Jayalal Rohana යනු ශ්‍රී ලාංකේය කළා කෙත සිය දැනුම් ප්‍රතිභාවෙන් අස්වද්දා,කලකට පෙර දිවිසැරිය නිමාකළ ආදරණීය කලාකරුවෙකි. මේ ඔහු මිය යාමට ඉතා ආසන්න අවධියේ තුලන ටී.වි වෙත ලබා දුන් සම්මුඛ සාකච්ජාවෙහි පළමු කොටසයි.
1.අපි කවුරුහරි කෙනෙක් ගැන හැඳින්වීමක් කරන්න යනකොට ඒ කෙනා ගැන හරි හමන් විස්තරයක් දන්නෙ නැති වුණාම, අපේ ගැලවිල්ලට,අපේ බේරිල්ලට අපි කියනවා මේ පුද්ගලයා ගැන අටුවා,ටීකා,ටිප්පනි ඕනේ නෑ කියල. ජයලාල් මහත්මයා, මොනාද මේ අටුවා,ටීකා,ටිප්පනි කියලා කියන්නේ?
දැන් ඕක හැදුණේ ජාතකට්ඨ කතා අටුවාව..එකේ ටිප්පනිය..ඊළඟට පාලි භාෂාව දැන් වෙනකොට ටිකක් අමුතුම භාෂාවක් වෙලානේ.. ඕක ඉංග්‍රීසි භාෂාවෙත් තියනවා.. ඒකෙත් අපිට අටුවාවන්,ටීකාවන් හොයාගන්න පුළුවන්..නමුත් ඒ ගොල්ලෝ ඒක දක්වලා නෑ..ඒක දක්වන්නෙ භාරතයේ. අටුවාවක් කියන්නෙ අපි හිතමු සුතසෝම ජාතකයට මුල් වුණු පරිසරය. දැන් ඔබතුමා කිවනේ කලාකාරයගේ අටුවා,ටීකා ඕනෙ නෑ කියලා..ඒ කියන්නේ එයා මෙතෙන්ට එන්න මුල්වුණු කාරණා,වටාපිටාව..ටීකාවේ ගැඹුරු වචන තව සරල වෙලා විස්තර කරනවා. නාට්‍ය කලාවේදී කියනවා “නානා බහෝ සම්පන්නා – නානා වස්ත්‍රාත්මකන් නාට්‍ය වෘත්තානුකරනන් – නාට්‍ය මෙතක් භවිස්සති” කියලා.. දැන් මේක එකපාරටම අහන කෙනෙක්ට සිංහලෙන් ලියන්න පුළුවන්. හැබැයි පාලියෙන් නිකං අන්ද කයිප්පු වගේ.. එතකොට තමා අපිට මේකේ අටුවාව,ටිකාව ඕන වෙන්නෙ..මොකක්ද මේකෙන් කියවෙන්නේ.. “නොයෙක් භාවයන්ගෙන් සම්පුර්ණ වූණු..” ඔය පාලි ගාථා වලත් තියෙන්නෙ “තිසරණේන ගමනං සම්පුන්නන්..” තිසරණ ගමනේ ගියොත් තමා මේක සම්පුර්ණ වෙන්නේ කියන එක.. ඒ වගේ ගැඹුරු දේවල් සරලව විස්තර කරන්න තමා ඒවාට මුල් වුණු අටුවා,ටීකා,ටිප්පනි ඕන වෙන්නෙ..අපි කටවහරට කීවට අටුවා,ටීකා,ටිප්පනි ඕනේ නෑ කියල ඔය එකෙක්වත් දන්නේ නෑ විස්තර කරන්න. මගෙන් අහපු නිසා හොඳට ගියා. මගේ ගාව තියනව ත්‍රිපිටකයෙ පාලි අටුවාව ඒකෙ ටිප්පනිය.. සාමාන්‍යයෙන් පාලි භාෂාව ගැන දැනුමක් තියන කෙනෙක්ට අටුවාව ඇති තේරුම් ගන්න.
