NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 73

Pini Muthu Palasa පිනි මුතු පලස – 73

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

අයියාගේ මුහුණ ඉදිමී තිබුණේ මම හෙල්මටයෙන් ගැසූ පහරටය. කෝපය පරයා ඔහු කෙරෙහි මා සිතේ ඇතිව තිබුණේ පිළිකුලකි. මාත් රජිව්ත් කතා බහ කළ දේ දන්නේ අප දෙදෙනාය. කතා බහ කළා මිස අපි පාරේ හිඳ අසභ්‍ය ලෙස හැසිරුණේ නැත. අයියා කෑගැසුයේ හරියට අපි අනාචාරයේ හැසිරුණාක් මෙනි. මොවුන් කිසිවෙකුගේ ඇස ගැටෙන මානයකවත් නොසිට ඉක්මනින් පිටව යා යුතු යැයි කියා මම සිතුවෙමි. තමුන් කරන වැරදි වසාගෙන ඒවා වැරදි නොවන සේ හැසිරෙමින් අනුන්ගේ වැරදිත් නොවන වැරදි සොයන මෙවන් මෝඩ මිනිසුන්ට කුමන දඬුවමක් දිය යුතුද කියා මටම සිතා ගන්නට නොහැකිය.

“මට රට යන්න ඕන…මුන් එක්ක මට නිදහසේ හුස්ම ගන්නත් නැහැනේ…”

අයියාගේ රැවිළි එරවිළි වල නිමක් නොවූ තැන මම අම්මාට කීවෙමි. අපි දෙදෙන ගොස් ගුවන් ගමන් බලපත්‍රය එක් දිනකින් සාදාගෙන යළි නිවසට පැමිණෙන විට ඇඳිරි වැටී තිබිණි. නිවසට ගොඩ වූ සැනින් මම අසුන මතට ඇද වැටුණේ ගමන් විඩාව නිසාය.

“මහන්සිද චූටි නංගී…?”

නිශා ඇසුවේ අනුකම්පාවෙන් මෙනි.

“ඔව් අප්පා…හරිම අමාරුයි…”

නිශා අපට ඉක්මනින්ම තේ සාදාගෙන පැමිණියාය. මම බස් රථයක එතරම් දුරක් ගිය පළමු වතාවය.

“හරිම මහන්සියෙන් හිටියේ…පින් ඔයාට…”

ඈ ගෙනා තේ කෝප්පය රස බලමින් මම කීවෙමි. අයියාගේ තේ කෝප්පය රැගත් නිශා කාමරයට ගියාය.ඔහු පසුගිය දින කීපයේ පටන්ම අපට මුහුණ දීමට නොපැමිණියේ ලැජ්ජාව නිසාවෙනැයි මම සිතුවෙමි.

“ඌට කොහෙද ලැජ්ජාවක්…”

අනික් අතට මට සිතිණි. අයියාට ඇත්තේ අම්මාගේ ගතිගුණද නැතිනම් තාත්තාගේ ගතිගුණද කියා මම සිතුවෙමි. තාත්තා නම් අහිංසක මිනිසෙකු යැයි බොහෝ දෙනෙකු පවසනු මට ඇසී තිබිණි. නමුත් ඉතින් එය සත්‍යයක්ද කියාම පැවසිය නොහැකිය. ඒ මන්දයත් බොහෝ දෙනෙකු මිනිසෙකු මියගිය පසුව නැති ගුණද වයන නිසාය.

“අයියට තියෙන්නේ තාත්තගේ ගතිගුණද අම්මේ…?”

මම හදිසියේ මෙන් අසන විට අම්මා මදෙස බැලුවේ විමතියට පත් බැල්මකි.

“ඒ මොකද එකපාරටම එහෙම අහන්නේ චුටි දුව…?”

