NovelsRath Dothaluරත් දෝතළු - 12

රත් දෝතළු – 12

-

spot_img

රත් දෝතළු – 12

අම්මා නිවසට එනතුරු මා බලා සිටියේ නොඉවසිළිමත්වය. ඈ පැමිණි විගසම නිර්මාණිට ඇමතුමක් ගැනීමට යා යුතුය. මම හෙට උදෑසනම කොළඹ යා යුතුයැයි මම සිතුවේ හදිසි සිතුවිල්ලකිනි. වහා බංකුව මතින් නැඟිට ගෙන මම කාමරයට පැමිණියේ ඇඳුමක් සූදානම් කරගැනීමටය. සූදානම් කිරීමට කියාද මහා දෙයක් නැත. පෙර දිනක ගොස් මිලදී ගත් සායත් හැට්ටයත් හැඳගෙන යා හැක. චීත්ත ගවුම හැඳගෙන කොළඹ යා නොහැකිය. නංගී කාමරයට පැමිණියේ මම ඇඳුම් සූදානම් කරන අතරේය.

“ලොක්කාක්කේ… කොහේ යන්නද මේ හදිසියේ ඇඳුම් අහුරන්නේ…?”

නංගීගේ හඬේ වූයේ මවිතයකි. ඈ අසුනක් ඇද හිඳ ගත්තේ මා දෙස විමසිළිමත් දෑසින් බලමිනි.

“කොළඹ…”

කෙටියෙන්ම මම පැවසුවෙමි.

“මොකක්…! හදිසියේම… කවද්ද යන්නේ…?”

නංගී ඇසුවේ මවිතයෙනි.

“හෙට…”

“මොකක්…හෙට…! මේ ගහෙන් ගෙඩි එන්නා වගේ…?”

“ඔව්… ඉක්මනට යන තරමට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි… මදෑ මෙච්චරකල් ගෙදරට වෙලා හිටියා…”

“අනේ මන්දා ලොක්කාක්කේ… ඇත්තට ඉතින් මෙහේ හිටියා කියලා මොනවා කියලා කරන්නද…? මොනවා වුණාත් ඔයා එහේ ගිගින් පරිස්සමට.. හොඳද…?”

නංගී අවවාද දුන්නේ වැඩිමහල් සොහොයුරියක සේය.

“ලොකු දුවේ…”

අම්මාගේ හඬ ඇසී මම තිගැස්සුණු තරම්. ඈ කාමරයට හිස පොවන විට මම බියපත් සිතින් බලා සිටියේ ඇගෙන් අසුභ පුවතක් අසන්නට සූදානමින් මෙනි.

“පුදුම වැස්සක්නේ… යාන්තම් පායපු ගමන් ආවා… කෝ මල්ලී…?”

අම්මාගේ හඬේ කිසිදු කලබලයක් නැත. සහනයක් වෙනුවට මා සිතට දැනුණේ මවිතයකි. කේෂව එසේනම් යහතින් නිවසට යන්නට ඇත. සිදුවූ කිසිත් ඔහු කිසිවෙකු හා නොපවසන්නට ඇතිවා විය යුතුය.

“මල්ලී… නිදි අම්මේ… තාත්තගේ ඇඳේ…”

මා වෙනුවට පිළිතුරු දුන්නේ නංගීය.

“අර මොකද කලින්ම නිදි… කාලාද නිදාගත්තේ…?”

අම්මා යළිත් විමසුවාය.

“නැහැ… ඔය හවස නිදාගත්ත ගමන්…”

නංගීම එයටත් පිළිතුරු දුන්නාය.

“හ්ම්ම්ම්… මාත් ඇඟපත සෝදන් එන්නම්…”

අම්මා පිටතට යනවිට මමද ඈ පසුපස පැමිණියෙමි. කේෂව ගැන ඇගෙන් අසන්නේ කෙසේද.? ඈ සැකයක් ඇතිකර ගනු ඇතිද? ඔහු සුවයෙන් පසුවෙනවා ඇත. නොඑසේනම් අම්මා නිවසට පැමිණි විගස පවසන්නේ ඒ ගැනය.

“අම්මේ…”

මුළුතැන්ගෙයි දොරකඩ හිඳ මම අම්මා අමතන විට ඈ හැරී මදෙස බැලුවේ මිදුලේ වැලේ වනා තිබූ තෙතබරියම් වූ චීත්තය ගෙන ඇඟ දවටා ගනිමිනි.
වැස්ස මේ මොහොතේ පායා තිබුණද අඳුරු අහස කියා පෑවේ ‍යළිත් වැස්සක් ඇද වැටෙනු ඇති බවය.

“අම්මේ නිරූට කෝල් එකක් ගන්න යමුද…?”

“මේ දැන්…?”

ඇගේ මුහුණ මඳ අඳුරේ පැහැදිලිව නොපෙනුණද හඬේ වූයේ මවිතයකි.

“ඔව්…”

“මොකෝ හදිසියේම…? මේ වැස්සේ යන්නම ඕනැයි…”

අම්මා එසේ කීවේ නොකැමැත්ත නිසාද නැතිනම් සැබෑවටම වැහිබර අහස නිසාද කියා මට සිතාගන්නට නොහැකි විය.

“මම හෙට එනවා කියන්න…”

“හෙට…! මේ ගහෙන් ගෙඩි එන්නා වගේ…?”