ටිප්පනිය ඕන වෙන්නේ ඔය “බ්ලැක් අවුට්” වෙලා වගේ ඉන්න අයට තමා. මට එහෙම අය හම්බවෙනවා. ඔය පාරේදී තොටේදී අපිව දැක්කාම, දෙමව්පියෝ එයාලගේ දරුවන්ගෙන් අහනවා “පුතේ මේ මාම දන්නවද අර නාට්‍ය වල ඉන්නේ” කියලා. එතකොට දරුවෝ “බ්ලැක් අවුට්” වෙලා වගේ අපි දිහා බලනවා. ඇත්තනේ දැන් දරුවෝ බලන නාට්‍ය වල අපි නෑනේ. මගේ බල්ලවත් යන්නෑ ඔය මෙගා ටෙලිවලට. ඒ තරම් ඒවා ජරාජීර්ණ වෙලා. මේ ළඟදී කොටස් පනහක එකකට ගියා. එකත් පිටපත හොඳ නිසා. ලියන එකා කතාවේ ඉතිහාසය දන්නෙ නෑ. රඟපාන එකා කතාවේ මුල දන්නේ නෑ. දෙබස් ටික විතරක් කියල යනවා. හැබැයි සම්මාන උළෙල වලදී ඒ අයට වසරේ ජනප්‍රියම නළුවාට සම්මාන ලැබෙනවා. මේ හැමදේම වෙන්නේ අටුවා,ටීකා,ටිප්පනි නොදැන මේකට ආවම කියලත් මට හිතෙනවා.
2. අපේ කලාවේ,කලා ශිල්පීන්ගේ අටුවා,ටීකා,ටිප්පනි තියනවද නැත්තං ඒවා ගැන කතා කරලා වැඩක් නැද්ද?
දෙකම තියනවා. ආචාර්ය ජයලත් මනෝරත්න තුන් ඉරියව්වේ ක්‍රීඩකයෙක් රඟපෑම් කලාවේ. එතකොට රොඩ්නි වර්ණකුල,නිශ්ශංක දිද්දෙණිය,අයිරාංගනී සේරසිංහ මැතිණිය . තව, මාලනී ෆොන්සේකා,ජෝ අබේවික්‍රම, ගාමිණි ෆොන්සේකා වගේ නම් පෝලිමක් තියනවා. මේ හැමෝම අටුවා,ටීකා,ටිප්පනි තියන අය. තව නම් පෝලිමක් තියනවා. ඒ ඔක්කොම කියන්න ගියොත් මට මේ කතාබහට වෙලාවක් නැතුව යනවා. ඒ නිසා ඒ අය මා එක්ක අමනාප වෙන එකක් නෑ කියල මං හිතනවා. නමුත් අද වනවිට බිහිවෙලා තියනවා පිරිසක් කිසිම ඉතිහාසයක් නැතිව ඇවිත් “දවසෙ පැටිය” වගේ වැඩ කරන. ඒ වගේම අර අටුවා,ටීකා,ටිප්පනි තියන අයට අපහාසත් කරනවා. කවුද ඒ ගොල්ලො නළුවොද,නිලියොද අපිත් එක්ක හැරෙන්න පුලුවන්ද කියලත් අහනවා. ඉතිං මේක ඛේදවාචකයක් සමස්ථ රූපන ක්ෂේත්‍රයේ.
3. රඟපෑම ගැන කතාකරද්දී, පොදුවේ තියන මතයක් තමා ඒ දවස්වල ඉඳලා,වේදිකාවෙන් ආවොත් එයාට හොඳ පරිණත භාවයක් තියනවා, එයා හොඳ දක්ෂයෙක් , එහෙම නැතුව එකපාරටම උඩින් ඇවිත් ටෙලිනාට්‍යවලට හරි සිනමාවට හරි ආවොත් එච්චර ගැම්මක් නෑ කියල. ඇයි එහෙම කියන්නෙ?
