රත් දෝතළු – 44
මේ හේතුව යැයි කියා ස්ථීරවම පැවසිය නොහැකි හැඟීම් ගොන්නකින් මසිත පිරී තිබිණි. විනීෆ්‍රීඩා මහත්මියගේ රාත්‍රී බෙහෙත් වේල ඇයට දී මම මිදුලට බැස්සේ ඈ රූපවාහිනිය නරඹමින් සිටින විටය. තව පැයක් පමණ ඈ මෙසේ රූපවාහිනිය නරඹන බව මම දනිමි. විහඟ ඇති කළ නොසන්සුන් බව තවම පහව ගොස් නැත. අහස්ගේ උඩඟුවත් මාන්නයත් නපුරුකමත් ඉවසා සිටිය හැකි මුත් විහඟහේ සරාගී බැල්මත්, නුවුමනා ඇඟෑළුම් කමත් මා සිතේ ඇතිකර තිබුණේ අනියත නොවූ බියකි. විනිෆ්‍රීඩා මහත්මිය පවසන පරිදි විහඟ සෙල්ලක්කාරයෙකි. ඔහුට තරුණියන් සෙල්ලම් බඩු හා සමානය. දැනටමත් ඔහු දුසිම් ගණන් ළඳුන් ඇසුරු කොට ඇතිවාට සැක නැත. ඒ කිසිත් ස්ථීර වූ ඒවා නොවේ. මිනිසුනට මෙවන් සබඳතා පවත්වාගෙන යා හැකිද? ආදරය යනු උතුම් දෙයකි. එය අවංක සිතින් පිදිය යුතු පූජනීය වස්තුවක් හා සමානය. එසේ බලන කළ කේෂවගේත් විහඟගේත් වෙනසක් නොමැත්තේය. මා මුවින් සුසුමක් ගිළිහී ගියේ ඉබේමය. පිනි වැටුණු තණ බිම සීතලය. විදුලි එළියට ඒවා දිලිසුණේ දියමන්ති කැට බිම මත අතුරා ඇතිවාක් මෙනි. තරමක සීතලක් දැනුණ බැවින් මම හැරුණේ ආපසු ගෙතුළට යෑමටය. මම තිගැස්සී ගියේ මට නුදුරුව දෑත් බැඳගෙන සිටගෙන මා දෙස බලා සිටින විහඟ දැකීමෙනි. ඔහු කොයි මොහොතේ එතනට පැමිණියාද කියා මා සිතේ මවිතයක් ඇති විය.
“වි…හ…ඟ…ස….ර්…”
මා මුවින් පිට වූයේ තිගැස්ම නිසාය. ඔහු ඒ බව දැක සරදම් සහගත සිනහවකින් යුතුව මා දෙසට ඇවිද ආවේය.
“ඔයා බය වුණාද…?”
හිස මඳක් මා වෙත නැඹුරු කොට ඔහු ඇසුවේ පහත් හඬකිනි.
“බය වුණේ නැහැ… ගැස්සුණා… අවතාරයක් වගේ මේ වෙලේ ඔයා මෙතන ඉඳියි කියලා කවුද හිතන්නේ…”
නොමනාපයෙනුත්, නොසතුටෙනුත් මම කීවෙමි.
“සොරි… සමාවෙන්න ඕන… ඒත් මට කියන්න… කැලෑ මල මොකද මේ රෑ වෙලා එළිමහනේ කරන්නේ… මෙතන්ට ඇවිත් මං ගැනද කල්පනා කළේ…?”
මම අලුතින් තිගැස්සී ගියෙමි.
“විහඟ සර් මොනවද කියවන්නේ… මං මොකටද ඔයා ගැන කල්පනා කරන්නේ…? වෙන කරන්න දෙයක් නැතුවට හොඳයි…”
නොමනාපය මම ඔහු මුහුණටම ගසා දැමීමි.
“ඔහොම කියපු පළවෙනි කෙනා ඔයා…”
මම කිසිත් නොකීවෙමි. ඔහු සමඟ කතාබහ දිගටම කරගෙන යෑමට මට වුවමනා නැත. හදිසියේ හෝ විනිෆ්‍රීඩා මහත්මිය පිටතට පැමිණියා නම් කුමක් සිතනු ඇතිද? මම නිහඬව ඔහු මඟහැර ගෙතුළට යෑමට සූදානම් වන විට ඔහු මා මඟ අවුරා සිටගත්තේය. මම හිස ඔසවා ඔහු දෙස බැලුවේ මවිතයෙනි.
