රත් දෝතළු – 20
මුදල් පසුම්බිය තුළ වූයේ රුපියල් පන්දහසේ නෝට්ටු රාශියකි. මේ මොහොතේ ඒ බැංකුවෙන් ගන්නට ඇතැයි කියා සිතුණේ ඒ නෝට්ටු සියල්ලම අලුත්ම ඒවා වූ නිසාය. ගැහෙන හදින් මම එහි නෝට්ටු කීපය ගණන් කොට බැලීමි. රුපියල් ලක්ෂයක් පන්දහසේ කොළ පමණක් වූ අතර දහසේ කොළ විස්සක් සමඟ සුළු මුදලකුත් එහි විය. මා ගත දහදියෙන් නැහැවී ගොස් තිබුණේ බිය නිසාය. මේසා මුදල් ප්‍රමාණයක් මා දුටුවේ මුල් වරටය. එසේම මේ අනුන් සතු මුදලකි. බැංකු කාර්ඩ් පත් කීපයක් සහ හැඳුනුම්පතකුත් එහි විය. එය නම් පාසල් වියේදී ගන්නා ලද්දකි.
“විහඟ සත්සර වික්‍රමසූරිය”
එසේනම් ඒ නිර්මාණි කී අයමය. මේ ඔහුට අයත් මුදල් පසුම්බියයි. ඔහුගේ ඡායාරූපය දකින විට නම් මා මුවට සිනහවක් නැඟුණේ සිතේ වූ බිය පහකරමිනි. නිර්මාණි මෙතරම් අගය කළ තරුණයා මොහු විය හැකිද කියා මට සිතුණේ මේ ඡායාරූපයේ නම් ඔහු කඩවසම් බවක් අහළකවත් නොවූ නිසාවෙනි. සිහින් දැළි රැවුළක් සහිත ඔහු කෙසඟ අයෙකුය. එම ඡායාරූපයත් බසයේ ගමන් කළ තරුණයාත් සංසන්දනය කරන්නට හෝ මට හැකියාවක් නොවූයේ මා ඔහුව යාන්තමින් හෝ නොදුටු බැවිනි. ඔහුද අප දෙස සැළකිල්ලෙන් බැලුවා යැයි කියා මම නොසිතමි.
“අරවින්දි…”
මා පසුපසින් ඇසුණු නිර්මාණිගේ හඬින් මම තිගැස්සී ගියෙමි.
“කාගෙද බං ඔය වොලට් එක…?”
ඈ මවිතයෙන් කෑ ගැසූ අතර මම එය අතේ තබාගෙන අනෙක් අතට තට්ටු කරමින් නිර්මාණි දෙස යටැසින් බැලුවෙමි.
“කාගෙ කියලද හිතන්නේ…?”
ඈ මා පසෙක හිඳගත්තේ පුදුමයෙන් විසල් කොට ගත් දෑසිනි.
“ඒක උඹේ කොල්ලගේ කියලවත් හිතාගන්න තිබුණා උඹට එහෙම එකෙක් හිටියානම්…”
ඈ එසේ කියා උස් හඬින් සිනහසෙන විට මම ඇයට රැව්වෙමි.
“අම්මෝ ඔහොම රවන්න එපා… බය හිතෙනවා… ඇත්ත කියපන් උඹ මටත් හොරෙන් පික් පොකට් ගැහුවේ කාගෙන්ද…?”
ඈ ඇසුවේ විහිළුවට වුවද මම බිය වූයෙමි.
“පිස්සුද උඹට…”
මම කෑගැසීමි.
“හරි… හරි… කාගෙද ඔය… දියන් බලන්න…”
ඈ මා අතින් පසුම්බිය උදුරාගත්තාය.
“ඕහ්… මයි ගෝඩ්… කෙල්ලේ… උඹ නම් මාර ලකී… මේකේ බරගානක් තියනවානේ… කල්ල මරේ… අඩේ මේ විහඟගේ වොලට් එකද…?”
ඈ මවිතයෙන් කෑ ගැසුවාය.
“අපෝ… බලපන්කෝ… ඒ කාලේ මුගේ හැටි… හැළි වඳුරෙක් වගේ…”
මුව ඇදකරමින් ඈ යළිත් කීවාය.
“පව් අනේ… මිනිස්සුන්ට ඇදකරන්න එපා…”
නොමනාපයෙන් මම කීවෙමි.