එකේ පොඩි සාධාරණ බවක් වගේම අසාධාරණ බවකුත් තියනවා. මං ඉස්සෙල්ලාම සාධාරණ බව කියන්නම්කො. මං වේදිකාවට එන්නෙ 1976. සයිමන් නවගත්තේගම මහත්තයගෙන්. ඊට ඉස්සර මං ගමේ කෝට්ටේ වෙසක් නාට්‍යවල රඟපාලා තියනව. ඔය කට්ටිය කියන්නේ පොල් කොටන් නාට්‍යය කියල.මේවයේ රඟපානකොට රංගන ශිල්පියාට කරුණු ගණනාවක අවබෝධය ලැබෙනවා. විවෘත,විශාල ප්‍රේක්ෂකාගාරයක අපි කොහොමද රන්ගපාන්නේකියල. ඊට පස්සෙ එහෙම එනකොට අපිට එකිනෙකට වෙනස් නාට්‍යවල රඟපාන්න ලැබෙනවා. මට ශේක්ෂ්පියර්ගේ නාට්‍යවල රඟපාන්න ලැබෙනවා බන්ධුල විතානගේ මහත්මයාගේ “වැනිසියේ වෙළෙන්දා” වගේ. මට ඒ නාට්‍යයේ දෙබස් වල පොඩි පෑටලුමක් ආවා. මට තාම ඒ දෙබස මතකයි.දැනට අවුරුදු විස්සක් වෙලත්.
“අකමැති නොවනු මට මගේ මේ වර්ණයට..අන්ධකාර ඇඳුම දිලිසෙන හිරුගේ..උපන්නෙමි හිරුට අසල්වැසිව..ගෙනේ සුන්දරම කත උපන් උතුරේ..
හිරු දෙවිඳුගේ තෙසෙසින් හිම දිය නොවන..කපා බලමු සොඳුරිය ඔප්පු කරන්නට ඔබගේ ප්‍රේමය වෙනුවෙන්..කාගේ රුධිරයද වඩා රක්ත වර්ණ ඔහුගේද මගේද..
වැනසූ සාල් රජෙකු හා දිනු තෙසෙස් සුල්තාන් සුලෙයිමාන්…පරදවාලමි ඇස් දයා විරහිත වූ.. පරදවාලමි තදාසි සාහසික වූ..ඔව්.. ශාප කරමි සිංහයාට හඬ තලන විට ගොදුරට.. උදුරාලමි පැටවුන් වැළහින්නගෙන් කිරි උරාබොනවිට..සොඳුරිය ඔබගේ ප්‍රේමය වෙනුවෙන්…” දැන් මේ අන්ද කයිප්පු දෙබස් ටිකක්නේ.. ඒ අස්සේ තව කියනවා මෙහෙම..
“හර්කියුලිස් සහ ලිචාස් කෙලියානම් දාදු..කවුද වඩා දක්ෂයා..වාසනාව මතුවිය හැක අවාසනාවන්ත අතකින්. එපරිදි ලැපිටස් පරදවන ලද්දේ ලිචාස් විසිනි.
“මං දැන් තෝන්තු වෙලා . බන්ධුල විතානගේ මහත්තය අපේ ගෙවල් ළඟ හිටියේ කෝට්ටේ. පිටපත කියවගෙන එන්න කියල දුන්නේ. මං දැන් කියවලා,කියවලා හතරවරන් කියවලත් මේ ටික තේරෙන්නේ නෑ. ඒ දවස්වල ජනප්‍රිය නාට්‍යයක් නිසා ඒකටත් අසයි. මං ගියා බන්ධුල විතානගේ මහත්තය හම්බවෙන්න. ගිහිං කීවා තේරෙන්නේ නෑ කියල. එතුමා එක්ක ගියා ඔහුගේ පුස්තකාලෙට. ගිහිං ශේක්ෂ්පියර්ගේ පොත් අරගත්තා. අන්න අටුවා,ටීකා. ශේක්ෂ්පියර්ගේ නාට්‍ය ගැන ඔක්කොම විස්තර තියන ලොකු පොතක් අරගෙන මට විස්තර කිව්වා. අටුවාවේ වෙළුම් 35ක් විතර තිබුනා.
