More
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 05

    Hima Mal Renu හිම මල් රේණු – 05

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    අවීශ් !

    ඔහු මා සිතේ ඇති කර තිබුණේ බලවත් කුතුහළයකි. ඉදිරිපස අසුන් පෙළේ සිටි යුවතියන් තිදෙන යළිත් මා දෙස බලමින් සමච්චල් ලෙස සිනහාසෙමින් සිටිනු මට දකින්නට ලැබුණේ අහම්බෙනි. මම ඔවුන් කෙරෙහි තැකීමක් කළා යැයි කියා මම නොසිතමි. සිතන්නට මට ඊට වඩා කාරණයක් තිබිණ. නදීරාගෙන් මට අවීශ් පිළිබඳව තොරතුරු ටිකක් දැන ගැනීමට හැකි වෙනු ඇතැයි කියා මම සිතුවෙමි. ඇයත් සමඟ කළ කතා බහෙන් මා දැන ගත්තේ නදීරාගේ නිවසත් මා යන පාරේම පිහිටා ඇති බවකි. පාසල නිම වී ඈ යන්නේ බසයෙන් බව දැන ගත් මම කීවේ මා සමඟම ඇයට යා හැකි බවය. ඒ ඇසූ ඈ සැබෑවටම සතුටු වූවාය.

    “අනේ ඇත්තටමද..? මං බස් එකේ ගියොත් තුන විතර වෙනවා ගෙදර යද්දී ඒ තරමට ට්‍රැෆික්…”

    ඈ මැසිවිළි නැඟුවාය.

    “එහෙනම් ඉතින් හැමදාම මා එක්කම ගිහෑකි…”

    “ඒක නම් හොඳයි…උදේට නම් තාත්තා ඔෆිස් යද්දී ගෙනත් ඇරළවනවා…ඒත් ඉතින් සමහරදාට එයා උදෙන්ම යනවා…එදාට ඉතින් බස් එකේ…”

    “එහෙම වුණොත් මට කෝල් එකක් දෙන්නකෝ…මං එන ගමන් ඔයාව ගන්න එන්නම්…”

    “අනේ ෂෝක් හැබැයි…කොච්චර දෙයක්ද…ඔයා මෙහෙ ආව එකට නම් මං දැන් සතුටු වෙනවා…මගේ යාළුවෝ දෙන්නාම ඒලෙවල් වලට වෙන කොලේජ් එකකට ගියා….එයාලා දෙන්නම මැත්ස් කරන්නේ, ඒකයි. මට හොඳ යාළුවෙකුත් නැතිව හිටියේ…”

    නදීරා සැබෑ සතුටකින් කීවාය.

    පාසල නිමා වී කඩි ගුළක් ඇවිස්සූ කලෙක මෙන් පිටතට ඇදෙන ළමුන් පෙළට මාත් නදීරාත් එකතු වුයෙමු. ගේට්ටුව අභියසදී අප පසු කර යන අවීශ් දැක මම නදීරාත් ඇදගෙන පය ඉක්මන් කළේ ඔහු හා එක පෙළට වැටෙන අදහසින් වුවද අපේ මෝටර් රථය රැගත් ගුණතිලක මාමා අප බලාපොරොත්තුවෙන් සිටිනු දැක

    “අපි යනවා අවීශ්..”

    යැයි පවසා විත් නදීරා සමඟ රථය වෙත පැමිණියේ ඔහු පුදුමයට පත්ව හැරී බලනු දැක සිත යටින් සිනහාසෙමිනි. ඔහු අප පසුකර ගොස් පෙජරෝ රථයකට නඟිනු මම දිටිමි.

    “අම්මෝ නදීරා එයාගේ හරි ආඩමබර නේද.? මහ ලොකු කොණ්ඩ කුරුල්ලා…රැවුලත් වවාගෙන..ඔහොමත් එනවද අප්පා ඉස්කෝලේ..? ”

    නොසැළකිලිමත් ලෙස මම කීවේ නදීරාට මම ඔහු ගැන උනන්දුවක් ඇති බව සැක නොසිතෙන ලෙසිනි.

    “කවුද අවීශ්ද..? එයා එහෙම තමා අනේ..යකෙකුටවත් බය නැහැ…ඒ වුණාට ප්‍රින්සිපල් සර්ගේ ඉඳලා මුළු කොලේජ් එකම එයාට බයයි…”

    ඒ ඇසූ මම පුදුමයට පත් වූයෙමි.

