ගායකයන්ගේ කතාවක් – As Beautiful as a Dream
වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි කර තිබූ දීප්තිමත් බල්බ් පේළියෙන් නැගුණ තියුණු ආලෝකය ඔහුගේ මුහුණේ ලප කැලැල් සැඟවීය. කැඩපත මැජික් දොරක් සේ දිස්වූ අතර ඔහු වසර විස්සකින් පමණ තරුණ වූ සෙයක් දිස් වුණි. වෙන්ගේ නියෝජිතයා මේකප් ආටිස්ට්ලාට ඉක්මන් කරන්නැයි කෑ ගැසුවේය. සවුන්ඩ් සිස්ටම් නැවත පරීක්ෂා කරන ලදී. වේදිකාවට පිවිසීමට පෙර වෙන් ගැඹුරු හුස්මක් ගත්තේය. විදුලි එළි ඔහු මත පතිත වූ විට මොහොතකට අන්ධ වූවා වැනි හැඟීමක් දැණුනි. දීප්තිය හාත්පස පැතිර තිබේ. මොහොතකට, ඔහු වීදුරු භාජනයක නිදර්ශකයක් ලෙස පමණක් ලෙස දැනුන මුත් වසර ගණනාවක පුහුණුව ඔහුට මඟ පෙන්වනු ලැබීය. 1990 ගණන්වලදී වෙන් චීනයේ වඩාත්ම ඉල්ලුමක් ඇති පොප් ගායකයින්ගෙන් කෙනෙක් විය. ඒ කාලයේ, ඔහුගේ ගීත සෑම තැනකම කැසට් වලින් ඇසුණි. උද්‍යානවල, බස් නැවතුම්පොළවල, සුපිරි වෙළඳසැල්වල සහ අවන්හල් හරහා මේ හැමතැනම ඔහුව ඇසුණේය. ඔහුගේ ගීත මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය සංතෘප්ත කෙරූ අතර හැමෝම ඒවා මිමිණූහ.
හදිසියේම, ස්පොට් ලයිට් නිවී ගොස්, ඔහුව වර්තමානයට කැඳවාගෙන ආවේය. ගැහැණියක් මේකප් රූම් එකට කඩා වැදී උස් හඬින් බෙරිහන් දුන්නාය.
“ඔයා කවුද? මේ ෆෙයිගේ කාමරය! මෙතන ඉන්නේ ඇයි? එළියට යන්න!”
ඇය හඬනගමින් පැවසූ අතර බියට පත් වෙන් එතැනින් ඉවත්ව යෑමට සැරසූ නමුත් කිසිවෙකු ඔහුගේ සිරුරේ හැපිණි. හිස ඔසවා බැලූ ඔහු දුටුවේ ඒ ජනප්‍රිය පොප් ගායන තරුව ෆෙයි බවයි. වෙන් ඔහුගෙන් සමාව ඇයදුවේ බැනුමක් බලාපොරොත්තුවෙනි. නමුත් ෆෙයි මෘදු ලෙස වෙන්ට නැගිටීමට උදව් කලේ ඔහුම සමාව අයදිමිනි. වෙන්, ෆෙයිගේ ජනප්‍රියත්වයේ තරම දැන සිටි නිසාම මේ හැසිරීම ඔහුට පුදුමයක් වුණේය. ජනප්‍රිය පොප් තරුවකගේ අහංකාරය ඔහු තුළ නොවූ අතර ෆෙයිගේ කරුණාවන්ත කම නොසැළකිලිමත් පිරිමි ළමයෙක් සිහිපත් කළේය. ගැහැණිය නැවත කෑගැසුවාය.

“ඔයා කොහෙද?” අපි එකොළහට කලින් ඩිනර් එකට යන්න ඕනෙ. ඉක්මන් කරන්න. වැන්ග් මහත්තය කවුරුත් පරක්කු වෙනවට කැමති නෑ.”
