බෙහෙත් විස වන්නේ ඇයි? – Drug poisoning
ලෙඩ වෙන්න කවුද කැමැති? ලොව වසන කවුරුත් කැමැති නැත. බොහෝ රෝගී තත්ව සමනය කිරීමට අපට බෙහෙත් ගත යුතුමය. බෙහෙත් මගින් රෝගය පැතිරීම පාලනයත්, සුවතාවත් සිදු කෙරේ. එහෙත් සුවය උදෙසා ඇති බෙහෙත් එක් එක් අවස්ථාවලදී අපට නොදැනුවත්වම විස වන බවක් ඔබ දැන සිටියාද? යම් රෝගයක් ඇතිවු විට එය වළක්වා ගැනීමට හෝ පාලනය කිරීමට භාවිත කරන රසායනික ද්‍රව්‍ය හෝ ද්‍රව්‍යයන්ගේ එකතුවක් ඖෂධ ලෙස හඳුන්වයි. ඖෂධ අධි මාත්‍රාවක් ලබාගැනීම නිසා ඖෂධ විසවීමට පුළුවන.

විවිධ හේතු නිසා කෙනෙකු ඖෂධ අධි මාත්‍රා ගැනීම සිදුවිය හැකිය. නොදැනුවත්කම, නොසැලකිල්ල, ඇබ්බැහිවීම, ආතතිය, මානසික අවපිඩනය, කාන්සාව, දරාගත නොහැකි ශාරීරික වේදනාව, මතකය අඩුවීම, ඇස් පෙනීමේ දුර්වලතාව ආදි විවිධ හේතු නිසා ඖෂධ විස වීමට පුළුවන.
ඖෂධ අධි මාත්‍රාවෙන් ගත්විට සිරුරට වෙන දේ
සමහර විට එය මාරාන්තික විය හැකිය. විවිධ ඖෂධවලින් විවිධ ප්‍රතිඵල ලැබිය හැකිය. සිරුරේ අවයව අක්‍රිය විය හැකිය. වකුගඩු, අක්මාව, හදවත, මොළය වැනි වැදගත් අවයවවලට හානි සිදුවීමෙන් මරණය පවා සිදුවිය හැකිය.

ඖෂධ විස වීමේදි ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?
ඖෂධ විස වීමකදි ඇතිවන රෝග ලක්ෂණ, ඖෂධ වර්ගය, මාත්‍රාව, රෝගියාගේ වයස, රෝගියාට තිබෙන වෙනත් රෝග සහ සංකූලතා ආදිය මත රෝගියාගෙන් රෝගියාට වෙනස්විය හැකිය. පොදුවේ ඇතිවිය හැකි රෝග ලක්ෂණ මේවාය. ඔක්කාරය, වමනය, දරුණු උදර වේදනාව, පාචනය, කැරකැවිල්ල, මානසික ව්‍යාකූලතාව, නිදිමත, කලබලකාරිබව, හදවතේ ගැස්ම අක්රමිකවත්විම, හුස්ම ගැනීමේ අපහසුතා, මායාවන් දර්ශනය වීම, ඇගිලි, නියපොතු, තොල් ආදිය නිල් පැහැ ගැන්වීම, මුහුණ සුදුමැලිවීම, සිහිනැතිවීම ආදි විවිධ රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.

එසේම ඖෂධ විස වීමක් යනු කවරකවත් සුළුවෙන් තැකිය නොහැකි තත්වයකි. එය දරුවකුට හෝ වැඩිහිටියකුට වුවද සිදු වීමෙන් මාරාන්තික වීමටද පුළුවන. එබැවින් මෙබඳු අවස්ථාවකදී හැකි පමණ ඉක්මනින් රෝගියාව රෝහල් ගතකොට නිසි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
කතාබහ
ධාරා අබේනායක