    “මොනවා! ඒ ඇයි එයාට එච්චර බය…තාත්තා ප්‍රසිඩන්ට්ද..? ”

    “ප්‍රසිඩන්ට්ට වුණත් එච්චර බය වෙන එකක් නැහැ…”

    “එයාගේ තාත්තා මැරයෙක්ද..? ” නදීරා එයට සිනහාසුණාය.

    “අම්මෝ නැහැ අනේ…එයාගේ තාත්තා ලංකාවේ ඉන්න බිලියනර්ස්ලාගෙන් කෙනෙක්…අපේ කොලේජ් එකේ ඕල්ඩ් ස්ටුඩන්ට් කෙනෙක්…ඉස්කෝලෙට ඕනම දේකට ෆුල් සපෝර්ට්…ප්‍රින්සිපල්ව අල්ලේ තියන් ඉන්නේ…”

    “ආහ් ! සල්ලි බලේ…ඒක තමා පුතණ්ඩියා ස්කූල් එන්නේ රස්තියා වගේ…” මා සිතේ ඇති වූයේ කෝපයකි.

    “අවීශ්ට කවුරුත් මොකුත් කියන්නේ නැහැ…”

    “හරි වැඩක් නේ..ඩිසිප්ලීන් කියලා දෙයක් තියෙන්න එපැයි…”

    “කවුද අනේ ඕවා බලන්නේ..? අවීශ්ටත් ඕවා ගානක් නැහැ…ඕලෙවල්වත් පාස් වෙයි කියලා කවුරුත් හිතුවෙ නැහැ…හැබැයි කොලේජ් එකෙන්ම බෙස්ට් රිසාල්ට්ස් තිබ්බේ එයාටයි තව එක්කෙනෙක්ටයි විතරයි..අපි පාඩම් කරලාවත් අපිට ඒ තරම් පාස් වෙන්න බැරි වුණා…අවීශ් වැඩිපුර කතා නැහැ…ඒත් ඉතින් කතාවට වැටුණාම බලන්න ඕන…”

    “පේනවා බුම්මට්ටා වගේ ඉද්දී…”

    නදීරා උස් හඬින් සිනහාසුණාය. නංගීගේ පාසල අසළින් ඇයව රථයට නංවා ගත් පසු අප දෙදෙනාට නිදහසේ කතා කිරීමට ඉඩක් නොවීය. ඈ තොරතෝංචියක් නැතිව තම පාසල් දවසේ අත්දැකීම් කියවන්නට වන විට නදීරා එය කෙසේ ඉවසා සිටියාදැයි කියා මම පුදුම වීමි.

    ******* ****** ***** ***** ******** ****** ********** ****** ***** *****
    නැන්දාත් මාත් මිදුලේ වූ බංකුව මත හිඳගෙන තේ බොමින් ආගිය තොරතුරු කතා බහ කරමින් සිටියෙමු. ඈ මගෙන් පාසල පිළිබඳව තොරතුරු විමසුවාය. පිරිමි ළමුන් මට වද කරන්නට ආ බව මම ඈ හා කියන විට ඈ ඉන් බිය වූවාය.

    “අනේ ළමයෝ පරිස්සමෙන්..කොළඹ ඉන්න කොල්ලෝ නම් සතේකට විශ්වාස නැහැ…”

    “කොල්ලෝ නම් කොහේ වුණත් විශ්වාස නැහැ..”

    මට එසේ කීමට වුවමනා වුවද මම එසේ නොකීවෙමි.

    “අපෝ බය වෙන්න එපා නැන්දා….මට මොකුත් වෙන්නේ නැහැ…”

    “ඒ වුණාට දුව මේක ගම වගේ නෙවේ…” නැන්දා සිත් කරදරයෙන් මෙන් කීවාය.

    “එහෙම වුණොත් නැන්දා, මාව බේරගන්න කෙනෙක් ඉන්නවා..”

    මම එසේ සිතුවා මිස මුවින් නොපැවසුවෙමි. විහිළුවට හෝ එසේ කීවා නම් නැන්දා තව තවත් සිත කරදර කරගන්නවාට සැක නැත.

    “ඒකනේ අනේ මම මෙහෙ එන්න අකමැති වුණේ…ඒක නෙවේ නැන්දා…අපේ පන්තියේ ඉන්නවා මහා අමුතු ළමයෙක්…කාටවත් බය නැහැ…කොණ්ඩෙ කපුටු කූඩුවක් වගේ…සැලෝන් එකක් ළඟින් ගිහින් නැද්ද කොහෙද..කාක්කොත් කූඩු හදයි පාරේ හිටන් හිටියා නම්…මූණ පුරා රැවුල් කොට…අත් කොට ෂර්ට් එක අඳින්නෙත් හීනියට අත් නවලා…ජිම් යනවා කියලා පෙන්නන වෙන්නැති…කොලර් එකත් උස්සන්, සෙරෙප්පුත් දාන් ඉස්කෝලේ එන්නෙ…”

    “එහෙමත් එන්න පුළුවන්ද ඉස්කෝලේ..?

