NovelsShort Storiesක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා

-

spot_img

ක්ලෝඩියාගේ සීයා – The Funeral and the Feast

ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු මහළු කාන්තාවක් සිහිනෙන් දුටුවාය. ඇගේ ඇඳුමේ පිරිසිඳු සුදු පැහැය, ලේස් රෙදිවල අලංකාරය ක්ලෝඩියා බියට පත් කළේය. එය බ්ලැන්කට්ටුවට ගුලි වීමට වුවමනා ආකාරයේ බියක් නොව, නහර තුළ ගලායන ලේ සීතල වන අන්දමේ බියකි. ක්ලෝඩියා අවදිව සිටියාය. නිසැකවම තමාට මුහුණ දීමට නියමිත දේ ගැන ඇය දැන සිටියාය. ක්ලෝඩියා නිවැරදි විය.

දැන්, ඔවුන් ඔහුව භූමදාන කළ දින, ඇය අච්චාරු සහ ඉටිපන්දම් ඉටිවල සුවඳින් පිරුණු අවන්හලක දිගු මේසයක කෙළවර අසුනක හිඳගෙන මේ මිනිසා කෙරෙහි සිය සැබෑ හැඟීම් වටහා ගැනීමේ උත්සාහයක නිරතවී සිටියාය. සම්ප්‍රදායට අනුව නම් ඔබ මියගිය අයගේ නාමයෙන් – ආගන්තුකයන්, අසල්වැසියන්, පැමිණි ඕනෑම අයෙකු – භූමදානයෙන් පසු අමුත්තන්ව පෝෂණය කළ යුතුය. එය මියගිය කෙනා වෙනුවෙන් කරන පරිත්‍යාගයකි.

The Funeral and the Feast

ක්ලෝඩියාගේ මව මරියා හැමදේම පිළිවෙලට සංවිධානය කර තිබුණාය. මේස, වයින්, මල්. ඇය සැමවිටම ආත්ම විශ්වාසයෙන් කටයුතු කළ නිසා, කිසිවෙකුගේ උදව් නැතිව සියල්ල සංවිධානය කිරීම පුදුමයක් නොවීය. ඇගේ ශෝකය අතිමහත් විය. භූමදානය කළ මිනිසා පිළිබඳ ඇගේ සියලු හැඟීම් පෙට්ටියක සිරවී තිබුණේ එම දිනයේ ඒවා ලෝකයට මුදා හැරීමෙන් වැළකීමටය. මරියා මේස අතරට ගොස්, පුටු ස්පර්ශ කරමින්, වයින් වත් කර ඇත්දැයි, සෑම කෙනෙකුටම කෑම තිබේදැයි පරීක්ෂා කළාය. කුඩා කල සිටම දන්නා හඳුනන කාන්තාවන් අසල නතර වී, උරහිසක් මිරිකා, සිනාසුණාය. උපැස් යුවළට යටින් කඳුළු පිස දැමුවාය. ඇය තුළ, ආපසු හැරවිය නොහැකි දෙයක් ඇතිවී තිබුණි. ඇගේ පියා සමුගෙන අවසන්ය. සදහටම!

ඔහු ඇයට හොඳ පියෙකු නොවන්නට ඇත, නමුත් අවම වශයෙන් අවසානයේ ඔහු එම චරිතය රඟ දැක්වීමට උත්සාහ කළේය. ඇයට දැන් වයස අවුරුදු හැට හතරට ආසන්න අත්තම්මා කෙනෙකි. නමුත් පියාගේ සමුගැනීම නැවතත් ඇය කුඩා එකියක බව හැඟෙන්නට සලස්වා තිබේ. දැන් ඇයට දෙමව්පියන් නොමැත. ප්‍රධාන ආහාර වේල අතර මෙම අඳුරු සිතුවිලි ඇයව වෙලාගත් අතර අත රැඳි වයින් වීදුරුව බිමට වැටීමට ඔන්න මෙන්න තිබුණි. ක්ලෝඩියා තම මව දුටු අතර කිසිවක් පැවසුවේ නැත. ඇය මුළු දවසම නිහඬව ගත කළාය. අත මත අතක්, සන්සුන් සැනසිලි වචනයක් සහ දරාගත නොහැකි හිස්කම මතුවෙමින් තිබුණි. ශෝකයෙන් සිටින වෙනත් ඕනෑම කෙනෙකුට, කළ යුතු දේ සහ කිව යුතු දේ ඇය හරියටම දැන සිටියාය. නමුත් ඈ ඇගේ මවට කියන්නේ මොනවාද? ඒ වෙනුවට ඇය අසුනටම ඇලී සිටියාය.