ෆෙයි සැහැල්ලුවෙන් සුසුමක් හෙලුවේය. ඒ සුසුම පවා ගැහැණියගේ කේන්තිය වැඩි කළේය.
“වැන්ග් මහත්තයා නැත්තං ඉතින් ඔයා තාම බාර්වල සිංදු කියනව. අඩුගානෙ ඒකටවත් ස්තුතිවන්ත වෙන්න.”
ඇය තියුණු ලෙස පැවසුවාය. වෙන් ඔහුගේ සේවා ස්ථානය වන පිරිමි වැසිකිළියට පලා ගියේය. එහිදී කැඩපත තුලින් ඔහුට සිහින වෙනුවට යථාර්ථය පෙනුණි. ඔහු කවුද, ඔහු සිටින්නේ කොහේද සහ ඔහුව සැබවින්ම පෙනෙන්නේ කෙසේද යන්න පිළිබඳව. ගායන දිවියේ බිඳවැටීමෙන් පසු වෙන් ගිණිය නොහැකි තරම් රැකියා සිදු කළේය. වේටර්, ටිකට්පත් විකුණන්නා, සුපිරි වෙළඳසැල් මුදල් අයකැමි, වීදි වෙළෙන්දා සහ දැන්, පිරිසිදු කරන්නෙකු ලෙසින්. අළු පැහැති නිල ඇඳුමෙන් සැරසී සිටින සිය රූපය දෙස කැඩපත තුළින් බැලූ ඔහුට එහි වූ ඒකාකාරී බව පෙනුණි. කම්මුල් ඇතුළට ඇදී ගොසිනි. කාලය ගෙවී ගොස්ය. තමාට දැන් අවුරුදු පනහකි. ඒ සිද්ධියෙන් පසු වසර විස්සමක්ම ගෙවී ගොසිනි.
සිය සියවන ප්‍රසංගයට පසුව උදාවූ රාත්‍රිය ඔහු සිහිපත් කළේය. රාත්‍රී භෝජන සංග්‍රහයේදී වතුර බෝතලයක් බිවූ පසු සිය උගුර ගිනිගන්නාක් මෙන් ඔහුට දැණුනි. වෙන් සතියක්ම රෝහල් ඇඳේ වැතිර සිටියේය. උගුර විනාශ වී ඇති බව දැණුන මුත් ඔහු ගායනා කිරීමට උත්සාහ කළද කටහඬ ගොරෝසු සහ බිඳුණු ලෙස පිට වුණේය. ළඟ සිටි අය පවා ඔහුව සැක කළහ. සමාගම විසින් ඔහුව ඉවත දමන ලදී. දැන්, ඔහු ක්‍රීඩාංගනයක පිරිමි වැසිකිළි පිරිසිදු කළද අතීතයේ ඔහු තරුවක්ව බැබළුණේය. වෙන් වෙහෙස නොබලා බිම පිස දැමුවේය. නමුත් තෙත් බිම මත ඉක්මනින්ම පා සටහන් ඇතිවීම වැළැක්විය නොහැක.
“තාමත් ගායකයෙක් වෙන්න හීන දකිනව වගේ?”
ඔහුගේ ප්‍රධානියා නිරතුරු පවසන්නේ සමච්චලයටයි. ඔහුට ලැජ්ජාවක් දැනුණි.
“ඔහේ ඉන්නෙ මෙතන බිම පිරිසිදුව තියාගන්න. කණ්නාඩියෙන් බලන්න. තමන් කවුද කියල එතකොට පෙනේවි. මේ රස්සාවත් නැති කරගන්න එපා.”
ඔහු සමච්චල් කළේය. වෙන්ට හොඳටම කේන්ති ගියේය. ප්‍රධානියාගේ ගෙලෙන් අල්ලා ගත් ඔහු ඔහුව බිත්තියට හේත්තු කළේය.
