AG – වසර දහසයක පමණ කාලයක් ගෙවී ගියද මෙතෙක් කිසිදු යුක්තියක් ඉටු නොවූ, Sunday Leader කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ නැවත වතාවක් සමාජය තුළ උණුසුම් කතා බහක් ඇතිවෙමින් පවතී. මෙම කතාබහට ප්‍රධාන නිමිත්ත වූයේ, නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහගේ අත්සනින් 2025 ජනවාරි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යවන ලද ලිපියකි.
නීතිපතිවරයා විසින් එසේ යවන ලද ලිපියෙන් නිර්දේශ කර තිබුණේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු යුද්ධ හමුදා බුද්ධි අංශ සෙබළෙකු සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දෙදෙනෙකු පිළිබඳව ය. එම ලිපියෙහි සඳහන් ආකාරයට ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල, විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන චූදිතයන්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවත්, එම චූදිතයන් නිදහස් කළ හැකි බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත දන්වන ලෙසත් නීතිපතිවරයා නිර්දේශ කර තිබිණි.
නීතිපතිවරයාගේ නිර්දේශය සම්බන්ධ විරෝධයේදී ඒ වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍ය සංගම් සහ සිවිල් ක්‍රියාකාරීන් ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇත්තේ නීතිපතිවරයා පත්වූ ආකාරය පිළිබඳවයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට සහ ඇතැම් මාධ්‍ය කතිකතාවත් වලට අනුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම නීතිපතිවරයා පත්කර ඇත්තේ සුදුසුකම් ලත් නිලධාරිනියක් ඊට ඉහළින් සිටියදී බව ය. ලසන්තගේ දියණිය අහිම්සා වික්‍රමසිංහ අගමැතිනියට යොමුකළ ලිපියෙහි සඳහන්ව ඇත්තේ ද “බලය අයුතු ලෙස භාවිතා කිරීම, රාජකාරිය දැඩි ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක්” ගෙන එන ලෙසයි. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් කසුන් පුස්සවෙල ඇතුළු පිරිසක් ද නීතිපතිවරයාට විරෝධය දක්වමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වෙත ලිපියක් භාර දී තිබිණි. ඒ අතර පසුගියදා ශ්‍රී ලංකාවේ නීතිපති කාර්යාලය අසලද විරෝධතාවක් පැවති අතර සමස්ථයක් ලෙස මෙම විරෝධතාවන් හි පොදුවේ දක්නට ලැබුණේ “AG go home” පන්නයේ සටන් පාඨයකි.
අහිම්සා වික්‍රමසිංහ අගමැතිනියට යොමුකළ ලිපියෙහි සිය පියාගේ ඝාතනය පිළිබඳව තමා දන්නා සහ සොයාගත් බව කියන තොරතුරු රැසක් විය. “2015 සිට 2019 දක්වා සිදු කරන ලද පරීක්ෂණ අතරතුර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා වෙහෙස මහන්සි වී සිය ගණනක් ඉඟි විමර්ශනය කළ අතර විමර්ශන ද්‍රව්‍ය වෙළුම් 50 කට අධික සංඛ්‍යාවකින් යුත් සාක්ෂි කන්දක් රැස් කළේය” යන්න එම ලිපියේ තිබු වැදගත්ම කොටසකි. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා, එවකට සි.අයි.ඩී අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි වැනි අය ගැන ඇගේ ලිපියෙහි ඇති කරුණු ඝාතනය පිළිබඳව ඉඟි සොයා යන්නෙකුට නව මානයන් පෙන්වයි. නමුත් වත්මන් ආණ්ඩුව නීතිපති පසුපස පන්නන ආකාරය “ගිනිපෙට්ටියක් පෙන්වා බිය ගන්වමින් දුවන නීතිපතිවරයෙකු පසුපස ගිනි නිවන උපකරණයක් රැගෙන ලුහුබැඳීම රාජ්‍ය නායකයාගේ කාර්යය නොවිය යුතුය.” යනුවෙන් ඇය දැඩිව උපහාසයට ලක් කර තිබිණි.
තත්වය මෙසේ තිබියදී, රටේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස චෝදනා ලැබ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් එම චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දැක්වූ විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සංගම් කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ලද නිර්දේශ කිරීමක් නීතිපති දෙපාර්තුමේන්තුව විසින් මෙසේ ක්‍රියාවට නගමින් පවතින්නේ ද…? යන්න ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රශ්න කරයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුවන නමුත් මේ තාක් ඊට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන නොමැති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ආණ්ඩුව කළ ප්‍රකාශය අනුව විමර්ශන අලුත් වී ඇතිදැයි BBC මාධ්‍යවේදියෙකු කළ විමසුමකට පිළිතුරු දෙමින් පවසා සිටියේ “මග හැරුණ තැන් ඇත්දැයි සොයා, බලා නීතිපති උපදෙස් ගෙන විමර්ශන නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යන” බවයි. ආණ්ඩුව සහ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ අතර ඇති මේ පරස්පරතාවයන්ද විටෙක අපට ඇති කරනුයේ කුහුලකි.
සියල්ල එසේ සිදුවද්දී, පසුගියදා ජනාධිපතිවරයා කළ පළමු චීන සංචාරයේදීම අපගේ රාජ්‍ය මාධ්‍ය හා චීන රාජ්‍ය මාධ්‍ය සමඟ ගිවිසුම්ගත වීමකට ගොස් තිබේ. ඒ ගිවිසුම කුමක්දැයි මෙතෙක් රටට හෙළිකොට ද නැත. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වූ දර්ශකයේදී චීනය සිටින්නේ ලංකාවට එහා ගිය නරක තැනක ය. පහුගිය ආණ්ඩු ජනමාධ්‍යට එරෙහිව ඇටවූ නීති අහෝසි කොට, රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවලින් නිදහස් කිරීම වෙනුවට, එවන් ගිවිසුම්ගත වීමක් තුළින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ කුමක්ද..? 2006 සිට 2015 ජනවාරි දක්වා මාධ්‍යවේදීන් 13ක් ඝාතනය වූ බව කියන ජනමාධ්‍ය අමාත්‍යවරයා, එම පරීක්ෂණවල ප්‍රගතිය ගැන නොදනී. ෆයිල් හා සාක්කි අතුරුදහන් බවත් ඝාතන පරීක්ෂණවල තොරතුරු නැති බවත් ෆයිල් හාරසිය ගණනක් කැබ් රථයේ පිටුපස ඇතැයි කී වත්මන් ජනාධිපතිවරයාම කියයි.
මේ රටේ අති බහුතර ජන්ද පදනමකින් පත්වූ ආණ්ඩුවක්, එම ජනමතය වෙනුවෙන් වැඩකරනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එහෙත් රටේ ජනතාව සහ මාධ්‍ය සංවිධාන අපේක්ෂා කළ වේගයෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය වේගවත්ද යන්න දැන් අපට ප්‍රශ්නයකි. නීතිපතිට එරෙහිව විරෝධයක් ඇති කිරීමෙන්, ඔහුව ගෙදර යැවීමෙන් හෝ විශ්වාස භංගයකින් පරාජය කිරීමෙන් පමණක් මෙරට මාධ්‍යවේදීන්ගේ නිදහස හෝ ඝාතන බිය පහව ගොස් ඔවුන් ආරක්ෂා වේයැයි ආණ්ඩුව විශ්වාස කරන්නේනම් එය ඇත්තෙන්ම දැඩි මුලාවකි.