“අම්මේ… මෙයා බලහංකෝ… මාර අනුකම්පාව… ඒකෙන් වැඩක් නැහැ… උඹට කොහොමද මේක හම්බුණේ… ඌ මට හොරෙන් උඹට මේක දුන්නා වෙන්න බැහැනේ…”
ඇයට සියල්ල විහිළුවක් සේය. මා සිටියේ සිතේ වූ කනස්සළ්ලෙනි. මම එය ඇසුලු බව කීවෙමි.
“දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කියන්නේ ඒක තමා…”
“ඒ කිව්වේ…?”
“ඇයි බං මෙතන ලක්ෂෙකට වඩා සල්ලිනේ… ඒ ටික අරන් වොලට් එක විසි කරලා දාමු… අයි. ඩී එක ඕන නම් පෝස්ට් කරන්න බැරියැ… බලපංකෝ බං… අලුත්ම නෝට්ටු…”
“උඹට පිස්සු… මේවා අනුන්ගේ… මං මේක ගිහින් දෙනවා…”
මම ඇගේ අතින් පසුම්බිය යළි උදුරා ගනිමින් කීවෙමි.
“ඈ බොල මොළේ විකාරද… මේ වෙලේ සල්ලි කියන්නේ වටිනාදෙයක්… ඔයාලගේ ඉඩමෙ උකසහරි ගෙවාගන්න පුළුවන්නේ…”
නිර්මාණි එසේ කීවේ සැබෑවටමද කියා සැකයෙන් මම මොහොතක් ඈ දෙසම බලා සිටියෙමි. ඇගේ මුහුණේ වූයේ බැරෑරුම් බවකි.
“එපා… අනුන්ගේ සල්ලි මොකටද අපිට…? ඊට හොඳයි පාරට බහිනවා…”
නොසතුටෙන් මම කීවෙමි.
“හ්ම්ම්… දැන් මොනවද කරන්න යන්නේ…?”
“වෙන මොනවද… මේක ගිහින් දෙනවා…”
“ගෙදරට…?”
“ඔව්… මේ අයි ඩී එකේ තියෙන්නේ ඇඩ්‍රස් එක…”
“කෝ දෙන්න බලන්න…. ඕකේ විසිටින් කාර්ඩ් එකක් වත් තියනවද බලමු… එහෙම නම් කෝල් එකක් දාන්න පුළුවන්…”
අලුතින් මතක් වූවාක් මෙන් ඈ කියන විට මම යළිත් පසුම්බිය ඇයට දුනිමි. ඈ එහි අහු මුළු බලමින් කාර්ඩ්පතක් සොයා ගත්තාය.
“ආහ්… යුරේකා යුරේකා…”
ඈ කැගැසුවේ සතුටින් මෙනි.
“අපෝ.. මේකේ ලෑන්ඩ් නම්බර් එකක්නේ තියෙන්නේ… හෑන්ඩ්ෆෝන් නම්බර් එකක් නැහැ… තිබ්බා නම් විහඟට කෝල් කරලා ටිකක් මඩවන්නත් තිබ්බා… අපරාදේ… මෙන්න…. කතා කරලා බලහං…”
ඈ කණගාටුවෙන් මෙන් කීවේ කාර්ඩ් පත මවෙත දිගු කරමිනි.
“ඉතින් ඔයාම කතා කරන්නකෝ…”
මම කීවෙමි.
“මං මොකටද කතාකරන්නේ…? උඹටනේ අමාරුව… උඹ කෝල් කරපං…”
ඈ සිය ජංගම දුරකථනයත් මවෙත දිගු කරමින් කීවාය. මම කාර්ඩ් පතේ වූ අංකයට ඇමතුමක් ගත්තද එම අංකය භාවිතයේ නැතැයි එහා පසින් ඇසුණේ පටිගත කළ පණිවිඩයකි.
“ඇයි… මොකෝ…?”
මම දුරක්ථනය විසන්ධි කළේ බලාපොරොත්තු සුන්වය.
“නොට් ඉන් යුස්…”
“ඉතින් අනිකට ගනින්… තව එකක් තියෙන්නේ…”
එසේ කී ඈ නැඟිට ඉවතට ගියාය. මම අනෙක් අංකයද අමතමින් දුරකථනය සවනතේ තබා ගතිමි. එහා පසින් එය නද දෙනු ඇසෙන විට මා සිත ගැහෙන්නට වූයේ මා අනුන් සතු දෙයක් ළඟ තබාගෙන සිටියාක් මෙන් වරදකාරී හැඟීමකිනි.
“හෙල්….ලෝ…”
එහා පසින් ඇසුණු කාන්තා හඬින් මම එක්වරම ගොළුව ගියාසේ හැඟිණි.