“උඹට කොහෙන්ද මට අත තියන්න හයියක් ආවෙ? උඹ ඉවරයි කියලා හිතාගනිං. දවසක මම ගාව වැඳවැටෙන හැටි බලමුකො”
ප්‍රධානියා අපහසුවෙන් පැවසීය.
“මාව තවත් කේන්ති ගස්සන්න එපා. මට දැන් නැතිවෙන්න දෙයක් නෑ. ජීවිතේ නැති වුණත් මට කමකුත් නෑ. මම අපායට ගියොත් උඹවත් ඇදගෙනම තමයි යන්නෙ.”
වෙන් දත්මිටි කමින් පවසා තම ග්‍රහණය මුදා හැර, ඔහුට යන්නට ඉඩ හැරියේය. සින්ක් එක අසලට ගොස් තම කේන්තිය ගැන පසුතැවිලි විය. ඔහු තම සිතුවිලි වල ගිලී සිටියදී මිනිසුන් දෙදෙනෙක් ෆෙයි ගැන මැසිවිලි නඟමින් කුටිවලට කඩා වැදුණි.
“වැන්ග් මහත්තය ඩිනර් එකක් දුන්නෙ ඇයි දන්නවද? “
කවුදෝ ඇසීය.
“ඒ ෆෙයි වෙනුවෙන්”
අනෙකා පැවසීය.
“ෆෙයි ඔහු බලාපොරොත්තු වුණාට වඩා වැඩි මුදලක් ගෙනාවා.”
“ඔහේ ඕනවට වඩා බොළඳයි”
“වැන්ග් මහතා ෆෙයි අගය කරනවා වැඩියි.”
” නැතුව.. ෆෙයිගෙ බොරු සෝබනේ”
“නැහැ, මම අදහස් කරන්නෙ ඒක කැමැත්තකට එහා ගිහිපු දෙයක්.”

මිනිසුන් දෙදෙනා පිටව ගිය පසු, වෙන් කුටියේ දොර තල්ලු කළ විට, ටයිල් මත වැටී තිබූ කාඩ්පතක් දුටුවේය. ඔහු එය අතට ගත්තේය. එය අවන්හලක කාඩ්පතක් වූ අතර, එහි නම, අංකය සහ ලිපිනය මුද්‍රණය කර තිබුණි. වෙන් එය ක්ෂණිකව හඳුනා ගත්තේය. ස්ථානය මිල අධික විය. ඔහු පසුකර යන සෑම අවස්ථාවකම, ඔහු දුටුවේ බෙන්ස්, BMW සහ Porsche මෝටර් රථ ඒ අසල දිලිසෙන ආකාරයයි. ඔහු කාඩ්පත ඔහුගේ සාක්කුවට ඇතුළු කළේය. කෝපයට පත් ඔහු කුටියෙන් පිටතට දිව ගිය අතර, ෆෙයි වමනය කරනු ඔහු දුටුවේය. ෆෙයිගේ මුහුණ සුදුමැලිව තිබුණි. ඔහු අසීරුවෙන් කතා කළේය.
“මට දොර වහන්න උදව් කරනවද? “
ඔහු දුර්වල නමුත් කලබළකාරී අන්දමින් පැවසුවේය. වෙන් හට කාරණය වැටහුණි. පොප් තරුව පසුපස පැපරාසීන් ලුහුබඳිනු ඇත. වෙන් කට ඇරියද වචන උගුරේ සිර විය. ඔහු හුදෙක් පිරිසිදු කරන්නෙකු පමණි.
ෆෙයි නිශ්ශබ්දතාවය බිඳ දැමීය.
“කරදර කරාට සමාවෙන්න.”
“කමක් නැහැ. පිරිසිදු කිරීම මගේ රැකියාව”
නමුත් ෆෙයි මැසිවිලි නැගුවේය.
“ජනප්‍රිය ගායකයෙකු වෙන එක මහ වදයක්. මට මේක නවත්තන්න ඕනෙ. නමුත් මට බෑ මොකද තාත්තගෙ ණය වගයක් පියවන්න තියෙනවා.”
