Donilaye Amme – කාලෙකට කලිං ගෙදර අයට වෙච්චි පොරොන්දුවක් ඉෂ්ට කරන්නත් එක්ක,ගෙදර හැමෝමවත් දාගෙන කොළඹින් පොඩ්ඩක් දුර බැහැර තියන අපේ අම්මගෙ උපන් ගම් පලාතේ ට්‍රිප් එකක් එන්න තීරණය කරා. අපිටම කියලා වාහනයක් නැති එකේ “ට්‍රාන්ස්පොටේෂන් ස්පොන්සර් ෂිප්” එක දෙන්න චමියා ඉදිරිපත් වුණා. ඌ තමා ඉතිං අපිට ඉන්න එකම විශ්වාසවන්ත හිතවතා සහ සියලු දුක්ඛ දෝමනස්ස බෙදාගත හැකි නෑදෑයා. පහුගිය සතියේ දෝණිලයෙ අම්මගෙ මහගෙදරත් ගිහිං ආව එකේ මේ ගමන ගැන කියද්දි ඊට විරුද්ධව එක වචනයක්වත් කියන්න දෝණිලයෙ අම්මට ඉඩක් ලැබුණෙ නෑ. අපි ප්ලෑන් කරේ රෑ නවතින්න අම්මලයෙ මහගෙදර යන්න. ඒක නිසා දෝණිලයෙ අම්මා දවල්ට කන්න කෑම පාර්සල් කීපයක් වගේම මගදි තේ බොන්න සැන්විච්,කට්ලට් වගයකුත් ලෑස්ති කරනවා මං බලාගෙන.
“මට ජනේලේ අයිනෙ සීට් එක ඕනේ….”
චමියගෙ කාර් එකට අඩුවැඩිය දාන අතරෙ චූටී එකී පළවෙනි ඉල්ලීම කරා.
“මටත් ඕනේ…නැත්තං ඔච්චර දුර යද්දි මට ඔලුවෙ කැක්කුම ගන්නවා..”
ඒ ඉල්ලීම ලොකු කෙල්ලගෙන්. කාර් එකේ පිටිපස්සෙ සීට් එකේ යන්න පුළුවන් තුන්දෙනාට නිසාත්,ඒ පැත්තෙ තියෙන්නෙ උපරිම ජනේල දෙකක් නිසාත්,දෝණිලයෙ අම්මා ජනේලයක් ඉල්ලන්න කලිං මං කට ඉස්සර කරා.
“හරි..හරි ඉති ළමයිනේ..දෙපැත්තෙ ජනෙල් දෙකක් තියෙන්නේ….අම්මව මැදින් වාඩි කරලා ඔයාලා දෙපැත්තෙන් වාඩීවෙන්න…”
“මේ කංකරච්චල දෙක දෙපැත්තෙ තියං මැද වාඩිවෙනවට වඩා හොඳා මං ගිහිං ඩිකියෙ වාඩිවෙනවා …”
දෝණිලයෙ අම්මා සුපුරුදු වාග් විලාසය පටං ගත්තා. මං දැක්කා චමියට “බකස්” ගාලා හිනා යනවා.
“උඔට ඉතිං ඒවට හරි හිනා නේද….”
මං උගෙන් ඇහුවෙ දෝණිලයෙ අම්ම ගෙට යනකං ඉඳලා.
“මට හිනා ගියේ ඒ කතාවේ ඩිකිය කියන කොටස එක්ක උඔට ලොකු අතීතයක් තියන නිසා…”
චමියගෙ කතාවෙන් මං ටිකක් අන්දමන්ද වුණා. ඌට ඒක තේරිලා වෙන්නැති මගේ ළඟටම ඇවිත් මෙහෙම කිව්වා.
“මතකනෙ ඒ දවස්වල ඔෆීස් එකේ උන් උඔගෙ ගෑණිගෙ ඩිකියට අපිත් එක්කම කියපු කතා. උන් දැනං හිටියයැ ඒකී දාං ඉන්නෙ උඔ කියලා…”
අතීත මතක එක්ක හිතට හිනාවක් වගේම ආඩම්බරේකුත් ආවා. ගමන දිග නිසා අපි වාහනේ ඇතුළෙ බෝරිං නොවෙන්න එක,එක දේවල් කරා. ඉස්සෙල්ලාම එක,එක්කෙනා කැමති සිංදු ප්ලේ කරමු කියන යෝජනාව ආවා. පටං ගත්තෙ චූටී එකීගෙන්. ඊළඟ වාරේ ආවේ ලොකු කෙල්ලට.
“යොහානිගෙ මැණිකේ මගේ හිතේ……”
මං ඉස්සරහ කණ්නාඩියෙන් දැක්කා දෝණිලයෙ අම්මා ඉද්ද ගැහුවා වගේ ලොකූ දිහා හැරිලා බලනවා.
“මොන විකාර සිංදුද ඒ….”