The Funeral and the Feast

ක්ලෝඩියාගේ වම් පසින් වාඩි වී සිටියේ සීයාගේ හොඳම මිතුරා වූ අනූතුන් හැවිරිදි වික්ටර් ය. ඔහු අසූව, අනූව දශකවල ප්‍රංශ සිහින කුමරා වන ඇලන් ඩෙලන්ගේ ෆොටෝ කොපියකි. අඩි හයකට වඩා උස, රිදී පැහැති හිසකෙස්වලින් පිරුණු, රැවුල මුඩු කර, ලෙදර් ජැකට්ටුවකින් සහ සම්පූර්ණ ඇඳුමකින් වික්ටර් සැරසී සිටියේය. ඇගේ සීයා සහ මේ මිනිසා ඒ කාලයේ කැසනෝවාවරුන් මෙන් සිටි බව ක්ලෝඩියාට පහසුවෙන්ම උපකල්පනය කළාය. රතු වයින් වීදුරුවක් අතැතිව සිටි වික්ටර් 1971 ශීත කාලය ගැන කතා කළේය. ඔහු සහ ක්ලෝඩියාගේ සීයා ජෝර්ජ් නිවසට යන අතරතුර දුම්රිය ස්ථානයක අතරමං වී සිටියහ. පිටත හිම කුණාටුව කොතරම් දරුණු වීද යත්, ඔවුන්ට දුම්රිය ස්ථාන අධීක්ෂක කාර්යාලය තුළ සිටීමට සිදු වූ අතර, ඔවුන් බෙදා ගැනීමට විස්කි බෝතලයක් ද රැගෙන ගියේය. මිනිසෙකු තම පවුලට වඩා රටට ණයගැතිද යන්න පිළිබඳව ඔවුන් පැය හයක් තිස්සේ තර්ක කළහ. ජෝර්ජ් සැමවිටම රට යැයි කීවේය. වික්ටර් සැමවිටම පවුල යැයි කීවේය. ඔවුන්ගෙන් කිසිවෙකුට අනෙකාගේ අදහස වෙනස් කළ නොහැකි විය. එය ඔවුන්ට තිබූ හොඳම තර්කයයි. ජෝර්ජ් මුරණ්ඩු සහ වෙනස් කළ නොහැකි මිනිසෙකි. ඔහු පවුල සහ නිවස ගැන එතරම් තැකීමක් කළේ නැත.

The Funeral and the Feast

ඔහු මේ කතාව ක්ලෝඩියාට නැවත කියමින් සිටියේය. තම වචන ප්‍රවේශමෙන් තෝරා ගනිමින්, කතාවේ අවසාන කොටස මඟ හැරීමට උත්සාහ කරමින්, ඔවුන් කළ ගැඹුරු අර්ථවත් කතාව ගැන කතා කරමින් සිටියේය. නමුත්, ඔහු එය පවසන සෑම අවස්ථාවකම යථාර්ථයෙන් ස්වල්පයක් පමණක් බෙදා ගත්තේය. ඇය හිස වනමින් සහ කනස්සල්ලෙන් වෙව්ලමින් සිටියේ මේ දවස ඉක්මනින් අවසන් වේ යැයි ප්‍රාර්ථනා කරමිනි. ඇයට උවමනා වූයේ ඇඳට වැටී ඊළඟ සතිය වන තුරු නිදා ගැනීමටය. එවිට ඇයට තම මවගේ දුක ගැන වරදකාරී හැඟීමක් ඇති විය.