“හෙලෝ…”
නැවතත් එම හඬ සවනතට ගලා එනවිට මම අපහසුවෙන් වචන ගැළපුවෙමි.
“මේ මිස්…ටර්… වි…හඟ… සත්සරලා ගෙදරද…?”
තරමක ගොතයකින් මම ඇසීමි.
“නැහැ… මේ එයාගේ ආච්ච අම්මගේ ගෙදර…”
එහා පසින් ඇසුණු එම හඬේ වූයේ උපහාසයක්ද නැතිනම් කෝපයක්ද කියා මට එක්වරම සිතා ගැනීමට අපහසු විය. ඒ සමඟම එහා පසින් යළිත් ඇසුණේ උස් සිනා හඬකි.
“කවුද මේ කතාකරන්නේ… ටීනාද… මීනාද… ශකිරාද.. නැටලිද… අංජලීද…?”
එහා පසින් නම් වැලක් කියවගෙන ගිය අතර මා සිතේ නොමනාපය මුසු හැඟීමක් ඇති වූයේ විහඟ කෙරෙහිද නැතිනම් පිළිතුරු දෙන අය කෙරෙහිද කියා මට එක්වරම සිතාගන්නට නොහැකි විය. සමහරවිට ඒ ඔහුට නිතරම බොහෝ යුවතියන්ගෙන් ඇමතුම් එන නිසා එසේ ඇති වූවාදැයි කියා නොදනිමි. මෙයත් එවන් ඇමතුමක් කියා සිතා ඈ මා සමඟ මෙසේ කතා කරනවා විය යුතු බව මම අනුමාන කළෙමි.
“මම ඔය කවුරුවත් නෙවේ…”
මම නොමනාපයෙන් කීවෙමි.
“ආහ්… එහෙනම් අලුත් කෙනෙක්… ඇයි එයාගේ හෑන්ඩ් ෆෝන් එක වැඩ කරන්නේ නැත්ද…?”
ඈ පෙරළා විමසුවාය. එකත් එකටම මේ කතා කරන්නේ ඔහුගේ මව විය යුතුය. ඈ සිතේ නොමනාපයක් ඇතිව ඇත්තේ ඒ නිසාය.
“ආහ්… මම දන්නේ නැහැ… මැඩම් මොනවා කියනවද කියලා… මං කතා කළේ… මිස්ටර් විහඟගේ වොලට් එක වැටිලා තිබිලා බස් එකේ… මං ඒක ඇහුළුවා… ඒ ගැන කියන්නයි…”
මම කීවේ නොමනාපයෙනුත් නොසතුටෙනුත් යුතුවය.
“ඕහ්… ඒකත් එහෙමද… බලන්නකෝ ඒකෙත් හැටි… මං ඒත් හිතුවා අලුත් ගර්ල් කෙනෙක් හොයන් කියලා… මයි බෑඩ්… ඕකේ… ඕකේ… ළමයෝ… අනේ මන්දා මේ ළමයා කවදා නම් වගකීමක් ඇතිව වැඩක් කරයිද දන්නැහැ… හරිම කෙයාර්ලස්…”
එවර ඈ දොස් කීවේ විහඟටය.
“කරුණාකරලා කියන්න පුළුවන්ද මැඩම් මං මේක කොහොමද ලැබෙන්න සළස්සන්නේ කියලා…? මොකද මේක මං ගාව තියාගන්න මං කැමති නැහැ…”
නොමනාපයෙන් මම කීවෙමි.
“ඔව්… ඔව්… මට තේරෙනවා ළමයෝ… වැරදියට හිතන්න එපා මං ටිකක් සැරෙන් කතා කළා නම්… එක එක ගර්ල්ස්ලා කෝල් ගන්නවා… අනික් නම්බර් එක ඩිස්කනෙක්ට් කළෙත් ඒ නිසාමයි… හරි… හරී… ඒකෙන් කමක් නැහැ… ඕකේ සල්ලිත් තියෙන්න ඇති… ඔය ළමයාගේ හොඳ හිත නිසානේ මෙහෙම කෝල් කළේ… වෙන කෙනෙක් වුණා නම් සල්ලි ටික අරන් වොලට් එකත් විසි කරලා…”
ඈ එක දිගටම කියවාගෙන ගියාය. මම නිහඬව අසා සිටියේ ඇයට බාධා නොකරමිනි. මේ විහඟ නම් එසේ මෙසේ අයෙකු නොවන බව මට මේ වන විටත් පසක් වී හමාරය.
-පෙබරවාරි 2 වනදා නැවත හමුවෙමු-