ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු
ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම පව්කාරයාට ගල් ගැසීම විලාසිතාවක් වී ඇත. කයිකාරයෝ නිකරුණේම පචකාරයෝ වී ඇත. හොරු අල්ලන්නට ආ අය ලෝක හොරු වී ඇත. මේ මොහොතේ බොහෝ දේ පච වී කිච වී නන්නත්තාර වී යෑම ලෝකෝත්තර දහමක් වී ඇත. රට ආයේමත් ප්‍රපාතයට ඇද වැටෙමින් තිබේ. එහෙත් ආණ්ඩුව නැව ගිලුණත් බෑන් චූන් මට්ටමට සිටින බව පෙනේ. ඉදිරි ලෝක අර්බුද හමුවේ ප්‍රබල රටවල් පවා පටි තදකර ගන්නා මොහොතක මෙරට පාලකයෝ යහමින් තම මඩි තර කර ගනිමින් සිටිති.
ආණ්ඩුව නොබෝදා වාහන ආනයන බදු සඳහා තාවකාලිකව 50%ක අධිභාරයක් පැනවීය. එය ආණ්ඩුව ගත් හොඳ තීන්දුවක් බව ආර්ථික ඔස්තාද්ලා කීහ. කොටින්ම එම තීන්දුව වර්ධනය වන ගෝලීය අවිනිශ්චිතතාවය මධ්‍යයේ රටේ කඩා හැලෙන විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව ගත් දූරදර්ශී සහ කාලෝචිත පියවරක් බව සැවොම පැසසූහ. වත්මන් ආණ්ඩුවේ බොහෝ වැඩ ළඟින් ගියත් ඇහැක් නැති මට්ටමේ ඒවා බව පසුගිය කාලය පුරාවටම ඔවුහු ඔප්පු කරමින් සිටිති. මෙරවද සිදුවූයේ එයමය. වාහන ආනයන බද්ද 50%ක් කිරීම හොඳ ක්‍රියාවක් වී ඇත්තේ රටට නොව ආණ්ඩුවේ ”ගජ මිතුරු” ව්‍යාපාරිකයන්ටම බව මෙවරත් ඔප්පු විය. ව්‍යාපාරිකයන් ආණ්ඩු කොල්ල කෑම නිරන්තර සිද්ධියක් වුවද මේ ආණ්ඩුව බදු ගෙනම කොල්ල කෑම අනුමත කළ හැකි දෙයක් නොවේ. මේ අලුත් ව්‍යාපාරිකයෝ නොවේ. පැරැණි ආණ්ඩු සමඟ තම ජාමේ බේරා ගත් අයමය. එහෙත් ඒ අය මේ ආණ්ඩුවම කුලියට ගත්හ. එදා අනුර කුමාර වෙනත් ආණ්ඩුවලට කී ගජ මිතුරු ව්‍යාපාරිකයෝ අද ඔහුව සාක්කුවේ දමාගෙනය. එය ඔහු කැමැත්තෙන් වැටුණු උගුලකි. එය බැලූ බැල්මට තහවුරුය. ඔවුත් ගජ මිතුරු කැලේ ගජ මිතුරකු වී රටට ගජ බින්න ඇද බාමින් සිටී. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කියන්නා සේ දැන් බොහෝ දේ එළිවෙමින් තිබේ.
වාහන කතාවට එන්නෙ නම් සිදුව ඇත්තේ සුපුරුදු බ්‍රේක් නැති සෙල්ලමය. වාහන ආනයන බදු තීරණයට අදාළ අභ්‍යන්තර තොරතුරු නිල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර ව්‍යාපාරිකයන් පිරිසකට එය දැන ගන්නට ලැබීමය. නැතහොත් ඇත්ත නම් දැන ගන්නට සැලැස්වීමය. මේ බව සමගි ජන බලවේගයේ පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක ප්‍රසිද්ධ කළේය. ඔහු මේ බව කීවේ මහ බැංකුව ඉදිරිපිටටම මාධ්‍ය කැඳවාය. ඔහු කියන කතාව නම් ජනපති අනුර කුමාර 15 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයකින් වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් පැන වූ මුත් එදින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළ වාහන ඉන් නිදහස් කර ඇති බවය. පාදුක්ක කළ බරපතළ චෝදනාව නම් මෙම ගැසට්ටුව ගැන කල්තියා දැනගෙන ජනපතිට හිතවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු එකම දිනයේදී පෙර බදු අනුපාතය යටතේ අලුතින් වාහන 4,000ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (LC) විවෘත කර ඇති බවය. එක් ව්‍යාපාරිකයකු වාහන 3,500ක් සඳහා ආනයන සංවිධාන කළ බවත් තවත් ව්‍යාපාරිකයකු වාහන 500ක් සඳහා ආනයනය ලබා ගත් බවටත් ඔහු චෝදනා කළේය. මේ අනුව බදු තීරණය පිළිබඳ ව්‍යාපාරිකයන්ට පූර්ව දැනුම් දීමක් කර ඇති බව පැහැදිලිය. ගැසට් පත්‍රය පිළිබඳව රහස්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට පෙර කාන්දු නොවන්නට එවැනි දෑ පෙර දැකීමේ මහත් බලයක් මේ ව්‍යාපාරිකයන් සතුව නැති බව මේ කඩිමුඩියෙන් පෙනේ. මේවා මේ ආණ්ඩුව යටතේ පමණක් වන අලුත්ම සෙල්ලම් නොවන බව ඉතිහාසය සෝදිසියේදී දක්නට ඇත.