මේසයේ සිටි පිරිමින් තිදෙනෙක්, ජෝර්ජ් ඔවුන්ට රැකියා ලබා ගැනීමට උදව් කළ අන්දම ගැන සහ ඔල්ගා නැමති ගැහැණියක් ගැන කතා කළෝය. විශේෂයෙන්, ඇය නගර මධ්‍යයේ සිටි හැටි සහ ඇගේ නරක සැමියා ගැන. ඔල්ගා අවමගුලට සහභාගී නොවීම ගැන ඔවුන් දුක් විය. කාන්තාවකගේ ඕපාදූප ගැන කතා කිරීමෙන් ඔවුන්ගේ දුක තුනීවන සෙයක් පෙනෙන්නට තිබුණි. ඔවුන් කුරිරු පිරිමින් නොවීය. කොමියුනිස්ට් යුගයේ සමෘද්ධිමත් වූ කුඩා නගරයක කටකතා වල බලයට හුරු පුරුදු වූ පිරිමින්ම පමණි. තම අසල්වැසියන් ගැන ඔවුන් තබා ගත් තොරතුරු වැදගත් බව ඔවුන් විශ්වාස කළෝය. ඔවුන්ගේ භාර්යාවන් ඔවුන් අසලම හිඳිමින් හිනැහෙමින්, ආහාර ගනිමින් සිටියෝය.

The Funeral and the Feast

ක්ලෝඩියාට ඇගේ ගෙල පිටුපසින් හුරුපුරුදු උණුසුමක් දැණුනි. ඇය අසුන්වලින් නැගිටගත් භාර්යාවන් දෙස බැලුවාය. නගරයේ සෑම කෙනෙකුම ආදරය කළ උසස් පාසලේ රසායන විද්‍යා ගුරුවරිය වූ මිසිස් පාවෙල්, වීදිය හරහා පැමිණි කොන්ස්ටන්ටයින් මහත්මිය, ඇය ක්ලෝඩියාගේ ආච්චිගේ කේක්වලටත් වඩා හොඳ නත්තල් කේක් සඳහා ප්‍රසිද්ධිය. ක්ලෝඩියා ඇයට කැමති නැත. නමුත් මේ සීයාගේ අවමංගල්‍ය උත්සවයයි. තව මොහොතකින් ඇය පිටව යනු ඇත. වයින් උගුරක් ගිල දැමූ ඈ ඇලන් ඩෙලන් වෙත හැරුණාය.

ඔවුන්ගේ මේසය අසල මේසයේ, ජෝර්ජ්ව කිසිසේත් නොදන්නා කාන්තාවන් දෙදෙනෙක් අසුන්ගෙන සිටියාය. ඔවුන්ගෙන් එක් අයෙක් මහල් නිවාස ගොඩනැගිල්ල පිරිසිදු කිරීමේ කාන්තාව ඇනාය. මරියාගේ ආරාධනය පිළිගත් ඈ ඥාති සහෝදරියක සමගින් පැමිණ තිබුණි. සුප් එක ඉතා හොඳ යැයි ඇනා සිතමින් සිටි අතර අතුරුපසක්, සමහර විට චොකලට් කේක් එකක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුණාය. ඇය ජෝර්ජ් සමඟ කතා කළ එක් අවස්ථාවක් සිහිපත් කළාය. ඒ වසර තුනකට පෙර සෝපානයේදී. ඔහු දුර්වලව සිටියේය. ඇය කොහේ කෙනෙක්දැයි ඔහු ඇසූ අතර ඉන්පසු ඇගේ ගම ගැන කතා කළේය. ඔහුගේ තරුණ කාලයේ ඒ ප්‍රදේශයේ වැඩ කළ හැටි. එය කාලගුණය ගැන කතා කිරීම සේ අරුත්බර සංවාදයක් නොවීය. පසුව ජෝර්ජ්, ඒ ගොඩනැගිල්ලේ සිටි අනිත් අයගෙන් ඉගෙන ගත්තේය. ඇය වැනි අයව පහත් කර කතා කළේය. ඇනා අද මෙයට සහභාගී වුනේ කෑම වේල ලබා ගැනීමටයි. එය ලැජ්ජාවට කරුණක් නොවේ. ක්ලෝඩියා, ඇනා සහ ඇගේ ඥාති සහෝදරිය දෙස බලා රැගෙන යෑමට කෑම අවශ්‍යදැයි සිතුවාය. ඒ සීයාගේ වැරදි වලට යම් සහනයක් ලබා දීමේ අටියෙනි. එය සාර්ථකදැයි ඇය කල්පනා කළාය.