    ආච්චි අම්මා ඉන්න තිබ්බේ හම ගහයි අල්ලලා…ප්‍රින්සිපල් මොකුත් කියන්නේ නැද්ද..? ”

    ඇගේ කතාවට මා මුවින් සිනහාව පිට පැන්නේය.

    “ප්‍රින්සිපලුත් බයයි ලු එයාට…”

    “හරි ෂෝක්…තාත්තා පාතාලෙ එකෙක් වෙන්නැති…”

    “ම්ම්හ්…නැහැ…තාත්තා ලංකාවේ ඉන්න ලොකු බිස්නස්මන් කෙනෙක්ලු…”

    “කුඩු විකුණන එකාටත් බිස්නස්මන් තමා කියන්නේ…”

    නැන්දා කීවේ කෝපයත් නොරුස්සුමත් මුසු හඬකිනි. මා සිතේ තැති ගැන්මක් ඇති වූයේ සැබෑවටම එය එසේ දැයි සැකයෙනි. නදීරාගෙන් මට එය ඇසීමට නොහැකි විය.

    “නැහැ…එහෙම වෙන්න බැහැ…”

    මම එසේ කීවේ මා සිත සනසා ගැනීමට මෙනි.

    “ඔයා එහෙම කතාවට යන්නේ නැහැ, තාත්තා දැන ගත්තොත් ඔයාවත් නංගීගේ කොලේජ් එකටම දායි…”

    මා සිතේ අපුළක් ඇති විය.

    “ආපෝ.. කවුද අනේ ඕවා තාත්තාට කියන්නේ…නැන්දා කියන්නේ නැහැනේ…මම කියන්නෙත් නැහැ… ඒත් නැන්දා , මට ගමේ ඉස්කෝලේ නම් හුඟාක් මතක් වෙනවා… ආච්චි අම්මා එක්ක ශ්‍රීමා ඉන්න නිසා බයක් නැහැ…”

    සුසුමක් හෙළමින් මම කීවෙමි.

    “ටික දවසක් යද්දි මෙහෙත් ගම වගේම වෙයි…”

    නැන්දා කීවේ මා සිත සැනසීමට මෙනි.

    “ඔව්…දැන් මං මෙහෙටත් ආසයි…”

    “හැබැයි ඉතින් බොහොම පරිස්සමෙන්..ගමේ අය අපිට ආදරේ වුණාට මෙහේ එහෙම නැහැ…අපි මෙහෙ අයව දන්නේත් නැහැනේ…”

    “හරි මම පරිස්සම් වෙන්න බලන්නම්. ”

    අපි කතා කරමින් සිටින අතරේ භාෂිත කෙටි පණිවිඩයක් එවා තිබිණ.

    “කිසිදා අමතක නොවේ
    ඔබේ සිනාවත.
    කිසිදා නටඹුන් නොවේවා
    අපේ මිතුරු දම……..”

    මා මුවින් සුසුමක් ගිළිහී ගියේ මටද නොදැනුවත්වමය.

    “කිසිදා වෙනස් නොවේ
    අපේ මිතුරු දම…”

    මම ලියා යැවීමි. නැන්දා බංකුව මතින් නැඟී සිටින විට මමද ඈ සමඟ නැඟිට ගෙතුළට ආවෙමි.

    *************************************************************************
    පහු ගිය දින කීපයේම තාත්තා නිවසට පැමිණියේ රෑ බෝ වූ පසුවය. ඔහු සමඟ කතා බහ කිරීමට හෝ අවස්ථාවක් නොවූ තරම්ය. පහු ගිය වසර ගණනාව පුරා ඔහු වැටී තිබූ තම ආර්ථිකය ගොඩනැඟීමට පුදුමාකාර කැප කිරීමක් කළේය. දැන් යාන්තමින් ව්‍යාපාර හොඳ තත්වයේ පවතින බව ඔහු අප සමඟ පැවසුවේ මෙහි ඒමට මූලික හේතුව එය බව පවසමිනි. මා සිතේ නම් ඒ පිළිබඳව වැඩි උනන්දුවක් ඇති නොවීය. ව්‍යාපාර යනු මා අකමැති මාතෘකාවකි.

