උපන් ගෙයිම සොරකම් කළ බිළිඳියක් – Baby Girl
ලොව උතුම්ම පදවිය මව් පදවියයි. දරුවෙක් කුසට ආ දිනයේ සිට මවක් තම දරුවා වෙනුවෙන් දුක් වේදනා උහුලමින් මොනතරම් නම් කැපකිරීම් සිදු කරනවාද? දරුවන් කොතරම් ලොකු මහත් වුණත්, මවකගේ සෙනහසේ අඩුවක් වෙන්නෙ නැහැ. අම්මලාට දරුවො හැමදාමත් පුංචියි. එවැනි උතුම් මව්වරු සිටින ලෝකයක, අතරින් පතර තම කුසෙන් උපන් බිළිඳා අත්හැර දමා යන, මහමග තනිකර දමා යන උදවියත් සිටිනවා. ගැහැණියක් දරුවෙක් වැදූ පමණින්ම මවක් නොවේය යනුවෙන් කතාවක් තියෙනවා. අම්මා කියන්නෙ කැපකිරීම, ආදරේ, රැකවරණය මේ වගේ තේරුම් ගොඩකට කියන තනි වචනයක්.

මේ කතාව අතුරුදන් වූ බිළිඳියක් ගැන. කේරළයේ තිරුවන්නාතපුරම් රෝහලේ ඉපදුණු කුඩා බිළිඳියක් ඉපදිලා දවස් තුනකින් කිසිවෙකු සොරකම් කරනව. පොලිසිය වහාම පරීක්ෂණ අරඹන අතර, ඔවුන්ගේ සැකය යොමුවෙන්නෙ එදින පමාවී සේවයට වාර්තා කළ සනල් නැමති රෝහල් සේවකයා වෙත. මේ අතුරුදන් වීම තවත් සංකීර්ණ වෙන්නෙ බිළිඳියගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කරනකොට. ඒ වගේම රෝහල් සේවක සනල් දකිනව බුර්කාවක් ඇඳසිටි කෙනෙක් විශාල බෑගයක් රැගෙන බිළිඳිය සිටි රෝහල් කාමරයෙන් පිටව යන අයුරු. පොලිස් පරීක්ෂවලින් ඵලක් නැතිබව සිතන සනල් තමන්ගේම මෙහෙයුමක් අරඹනව. ඔහුත් තාත්තා කෙනෙක්.

ඉපදී පැය කිහිපයක් ගතවූ බිළිඳුන්, මහමඟ, දුම්රියවල දමා යාම ගැන කතා නිතර නිතර අසන්නට ලැබෙනවා. හේතුව මාතෘත්වය, පීතෘත්වය පිළිගැනීමට නොහැකි වීම. නිසි වයසට එළඹ නොසිටීම, සමාජ ආර්ථික හෝ වෙනයම් කාරණා. නමුත් මේ කාරණාවලට වැරදිකරුවා මහමග තනි කර දමා යන බිළිඳාද? උස්මහත් කරගැනීමට නොහැකිව මෙලොවට බිහිකළ අය විසින්ම ගඟට මුහුදට බිළිදෙන, වස පොවන කුඩා දරුවන්ද?

දරුවන් නොලැබීමේ වාසනාව නොලද ස්ත්‍රීන් දෙස සමාජය අවඥාවෙන් බලනවා. දරුවෙක් වදන්නට වරම් නොලද මුත්, කාගේ හෝ දරුවෙක් තම ළයට තුරුළු කරගෙන අපිරිමිත මව් සෙනෙහසකින් ඔවුන්ව ලොකුමහත් කරන අම්මලා මේ ලෝකේ ඕනෑතරම් ඇති. දරු සෙනෙහස නිසා මවකගේ රතුපැහැ රුධිරය කිරි බවට හැරෙන බව පැවසෙනවා. විළිරුදා ඉසිලූ පමණින්, කිරි එරුණ පමණින් මවක් විය හැකිද? දරුවෙකු හැදුව පමණින් පියෙක් විය හැකිද?




