Hima Mal Renu 02 හිම මල් රේණු
ලා රත් පැහයක් අහස පුරා තැවරෙමින් තිබුණේ තවත් දවසක නිමාව කියා පාමිනි. මම සෙමෙන් නිවසට ගොඩ වූයේ ආලින්දයේ කිසිවෙකු සිටිනු ඇතැයි බලාපොරොත්තුවෙන් නොවේ.
“කොහෙද ළමයෝ මෙච්චර වෙලා ගිහින් හිටියේ ? ”
පුංචි අම්මාගේ උස් හඬින් මම තිගැස්සී ගියෙමි. තාත්තා, ආච්චි අම්මා සහ නංගීත් ආලින්දයට වී සිටියේ මා බලාපොරොත්තුවෙන් වන්නට ඇත. පුංචි අම්මා මෙසේ අසන්නට වූ හේතුව නම් මා ගැන ඇති ආදරයක් වත් අනුකම්පාවක් වත් නිසා නොව, මා හැමදාමත් මෙලෙස යැයි තාත්තාට ඇඟවීමේ වුවමනාවෙන් බව වටහා ගැනීමට මට අපහසුවක් නොවීය. මා දෑස් ගියේ බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව වෙතය. තවම සවස හයටවත් නැත. පිටතද තවමත් අඳුර වැටී නැත.
මා එතරම් කාලයක් මිතුරන් සමඟ ගත කර තිබුණේද නැත. එසේ තිබියදී ඈ මෙලෙස කෑ ගසන්නේ මා මුළු දවසම පිටත ගත කළාක් මෙනි. සියලු දෙනම එකතුව කතාබහ කරමින් හිඳින්නට ඇත්තේ කොළඹ පදිංචියට යාම ගැන වියයුතු යැයි අනුමානයක්ද ඒ මොහොතේ මා සිතේ ඇති වූයේ පුංචි අම්මා කෙරෙහි ඇතිව තිබූ නොපහන් හැඟීමත් සමඟය. නංගීගේ මුවේ ඇඳී තිබූ සිනහව දැක එය සනාථ විය. පුංචි අම්මා ඇසූ දෙයට පිළිතුරක් නොදී මම ආච්චි අම්මා කළ ඉඟියෙන් ඈ අසළට ගොස් ඈ පසෙක හිඳ ගතිමි. ඈ මගේ හිස මෘදුව පිරිමැද්දාය. ඈ කවදත් මට දැක්වූයේ ඉමහත් සෙනෙහසකි.
“අපි මේ ඔයා එනකල් බලන් හිටියේ…ඔයාට දෙයක් කියන්න තියනවා..”
තාත්තා කියන විට මම ඔහු දෙස බැලුවේ හිස් බැල්මකිනි.
“කොළඹ පදිංචියට යන එක ගැනද..? ”
මම අසන විට තාත්තා වහා නංගී දෙස බැලුවේ තරවටු බැල්මකිනි. ඈ දෑස බිමට යොමා ගත්තේ හොර වැඩක් කර අසුවූ පූසියක මෙනි.
“අපි කතා කරපු එක හොරෙන් අහන් ඉඳලා ගිහින් කේළම කිව්වා නේද..? ”
තාත්තා තරමක කෝපයෙන් අසන විටත් නංගී සිටියේ බිමට යොමා ගත් හිසිනි.
“කොහොම වුණත් ඒක මං දැන ගන්න ඕන දෙයක්නේ තාත්තේ…”
එය නංගීගෙන් දැන ගැනීමට ලැබීම කෙසේ වුවද මේ මොහොතේ මම එසේ කීවේ නංගී බේරා ගැනීමේ අදහසින් නම් නොවේ.
“අපි ආයේ කොළඹ යන්න ඕන ලොකු දුව…”
“ඒත් තාත්තේ මං ආස මෙහේ ඉන්න…අපි හැමෝම යන්න ඕන නැහැනේ…නැන්දායි ආච්ච් අම්මායි එක්ක මම මෙහේ ඉන්නම්…”
“එහෙම කරන්න බැහැ දුව…කොහේ හිටියත් අපි පවුලක් විදියට එකට ඉන්න ඕන…මෙච්චර කල් සිද්ද වුණේ එහෙමනේ..”
” පවුලක්..? තාත්තගේ පවුල කියන්නේ පුංචියි නංගියිනේ..ඉතින් එයාලා එක්ක යන්නකෝ..මං ඕන නැහැනේ..”