    “කොහොමද අලුත් ඉස්කෝල…? ”

    එදින රාත්‍රී ආහාර ගන්නා අතරේ තාත්තා පොදුවේ අප දෙදෙනාගෙන්ම විමසුවේය.

    “අනේ හරි ෂෝක් තාත්ති…මං බයේ හිටියේ රැග් එකක් දෙයි කියලා…මං වගේම පිස්සො සෙට් එකක් ඉන්නේ…මට නම් ආසාවේ බෑ…”

    නංගී එක දිගටම කියවාගෙන යන විට තාත්තා කෑම ගැනීමත් නවතා ඈ දෙසම බලා සිටියේය.

    “දැන් තමුන් ගියේ ඉස්කෝලෙකටද නැත්නම් පිස්සන් කොටුවකටද..? ”

    කෝප වූ හඬකින් තාත්තා අසන විට නංගී තිගැස්මෙන් හිස බිමට නැඹුරු කොට ගත්තාය.

    “ඉගෙන ගන්න එක කෙසේ වෙතත් මෙයා හොඳ පිස්සුවක් නම් නටයි කියලා මටත් හිතෙනවා…”

    “ආවා විතරනේ මාවන්. ”

    පුංචි අම්මා නංගීගේ පැත්තට කතා කළාය.

    “ඔව්.බලමුකෝ…මාත් බලන් ඉන්නම්…අද ස්ටඩී පටන් ගත්තද ලොකු දුව…? ”

    එවර ඔහු මවෙත හැරී යළි විමසුවේය.

    “ස්ටඩී පටන් අරන් දවස් දෙක තුනක් වෙනවාලු තාත්තේ…නෝට්ස් ටික මං ඉල්ල ගත්තා නදීරගෙන්…”

    “හ්ම්ම්.පරණ යාළුවෝ හිටියද..? ”

    “පරණ යාළුවෝ නම් නැහැ…පිරිම් ළමයි ටික මටත් රැග් කරන්න හැදුවා මම අලුතින් ආව කියලා හිතන්…”

    එවර තාත්තාගේ මුවේ ඇඳී ගියේ සිනහවකි. පුංචි අම්මා මෙය නොරිස්සුවා වන්නට ඇත. ඇගේ මුහුණ ඇදවී ගිය සැටි මම දුටිමි.

    “ඉතින් …?”

    “මං කිව්වා මම මේ කොලේජ් එකේ අවුරුදු හතක්ම ඉගෙන ගත්තා කියලා…”

    තාත්තා ඒ අසා සිනහාසුණේය.

    “ඔය මික්ස් ස්කූල්වල ඔහොම තමා…ඕවයෙ මහ නරක කොල්ලෝ ඉන්නේ..වැඩි හරියක් නරක දේවල් වෙන්නෙත් ඕවයේ…”

    පුංචි අම්මා තම සිතේ වූ විෂ එළියට දැම්මේ එසේය. මීට වඩා දෙයක් ඇගෙන් බලාපොරොත්තු විය නොහැකි බව දැන මම මුව කොණින් සිනහාවක් නඟාගෙන ඈ දෙසම බලා සිටියෙමි.

    “අනේ මේ මනෝරි, නොදන්න දේවල් නොකියා ඉන්නවා…ළමයි එකට මුහු වුණාම තමා උන් අතරේ බැඳීමක් ඇති වෙන්නෙ, තව කෙනෙක් රැක ගන්න ඕන කියන හැඟීම ඇති වෙන්නේ…එහෙම නැති වුණාම තමා උන්ට කුළප්පුව ගහන්නේ…දැන් පේනවනේ මෙයාව මෙච්චර කල් ගර්ල්ස් කොලේජ් දාලා වෙලා තියන දේ…ඉගෙන ගන්න නෙවේ යන්නේ පිස්සු නටන්න…ඉස්කෝලේ නොයවා දාන්න තිබුණේ අංගොඩ…”

    තාත්තා කෝපයෙන් පවසා අත සෝදාගෙන නැඟිට පිටතට ගියේය. පුංච් අම්මා ඇතිවූ ලැජ්ජාව නිසා මුව වසාගෙන නංගීට රැව්වාය. මමද නැන්දා සමඟ නැඟිට පිටුපසට පැමිණියෙමි.

    “මොනවා හරි කියලා එයාට ඕන තාත්තා ව අවුස්සන්න…” මම නොසතුටෙන් කීවෙමි.

