Travelආච්චිට හාල් ගරපු ගම බලන්න කෝච්චියෙන් නුවරට

ආච්චිට හාල් ගරපු ගම බලන්න කෝච්චියෙන් නුවරට

-

spot_img

ආච්චිට හාල් ගරපු ගම බලන්න කෝච්චියෙන් නුවරට – Thulana Travel

භාණ්ඩ ප්‍රවාහනය, මගී ප්‍රවාහනය මෙන්ම ලොවපුරා ආකර්ෂණීය සංචාරක ප්‍රවාහන සේවයක් බවට දුම්රිය පත්ව තිබේ. අප රටේද සංචාරක ව්‍යාපාරයේ සැළකිය යුතු කොටසක් දුම්රිය සේවයට හිමිව තිබේ. විශේෂයෙන්ම උතුර හා කඳුරට ප්‍රදේශවලට යන දුම්රිය ගමන් වාර වැඩි වශයෙන් පිරී යන්නේ සංචාරකයන්ගෙනි. මහා මාර්ගයෙන් ගමන් කරනවාට වඩා දුම්රිය මාර්ගයේ සංචාරයෙන් රටේ සොබා සිරිය හොඳින්ම විඳ ගැනීමට හැකි බවට බොහෝ දෙනාගේ විශ්වාසයක් පවතී. මේ නිසාම මෙවර අපි කොළඹ සිට කෝච්චියෙන් මහනුවරට යන්නෙමු. 

Thulana Travel

දේශගුණික වෙනස් වීම්වලට වගේම සොබා දහමේ කදිම නිමැයුම්, මිනිස් ශ්‍රමයෙන් කළ අපූරු නිර්මාණද ඔබට මේ ගමනේදී දැක ගත හැකි වනු ඇත. කොටුව – මහනුවර දුම්රිය අතරින් උඩරට මැණිකේ, පොඩි මැණිකේ, ටිකිරි කුමාරි ප්‍රසිද්ධ දුම්රිය ගමන්ය. මෙම ගමන්වාර අතර දේශීය හා විදේශීය සංචාරකයන් අතර වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ උදෑසන ශීඝ්‍රගාමී දුම්රිය ගමන්වාරයයි. එමෙන්ම මෙහි ටිකට් පත්වලට ඇත්තේද ඉහළ ඉල්ලුමකි. මේ නිසා දින කිහිපයකට පෙර ටිකට්පත් වෙන් කරවා ගැනීමට මගීන්ට සිදුවේ. මෙයට ප්‍රධාන හේතුව නැරැඹුම් මැදිරිය සඳහා වූ විශාල ඉල්ලුමයි. දුම්රිය ගමනේ සුන්දරතම අත්දැකීම විඳ ගැනීමට නම් නැරැඹුම් මැදිරියේ ගමන් කළ යුතුය.

Thulana Travel

උදෑසන හතට කොටුවෙන් ගමන් අරඹන මෙම මහනුවර ශීඝ්‍රගාමී දුම්රිය පැය දෙකක් තුනක් කාලයක් ඇතුළත මහනුවරට ළඟා වෙයි. එය නවත්වන්නේ ගම්පහ, පේරාදෙණිය හා මහනුවරය. කොටුවෙන් පිටත් වන අවස්ථාවේ බොහෝ දිනවලදී ආරම්භයේ සිට යම් දුරක් යනතෙක් මීදුම සහිත දේශගුණයක් දැක ගැනීමට හැකිය. දුම්රිය මාර්ගය දෙපස මුඩුක්කු පැල්පත් හා අක්‍රමවත්ව ඉදිවූ නිවාස දැකිය හැකි නමුත් ක්‍රමයෙන් නගරය පසු කරමින් රාගම, ගම්පහ වැනි ප්‍රදේශවලට ළඟා වෙද්දි කෙත්වතු සහිත සරුසාර පරිසරයක් වගේම නෙතට දැකුම්කළු පරිසරයක් දැක ගැනීමට ලැබේ.

Thulana Travel

මෙසේ ඉදිරියට ඇදෙන දුම්රිය රඹුක්කන පසු කිරීමත් සමග කඳු සහිත ගමන් මාර්ගයකට අවතීර්ණ වේ. පැමිණි වේගය අඩු වී වංගු සහිත වෙනස්ම වූ පරිසරයකට ඇතුළු වේ. මෙතැන් සිට දුම්රිය ගමනේ නැවුම් අත්දැකීම විඳ ගැනීමට ඔබට හැකි වනු ඇත. රඹුක්කනින් පසුව හමුවන දුම්රිය ස්ථාන අතරින් කඩිගමුව, යටවන්දෙණිය, ගංගොඩ, ඉහළ කෝට්ටේ, බඹරගල, මහකෙහෙලවල, බලන, බොරළුගොල්ල, කඩුගන්නාව, පිළිමතලාව, කිරිබත්කුඹුර, පේරාදෙණිය හන්දිය, සරසවි උයන, රජවත්ත, සුදුහුම්පොළ, මහනුවර යන දුම්රිය නැවතුම්පොළවල් සහ තවත් කුඩා දුම්රිය ස්ථාන කීපයක්ද හමු වේ.