“නැහැ…නිකමට…”

“තාත්තා ඔහොම නැහැ…ඒ මනුස්සයා හරිම හොඳයි…ඕන මනුස්සයෙක්ට ඕන උදව්වක් කරපු කෙනෙක්…මූට කාගේ ගතිගුණ පිහිටලාද මන්දා…”

අම්මා කීවේ නොසතුටෙනි.

“අම්මගේ ඒවා වෙන්නැති…”

“මම එහෙම දුෂ්ට කම් කරලා නැහැ චූටි දුව…මේකා හරිම ආත්මාර්ථකාමී එකෙක්නේ…ලැජ්ජායි මූ මගේ දරුවෙක් කියන්නත්…”

අම්මා ආත්මාර්ථකාමී නොවූවා නම් ඇය අනියම් සබඳකමක් තියාගෙන දරුවනුත් අමතක කොට දමා වසර ගණනාවක් විදෙස් රටකට වී සිටියේ ඇයිදැයි ඇසීමට මා මුව පොපියෑ මුත් නිකරුණේ ඇයව කෝප ගන්වා පළක් නැතැයි සිතා නිහඬව සිටියෙමි. අම්මා නැඟිට කාමරයට යන විට මම එහිම ගිළී සිතුවිළි අතර වල්මත් වී සිටියෙමි. නිශා කාමරයෙන් පිටතට ආවේ එවිටය.

“නංගී…”

මා පසෙක හිඳ ගත් ඈ වටපිට බලමින් මා ඇමතුවේ රහසක් කියන්නට මෙනි.

“එන්නකෝ…පිටිපස්සට යමු…”

ඈ මගේ අතින් අල්ලා ගනිමින් කියන විට මමද හිස් තේ කෝප්පයත් රැඟෙන ඇයත් සමඟ පැමිණියේ මැඬගත් කුහුළිනි.

“ඇයි අක්කේ…?”

හිස් තේ කෝප්පය මේසය මත තබමින් මම ඇසීමි.

“නංගී…අද අර ළමයා ආවා ඔයාව හොයාගෙන…”

ඒ රජිව් යැයි මම අනුමානයෙන් සිතුවෙමි. ඈ රහසින් ඒ ගැන පවසන්නේ ඒ නිසාය.

“රජිව් අයියද…?”

තැතිගත් සිතින් මම ඇසුවෙමි.

“නම දන්නේ නැහැ…එයාලගේ අම්මව හොස්පිට්ල් ඇඩ්මිට් කළා කියලා කියන්න කිව්වා…”

“අනේ…ඇයි අක්කේ…මිස්ට මොකද…?”

හදිසි බියක් මා සිතේ ඇතිවිය.

“ඔයාලගෙ අයියා එක්ක පුළුවන්ද කතා කරන්න…ඒ ළමයට කෑ ගහන්න ගත්තා… ඔය ටික විතරයි කිව්වේ…ගියා…”

“මූ මහා මෝඩයෙක්නේ…මිස්ට අමාරුද දන්නැහැ…නැත්නම් රජිව් අයියා එන්නේ නැහැනේ…”

මා සිත ගිණිගත් සෙයකි. දැන් වේලාව රාත්‍රී අටටද ආසන්නය. මේ මොහොතේ රෝහලට යා නොහැකිය. ගියද ලෙඩුන් බලන්නට දෙන්නේ නැත. එසේනම් හෙට උදෑසනම යා යුතුය.

“ලොකු අමාරුවක් නම් නැතුව ඇති නේද…?”

නිශා කීවේ මා සිත සනසන්නට උත්සාහ දරමිනි.

මම අම්මා සොයා කාමරයට පැමිණ ඇයට මේ බව දැන්වීමි.

“දැන් හොස්පිට්ල් යන්න බැහැනේ…යනවා ඉතින් හෙට දවල්ට තමා යන්න වෙන්නේ…ඔයා පාන්දර ඇහැරන් තනියම කොහොමද යන්නේ…?”