උපහාසය මුසුව මම කියන විට තාත්තා ගේ මුහුණ අඳුරුව ගියේ මා බලා සිටියදීමය.
“මොනවාද ළමයෝ ඔයා මේ කියන්නේ…? ”
“මම කිව්වේ වැරදි දෙයක් නෙවේනේ තාත්තේ…මම මෙහෙ හිටියාම මොකද වෙන්නේ…එක්සෑම් ඉවර වුණාම මට පුළුවන්නෙ එහෙ එන්න…”
“අනේ ළමයෝ…අපි මෙහෙ එන්න හදනකොටත් ඔයා කිව්වේ ඔහොම තමා, ස්කූල් දාලා එන්න බැහැ, යාළුවෝ ඕන කියලා…ඒත් ඔයා මෙහේ ආවට පස්සේ මෙහෙට ඉක්මනින් හුරු වුණා…ආයේ එහේ ගියාම එහෙට හුරු වෙයි…”
පුංචි අම්මාගේ කතාව මා සිතේ ඇති කළේ කෝපයකි. මා මෙහි සිටියාට වඩා වැඩි කාලයක් කොළඹ සිටි බව සැබෑවක් මුත් මා එහි සිටියාට වඩා සතුටිනුත් නිදහසිනුත් මෙහි ගත් කළෙමි. වෙල් යායේ දුව පනිමින්, දොළ පහරේ දිය සෙල්ලම් කරමින් නිදහසේ, සතුටින් ගෙවූ කාලය කොළඹදී ගෙවිය නොහැකි බව තාත්තාට නොවැටහෙන්නේ මන්ද…? මෙහි ගස් වැල් පවා මගේ මිතුරන් සේ මට හැඟේ.
“පුංචි, මගෙයි තාත්තගෙයි කතාවට ඔයා මැදිහත් නොවී ඉන්න කරුණාකරලා…ඔයාලගේ දේවල් වලට මම මැදිහත් වෙන්නෙත් නැහැනේ…”
නොසතුටත්, නොමනාපයත් මුසුව මම කීවෙමි.
“ඔහොම කතා කරන්න එපා ළමයෝ….”
තාත්තා තරවටු හඬකින් කියන විටත් පුංච් අම්මාගේ මුහුණ කරත්තයට අසු වූ කජු ලෙල්ලක් මෙන් ඇද වී තිබිණ.
“මම වැරදි දෙයක් කිව්වේ නැහැනේ..”
“ඔයාත් අපි එක්ක යනවා…එච්චරයි . ” දැඩි හඬින් තාත්තා කීවේය.
“තාත්තා එහේ ඉඳන් ආව විදියට මම නම් හිතුවේ නැහැ ආයේ කවදාවත් කොළඹ පදිංචි වෙන්න තියා ඒ පැත්ත හැරිලාවත් බලයි කියලා…”
උපහාසයෙන් පැවසූ මම නැඟිට පිටුපසට ආවේ නැන්දා සොයාය. ඈ ජයවතී නැන්දා සමඟ රාත්‍රී ආහාර සූදානම් කිරීමට සැරසෙමින් සිටියාය. තාත්තාගේ පවුලේ සිටියේ ඔහුත් නැන්දා වන රේඛාත් පමණි. ගමේ තරුණයෙකු සමඟ පෙම් සබඳකමක් ඇති කරගත්තා යැයි කියා එයට විරුද්ධව, ඇයව වෙනත් යෝජිත විවාහයක් කර දී තිබුණේ නැන්දාගේ විරෝධය පිටමය. ඔහු වංචාකාරයෙකු බව වටහා ගන්නා විට ප්‍රමාද වැඩිය. දෑවැද්දට ලැබුණු මුදල් සහ රන් භාණඩත් සොරාගෙන ඔහු පැන ගොස් තිබුණේ මංගල දිනයේදීමය. මීට පෙරත් මෙවන් වංචාවන් කර ඇති ඔහු විවාහකයෙකු බවත් පසුව දැන ගන්නට ලැබී තිබිණ. ඇති වූ ලජ්ජාව නිසා නැන්දා ඉන් පසුව බොහෝ කාලයක් යනතුරු ගමට ආවේ නැත. ඈ මගේ අම්මාත් තාත්තාත් සමඟ කොළඹ නිවසේ නැවතී සිටියාය. ඇයට පෙම් කළ ගැමි තරුණයා වෙනත් විවාහයක් කර ගෙන තිබුණේ ඉන් බොහෝ කලක් ගිය පසුවය. රිය අනතුරකින් අම්මා මිය යන විට මම අවුරුදු හතරක දැරියක් වීමි. ඉන්පසු මා රැක බලා ගත්තේ නැන්දාය. අම්මා පිළිබඳව පැහැදිලි මතකයක් මා සිතේ නොවූවද, ඈ මිය ගිය සැණින් තාත්තා පුංචි අම්මා නිවසට කැඳවාගෙන පැමිණි බව නම් මා මතකයේ ඇත. මේ හේතුව නිසාම අම්මාගේ මරණය පිටුපස තාත්තාගේ සම්බන්ධයක් ඇතැයි සිතීමට පවා මා පෙළඹුණේ නිතැනිනි. මම පුංචි අම්මාට වෛර කළෙමි. තාත්තා ඉක්මණින්ම විවාහ වූ හේතුවත් සිතා ගත නොහැකි අභිරහසකි. ඔහු පිළිබඳව එසේ සිතීමට නොතිබුණා නම් මම වඩා කැමැත්තෙමි .නමුත් මේ සියල්ල එක ළඟ සිදුවීම නම් මට මහත් ගැටළුවක් මෙන්ම අභිරහසක් විය.