කෙසේ වෙතත් මේ හේතුවෙන් රාජ්‍යයට ලබා ගැනීමට හැකියාව තිබූ බදු ආදායමෙන් රුපියල් බිලියන 20කට වඩා අහිමි වූ බව චෝදනාවය. වාහන ගෙන්වීම හොඳ දෙයකි. මේ ආණ්ඩුව පසුගිය කාලයේ වාහන ගෙන්වීමට නිදහස දුන්නේය. ඒ අනුව වාහන සාගතයක් පැවතියා සේ වාහන ගෙන්වන්නට විය. පසුගිය අප්‍රේල් මාසය අවසන් වන විට මෝටර් රථ ඇතුළු වාහන 178,000ක් ලංකාවට ගෙන්වා තිබිණි. අපේක්ෂා කළාට වඩා වාහන මිලදී ගැනීමක් සිදුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. තවද ඔහු කීවේ ”දැනට ගෙන්වල තියෙන වාහනවලටත් මැයි 15 දක්වා ණයවර ලිපි විවෘත කළ වාහනවලටත් වෙළෙඳපොළේ මිල වැඩිවීමක් වෙන්නෙ නැහැ. වැඩි කරනවා නම් ඒක විකෘතියක්. අවස්ථාවාදී හැසිරීමක්” යනුවෙනි. මේ ආණ්ඩුවට වාහන ගෙන ඒමේ තදියම ඇති වුණේ සැබැවින්ම ජනතා යහපතටද යන ප්‍රශ්නය මතුවේ. එකවර මෙතරම් වාහන ගෙන්නුවේ ඇයි? වසර පහක කාර් හිර වී තිබූ අතර මේ තත්ත්වය එකවර නිදහස් කර ආණ්ඩුව සිද්ධ කළේ තම ආණ්ඩුවට උදවු කළ ජපානයේ වෙසෙන මෙරට උදවියට වන්දි ගෙවීමක් බව ප්‍රසිද්ධ කතාවය.
කෙසේ වුවත් එන පොට හොඳ නැති තැන ආණ්ඩුව වාහන ආනයනය රේගු බද්ධ 50%ක් කළේය. දැන් එහිද නිරුවත හෙළි වෙමින් ඇත. පාදුක්ක එහි නිරුවත හෙළි කළ පසු රජයේ මාධ්‍යය වෙත ආ නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත කීවේ විපක්ෂය නඟන චෝදනා බොරු බවය. මෙහි ඇති අපූර්වත්වය නම් ඉහත කතාවේ ”බොරුව” ප්‍රමාණාත්මක අගයේ පමණක් වීමය. එනම් 15 වැනිදා වාහන ඇත. එහෙත් ඒ ප්‍රමාණය 4000ක් නොවේය යන්නය. විපක්ෂය ණයවර ලිපි ඈඳාගෙන වාහන 4000ක් ගැන කීවද එය බොරුවක් බවත් ගෙනවිත් ඇත්තේ වාහන 4000ක් නොව වාහන 1782ක් යැයි නියෝජ්‍ය ඇමැතිවරයා මහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කළේය. එය ආණ්ඩු පාක්ෂිකයන්ගේ මහත් ආශ්වාදයට හේතු විහ. මේ ආණ්ඩුව මොනව කළත් අදහන මොවුන් රහසින්වත් පවක් නොකරනවා යැයි අදහන පිරිසක් තවම වෙති. එවැනි අඳ බාලයෝ හැම කල්හීම සිටියහ. ආණ්ඩු නැතිබංගස්ථාන වුණේම එවැනි අඳ භක්තිකයෝ ප්‍රමාණවත් යැයි ආණ්ඩු ඇදහූ බැවිනි.