ඈ කී දේද සත්‍යයක් නිසා මම නිහඬව සිටියෙමි. ප්‍රේමා නැන්දා මිස්ගේ තනියට සිටිනවා නම් නිවසේ කෑම බීමවත් සාදන්නේ කෙසේද….? රජිව්ද කෑමක් බීමක්වත් ගත්තාදැයි සැකයක් මා සිතේ ඇති වූයේ ඔහු කඩ කෑම නොකන බව දත් නිසාය. ඔහුගේ නිවසටවත් දුරකථන ඇමතුමක් දිය හැකි මඟක් නැත. ඇමතුමක් ගැනීමට නම් ටවුමටම යා යුතුය. මේ මොහොතේ ඔහුට සහායක් විය හැකි වූවා නම් කියා මම දස අතේ සිතුවෙමි.

පසුදින උදෑසන තරුෂි පැමිණියේ මම රෝහලට යන්නේ කෙසේදැයි සිතමින් සිටින විටය.

“තරූ ඔයා කවද්ද ආවේ…? මිස්ව හොස්පිට්ල් ඇඩිමිට් කරලා…”

ඈ දුටු මතින්ම මම කීවෙමි.

“අපි දැන් මේ හොස්පිට්ල් ඉඳන් එන ගමන්…ඊයේ හවස රජිව් අයියා කෝල් කරලා මිස්ව ඇඩ්මිට් කළා කියලා… අපි රෑම ආවා…ඒ වෙලේ ඉතින් ලෙඩ්ඩු බලන්න යන්න දෙන්නේ නැහැනේ…”

“මිස්ට මොකද තරූ…ඇයි එකපාරම අසනීප වෙලා තියෙන්නේ…?”

“මිස්ගේ ප්‍රෙෂර් වැඩි වෙලා…ෆේන්ට් වෙන්න ඇවිත් ඒ වෙලේම එක්ක ගිහින් හොස්පිට්ල්…එතකොට තමා ඇඩ්මිට් කරන්න කියලා තියෙන්නේ…එයාගේ ප්‍රෙෂර් වැඩි වෙන්න හොඳ නැහැනේ…කළිනුත් පැරලයිස් වෙලා හිටියානේ…”

“මේ වෙලේ කවුද මිස් ළඟ ඉන්නේ… ප්‍රේමා නැන්දද…?”

“ඊයේ රෑ හිටියේ එයා…දැන් නම් අපේ අම්මා ඉන්නවා…ප්‍රේමා නැන්දව යැව්වා රජිව් අයියා එක්ක ගෙදර…රජිව් අයියා තමා දැන් මාව මෙහෙට ගෙනත් ඇරලුවේ…ආයේ එයි එක්ක යන්න…”

“ඊයේ හවස රජිව් අයියා අපේ ගෙදර ඇවිත්…මේ මෝඩයා කෑගහලානේ…”

“හැමදේම නැති වුණාට පස්සේද මංදි මෙයාට ඔයාව පරෙස්සම් කරන්න මතක් වෙලා තියෙන්නේ…අනේ මංදා මේවට කොහෙන් හිනා වෙන්නද කියලා…”

රජිව් කීවේද එයමය.

“මටත් දැන් එපා වෙලා තියෙන්නේ තරූ…”

අම්මා පැමිණියේ තරුෂිට තේ සාදාගෙනය. ඈ චිත්‍රා මිස් පිළිබඳව අම්මා හා පැවසුවාය.

“පව් අනේ මිස්…”

අම්මා ගෙතුළට ගිය පසුව මම කීවෙමි.

“ඔයා දන්නවද මංදි තව දෙයක්…?”

ඒ කුමක්දැයි අසන බැල්මෙන් මම තරුෂි දෙස බැලීමි.

“මිස් අසනීප වෙන්න එක හේතුවක් තමා ඒකත්…”

“මොකක්ද…?”