“මොකෝ ළමයෝ මේ මූණ එල්ලන්…? ”
මම නිහඬවම බංකුව මතට වී හිඳගෙන කල්පනා කරමින් සිටි නිසාදෝ නැන්දා මා විමසුවාය.
“හැමෝම වෙනස් කම් කරන්නේ මට තමා…ඇයි නැන්දේ එහෙම…? ” මගේ හඬේ වූ ශෝකය මටම දැනිණ.
“මොකක්ද දැන් ඒ කතාව, කවුද ඔයාට වෙනස් කම් කළේ…? ”
නැන්දා මා අසළටම විත් වඩාත් වුවමනාවෙන් මා දෙස බලා විමසුවාය.
“තාත්තා ඉස්සර වගේ නෙවේ…හරි වෙනස්…අම්මා හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා…එහෙනම් මෙච්චර දුකක් දැනෙන එකක් නැති වෙයි…”
ආත්මානුකම්පාවෙන් මා හද බර වන විට මම කීවේ හැඬුම් මුසුවය.
“අනේ..අනේ ළමයෝ..ඔහොම කතා කරන්න එපා…අයියා හැම දෙනාටම වඩා ආදරේ ඔයාට තමා…එයා ගෙට ගොඩ වෙන්නේ ඔයාව අහන්…”
“අනේ, ඒ ආදරේ නිසා වෙන්නැති මම මෙච්චර බැහැයි කියද්දීත් මාවත් එක්කන් කොළඹ යන්න හදන්නේ…? ” උපහාසය මුසුව මම කීවෙමි.
“ඔයා නැතුව එයා කොළඹ ගිහින් ඉඳී කියලා හිතනවද..? එයාට වුවමනා ඔයාව එයාගේ ඇහැ ගැටෙන මානයේ තියා ගන්න…”
“එහෙම ඉන්න මම පොඩි බබෙක්‍ද..? ”
“එහෙම කියන්න එපා දුව…අනූ අක්කගෙයි, අයියාගෙයි එකම සංකේතේ ඔයා…එයා ඔයාට හුඟාක් ආදරෙයි…”
“ඔයා ඔය බොරුකතා ගොතලා මාව රවට්ටන්න හිතන්න එපා නැන්දා…තාත්තා අම්මට ඒ තරම් ආදරේ කළා නම්, අරයව කසාඳ බඳින්න හිතන්නෙවත් නැහැ…. එහෙම නේද.? ඔයාම කිව්වේ අම්මා නැති වෙලා තුන් මාසෙ දානේ දෙන්නත් කළින් අරයව ගෙදර එක්ක ආවා කියලා..”
නැන්දා දිගු හුස්මක් ඉහළට ඇද්දාය. ජයවතී නැන්දා ළිප මත වූ හොද්දේ රස බලනු මම දිටිමි. ඈ අපේ කතා බහට සවන් දෙන පාටක් පෙනෙන්නට නැත. ඒවා ඇසුණත් මේ කණින් අසා අනිකෙන් පිට කරන බව මම දැන සිටියෙමි.