“මට ඔබව තේරෙනවා. ජීවිතේ අපිට විකල්ප ඉතිරි කරනව අඩුයි.”
“ඔබට හිතෙනව ඇති මට ලැබිලා තියෙන දේවල් හැමෝටම නොලැබෙන වග. මාත් හිතුවෙ මම සතුටින් කියලා. ඒත් එහෙම නෑ. මට කවදාවත් නොදැණුන විදිහෙ හිස්කමක් දැනෙනව.”
“විහිළුවක් වගෙ පෙනුනත් මාත් ඉස්සර ගායකයෙක් වෙලා හිටියා. ඒත් අවුරුදු ගාණකට පස්සෙ මම දැන් පිරිසිඳු කරන්නෙක් විතරයි. මම අනිත් අය ඉතිරි කරලා යන අවුල් හරිගස්සනවා.”
“ඔයා ගායකයෙක්?”
“ඔව්. අවුරුදු විස්සකටත් කලින්. ඔයා ඉපදෙන්නත් ඉස්සර”
ෆෙයි ඔහුව ඇසීමට ආශාවෙන් සිටියද එළියේ ඔහුගේ නියෝජිතවරිය බෙරිහන් දෙමින් සිටි බැවින් සමුගෙන ගියේය. වෙන් ඔහුගේ වැඩ අවසන් කළේය. ක්‍රීඩාංගනය පිටත, මිනිසුන් කිහිප දෙනෙක් දුම් පානය කරමින් කතා කරමින් සිටියහ.
“හොන්ගිං තමයි දැන් ඉන්න ජනප්‍රියම ගායකයා. ඉක්මනින්ම බිලියනපතියෙක් වෙනව ෂුවර්. අනිත් එක මිනිහ තමන්ගෙ හොඳ නම ආරක්ෂා කරගන්න ඕනෙ ජරා වැඩක් කරාවි.”
“අර නඩුව. හොන්ගිං තමයි ලී වෙන්ගෙ වතුර එකට වස දැම්මෙ. ඒ කාලෙ ජනප්‍රියම තරුව වුණේ ලී වෙන්.”
වෙන්ට තම දෙසවන් අදහාගත නොහැකි විය. මේ මිනිසුන් කතා කරන්නේ ඔහු ගැනය. ඔහු මෙතුවක් නොදැන සිටි රහසක් ගැනය. ඔහු වෙව්ලන්නට විය. සාක්ෂි දීමට මිනිසුන්ගෙන් අයැද සිටියත්, ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කරන බව ඔහු දැන සිටියේය. ඔහු කිසිවෙකු නොවන නිසා නොව, කිසිවෙකු ඔහු වෙනුවෙන් තම වෘත්තීය සහ ජීවිතය අවදානමට ලක් නොකරන නිසා. අතීතයේ ඔහු නැවත නැවතත් පුවත්පත් හෝ රූපවාහිනී මධ්‍යස්ථාන වෙත ගොස්, තමාට සවන් දෙන ලෙස ඉල්ලා සිටියද, සෑම උත්සාහයක්ම අසාර්ථක විය. කිසිවෙකු ඔහුගේ කතාවට සවන් දුන්නේ නැත. කිසිවෙකු ඔහු පැවසූ එක වචනයක්වත් විශ්වාස කළේ නැත. ඔහුගේ කාමරයේ ඉරිතැලීම් හරහා කාන්දු වූ වර්ෂාවෙන් වැදගත් ලියකියවිලි ආරක්ෂා කර ගැනීම සඳහා, වෙන් ඒවා ප්‍රවේශමෙන් ඔතා ගත්තේය. ෆීනික්ස් සමාගම සමඟ ඔහුගේ සියලු ගිවිසුම්වල පිටපත් සහ ඔහුගේ අනන්‍යතාවය සනාථ කරන ලියකියවිලි, ඔහු වරක් කවුද යන්න පිළිබඳ සාක්ෂි ද එහි තිබුණි. තවත් තොගයක් ඔහුගේ උගුරට සිදු වූ හානිය ලේඛනගත කරන ඔහුගේ වෛද්‍ය වාර්තා අඩංගු විය. ඔහු තවමත් විශ්වාසයේ රැඳී සිටියේය. යම් දිනක ඔහු තම හඬ සහ යුක්තිය නැවත ලබා ගනීවි යන විශ්වාසයේ රැඳී සිටියේය.

