රත් දෝතළු – 91
මම දවස් ගතකළේ තෝන්තු වූ බවකින් මෙනි. මා ද නොදැනුවත්දම මා මුදින් බොහෝවිට සුසුම් ගිළිහී යන්නට ඇත. එය කිසිවෙකුගේ අවධානයට ලක්වූවා කියා හැඟීමක් මට නොවීය.
“මොනව ගැනද අරවින්දි හූල්ල හූල්ල කල්පනා කරන්නේ…?”
නිලූපා සොයුරිය දිනක් මා විමසන විට මම තිගැස්සී ගියෙමි.
“ආහ්… මො…මොකුත් නැහැ සිස්ටර්…”
“නැත්තේ මොකද ළමයෝ… මං මේ දවස් කීපයක් තිස්සේ ඉඳන් බලන් හිටියේ… සිස්ටර් ෂෙහාරත් මගෙන් ඇහුවා… අරවින්දි ඉන්නේ මොකක් හරි ගැටළුවකින්ද කියලා…”
“අනේ…”
මට කියවිණි.
“මොනවා ගැනද ඔය තරම් කල්පනා කරන්නේ…?”
ඈ වඩාත් කරුණාවන්ත හඬකින් විමසුවාය. කෑගසා හඬන්නට මට වුවමනා වුවද මම සිත දිරිමත් කරගෙන සිටියෙමි.
“අහස් සර්වයි, පුතාවයි මතක්වුණා සිස්ටර්…”
බොරුවක් කීමට දිව නොනැමුණ නිසා මම සත්‍යයම පැවසුවෙමි. ඇරත් පැවිදි අයෙකුට බොරුවක් කීම පාපයකි.
“ඉතින් ළමයෝ… මතක්කර කර හූල්ලන්නේ නැතිව කෝල් එකක් දුන්නා නම් ඉවරනේ… ඒ මනුස්සයා ඔයාගේ ඇඟට කඩන් පනින්නේ නැහැනේ…”
“ගත්තා… ෆෝන් එක වැඩ නැහැ…”
“ඉතින් ලෑන්ඩ් නම්බර එකක් නැත්ද…?”
“ඒක ආන්සර් කරන්නේ නැහැ… කීප සැරයක් ගත්තා…”
“හ්ම්ම්…. වෙන නම්බර් එකක් නැත්ද…?”
විනීෆ්‍රිඩා මහත්මියගේ අංකය මැකී ඇත. විහඟගේ අංකය මා ළඟ නැත. නිර්මාණිටද ඇමතුම් ගත්තද ඇගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත ඇතිබව කීවේය.
“නැහැ සිස්ටර්… එක අතකට කතා නොකරපු එක හොඳයි කියලා හිතෙනවා…”
“ඒ පාර මොකද එහෙම කියන්නේ…?”
“කතාබහ කළත් ඒකත් හිතට දුකක්…”
“කතා නොකළා කියලා ඔයා ඉන්නේ සතුටින් නෙවේනේ… අන්න ඔයා සතුටින් ඉන්නවා නම් කමක් නැහැ… දෙකම එකයි…”
“අනේ මන්ද සිස්ටර්… මට මේ මොකුත් තේරෙන්නේ නැහැ… අහස් සර් එක්ක කතා කළා කියලත් මට සතුටක් දැණෙන එකක් නැහැ… ඒ නිසා ඉන්න විදිය හොඳයි කියලා හිතෙනවා…”
“මට නම් හොඳක් පේන්නේ නැහැ… අනික ඉතින් දරුවෝ… ඔයා මේ තිරණේ ගත්තේ කවදාහරි මේ දේවල් වෙනවා කියලා දැන දැනමනේ… ඔයා රැවටුණාවත්… ඒ ළමයා ඔයාව රැවැට්ටුවාවත් නෙවේනේ… එක්කෝ එහෙනම් ඔයා හිත හදාගන්න ඕන… කල්පනා නොකර… මෙහෙම ගියොත් ඔයා අසනීප වෙන්න වුණත් පුළුවන්…”
එය මටද වැටහිණි.
“මට තේරෙනවා සිස්ටර්…”
“ඔයා ගෙදරට හරි කෝල් කරන්න… හැමදාම පැනලා ගිහින් හැංගිලා ජීවත්වෙන්න බැහැනේ… එහෙම නේද…? ඇත්තට මූණ දෙන්න… ඒ ළමයා ඔයා ගැන හිතනවා නම් දවසක හොයාගෙන එයිනේ…”
මා මුවින් සුසුමක් ගිළිහිණි.