විලියම් ශේක්ෂ්පියර්ගේ “ශේක්ෂ්පියර් හඳුනාගැනීම” කියන වෙළුමේ තියන “වැනීසියේ වෙළෙන්දා “කොටස අරගෙන මට ඒක තේරුම් කරලා දුන්නා. අප්‍රිකානු රටක කළු කුමාරයෙක් ඉඳල තියනවා. මේ කුමාරයා එනවා ධනවත් පවුලක කුමාරියක් සරණපාවා ගැනීමට මනාලයන් තෝරන අවස්ථාවකට සහභාගී වෙන්න. ඒ ඇවිත් අර කුමාරිය දැකල කළු කුමාරයා කියන දෙබස් තමා ඔය තියෙන්නේ. දැන් නිකං හිතන්න අපේ මෙගා ටෙලියක ඔය සීන් එකට දෙබස් ලිවනම් කොහොමද කියලත් මං කියන්නම්. “සොරි.. ඔයා මට කැමතිනම් කැමතියි කියන්න නැත්නම් නෑ කියන්න.
“මගේ ස්කින් ටෝන් එක ටිකක් බ්ලැක් තමා මොකද අපි ඉන්නේ ඉරට ක්ලෝස් රටකනේ….”
සිංහලත් නැති ඉංග්‍රීසිත් නැති ඔය වගේ මඟුලක් තමා ලියන්නේ. ඒකට කියන්නේ අවජාතක සංස්කෘතිය කියල. සංස්කෘතික වශයෙන් අවජාතක වීම. ජාන වලින් නෙවෙයි. දෙමාපියන්ගේ වාසගමෙන් නෙවෙයි අවජාතක වෙලා තියෙන්නේ. මේ රටේ තියනවා අවජාතක සංස්කෘතියක්. මේවා ඒ සංස්කෘතියේ කෑලි. අපි ආයෙත් කතාවට යමුකෝ. දැන් මට බන්ධුල විතානගේ මහත්තය කියනවා. “ජයලාල් මේ සිද්ධිය ගන්න හිතට අරං රඟපාන්න” කියල. දැන් බලන්න මේකේ භාෂාව. තව මේකේ කතාවෙනව හර්කියුලිස් ගැන. ලිචාස් කියල කෙනෙක් ගැන. හර්කියුලිස් කියන්නෙ දැවැන්ත ශරීරයක් තිබුණු මිනිහෙක් කියල හැමෝම දන්නවනේ. ලිචාස් කියන්නේ හර්කියුලිස්ගේ මෙහෙකරුවා. ඔහු ඉතාම කෙට්ටු ශරීරයක් තිබුණු මිනිහෙක්.දවසක් හර්කියුලිස් එක්ක දාදු කෙළලා හර්කියුලිස් ව පරාද කරලා ලිචාස් දිනනවා. බලන්න ශේක්ෂ්පියර්ගේ දර්ශනය.
ඔහු මේ කියන්නේ ජයග්‍රහණ තියෙන්නේ ඇඟේ නෙවෙයි මොලේ කියල. අර කළු කුමාරයා මේ හැමදේම කියන්නේ අර සුදු හමක් තියන කුමාරියගේ හිත දිනාගන්න. ඉතිං බලන්න මට මේ අවබෝධය ලැබුණේ ඒ චරිතය හදාරපු නිසා නේද? අද කොහොමද නාට්‍ය කෙරෙන්නේ? කොහෙන් හරි කැමරාවක් ගෙනත් අටවනවා. බොනට් එක උද ඉඳගෙන ස්ක්‍රිප්ට් එක ලියනවා. නළුවෝ ඉතිහාසය දන්නෙ නෑ. අධ්‍යක්ෂක මුල දන්නේ නෑ. මොකද මුල කොටස් වල හිටපු අධ්‍යක්ෂක නෙවෙයි මැදදී ඉන්නේ. මිනිහ නාට්‍යය දාලා ගිහින්. නළුවොත් එහෙමයි. මුල හිටපු එකා මඟදී මැරෙනවා. මැරෙනවා නෙවෙයි. මොකක් හරි ප්‍රශ්නයක් දාගත්තොත් මරනවා. එහෙමයි අද ස්ක්‍රිප්ට් ලියන්නේ. මෙන්න මේ අනවබෝධය සහ එකමුතුවක් නැතිකමට ප්‍රශ්නය හැදෑරීමක් නැතිකම. තමාගේ භූමිකාව වටහා නොගැනීම. වීදිකාවෙන් ආපු අයට එක ලැබෙනවා කියන එකටයි මං මේ පැහැදිලි කිරීම කරේ.