ඇගේ හඬ පෙරටත් වඩා විමතියෙන් පිරී තිබූ සේම ඈ ඇසුවේද නංගී ඇසූ දේමය.

“ඉක්මනටන්‍යන තරමට හොඳයිනේ අම්මා… මං අද පාලිත මාමාලා ගෙදර ගිහින් සල්ලි ටිකක් ඉල්ලන් ආවේ… මාමා නම් හිටියේ නැහැ… රත්නපුර ගිහින්…”

මම එකදිගටම කියවන් ගියේ අම්මා විරුද්ධව කිසිත් කීමට පෙරය.

“මං ඇඟපත සෝදන් එන්නම්… ඉක්මනට ගිහින් එමු එහෙනම්…”

මා සිතේ මල් දහසක් පුබුදවාළමින් අම්මා කීවාය.

“අම්මා අද පන්සල් ගියේ නැත්ද…?”

ඈ සමඟ ළිඳ අසලට ඇවිද එමින් මම ඇසීමි.

“පන්සල්…! අද මොකටද පන්සල් යන්නේ…?”

“ඇයි කේෂවට බෝධි පූජා තියන්න පටන් ගත්තා නේද… මං හිතුවා අම්මා එන්න පරක්කු වෙනකොට පන්සල් ගියා වෙන්නැති කියලා…”

“අනේ… ඕකට මොන බෝධි පූජාද… මහ උන් දෙන්නත් උදේම කොහෙද ගිය ගමන් මං එනකලුත් ඇවිත් හිටියේ නැහැ… සමහරවිට අර මංගල යෝජනාව බලන්න එහෙ ගියාද දන්නැහැ… පියසේනවත් තියලා ගිහින් තියෙන්නේ… අනික මේ මොර සූරන වැස්සේ මොන බෝධි පූජාද… අර පෝරිසාදයාත් දවාලේ ගෙයින් එළියට බැහැපු ගමන් ගෙදර ආවේ නැහැ… කොහේ හරි ගුබ්බෑයමක රිංගන්න ඇති… ආවා ගමන් මදන කුලප්පුව…”

අම්මා කීවේ කෝපයෙනි.කේෂව තවම නිවසට නොගියා නම් ඔහු තවම සිහිසුන්ව එතනමද.? අලුතින් ඇතිවූ බියකින් මම සිතුවෙමි. අද මට සිදුවන්නට ගිය දේ අම්මා දැනගත්තා නම් පොළොවේ පස් කා කේෂව සොයා ගොස් කැත්තකින් කොටනු ඇතිවාට සැක නැත. කෙසේ නමුත් ඒ මොහොතේ මා පිහිටට මිහිපිට දෙවිවරු දෙදෙනෙකුම වැඩියා නොවේද.? නමුත් කේෂව දැනටම මියගොස් නම්? යළිත් බියකින් මම සිතුවෙමි.
————————————————————————————————————————————
නංගී පාඩම් කරයි.මල්ලීද තවමත් සුව නින්දේය. මාත් අම්මාත් ගොස් නිර්මාණිට ඇමතුමක් ගෙන යළි පැමිණෙන අතරේ ඈ නොයෙකුත් දෑ මගෙන් විමසුවාය. පසුදින මා පැමිණෙන බව කී විට නිර්මාණි සතුටින් කෑ ගැසුවාය. මගේ පැමිණීමෙන් ඈ සතුටු වන බවක් පෙනී ගිය මුත් මා සිටියේ නම් සතුටින් නොව හිස මත පැට වූ මහත් බරකිනි. පාලිත මාමාත් පියසේන මාමාත් ගැන සිතන විට එම බිය දෙගුණ විය. පාලිත මාමාගේ නිවසට යන්නට දැන් රෑ බෝවූවා වැඩිය. අප යළි නිවසට පැමිණෙන විට පාලිත මාමා පැමිණ ඇති සැටි දුර තියා දැක බිය වූයෙමි.

“පාලිත මාමා ඇවිත්…”

අම්මා මඟහැර මම කඩුල්ල පැන දිව ආවෙමි. පාලිත මාමා පැමිණි සතුටට මම දිව ආවා කියා අම්මා සිතුවා වන්නට ඇති මුත් සැබෑවටම මා දිව ආවේ සිත පෙළූ ඉමහත් බිය නිසාවෙනි. කේෂවට කුමක් වූවා වන්නට ඇතිද.? පියවි සිහි ලැබැ ඔහු නිවස්ට ගියා වත්ද? දෙගිඩියාවෙන් මම සිතුවෙමි.

“මාමා දැන්ද ආවේ… අපි හංදියට ගියා…”

මගේ හඬේ යම්තරමක කලබල ගතියක් තිබෙන්නට ඇතැයි කියා මට සිතුණේ පසුවය. ඒ බවක් තාත්තාට නොවැටහෙන්නට ඇත.

“මං මේ දැන් ගොඩ වුණා විතරයි ළමයෝ… දුව අද එහේ ආව කිව්ව නිසා මං මේ ගෙට ගොඩ වුණ ගමන් අනික් පැත්තට ආවේ…”

කිසිදු වෙනසක් නොපෙන්වා පාලිත මාමා කියන විට මා සිතට යම් සහනයක් දැනිණි. කේෂව මියගියා නම් ඔහු මෙසේ සැහැල්ලුවෙන් සිටිනු ඇතිද?

-හෙටත් හමුවෙමු-

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you