“ඔයා ඔය යනවද…?”
“ඔව්… මැඩම් මාව හොයනවා ඇති…”
“ඇයි මේ හදිසි… අපි ටිකක් කතා කරමුකෝ.. මට හරි පාළුයි… කතා කරන්නවත් කවුරුවත් නැහැ…”
ඔහුගේ හඬේ වූයේ මවා ගත් අනුකම්පා උපදවන සුලු බවකි. මා සිතේ ඇති වූයේ උපහාසයකි. ඔහු තරුණියන් රවටා ගන්නවා ඇත්තේ මෙසේ කියා විය යුතුය. එවන් දේවලට රැවටෙන්නට තරම් මා මෝඩියක නොවෙමි.
“ඔයාට පාළුයිද…?”
මම ඇසුවේ සිතේ උපන් උපහාසය මුවින් පිට කරමිනි. ඔහු හිස ඉහළ පහළ වැනුවේ ඇසි පිය සළමිනි.
“අර ඇතුළේ රෝද පුටුවක වාඩි වෙලා ඉන්න කෙනත් කතා කරන්න කෙනෙක් නැතුව පාළුවෙන් තනිකමෙන් ඉන්න කෙනෙක්… ටිකක් එයා එක්ක කතා කරලා බලන්න… එයාට කියන්න ගොඩාක් දේවල් ඇති… ඔයාට වඩා එයා ඉන්නේ පාළුවෙන්…”
ඔහු මවිතයෙන් මා දෙස බලා සිටින විට මා ඔහු මඟහැර පියවර තැබීමි. විහඟ එසේම සිටගෙන සිටිනු මම දුටුවේ දොරින් ඇතුළු වන විටය. ඔහුට වුවමනා මා තනිව කතාවට අල්ලා ගැනීමටය. එවැන්නකට ඉඩ දෙන්නේ මන්ද? මම එන විටත් විනිෆ්‍රීඩා මහත්මිය සිටියේ රූපවාහිනිය ඉදිරිපිටය.
“කම්මැලිද ළමයෝ…?”
ඈ මවෙත හැරී විමසුවේ මම ඈ පසෙක අසුනේ හිඳගන්නා විටය.
“නැහැ මැඩම්… එළියට වෙලා හිටියේ විහඟ සර් ආවා…”
ඈ හැරී මදෙස බැලුවාය.
“ඉතින්…?”
මම සිදුවීම ඈ හෑ පැවසීමි. ඈ මට අනතුරු අඟවා තිබිණි. මා මෙහි සිටිය යුත්තේ ඈ කියනා ලෙස ඇයට කීකරුවය. අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීමට මට වුවමනා නැත.
“අනේ පව්… හරි පාළු ඇති… බොරු මවා පෑම්… කෙල්ලෝ කී දෙනෙක් එක්ක ඔහොම චැට් කරලා ඇතිද මේ ළමයා…”
ඈ කීවේද උපහාසයෙන් යුතුවය.
“මම ඔයාට මුලින්ම කිව්වේ ඒක තමා… මේ ළමයින් ගැන කොහොමද විශ්වාස කරන්නේ කියන්නකෝ…”
එවර ඈ කතා කළේ කළකිරීමකින් මෙනි.
“අහස් සරුයි, විහඟ සරුයි අහසයි පොළොවයි වගේ වෙනස්…”
“ඔයාට එක දවසින්ම ඒක තේරිලා…”
විහඟ පිටත කොරිඩෝව දිගේ ඇවිද යනු මම දුටුවෙමි. මම ගොස් ඉදිරිපස දොර අඟුළු ලා ආවෙමි.
“ඔය මැද දොරත් ලොක් කරන් එන්න අරවින්දි…”
මා එන විට ඈ කීවාය. මෙතෙක් දවස් අපි නින්දට යන විට ඒ දොර වසා දැමුවද අඟුළු නම් දැමුවේ නැත. එකත් එකටම එයින් අදහස් වන්නේ විනිෆ්‍රීඩා මහත්මියට විහඟ කෙරෙහි විශ්වාසයක් නැති බවද.? දොර අඟුළු ලා විත් මම ඇයව කාමරයට කැඳවාගෙන පැමිණියෙමි. ස්ථාවර දුරකථනය නද දුන්නේ මම මගේ කාමරයට යෑමට සූදානම් වන විටය. මම නැවත ආලින්දයට ගොස් එයට ඇමතුවෙමි.