මෙතැන වංචාවක් සිදුවී ඇත. ප්‍රමාණාත්මකව එය ඉහත කියන තරම් නොවේය යන්න නියෝජ්‍ය ඇමැති හංගා කියන කතාවය. මේ ආණ්ඩුව පසුගිය කාලයේ සිදු වූ හැම වංචාවකදීම කීවේ එය අත්වැරැදීමක්. සුළු වරදක් වැනි කතාය. ගල් අඟුරු බාල නැත. එහි අඩුව නිසි ලෙස ක්‍රියාත්මක නොවීමය යන්න තර්ක කරන නියෝජ්‍ය ඇමැතිලා එසේ වන්නේ එම ගල් අඟුරු බාල නිසා යැයි කීමට නොහැකිව අඳ බාලයන් සේ සිටී. එය දැන කරන දෙයක්ද යන්න පවා තේරුම් ගැනීමට නොහැකි ලෙස ඔවුහු හැසිරෙති. මේ ආණ්ඩුවේ දක්ෂතාවය එයය. එදා ඕනෑම වංචාවක් වූ කල එය හොර තක්කඩි කමක් ලෙස සමාජගත කරන්නට තිබූ නිර්මාණාත්මක බොරුව අදටත් තම ආණ්ඩුවට ගැළපෙන ලෙස ඕනෑම මහ පරිමාණ වංචාවක් වුව සැහැල්ලුවට පොකට් ගැහිල්ලක් තරම් සරල කළ හැකිය. ආණ්ඩුව විසින් වාහන ආනයන රේගු බද්ද 50%ක් ඉහළ දැමීමට ගත් කැබිනට් තීන්දුවට වාහන 1782ක් ආනයනය සඳහා ණයවර ලිපි විවිධ බැංකු හරහා විවෘත කරන්නෙ කෙසේද? මෙම තීන්දු ඒ අයට දැනුම් නොදුන්නෙ නම් එය මෙතරම් අපූරුවට සිදුවන්නේ කෙසේද? අනිල් ජයන්තට අනුව ඒ ව්‍යාපාරිකයන්ගේ ඉවය. ඔහු ඒ ගැන උජාරුවෙන් කයිවාරු ගසයි. ව්‍යාපාරිකයන්ගේ ඉවනම් හරි අගේය. පාදුක්ක කී 4000 ප්‍රමාණය 1782ක් වුවත් එහි අපූරුව නම් ඒ ප්‍රමාණය ගෙන්වනුයේද පාදුක්ක කියන මේ ආණ්ඩුවේ ගජ මිතුරු ව්‍යාපාරිකයන් වීමය. ඒ අයට ආණ්ඩුවේ තීන්දු තීරණ ගැන හොඳට ඉව ඇති බව අනිල් ජයන්ත කිව යුතු නොවේ. පසුගිය ක්‍රියාකලාප දෙස බැලීමේදී තහවුරුය. එහෙත් මෙහි නොකියන කතාව මේවා සිද්ධ වනුයේ ඒ අයගේ ඉවට නොව ඒ අයගේ කීමට වන බවය. අද ආණ්ඩුව ක්‍රියා කරනුයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ වුවමනාවටය. වාහන 4000ක් නොව 1782යි කියා මේ ආණ්ඩුව මේ වංචාවෙන්ද අපූරුවට කර අරිමින් සිටී. හොරකම් කළා තමයි. අච්චර කළේ නැහැ. ඒ ගාණ බොරු නිසා හොරකම සමනය වී ඇත. මේ එබඳු තියරියකි.