The Funeral and the Feast

ඇය අවන්හල පුරා නෙත් යැව්වාය. ජීවිතයටත් වඩා ලොකු වික්ටර් දෙස. ඔහේ ඇවිද යන ඇගේ මව දෙස, සිනාසෙන පිරිමින් දෙස, භාර්යාවන් දෙස, කෑම කන ආගන්තුකයන් දෙස. සීයාට වයස අවුරුදු අනූවක් විය. ඔහු මරියාට රළු සහ නපුරු වූ අතර, කිසි විටෙකත් ඇයව නිවාඩු සඳහා රැගෙන ගියේ නැත. ඇය වෙනුවෙන් බෝනික්කෙකු මිලදී ගත්තේ හෝ ඇයව සුරතල් කළේ නැත. ආදරේ බව කීවේ නැත. ඔහු හැමවිටම බඳුනෙන් ලස්සනම ඇපල් ගෙඩිය තමාටම තෝරාගෙන තනිව ගමන් කළේය. හැම විටම පෙම්වතියක් සොයා ගත්තේය. ක්ලෝඩියා ඇගේ සීයා සහ ආච්චිගේ රැකවරණයේ තබා ගිය විට ඇයට නොසන්සුන්කමක් දැණුනි. රණ්ඩු, තර්ක, කිසිදු ආකාරයක ප්‍රචණ්ඩත්වයක් නොතිබුණ නමුත් සිනහවක්, වැළඳගැනීම්, සිපගැනීම් හෝ ප්‍රීතියක්ද නොතිබුණේය. ඇය ජෝර්ජ්ට සමීපව සිටියේ ඇගේ අනෙක් සීයා සිහිනයකින් ඇය වෙත පැමිණ බංකුවක සිට සමුගන්නා අතරතුර ඔහුව අල්ලා ගැනීමට ඉඩ දුන් ආකාරයට නොවේ. ඇයට ඔහුව පැහැදිලිව දැකගත හැකි නමුත් ඔහුව ස්පර්ශ කිරීමට නොහැකි විය. ඒ ගැන ඇයට වරදකාරී හැඟීමක් දැණුන අතර සහනයක්ද දැණිනි. ඇය සහ ඇගේ මව ඔහු සමඟ කවදාවත් නොතිබූ බැඳීම ගැන හඬා වැටීමේ දුක දැණිනි.

“ඔහු කවදාවත් වැරදි නැහැ..”

වික්ටර් පැවසීය.

“අවුරුදු පනහකට පස්සෙ ඔහු කවදාවත් වැරදි වෙන එකක් නැහැ..”

“මම දන්නවා…”

ඇය දැන සිටියාය. වයින් වීදුරුව ඇගේ අත්වල සෙමින් එහා මෙහා කරමින් තමා ඔහුට ආදරේ බැව් ක්ලෝඩියා වටහා ගත්තාය. මේ සියල්ලෙහිම යම් අර්ථයක් ඇති බව කෙදිනක හෝ ඈ තේරුම් ගනු ඇත. පිටත වැසි ඇද හැලිණි. මේසයට අතුරුපස ගෙන එන ලදී. ඉන්පසුව අමුත්තන්ට පමණක් ඇසෙන සීනුවක් නාද වූවාක් මෙන් පැමිණි සියල්ලෝම එකවර නැඟිට පිටව යෑමට පටන් ගත්තෝය.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Diana H විසින් රචිත The Funeral and the Feast කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you