“රුවින්දිලා ආයේමත් ලංකාවට ඇවිත්…”

ඒ පුවතින් මම සැබෑවටම තිගැස්සී ගියෙමි.

“රුවින්දි…! ඉතින්…ඔයා කොහොමද දන්නේ…? අනික මිස් අසනීප වෙන්න ඒක හේතුවක් වුණේ කොහොමද…?”

“මට කිව්වේ ප්‍රේමා නැන්දා…ඔයා වගේම ඒක අහලා මාත් කළබල වුණා…එයාලා ඊයේ උදේ මිස්ලා ගෙදර ඇවිත්…මිස්ගේ ප්‍රෙෂර් වැඩිවෙලා තියේන්නේත් ඊට පස්සේ…”

රුවින්දි පැමිණියේ යළි නොයාමට සිතාගෙනද…? මා සිතේ ඇති වූයේ පැහැදිය නොහැකි අමුතු හැඟීමකි. එය කුමක්දැයි කියා මට විස්තර කිරීමට අපහසුය. රුවින්දිලා පැමිණීමත් මිස් අසනීප වීමත් අතර ඇති සබඳතාවය කුමක්ද…? අයියා වැඩට යෑමට සූදානම්ව පිටතට විත් යතුරු පැදියේ නැඟී පිටව ගියේ ඉඟිලීගෙනය. තරුෂි නිහඬ බැල්මක් මවෙත හෙළුවේ කුමක් හෝ යමක් කීමට මුව සාදමිනි.

“මං ඔයාගෙන් අහන්නමයි හිටියේ මංදි…”

“මොකක්ද තරූ…?”

“මං අයියාව දැක්කා ටවුන් එකේදි දෙතුන් ගමනක්ම…”

“ඉතින්…?”

“තනියම නෙවේ…කෙල්ලෙක් එක්ක…”

“කෙල්ලෙක්..! නිශා වෙන්නැති…”

“නැහැ අනේ…මං එයාව අඳුනන්නේ නැත්ද…? වෙන කෙල්ලෙක්…බයික් එකේ නිකන් ඉඳන් ගියා නම් මං මේක අහන්නේ නැහැ…ඒත් එයා ගියේ අයියාව බදාගෙන තුරුල් වෙලා…කොණ්ඩේ දිග සුදු උස කෙනෙක්…එයාට වෙන අෆෙයාර් එකක් වත් තියනවද…?”

තරුෂි අසන විට මා මුවට සිනහනැඟිණි. ඒ හැඩ රුව අනුරානිගේය.

“ඒ නිශා අක්කාගේ නංගී…අනුරානි…ඔයාට මතක නැත්ද එයාව රෙජිස්ට්‍රේෂන් එක දවසේ හිටියේ…?”

“නැහැ…මට මතක නැහැනේ…එතකොට ඒ දෙන්නා…?”

“ඔව්…ඔව්…ඒ දෙන්නා එහෙම තමා…නිශා අක්කත් ඒක දන්නවා…”

මම දන්නා දේ තරුෂි සමඟ පැවසීමි.

“ඊයා මංදි…අප්පිරියාවයි…අයියා මෙහෙම සල්ලාල වැඩ කර කර තමා ඔයාට පද හදන්නේ…”

“කාට කියන්නද තරූ…ආයේ මට මඟුලක් කතා කරන්න හදනවා…”

“ඇයි පිස්සු හැදිලද…?”

“ඔක්කොටම පිස්සු තමා…අම්මාත් ගියාම මට නම් එපා වෙයි මෙයා එක්ක ඉඳලා…”

“මොකක්…අම්මා ආයේමත් යන්නද හදන්නේ…?”

“ඔව් තරූ…අම්මා ගිහින් මාවත් එයා ගාවට ගනියි…”

“මොනවා…! ඔයාත් යන්නද හදන්නේ…?”