මෙවැනි සිද්ධි හරහා ව්‍යාපාරිකයන් පමණක් කූට ලෙස ධනය උපයනවා යැයි සිතීම විහිළුවකි. ඒ දේවල් එසේ වන්නට තව කොතෙක් දේවල් යටින් සිදුවිය යුතුද යන්න පුංචි ළමයකුට වුවත් වැටහේ. පසුගිය ආණ්ඩුවෙත් මේ සියල්ලම විය. පොල් තෙල්, සුදු ලූනු, බදු වංචාත් සිදුවූයේ මෙලෙසමය. එදා පොල් තෙල්, සුදු ලූනු හරහා වූ වංචාව තරමටම හෝ ඊට වඩා වංචාවක් වාහන ආනයන වංචාව තුළින්ද සිදුව ඇත. ඒ ගැන දිගට දිගට කතා කළහොත් කොමිසමක් පත්කොට මීට පෙර සිදුවූ මෙවැනි වංචා ගැන සෙවීම දක්වා ආණ්ඩුව අවංක වනු ඇත. ඒ ආණ්ඩුවේ මෝස්තරය වී ඇත. මෙවැනි සිද්ධි හරහා ව්‍යාපාරිකයන් අයුතු ලාභයක් උපයන අතර ඉන් කොටසක් මජර දේශපාලකයන්ටද පුදනු ඇත. එහෙත් රටට ඉන් ලැබෙන ලොකු පංගුවක් අහිමි වේ. එය සීමිත කල්ලියක් අතර බෙදී යයි. මෙය එදත් සිද්ධ වූ දෑය. අදත් එලෙසම වන දෑ බවට පත්වී ඇත. වෙනස එදාට වඩා අද හොරකම ගැන කරන ප්‍රකාශ නිර්මාණශීලී වී ඇති අතර ඒ ගැන තද විවේචන කිරීමට විපක්ෂයක් නොමැති වීමය. හොරා හොරා කියා කෑ ගහන්නට හොරු නොමැති වීමය.
මේ සියලු සිද්ධි හරහා සිදුවන්නේ ඩොලර් වියදම ඉහළ යමින් රුපියල බාල්දු වීමය. නොඑසේ නම් රුපියල බාල්දු වී ආනයන භාණ්ඩ මිල ඉහළ යෑමෙන් පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගොස් සමාජයක් ලෙස අසරණ වීමය. මේ සියලු ක්‍රියා හමුවේත් තවමත් මේ ආණ්ඩුව සුපිරිසුදුය කියන අය දැකිය හැකිය. ඒ අයගෙන් අති බහුතරය අද නඩත්තු කරනුයේද ආණ්ඩුවමය. ආණ්ඩුව කුමක් කළද ආණ්ඩුවම සෝදන සමාජ මාධ්‍ය බළකායක් ඇත. එය තනිකරම ආණ්ඩු ශෝධකයෝ පිරිසකි. ආණ්ඩුව විශ්වාස කරනුයේ සමාජ මාධ්‍ය තමන් ආරක්ෂා කරන තෙක් මේ ආණ්ඩුව සුරක්ෂිත බවය. නොබෝදා නියෝජ්‍ය ඇමැතිවරයකු වන චතුරංග අබේසිංහ කියනුයේ තම ආණ්ඩුවත් එක්ක සමාජ මාධ්‍ය හැසිරීමට තබා ඊට අලගු තියන්නටවත් අනෙක් පක්ෂවලට නොහැකි බවය. එය ඇත්තය. ඕනෑම බොරුවක් තවමත් ශක්තිමත් සත්‍යය ලෙස රැකගෙන ඇත්තේ එම පන්නරයට පින්සිදු වන්නටය. එහෙත් ඒ බොරු බව ජනතාව දනිති. එයට අභියෝග කරන්නට තරම් ෆේක් බළකායක් නොමැති කමින් ඒ අය ගොඩයැයි සිතීම මුළාවකි. මේ ආණ්ඩුව සිටිනුයේම මුළාවේය. අධිතක්සේරුවේය. එහෙත් එය කොතරම් දුර්වලද අබලද දුබලද යන්න දැන් රට ඉදිරියේ නිරාවරණය වෙමින් පවතී. පෙර ආණ්ඩුව අභිභවා මේ ආණ්ඩුව දූෂිත වී ඇතතත් එයින් ගැලවීමට භාෂාවක් හදාගෙන ඇත. එය භාෂාව නොව ගමේ කතාවට කියන බාසාවය. පෙර අය ගත් කප්පම් සමාජ ප්‍රාග් ධනය වීමෙන් එය මනාව වටහා ගත හැකිය. ඊට වඩා උදාහරණ අනවශ්‍යය. මේ ආණ්ඩුවම දුවනුයේම සමාජ ප්‍රාග්ධනයෙනි. මෙවර වත්කම් බැරකම් ප්‍රකාශ බලාපොරොත්තු නොවන්න. එය ලැබෙතැයි සිතීම මුළාවකි.