Thulana Travel

මෙම ගමනේදී හමුවන ‘උමං මාර්ග‘ සංඛ්‍යාව 18කි. මෙම උමං මාර්ගවලට දුම්රිය පිවිසීම පුංචි දරුවන්ට නම් කදිම අත්දැකීමකි. සමහර සංචාරකයෝ සෑම උමං මාර්ගයකදීම ‘හූ ‘හඬ නගයි. මෙය කාටත් විනෝදයකි. මෙය හුදෙක්ම විනෝදජනක වී ඇත්තේ තමන්ගේ හඬ නැවත දෝංකාර දෙමින් ඇසෙන නිසාය. නුවර ප්‍රධාන මාර්ග හා ඉන් එහා ඈත කඳු පංතිද අපූරු දසුන් මවයි. මහනුවර දුම්රිය සංචාරයේ හමුවන ‘බලන‘ විශේෂ දුම්රිය ස්ථානයකි. කන්ද උඩරට රැක ගැනීමට ප්‍රධාන මුරකපොල්ලක් ලෙස මෙය පවත්වා ගෙන ගොස් ඇත. බලන දුම්රියපොළ අසලින් බලන ගම්මානයට යෑමට මාර්ගයක්ද ඇත.

Thulana Travel

නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ සිටම ‘බලන’ ගමට මාර්ගයක් ඇත. බොහෝ සංචාරකයෝ මෙම මාර්ගයේ ඉහළටම පැමිණෙති. ඉහළ කෝට්ටේ ඉතා කුඩා නැවතුම්පොළකි. අවට කඳුවලින් වටවූ ලස්සන පරිසරයක එය පිහිටා තිබේ. මෙම දුම්රිය ස්ථානය උමං මාර්ගයක් ආසන්නයේ පිහිටා ඇත. මුල් යුගයේ දුම්රිය මාර්ග තිබී ඇත්තේ ගලට පිට පැත්තෙනි. මෙම ස්ථානයේ ඉහළින් ‘මීයන් ඇල්ල’ පිහිටා තිබේ. වැසි කාලයට ඇල්ලේ වතුර රේල් පාරට ගලාගෙන එයි. වරක් හාල් පටවා ගෙන ගිය දුම්රියක් මෙහිදී අනතුරට පත්ව තිබේ. ඉන්පසු මාර්ගය වෙනස් කර වර්තමානයේ දකින අයුරින් සකස් කර ඇත.

Thulana TravelThulana Travel

මෙම දුම්රිය ස්ථානය සංචාරකයන් අතර ප්‍රසිද්ධ ‘මීයන් ඇල්ල’ නිසාය. එහි යෑමට ඇත්තේ උමං මාර්ග ඔස්සේයි. මඳක් දිග උමං මාර්ගයක් නිසා දුම්රිය පැමිණෙන වෙලාව දැනගෙනම මෙහි සංචාරය කළ යුතුය. නැතිනම් උමං මාර්ගය පසු කිරීමට පෙර දුම්රියක් පැමිණියොත් කීමට තවත් කිසිවක් නැත. ගැමියන් අතර මෙම දුම්රිය ස්ථානය සම්බන්ධව ජනප්‍රවාද ද ඇත. මෙහි පෙරැළුණු දුම්රියේ තිබුණු හාල් ගැමියන් විසින් එකල රැස් කළ බවත් හාල්වලට වැලි මිශ්‍රව තිබූ නිසා හාල් ගැරීමට සිදු වූ බවත් කියැවේ. තරුණ පිරිස්ද ගමේ ආච්චිලාගේ උදව්වට ගොස් ඇත. ඒ යන ගමනේදී ඔවුන් තව කෙනකු හමු වූ පසු පවසා ඇත්තේ ‘ආච්චිට හාල් ගරන්න යනවා’ කියාය. එය අදත් ජනවහරේ පවතී.

Thulana Travel

දුම්රිය ගමනේදී හමු වූ තවත් නවාතැන්පොළක් වන්නේ ගංගොඩ දුම්රිය ස්ථානයයි. එය අලගල්ල කඳුවැටිය පාමුල පිහිටා ඇති කුඩා නැවතුම්පොළකි. ඉංග්‍රීසි පාලන සමයේ නැවතුම්පොළක් ලෙස මෙය භාවිත කර ඇත. කඳු තරණය සඳහා ‘ගංගොඩ‘ ඉතා ප්‍රසිද්ධියක් උසුලයි. කොටුව මහනුවර දුම්රිය ගමනේදී හමුවන කඩුගන්නාවේ ජාතික දුම්රිය කෞතුකාගාරය පිහිටා තිබේ. සංචාරකයන්ට ටිකට් පත් ලබාගෙන එයද නැරැඹීමට හැකිය. කඩුගන්නාවට අමතරව පේරාදෙණි සරසවි උයන විශේෂයි. බදුල්ල හා මාතලේ දක්වා යන දුම්රිය පීලි මාරු කරන්නේ පේරාදෙණිය සරසවි උයනේදී ය. කොළඹ සිට 46 වැනි දුම්රිය නැවතුම්පොළ පේරාදෙණියයි. පේරාදෙණිය සරසවියට යෑමට සිසුන් දුම්රියෙන් බසින්නේ සරසවි උයන නැවතුම්පොළෙනි. ඔබත් එක් දිනක් හෝ දරුවන්ද කැටුව කොටුවේ සිට මහනුවර දක්වා දුම්රියෙන් ගමන් කරන්න එය වෙනස්ම සහ අපූරු අත්දැකීමක් වනු ඇත.

thulana-travel-to-sembuwaththa
සටහන: ශාන් බන්දු වීරසිංහ

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

වත්මන් රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් – විපක්ෂ නායක සජිත්

රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා...
- Advertisement -spot_img

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

රත් දෝතළු – 88

රත් දෝතළු - 88 මට නිතර අහස් සිහි විය. ඔහුගේ මතකයෙන් මා කෙලෙස මිදෙන්නද.? මා නිවසින් පිටව ඇතිබවක් දැනගත් විට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you