“ඔව්…මාත් යනවා…මටත් කියලා ජීවිතයක් තියෙන්න ඕනනේ…මෙහේ හිටියොත් මෙයාලා ආයෙමත් කොහෙවත් යන මිනිහෙක්ට මාව බන්දලා දෙන්න හදයි…”

මම කියන විට තරුෂි කළේ දිගු සුසුමක් හෙළීමය. ඈ නිහඬවම මා ගැන දුක් වන සෙයකි. රජිව්ගේ රථය දුර තියා දුටු අප දෙදෙන නැඟිට පාරට ආවෙමු. රිය කවුළුව විවර කරමින් ඔහු මදෙස බලන විට මම ඔහු වෙත නැඹුරු වූයෙමි.

“සොරි රජිව් අයියේ…ඔයා ඊයේ ආවලු නේද…අර මෝඩයා කෑගැහුවාලු…”

“ම්ම්ම්…”

“අපි හිටියේ නැහැනේ ඊයේ…මං දවල් එන්නම් මිස්ව බලන්න…”

“ම්ම්ම්…මට වෙන කාවවත් මතක් වුණේ නැහැ මංදාකිණි…අම්මාව හොස්පිට්ල් දාලා කෙළින්ම ඔයාව හොයන් ආවේ…”

මනුස්සයෙකුට කරදරයක් සිදුවන විට එක්වරම සිහියට නැඟෙන්නේ තමන් ආදරය කරන අයවය. අපේ සිත් හැදී ඇත්තේ එසේය. ඒ ඔවුන්ගෙන් උපකාරයක් ලැබෙයි සිතනවාට වඩා සහනයක් සැනසුමක් ලැබේවියැයි විශ්වාස කිරීමය. ඔහුටද මා සිහි වන්නට ඇත්තේ ඒ නිසාය. මා හද වඩා ඇවිළුණේ එම කතාවටය. මම නිහඬ සුසුමක් පා කළෙමි.

“ලැහැස්ති වෙලා ඉන්න…අපි යන ගමන් එන්නම් එක්ක යන්න…”

ඔහු යළි කියන විට මම ඊට එකඟව හිස සැළීමි.

දහවල ඔවුන් රෝහලට යන විට මාවද කැඳවාගෙන යෑමට පැමිණියෝය. චිත්‍රා මිස් මා දැක සතුටට පත්වූ බවක් පෙනෙන්නට තිබුණා කියා මට සිතිණි. එය මා සිතට දැනුණ සිතුවිල්ලක්ද නැත්නම් සැබෑවටම එය එසේදැයි කීමට මම නොදනිමි.

“අනේ…ළමයෝ…ඔයත් ආවද මාව බලන්න…මං ඒත් හිත හිත හිටියේ…ඔයාවත් හිටියා නම් කියලා…”

ඇගේ හඬේ වූයේ ලෙංගතු බවකි.

“කොහොමද මිස් දැන්…?”

ඇගේ අතක් අල්ලා ගනිමින් මම ඇසුවෙමි.

“දැන් හොඳයි ළමයෝ…මාව ඩිස්චාර්ජ් කළා…ඩොක්ටර් කියන්නේ කල්පනා කරන්නැතුව සැහැල්ලුවෙන් ඉන්න කියලා…”

“ඒකනේ ඉතින්…මිස් එක, එක දේවල් හිතනවා වැඩියි…”

ඈ මඳහසක් පෑවාය.

චිත්‍රා මිස් නිවසට කැඳවාගෙන යන විට මමද ඔවුන් සමඟ එකතු වූයේ යළිත් නිවසින් පිටවීමට අවස්ථාවක් උදා නොවන නිසාය. චිත්‍රා මිසුත් තරුෂිගේ අම්මාත් ප්‍රේමා නැන්දාත් රජිව්ගේ මෝටර් රථයේ යන විට මාත් තරුෂිත් ත්‍රීරෝද රථයක නැඟී එහි ආවෙමු.

-හෙටත් හමුවෙමු-

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you