“තව ටික කාලයක් යද්දී ඔයාටම ඕවා තේරෙයි දුව…”
“ටික කාලයක් නෙවේ නැන්දේ මට දැන්ම මේ හැමදේම තේරිලා තියෙන්නේ, මම නොතේරුණා වගේ හිටියට…අම්මාගේ මරණෙත් මට සැකයි…මං මේ හැමදේකම සුළ මුළ හොයාගන්නවා…”
නැන්දා තිගැස්සුණු බැල්මෙන් මා දෙස බලා සිටියාය.
“ඒකට නම් මං මොකුත් කියන්නේ නැහැ….ඔයාගේ හිතේ සැක සංකා ඔයාම නැති කරගන්න එක තමා හොඳ…හැබැයි ඉතින් ඔයාට මෙහෙ ඉඳන් නම් ඒවා කරගන්න බැරි වෙයි…ඔයාට කොළඹ යන්නම වෙනවා…”
“ඒ ඇයි..? ”
පුදුමයෙනුත් කුතුහළයෙනුත් මම ඇසුවෙමි.
“ඒ හැමදේම වුණේ එහෙදිනේ…”
නැන්දා නොකියා කියන්නේ අම්මාගේ මරණය පිටුපස යම් අභිරහසක් ඇති බවද…? ඒ මොහොතේ ආච්චි අම්මා මුළුතැන්ගෙයට පැමිණි නිසා අපේ කතා බහ ඉබේම නැවතිණි.
“මොකෝ චූටි දුව, දුව මොකද කියන්නේ..?”
ආච්චි අම්මා විමසුවේ නැන්දාගෙනි.
“එයා දුකෙන් ඉන්නේ අම්මේ…”
“මෙහෙන් යනවා කිව්ව නිසා වෙන්නැති…”
මා අසළට පැමිණි ආච්චි අම්මා මගේ හිස අතගාමින් කීවාය.
“මට යන්න ඕන නැහැ ආච්චි අම්මා…”
“ආහ්හ්…අර මොකද, ගම දාලා යන්න බැරි කමද නැත්නම් දාලා යන්න බැරි කවුරු හරි ඉන්නවද..? ”
සිනහා මුවෙන් ඈ කියන විට මා සිතේ ලැජ්ජා මුසු හැඟීමක් ඇති වූයේ එහි යම් සත්‍යයතාවයක් ඇති නිසා නොව එය ආච්චි අම්මා පැවසූ නිසාය.
” අනේ….” මට කියවිණි.
” කෙල්ලගේ මූණත් රතු වෙලා..”
” ඒ නම් බොරු…”
“මගෙ ඇස් දෙක තවම හොඳට පේනවා…”
“පේන හැමදේම ඇත්ත නෙවේ ආච්චි අම්මා…”
“මෙයා දැන් හරියට පැහිලා…හැබැයි ඉතින් ඒ කතාවෙත් ඇත්තක් තියනවා….ඇත්ත එළියට පේන්නෙත් නැහැ…බොරුව හැමදාම හැංගිලා තියෙන්නෙත් නැහැ…”
ආච්චි අම්මා එසේ කීවේ නම් මා ඉලක්ක කොට ගෙන නොවන බව නම් මට ඉඳුරාම පැවසිය හැක. පුදුමයෙන් විසල් කර ගත් දෑසින් මම ඈ දෙස බැලුවේ එහි යටි අරුත වටහා ගන්නට උත්සාහ දරමිනි.
” මොකක්ද ආච්ච් අම්මා ඒ කතාව. ඒක මට කියපු දෙයක් නෙවේ නේද..? ”
” නැහැ ළමයෝ, මම ඒක නිකමට කිව්වේ..”
“නිකමට වෙන්න නම් බැහැ.ආච්චි අම්මා නිකන් දෙයක් කියන කෙනෙක් නෙවේනේ…”
” හරි,හරි…දැන් ඒ කතාවෙන් වැඩක් නැහැ…ඔයා මෙහෙ ඉගෙන ගත්තා වගේ එහෙ ගිහිනුත් හොඳට ඉගෙන ගන්න ඕන…තේරුණාද..? ”
“ආච්චි අම්මාට දුක නැද්ද මං මෙහෙන් යන එකට…? ”
ශෝකී හඬකින් මම අසන විට ආච්චි අම්මා දිගු සුසුමක් හෙළුවාය.
“දුකයි නම් තමා…ඒත් මොනවා කරන්නද, ටික කාලයයිනේ ලොකු දුව…ඔයා හොඳට ඉගෙන ගන්න ඕන…මං දන්නවා ඔයා අනික් අය වගේ නෙවේ…ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න…මොළෙන්…නැන්දාත් ඔයා එක්ක ඉන්නවනේ…”
එය ඇසූ මා පුදුමයෙන් තිගැස්සී ගියේ ඒ බවක් දැන නොසිටි නිසාය.
