්ද කියා සිතා ගන්නට නොහැකිවය.
“මම ආදරේ කළේ ඔයාගේ ලස්සනට නෙවේ රජිව් අයියේ…”
“කම්මුල් බැහැලා…ඇස් යට ගිහින්…පපුවේ ඇට කටුත් පේනවා…කමල් කියනවා වගේ… හරියට කුඩු ගහන එකෙක් වගේ…”
ඔහු එක දිගට කියවගෙන ගියේය.
“දැන් ඕවා කියලා මගේ හිත වෙනස් කරන්න පුළුවන්ද බලන්නද හදන්නේ…?”
සරදම් සහගත හඬකින් මම ඇසීමි.
“තවම ඔයාට වෙලාව තියනවා…”
“මං නැතුව ඉන්න බැහැ කියලා මං දන්නවා…”
මඳහසක් පාමින් මම කීවේ ඔහු දෙස විදහා ගත් දෑසින් බලානය. හිරුගේ අවසන් රැස් වැදුණු ඔහුගේ දැස් දිලිසිණි.
“මට බැහැ…මංදාකිණි…මට බැහැ…මට ඔයා නැතුව හුස්ම ගන්නත් බැහැ…”
ඔහු යළිත් මා සිය තුරුළට ගනිමින් කීය. සැඳෑ හිරු මිහිමඬළෙන් සමුගෙන බොහෝ වේලාවක් යන තුරු අපි දෙදෙන එකිනෙකාට තුරුළු වී බොහෝ වේලාවක් එලෙසම සිටියෙමු. අඳුර හාත්පස පැතිරී අහස මත තාරකා මල් එකිනෙක පිපී අප සමඟ සිනාසෙන්නට විය. ගේට්ටු කුළුණු වල දැල්වුණ පහන් එළිය නිසා අපි අකමැත්තෙන් වුවද එකිනෙකාගෙන් මෑත් වූයෙමු.
“යමු…”
ඔහු මා අතින් අල්ලා ගනිමින් කීය. අපි දෙදෙන නැවත නිවස දෙසට පා තබන්නට සූදානම් වන මොහොතේ තණ බිම මතට ඇද වැටුණු සීතල පිනි බිඳු ඒ මත පුතු පලසක් මවා ඇති අපූරුව ඉස්තෝප්පුවේ පහන් එළියට දිස් විණි. අපි දෙදෙන ඒ පිනි මුතු පලස මතින් නිවස දෙසට පා තැබුවේ දෑඟිලි පටලාගෙනය. චිත්‍රා මිස් සමඟ ප්‍රේමා නැන්දා ආලින්දයට වී අප එන පෙර මඟ බලා සිටියේ සතුටු සිනා මුව මත රඳවාගෙනය. ලැජ්ජා මුසු හැඟීමක් මා සිතට එබිකම් කරන්නට විය. රජිව් ඒ බව හැඟුණාක් මෙන් සිය අතක් මා කරවටා යවා මා තුරුළට ගෙන සිනහමුවෙන් මා දෙස බලන විට මමද ඔහු දෙස බලා සිනහසුණෙමි.