    “එහෙම කියන්න ගිහින් එයාම ලැජ්ජ වෙන එකනේ වෙන්නේ…”

    නැන්දා කීවේ මා මුවේ සිනහාවක් නංවමිනි. මුළුතැන්ගෙය අස්පස් කිරීමට ඇයට සහය වී මම කාමරයට පැමිණියේ මිතුරන් සමඟ මොහොතක් කතා කිරීමේ වුවමනාවටය.

    *************************************************************************
    පසුදින මම පාසල් යන ගමන් නදීරා වත් කැඳවා ගෙන පැමිණියෙමි. අපි පන්තියට එන විට එහි වූයේ ළමුන් කීප දෙනෙකු පමණි. ඒ අතර පෙරදින මට සිනහාසුණු යුවතියන් තිදෙනා ගෙන් දෙදෙනෙකුද විය. පොත් බෑග මේසය මත තබා මාත් නදීරාත් පන්තියේ කෙලවරකට ගොස් කතා බහ කළෙමු. ඒ අතරේ ඈ මට ළමුන් පිළිබඳව කෙටි විස්තරයක් කළාය.

    “කොණ්ඩේ කොට ගර්ල් තමා තෙෂාරා…ඔයාට ගොඩේ ඉඳන් ආව කිව්වේ එයා…හයිය අත්තක්…ළමයි හැමෝටම පාච්චලේට හිනා වෙනවා…එයා හිතන් ඉන්නේ එයාට වඩා කෙනෙක් නැහැ කියලා..අනෙක් කෙනා රොසෙටා…ශලිනි තවම ඇවිත් නැහැ…තුන් දෙනාම එකම වගේ තමා..මට නම් පේන්න බැහැ…”

    මේ මොහොතේත් දෙදෙනා සිටියේ කුමක් හෝ දෙයකට සිනහාසෙමිනි. ඒ මොහොතේ පන්තියට ගොඩ වූයේ පෙර දින මා නොදැකපු අලුත් මුහුණකි.

    “නදීරා ගුඩ් මෝර්නින්..! අලුත් මූණක්..මෙයා කවද්ද ආවේ..? ”

    ඔහු පැහැපත් සිරුරක් සහිත ප්‍රියමනාප අයෙකු විය. කතා බහද පෙරදින සිටි අය මෙන් නොවේ. අඩුම තරමේ අර කොණ්ඩ කුරුල්ලා මෙන්ද නොවීය.

    “ගුඩ් මෝර්නින් තේෂාන්. ”

    නදීරාද පෙරළා ඔහුට සුබ පතමින් ඔහුව මට හඳුන්වා දුන්නාය.

    “හෙලෝ ආරණ්‍යා..ගුඩ් මෝර්නින්..අපේ උන් ඔයාටත් රැග් කළාද..? ”

    ඔහු මඳහසක් පාමින් අසන විට මමද ඔහුට සුබ පතමින් නදීරා දෙස බැලීමි. ඈ සිනහාසෙමින් සිටියාය. ඔහු මාරුවෙන් මාරුවට අප දෙදෙනා දෙස බැලුවේ පුදුමයෙන් මෙනි.

    “ඒකේ අනෙක් පැත්ත වුණේ තේෂාන්…”

    නදීරා ඔහුට පෙරදින සිදුවීම කෙටියෙන් පවසන විට ඔහු උස් හඬින් සිනහාසුණේය.

    “ටිරා පාඩමක් ඉගෙන ගෙන වගේ…”

    ඔහු කීවේ මදෙස බලා මා අගය කරන බැල්මකින් මට සංග්‍රහ කරමිනි. වැඩි වෙලාවක් ඔහුට අප සමඟ කතා කරමින් සිටීමට ඉඩක් නොවූයේ තවත් ළමුන් කීප දෙනෙකු පැමිණ ඔහුව ඉවතට ඇදගෙන ගිය නිසාය.

    “තේෂාන් නම් හොඳයි වගේ..” මම කීවෙමි.

    “හ්ම්ම්…එයා තමා ඉස්සර අවීශ්ගෙ හොඳම යාළුවා…”

    “ඉස්සර කිව්වේ, දැන් නැද්ද..? ”

    නදීරා නැතැයි කියන්නට හිස වැනුවාය. මා සිතේ කුතුහළයකුත් උනන්දුවකුත් ඇති විය. දැන් එසේ නොවීමට හේතුව කුමක්දැයි දැන ගැනීමට මම නොඉවසිල්ලෙන් සිටියෙමි.

    -හෙටත් සවස 5 ට මුණ ගැසෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page