“සිස්ටර්ට පුළුවන්ද මට කෝල් එකක් අරන් දෙන්න…?”
“ඕක අහන්නත් දෙයක්ද…?”
එතුමියගේ ජංගම දුරකථනයෙන් ඇමතුම ලබාගෙන ඈ මට කතා බහ කිරීමට ඉඩහැර ඉවතට ගියාය. ඇමතුමට පිළිතුරු දුන්නේ නංගීය.
“චූටි මම…”
මම කියාගත්තේ අපහසුවෙනි.
“ආනේ… ලොක්කාක්කේ… ඔයා කවද්ද ලංකාවට ආවේ…?”
නංගීගේ හඬේ වූ ප්‍රීතිය මා සවනට ගලා එනවිට මා සිතට දැනුණේ වරදකාරී හැඟීමකි. මෙතෙක් කලක් මා සිටියේ විදෙස්ගතව කියා සිතා සිටීම යම් සහනයක් වුවද මා ඇමතුමක් හෝ නොදීම වරදක් සේ මට හැඟිණි.
“ආවා විතරයි චූටි… කෝ අම්මා…?”
“අම්මා තාත්තා එක්ක රාගම හොස්පිට්ල් එකට ගියා… අද තාත්තාගේ ක්ලිනික් දවස…”
“තාත්තට ආයිමත් අසනීප වුණාද…?”
කළබලයෙන් මම ඇසීමි.
“නැහැ… තාත්තට දැන් ඉස්සරට වඩා හොඳයි… ඒත් මාසෙකට සැරයක් ක්ලිනික් යනවා…”
මා සිතේ සහනයක් ඇතිකරමින් නංගී කීවාය.
“කෝ මල්ලි…?”
“මල්ලිට අද පන්ති… ලොක්කාක්කේ ඔයා කවද්ද ගෙදර එන්නේ… කොච්චර කල්ද ඔයාව නොදැක…”
නංගීගේ හඬේ එවර වූ ශෝකී බව වැටහී මා සිතේද ඇතිවුණේ ශෝකයකි.
“අද හෙටම එන්නම්…”
“නිරූ අක්කා දන්නේ නැත්ද ඔයා එනවා කියලා…?”
“නැහැ… ඇයි චූටි…?”
“නිකන් ඇහුවේ… එයාත් රට යනවා කිව්වානේ… යන්න කලින් කතාකළා… මාස තුන හතරක් එහේ ඉන්නවා කිව්වා… ඔයාට කතා කළේ නැත්ද…?”
“මගේ නම්බර් එක වැඩ කළේ නැහැනේ…”
මුවට ආවට මම කීවෙමි.
“මේ ඔයාගේ අලුත් නම්බර් එකද…?”
“න්…නැහැ චූටි.. මේ මම වැඩ කරන තැන යාළුවෙක්ගේ… ඒකට ගන්න එපා… මං කෝල් කරන්නම්… මං ඉක්මනට ගෙදර ඇවිත් යන්න එනවා…”
මම එසේ පවසා කතාබහ නිමකළෙමි. නිර්මාණිද විදෙස්ගතව ඇත. ඇගේ දුරකථනය ක්‍රියා විරහිත ඒ නිසාය. ඈ මෙතෙක් කලක් නිවැසියන් පිළිබඳව සොයා බලා ඇතිබව දැන මා සිතේ ඇතිවූයේ අනුකම්පාවකි. ඉක්මනින්ම නිවසට යා යුතුයැයි කියා සිතුවිල්ලක් මා සිතේ ඉපදිණි. නිලූපා සොයුරිය සොයා මම ඉදිරිපසට එනවිට ඈ සිටියේ කිසිවෙකු සමඟ කතාබහකය. ඒ තේජාන් බව දැක මම වහා පිටුපසට දිව ආවෙමි. ඔහු සිටියේ මට පිටුපා නිසා මා දකින්නට ඉඩක් නැත. ඊටත් මඳවෙලාවකට පසුව නිලූපා සොයුරිය පැමිණියාය.
“මොකද අරවින්දි අර ළමයා දැකපු ගමන් දුවන් ආවේ…?”
මඳහසක් පාමින් ඈ විමසුවාය.