නිහඬවම එතැනින් පිටවූ වෙන් තමාගේ කුලී කාමරයට ගියේය. එය බීජිංවල මුඩුක්කු ප්‍රදේශයක පිහිටා තිබුණි. වර්ග මීටර් පහේ ඉඩ සඳහා මාසික කුලිය යුවාන් පන්සියයක් වූ අතර, එය මැක්ඩොනල්ඩ්ස් හැම්බර්ගර් විසිපහක, පීකිං රෝස්ට් තාරාවන් දහනවයක හෝ ස්ටාර්බක්ස් කෝපි කෝප්ප දහසයක මිලට සමාන විය. එම කුලිය පවා ඔහු දරාගත්තේ අසීරුවෙනි. ලෝහ තහඩු වලින් ඇලවූ වහලවල් සහිත පෙට්ටි මෙන් වූ නිවාස මතට ගිම්හානයේදී වැසි වැටෙන විට මහ හඬක් නැගුණි. ශීත ඍතුවේ ශීතල දරා ගත නොහැකි වූ අතරදී ජැකට් ඇඳගෙන සිටියද ඔහු වෙව්ලුවේය. ජීවිතය ඉතා රළු වූ නමුත් වෙන් එය අවසන් කිරීමට කිසි විටෙක සිතුවේ නැත. එක් රාත්‍රියක, වෙන් රැකියාව නිමවී සුඛෝපභෝගී තරු පහේ හෝටලයක් අසලට ගියේ නොදැනුවත්වම මෙනි. ආරක්ෂක නිලධාරියෙක් ඔහු දෙසට පැමිණ, “මෙතන රස්තියාදු වෙන්න එපා” යනුවෙන් කෑ ගැසුවේය. ලැජ්ජාවට පත් ඔහු මෝටර් රථයක් වේගයෙන් එන විට එය ඉදිරියට ගියේය. කළු ඇඳුම් ඇඳගත් මිනිසුන් දෙදෙනෙක් රථයෙන් බැස දොර අසල රෝද පුටුවක් තැබූහ. ඔවුන් වැඩිහිටි මිනිසෙකු ප්‍රවේශමෙන් එයට ඔසවා ගත්හ.
තරුණයෙක් මෝටර් රථයෙන් බැස,
“මිස්ටර් හොන්ගිං, ඩොක්ටර් වැන්ග් ඔබ එනකං ඉන්නවා.”
යැයි පැවසීය. මහළු මිනිසා හුරුපුරුදු බව වෙන්ට දැනුණු අතර තරුණයා රැගෙන ගිය ෆෝල්ඩරයේ මුද්‍රණය කර ඇති තද පැහැති වචන ඔහුගේ නෙත ගැටුණේය.
”ෆීනික්ස් එන්ටර්ටේන්මන්ට් සමාගම.”
වෙන්ට කෝපයක් දැනුනි. ඔහු මහළු මිනිසා දෙසට ගමන් කෙරූ අතර ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ක්ෂණිකව ප්‍රතික්‍රියා කරමින්, මාර්ගය අවහිර කරමින් වෙන් ව අල්ලා ගත්තෝය. ඔවුන් ඔහුව ඉවතට ඇදගෙන යද්දී වෙන් කෑ ගැසුවේය. හොන්ගිං ආරක්ෂකයින්ට නවත්වන ලෙස සංඥා කළ අතර වෙන්ට ඔහු අසළට ඒමට ඉඩ දුන්නේය. රෝද පුටුවේ වාඩි වී සිටි හොන්ගිං සුදුමැලි හා දුර්වල ලෙස පෙණුනි.