“මොනවා…එත් එතකොට ආච්චි අම්මා තනියමනේ…”
“මට මොන තනියක්ද ළමයෝ…මේ ගමේ ඕන තරම් මිනිස්සු ඉන්නවානේ…උදේ ඉඳන් හවස් වෙනකල් ජයවතී ඉන්නවා…මං හිතුවේ රෑට සිඟිතිවයි, ශ්‍රීමවයි මෙහෙ නවත්ත ගන්න…ශ්‍රීමට පාඩම් කරන්නත් ලේසියි…හදිසියක් වුණොත් භාෂිතලා, මාධවලත් ඉන්නවානේ…”
ආච්චි අම්මා දැනටමත් සියල්ල සැළසුම් කර ඇතිවාක් මෙනි.
“කවදා හරි ඉතින් ඔයාට ඕනනම් මෙහෙ ඇවිත් පදිංචි වෙන්න බැරියැ…”
ඈ මඳහසක් මුවේ රඳවාගෙන කීවාය.
“ඔය කිව්වට අම්මේ එහේ ගියාට පස්සේ මෙයාගේ හිත වෙනස් වෙන්නත් බැරි නැහැ…”
නැන්දා ගේ හඬේ වූයේ උපහාසයකි.
“නැහැ…එහෙම වෙන්නේ නැහැ…”
ආච්චි අම්මාගේ බඳවටා දෑත් යවමින් ඇයට තුරුළු වූ මම කීවෙමි.
මාධව පැමිණ ජයවතී නැන්දා අමතන හඬින් මම බංකුවෙන් නැඟී සිට පිටුපස දොරින් එබී බැලුවෙමි.
“මොකද මේ පිටිපස්සෙ දොරින් එබෙන්නේ…?”
මම සරදම් සහගත හඬකින් ඇසුවෙමි.
“ඉස්සරහ ඉඳන් කතා කරලා තමා මේ ආවේ… කෝ අම්මා…? ”
“නැන්දා ගියානේ..දැන්නෙ ගියේ… රවුම් ගහලා ගහලා එනවා මෙතන…”
මවා ගත් නොමනාපයක් පෙන්වා මම කීවේ මාධව අවුස්සන්නටය.
“මං ගහපු රවුමක් නැහැ…භාෂිත ලා ගෙදර හිටියේ…”
ඔහු නොමනාපයෙන් කියන විට මම සිනහාසුණෙමි.
“අම්මා දැන්ද ගියේ ? මං යන්නම් එහෙනම්…”
ඔහු මා කී දේ සැබෑවට ගෙන පිටව යාමට සැරසෙන විට මම ඔහු වළකා ගතිමි.
“මහා මැට්ටෙක්…විහිළුවක්වත් තේරෙන්නේ නැහැ…එන්න ගෙට නැන්දා ඉන්නවා…අපි තේ බොන්න යන්නේ…”
ඔහු මට රවමින් පිටුපස දොරින්ම ගෙතුළට ආවේය…ආච්චි අම්මා දුටු ඔහු තිගැස්සී ගියේ ඉන්පසුවය…මට සිනහා නැඟිණ.
“මැඩම්..”
“එන්න, එන්න පුතේ..මේල ඉස්කෝලේ නෙවේනේ…”
ආච්චි අම්මා සුපුරුදු ලෙංගතු හඬින් කළ ආරාධනයෙන් මාධව කෑම කාමරය වෙත කැඳවා ගෙන ගොස් මම ඔහුට අසුන් පැනවීමි.
“මැට්ටී..මැඩම් ඉන්නවා කියලා කිව්වේ නැත්තේ මොකෝ…”
” ආච්චි අම්මා ඉන්නේ මෙහෙ කියලා අමුතුවෙන් කියන්න ඕනද..? ”
“කට..කට..අම්මෝ පටි රෝල් කරනවනේ…”
මාධව පහත් හඬින් කීවේ ලැජ්ජා මුසුවය.
“බයයිනේ….කට නම් තියනවා…”
මම කියන විට ඔහු මා දෙස බැලුවේ නෙරවා ගත් දෑසිනි. මම උස් හඬින් සිනහාසුණද මේ සියල්ල තව ටික දිනක් පමණයි යැයි සිතන විට සිත අලුත් වූ ශෝකයකින් පිරී ගියේය.