“මට බයයි සිස්ටර් එයා එක්ක කතාකරන්න… ඒකයි දුවන් ආවේ…”
“හැමදාම හැමදේකින්ම පැනලා දුවන්න බැහැ අරවින්දි… ඔයා එකපාරක් පැනලා දිව්වා… ඔයාට ඕන මුළු ජීවිතකාලෙම මෙහෙම දුව දුව ඉන්නද…? ඔයා මේ හැමදේටම මුහුණ දෙන්න ඕන… කවදා වෙනකල් පැනලා දුවන්නද…?”
එතුමිය කීවේ සත්‍යයකි. මා කළේ පැන දිවීම නොවේද.? මා කළේ වරදක් බව මට වැටහුණේ දැන්ය. අඩුම තරමේ මට එතරම් කාරුණික වුණු විනීෆ්‍රිඩා මහත්මිය සමඟ හෝ කතාබහා කර තීරණයක් ගැනීමට තිබුණා නොවේද කියා මට සිතුණේ මේ මොහොතේදීය.
“අනේ සිස්ටර්… මං කළේ වරදක්ද…?”
“ඔයා කළේ වරදක් කියලා නෙවේ මං කියන්නේ… මේ හැමදේටම මුහුණ දෙන්න ඕන නේද… පැනලා දිව්වා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ…”
“මට බයයි සිස්ටර්…”
“බයවෙලා කොහොමද අරවින්දි… ඔයා මේකට මූණ දෙන්න ඕන… අද අර ළමයා කෙළින්ම මා එක්ක ඔයා ගැන කතාකළා…”
ඒ මොහොතේ ඈ කීවේ මා කිසිසේත් ඇසීමට සිතා නොසිටි දෙයකි.
“තේජාන්… ඒ… මොනවද සිස්ටර් ඇහුවේ…?”
“ඔයා ඒක අහලත් බයවුණානේ… ඒ දරුවා කොයි වෙලේ හරි ඔයා එක්ක කතා කරයි කියලත් දන්නවා නම් ඇයි බයවෙන්නේ…?”
එවර මා සිතේ ඇතිවූයේ ලැජ්ජාමුසු හැඟීමකි.
“මං දන්නේ නැහැ සිස්ටර්…”
“තේජාන්ගේ හිතේ ඔයා ගැන අදහසක් තියනවා… එයා මා එක්ක විවෘතව කතාකළා… මං කිව්වා ඔයා එක්ක කතාකරන්න කියලා… ඔයාගේ පෞද්ගලික තොරතුරු මට එයා එක්ක කියන්න බැහැනේ… ඔයාම කතාබහ කරන එක තමා සුදුසු… පැනලා දුවන්නේ නැතුව…”
“හොඳයි සිස්ටර්…”
“තව දෙයක්… ඔයා අර කලින් හිටපු තැන ගෙදරට කෝල් කරන්න… අඩුම තරමේ ඔයා හොඳින් කියලා හරි එයාලා දැනගන්න ඕනනේ… මෙච්චරකල් ඔයා හැංගිලා හිටියා ඇති…”
“මට ඒකට තාම හිත හදාගන්න බැරුවුණා සිස්ටර්…”
“ඔයා බැරි නම් මං හරි ඒක කරන්නම්…”
මම එයට එකඟව හිස සැළීමි.
“මට නම්බර් එක දීලා තියන්න… මං කෝල් එකක් දෙන්නම්…”
මම එයටද හිස සැළීමි.
“සන්තෝසෙන් ඉන්න දරුවෝ… අපේ ජීවිත හරිම කෙටියි… තේජාන් එක්කත් කතා කරලා ඔයා සුදුසු දෙයක් කරන්න… ඒ වගේම අරවින්දි… ගෙදර ගිහින් අම්මලා බලලා එන්න…”
මා උරමතට සෙමෙන් තට්ටුවක් දමමින් ඈ කීවාය.
“මම යන්නම් සිස්ටර්… මටත් එයාලා බලන්න ඕන…”
“හ්ම්ම්… ඔයා ධෛර්යවන්ත ළමයෙක්… මේ හැමදේම දරාගෙන ජීවත්වෙන්නේ ඒ නිසානේ…”
එසේ පැවසූ එතුමිය මා හිස පිරිමදිමින් ඉවත ගියාය.
-හෙටත් හමුවෙමු-