“මම ඔබට ඇත්ත කියන්න බය නැහැ. ඔබ රූකඩයක්. අපි දෙන්නම රූකඩ – අපේ සමාගම්වල, අයිතිකාරයොන්ගෙ රූකඩ.”
තරුණයාගේ සහාය ඇතිව හොන්ගිං එතැනින් ඉවත් වෙද්දී වෙන් සිතුවිලි වල ගිලී සිටියේය. ඔහුට දැණුනේ හිස්කමකි. නිවසට යන අතරමගදී, ජංගම දුරකථන වෙළඳ නාමයක් ප්‍රචාරය කරන දැවැන්ත දැන්වීම් පුවරුවක් ඉරා දමන කම්කරුවන් පිරිසක් දක්නට ලැබුණි. පුවරුවේ හිනැහෙමින් සිටියේ ෆෙයි ය. වෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් කම්කරුවන් පැවසුවේ ඔවුන් නියෝග අනුගමනය කරන බවයි. ෆෙයි සිටින සෑම දැන්වීමක්ම ඉරා දමන ලදී. එදින දහවල් වෙන්ගේ දුරකථනයට ප්‍රවෘත්තියක් ආවේය.
“මානසික බිඳවැටීමක් හේතුවෙන් පොප් තරුව ෆෙයිගේ ෆීනික්ස් සමාගම සමග පැවති කොන්ත්‍රාත්තුව අවසන්.”
ඊළඟ මාස කිහිපය තුළ ෆෙයි අතුරුදහන් විය. කිසිදු ප්‍රසංගයක් නොතිබුණි. හැමෝම ඔහු පිළිබඳව විමසූහ. ශීත කාලය නැවත පැමිණියේය. ගස් හිස්ව තිබූ අතර, සුළං අධික විය. දිනපතාම හිම එක් රැස් වුණි. සීතල ඇටකටුවලටම දැණුනේය. දවස තිස්සේම වැසිකිළි පිරිසිදු කිරීමෙන් පසු, වෙන්ගේ උගුර රිදෙන්නට ගත්තේ එතුළ පිහියකින් කපා දමනවාක් මෙනි. රාත්‍රිය වන විට ඔහුට උණ වැළඳුනේය. ඇඳෙන් නැගිටීමට උත්සාහ කළද ඔහු ක්ලාන්ත විය. අවදි වූ විට වෙන් සිටියේ රෝහල් ඇඳක් මතයි. අසල්වැසියෙකු ඔහුව බේරාගෙන තිබුණි. අධික ඩිටර්ජන්ට් ගන්ධයක් ආශ්වාස කිරීමෙන් ඇතිවූ උගුරේ දැවිල්ල නරක අතට හැරී ඇති බව වෛද්‍යවරයා පැහැදිලි කළේය. ඔහු කඳුළු සලමින් සිටියේය. ඔහු රෝගීන් තිදෙනෙකු සමග වාට්ටුවක නැවතී සිටි අතර, එක් රෝගියෙකුගේ ඝෝෂාකාරී ගොරවන හඬ ඔහුව අවදි කළේය. බිත්තිය හරහා දිලිසෙන කොළ සෙවනැලි දෙස බලා සිටියදී ඔහුගේ ජීවිතයේ කොටස් නැවත දැල්වුණි. ගායකයෙකු වීම සිහිනයක් ද යථාර්ථයක් ද යන්න ඔහුට තවදුරටත් කිව නොහැකි විය. ඔහු නින්දට යාමට ආසන්නව සිටියදී, ඔහුගේ කණ අසලින් හඬක් ඇසුණි.