“අරවින්දි…”
එහා පසින් ඇසුණ්‍රෙ ගැඹුරු කටහඬකි. මා සිත ගැහෙන්නට වූයේ එය අඳුනාගත් බැවිනි. අහස්…! ඔහු මෙයට අමතන්නේ මන්ද… ඇරත් මට..? මා හද ගැස්ම මොහොතකට නතර වූ සෙයකි.
“අ…හ…ස්…ස…ර්…මේ…වෙලේ…”
පුදුමයෙන් මම අසන විට එහා පසින් ඇසුණේ උස් සිනා හඬකි.
“අනේ… අනේ… කැලෑ මලේ… මං ඔයාගේ අහස් සර් නෙවේ… මං විහඟ…”
මසිත ලැජ්ජාවෙන් පිරී ගියේය. මම රැවටුණෙමි. ඒ හඬත් ඔහුගේ වාගේමය. එය මට මුලින් නොසිතුණේ මන්ද.?
“විහඟ ස…ර්…”
“ඔව්…ඔව්… මං තමා… නැතුව ඔයාගේ අහස් සර් නෙවේ…”
“සර් කතා කළේ ඇයි… මැඩම් නම් නිදාගන්න ගියා…”
“මං දන්නවා… ඒකනේ කතා කළේ… මැඩම්ට කතා කරන්න ඕන නම් මං මොබයිල් එකට ගන්නවානේ… ඔයා එක්ක කතා කරන්න ගත්තේ…”
“මා එක්ක මොනවා කතා කරන්නද විහඟ සර්…?”
“මට පාළුයි අරවින්දි… කවදාවත් නැතුව පාළුයි…”
“ඉතින් ඒකට මට කතා කළා කියලා හරියන්නේ නැහැනේ… නරකද සර්ගේ ෆෝන් ලිස්ට් එකේ ඉන්න කාට හරි කතා කළොත්…?”
මම එසේ පවසා රිසීවරය තොටිල්ලේ තබා කාමරයට පැමිණීමට සැරසෙන විටම එය නැවත නද දිණි. මම එයට ඇමතුවේ නොමනාපයෙනි.
“මොකද බොල මේ ගහගන්න වගේ කතාකරන්නේ…?”
නිර්මාණිගෙ හඬ ඇසී මා සිතේ කෝපය පහව සතුටක් මෝදු වූයේ ක්ෂණිකයෙනි.
“ඇති යාන්තම් මතක් වුණා…”
මම නෝක්කාඩු කීවෙමි.
“මේ ටිකේ එනකොට රෑ වුණා…”
ඈ කීවාය.
“ඉතින් ඉතින්… කොහොමද…?”
“කොහොමද අහස් කුමාරයා…?”
ඈ අසන විට මට සිනහ ආවේය.
“එයා ටුවර් එකක් ගිහින්…”
“ආහ්… එහෙනම් පාළු ඇති…”
“නැහැ… විහඟ සර් ඇවිත් ඉන්නේ…”
ඇයව ඇවිස්සීමට සිතා මම කීවේ පහත් හඬිනි. රාත්‍රියේ නිහඬ බව අතරින් මා කියන දේ විනිෆ්‍රීඩා මහත්මියට ඇසෙන්නට ඉඩ ඇත. මේ කතා බහ විනෝදයට පමණි.
“ආහ්… මෙයා දියුණු වෙලා ඉන්න තරම…”
“එහෙම නැතුව බැහැ…”
අපි දෙදෙනම එකතුව සිනහසුණෙමු. ආගිය තොරතුරු කතා බහ කර මම නැවත කාමරයට එන විට දුරකථනය නැවත් නද දිණි .ඒ නම් විහඟ බවට සැක නැත. මම කාමරයට විත් යහනේ වැතුරුණේ විහඟ ගෙන් හැකිතාක් දුරස්ව සිටිය යුතුයැයි මටම ඒත්තු නංවාගනිමිනි.
-හෙටත් හමුවෙමු-