මං දැක්කා ලොකු එකීගෙ මූණ ලැජ්ජාවෙන් රතුවෙනවා. මං චමියට ඇහෙන් ඉඟියක් දුන්නා සිංදුව ප්ලේ කරපං කියලා. සිංදුව යද්දි මං පිටිපස්ස බලන කණ්නාඩියෙන් අම්මයි,දූයි දෙන්නගෙ මූණු දිහා බලාගෙන හිටියේ.
ලොකු එකීගෙ මූණේ ප්‍රබෝධයක් වගේම දෝණිලයෙ අම්මයෙ මූණේ අමනාපයක් තිබුණා. මේක උපදෙස් දෙන්න සුදුසු වෙලාවක් නෙවේ හින්දා ඒ දෙන්නට එයාළගෙ හැඟීම් දරාගන්න දීලා මං කරබාගත්තා. දරුවො බොහොම ඉක්මනින් මේ සමාජය විසින් උලුප්පලා දෙන රැළිවලට බැඳෙනවා. ඒක දරුවන්ට විතරක් පොදු දෙයක් නෙවේ. අපේ වැඩිහිටි පරම්පරාවත් එහෙමයි. නමුත් දෙමව්පියො විදිහට එක හෙළාම දරුවන්ගෙ කැමැත්ත ප්‍රතික්ෂේප කිරීම නෙවේ ඒවයින් දරුවන් ඈත් කරන ක්‍රමය. දරුවන්ට හැමදේම විඳලා, නිශ්ඵල දේ බැහැර කරගන්න පුළුවන් අවබෝධය දෙන්නෝනෙ. අපිට හැඟෙනවනම් දරුවො පරිශීලනය කරන්නෙ උන්ට නොගැළපෙන දෙයක් කියලා, අපි කරන්නෝනේ ඒ අතරට ගැළපෙන දේ එකතු කරලා උන්ට තමන් මේ තාක් විඳපු දේ නෙවේ යථාව කියලා උන්ටම තේරුම් ගන්න දෙන එක.
“තාත්තේ….දැන් ඔයාගේ චාන්ස් එක…”
ලොකු එකීගෙ සද්දෙට මං ආයෙම කණ්නාඩිය දිහා බැලුවා. දෝණිලයෙ අම්මත් හිටියෙ වෙනම කල්පනාවක.
” චාමරගෙ ලොවෙන් අඩක් සුව නින්දේ.. දාපං….”
මං එහෙම කියලා ඒ එක්කම කණ්නාඩියෙන් දෝණිලයෙ අම්ම දිහා බැලුවා. මං දැක්කා එයා එකපාරටම ගැස්සිලා යනවා. මේ එයා ඉස්සර ආසම සිංදුවක්.
“ලොවෙන් අඩක් සුව නින්දේ…නුඔ විතරක් ළතැවිල්ලේ…යශෝධරා වුණාත් ළඳේ…මම සිදුහත් කුලේ නොවේ….”
චාමරගෙ ලය රිද්මය කාර් එක පුරාම ඇහෙනවා. දෝණිලයෙ අම්මා ඒ සිංදුව එක්ක භාවනාවක වගේ. මේක ලියලා තියෙන්නේ මහේෂ් රත්සර මද්දුම ආරච්චි. මත් ලෝලියෙකු වුණු තමන්ගෙ සැමියා නිවසට එනතුරු නිදි වරාගෙන ඉඳලා ඒ ආවට පස්සෙ කිසිම දෝෂාරෝපණයක් නැතුව ඔහුගේ සියලු සත්කාර කරන බිරිඳක් ගැන සැමියෙකුගේ හඬින් කියැවෙන බොහොම සුභවාදී හැඩයක සිංදුවක්. මං කවදාවත් දෝණිලයෙ අම්මගෙන් ඇයි මේ සිංදුවට කැමති කියලා අහලා නෑ. ඒ වගේම එයා මට කියලත් නෑ.
” සුරා…අපි මෙතනින් ටිකක් නවත්තලා දවල්ට කාලා යමුද….”
චමියගෙ හඬට මං ඌ දිහා බලද්දි කාර් එක වැව් බැම්මක් උඩ නවත්තලත් ඉවරයි. අපි ඔක්කොම වාහනෙන් බැහැලා අතේ,පයේ හිරි ඇරගත්තා.
“තෙහෙට්ටුව යන්නත් එක්ක කන්න කලිං නාමු නේද…”
මං ඇහුවෙ දෝණිලයෙ අම්මගෙ දිහාට හැරිලා. එයා හිටියේ නිදිබර ඇස් වලින් හිටගෙන ඉන්න චූටී කෙල්ලව වත්තං කරගෙන. මං ඒකීව මං ළඟට ගත්තා.
“නින්ද ගියාද පැටියෝ… අපි නාමු එතකොට හරි….”
ඒකී ආසාවෙන් ඔලුව වැනුවා.
” පිස්සුද ළමයෝ….”
දෝණිලයෙ අම්ම ටිකක් සද්දෙට කතා කරනවා ඇහුණු නිසා, මං චූටී එකී චමිය ළඟ තියල ඒ පැත්තට ගියා.