4.සංස්කෘතියේ ජාතක බව ගැන මෙන්ම අවජාතක බව ගැන කතාකරපු නිසාම, ටෙලිවිෂනය ගැන ජයලාල් මහත්මයාගෙන් අහන්න ගොඩක් දේවල් තියනවා. ලංකාවට ටෙලිවිෂනය හඳුන්වා දීමේ මොනාහරි අරමුණක් තිබුනානම්, අද වන විට ඒකට මොකද වෙලා තියෙන්නේ?
1982 තමා ලංකාවට රූපවාහිනිය හඳුන්වලා දෙන්නේ. ඊට අවුරුදු දහයකට කලින් ලංකාවට රූපවාහිනිය එනවා. ජපානයත් ඒ තැන ඉන්නවා. ඒ එන්නේ අධ්‍යාපන මෙවලමක් විදිහට. අද අධ්‍යාපනය සඳහා නොපෙන්වියම යුතු එක තමා රූපවාහිනිය. ඔබට හොඳට බලන්න පුළුවන් අපේ ගෙදර රුපවාහිනියක් නෑ . දැනට අවුරුදු දහයකට කලින් අපේ ගෙදර රූපවාහිනියක් තිබ්බ. මගේ දරුවෝ දෙන්නා ඉතාම කුඩා කාලයේදී. මං එක දරුවන්ගෙන් අයින් කරන්න ඕනේ කියලා තීරණය කරන්න හේතු වුණු සිද්ධියක් තියනවා. අපේ නැන්දම්මා දවසක් ඇවිත් ඔය රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නවා දැක්කා. නැන්දම්මට බනින්නත් බෑනෙ. ඒවා ආනන්තර්ය පාපකාර්ම ගනයටනේ දාන්නේ. අනික නැන්දම්මට හිත රිදෙන්න එක වචනයක් හරි කියවුනොත් එයා හිතනවා බැණා මං මේ ගෙදරට එනවට කැමති නෑ කියල. එහෙම කුණු වෙච්චි සංස්කෘතික ලක්ෂණ තියන රටක්නේ මේක. හයියෙන් කතා කරොත්, වේචනය කරොත්, හොඳ නරක කියල දුන්නොත් කියන්නේ බැන්නා කියලා. හරියටම බනින හැටිනම් මං දන්නවා. එත් ඒවා ප්‍රසිද්ධ මාධ්‍යයක කියන එක හරි නෑ. ඒ හින්දා කතාව කියන්නම්කො. දවසක් මං වැඩ ඇරිලා ගෙදර එනකොට අපේ නැන්දම්මා ළමයි දෙන්නත් තියාගෙන රූපවාහිනියේ යන පච ටෙලිනාට්‍යයක් දිහා බලාගෙන ඉන්නවා. ළමයි දෙන්නත් මදන මෝදකේ ගිලලා වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා. මං හිමින් බෑග් එක තියලා ගිහිං වහලට නැඟලා ඇන්ටනාව කැරකෙව්වා . දැන් ළමයි කියනවා. “අප්පච්චි.. ෂ්… ගාලා සද්දයක් එනවා හරියට පේන්නෙ නෑ ” මං කිව්වා “ඔච්චර තමා ආයේ කොහොමත් ජිවිතේට ඕක පෙන්නේ නෑ..” කියල. ළමයි එතනින් ගියාට පස්සෙ බිරිඳ බොන්න හදලා දුන්නු තේ එක ටී.වි එක උඩ රස්නේ යන්න හදලා තියන හිල් වලින් ඇතුලට වැක්කෙරුවා. ඒක නම් තාම ඔය මුල්ලක ඇති.
එයින් පස්සේ තාම මේ ගෙදරට රූපවාහිනියක් ගෙනාවේ නෑ. දැන් මං ඒක කරේ මංම සල්ලි දීලා ගෙනාපු රුපවාහිනිය කඩන්න ඕනේ නිසා නෙවේ.
ඒ රූපවාහිනියෙන් මගේ දරුවන්ට කිසිම දෙයක් ලැබෙන්නෙ නැති නිසා. අපේ මාමණ්ඩි තමා රූපවාහිනියට නියම නමක් දැම්මේ. එයා ඕකට කියන්නේ “හූනියම් පෙට්ටිය” කියල. දැන් මේ අපේ රටේ විතරද රුපවාහිනිය තියෙන්නේ. නෑ. ලෝකේ හැම රටකම තියනව. ඉන්දියාවේ චැනල් දාස් ගානක් තියනවා. හැබැයි ඒ රටේ සංස්කෘතිය,ජාතිකත්වය ගොඩනගන්න ඔවුන් රුපවාහිනිය යොදාගන්නවා. අපේ සංස්කෘතික අමාත්‍යංශයක් තියනවා. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයක් තියනවා. වේදිකා නාට්‍ය,චිත්‍රපට පෙන්නන්න ඒවයෙන් අවසර ගන්න ඕනේ. මොකාද කියන්නකෝ ඔය චැනල් වල යන මෙගා නාට්‍ය,වැඩසටහන් බලනබලලා නියාමනය කරන එකා. මේක කියවන අයටයි මං මේ කියන්නේ. ඔබේ ගෙදර තියන රූපවාහිනිය ප්‍රශ්න ගණනාවකට එක හේතුවක්. දැනට ලංකාවේ තියන දික්කසාද නඩු ගණනාවකට රුපවාහිනියේ යන මිනිස්සු ගංජා ගැහුවා වගේ බලන් ඉන්න කොටස් දාහේ,දෙදාහේ මෙගා නාට්‍යෙක හේතුවක් වෙලා තියනවා. තව එකක් වෙනවා ගෙදර පොඩි රණ්ඩු වලදී. තේ එකක් හදන්න කීවත් ගෙදර ගෑණි එන්.ජී .ඕ සංවිධානයක් වගේ කාන්තා නිදහස ගැන කතා කරනවා. දැන් මේ ගෙදර ගෑණු හිතන් ඉන්නේ කාන්තා නිදහස කියන්නේ පුටුවකට වෙලා ඉඳගෙන මෙගා ටෙලි නාට්‍යයක් බලන එකට කියලා. එහෙම නැත්තං මිනිහා වැඩට ගියාට පස්සේ ගණිකා වෘත්තියේ යෙදෙන එකට කියලා. මට හොඳ අත්දැකීම් තියනවා ඔය නුගේගොඩ පැත්තේ එහෙම ඇවිදිද්දී. ළමයා පන්තියට දාලා අම්මලා පන්තිය ළඟ ගැට්ටේ වැඩිවෙලා ඉන්නවා. ටික වෙලාවකින් ත්‍රිවිල් වලින් ඇවිත් උස්සන් යනවා. පන්තිය ඇරෙන්න කිට්ටුව ගෙනත් ගෙනත් බානවා. ළමයා දන්නෙත් නෑ,මිනිහ දන්නෙත් නෑ මොකද වෙන්නේ කියලා. මාර ගඳ උප සංස්කෘතියක් හැදිච්චි රටක් මේක. මං මේ කිසි දේකට ගෑණු, මිනිස්සුන්ට දොස් කියන්නේ නෑ. දෝසය තියෙන්නේ මේ සිස්ටම් එකේ වෙනස් කරන්න ඕනේ ඒ සිස්ටම් එක.