“බලන්නකො අනේ මේ ළමයා ටයිඩ් ෂෝටකුත් ගහගෙන වැවට බහින්න ලෑස්ති වෙනවා…”
“ඉතිං…”
“ඉතිං කියන්නෙ පේන්නැද්ද මිනිස්සු ඉන්නවා වටේ පිටේ…”
“ඔය ළමයට දිය රෙදි අදින්න තේරෙනව කියලයැ ඉතිං….ඔය ටී ෂර්ට් එකක් දාගෙන නාපුදෙන්…අපි ඔක්කොම ඉන්නවනෙ මෙතන…”
“තාත්ත තමා මෙයාලා ගහන,ගහන පදේට නටලා හුරතල් කරලා තියෙන්නේ ….මයෙ මොකෝ ඕනේ දෙයක් කරගන්නෙකයි ඇත්තෙ…”
එහෙම කියලා එයා චමියා ඉන්න පැත්තට ගියා. චමියත් එක්ක මොන,මොනවදෝ කියලා චූටිත් එක්ක වැවට බැස්සා. ලොකූ හිටියේ බුම්මාගෙන. මං එයා ළඟට ගියා.
“පුතේ….අම්ම කියන හැමදේටම විරුද්ධ වෙන්නෙපා.. එයා යමක් කියන්නෙ හොඳට හිතලා, බලලා අත්දැකීමෙන්…”
“අම්මා මට කෑගහන්නෙ මං ඇඳුම් නැතුව වැවට බහින්න ගියා වගේනේ තාත්තේ…”
“මේ අහන්න පුතේ..අපි මේ ඉන්නේ නන්නාඳුනන පලාතක…මේ අපේ ගමවත්,ගෙදරවත් නෙවේ…අනික මේවා ගම් පලාත්…ගමේ මිනිස්සු නගරෙ අයට වඩා ටිකක් හැඟීම්බරව තමන්ට පේන දේ ගැන හිතනවා.. අම්මා ඔයාට බැන්නා නෙවේ….ඔයාට මේ පරිසරය ගැන ඉඟියක් දුන්නේ…”
කෙල්ල ටිකක් සැහැල්ලු වුණා.
“යං…අර තාත්තගෙ ලොකු ටවල් එක අරං ඇඳගෙන එන්න…අපි නාලා, කාලා ඉක්මනින් යන්නෝනේ.”
දෝණිලයෙ අම්ම හරි. අපිට මේ දැලි,ධූලී ගැහුණු කට්ට සමාජ වටපිටාවේ පට්ට පිරිසිදු මිනිස්සු හොයන්න බෑ. කරන්න පුළුවන් අනාරක්ෂිත බව දැනෙන තැනකදී, තමන්ට පුළුවන් තරං ආරක්ෂා වෙන එක. ඒත් දෝණිලයෙ අම්මේ අපි ඇවිත් තියෙන්නේ විනෝද ගමනක්. අපි අරං ඇවිත් තියෙන්නේ තාප්ප හතරක් ඇතුළෙ කූඩු කරලා,කන්න, බොන්න,අඳින්න, පළඳින්න දීලා උගන්නපු දරුවො දෙන්නෙක්. උන් ආසයි ඉන් එහා ලෝකෙකදී දැනෙන හැඟීම උපරිමව විඳින්න. මොකද උන් දන්නවා ආයෙත් උන් ඉක්මනින් අර කූඩුවට දාන බව. ආන්න එතැනදී අපි උන්ගෙ හැඟීම් තේරුම් ගත්තෙ නැත්තං දවසක උන් අපේ හැඟීම් තේරුම් ගන්නෙත් නෑ. අපිව පිළිගන්නෙත් නෑ. දරුවො ආස නෑ හැම මොහොතෙම “අරක කරන්නෙපා ” “මේක කරන්නෙපා” කියලා නීතී දාන දෙමාපියන්ට. එතකොට උන් කරන්නෙ හොරෙන් හරි ඒක කරලා බලනෙක. පොඩි දරුවො ආසයි,ලාම්පු දැල්ලට,ඉටිපන්දම් දැල්ලට අත දාලා බලන්න. අපි කොච්චර උන්ගෙ අත ඇදලා ගත්තත් උන් ආයෙම ඒකට අත දානවා. හැබැයි ඒ දැල්ලට උන් අත පුච්චා ගත්තු දවසට,ආයේ කවදාවත් ලාම්පු, ඉටිපන්දම් පැත්ත පලාතේ යන්නෑ. අත්දැකීම් කියන්නේ හොඳ,නරක කියලා දෙකට බෙදන්න පුළුවන් ඒවා නෙවේ. ඒක ලබන මොහොත අනුව සාපේක්ෂ දෙයක්. ඔව් සමාජය විවිධයි,විෂමයි. අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම එහෙමයි. දරුවො කියන්නෙ “සුද්දෝ” වගේ හදන්න පුළුවන් ජාතියක් නෙවේ. හොයලා බැලුවොත් අද ඔය “සුද්දෝ” වගේ ජීවත්වෙනවා කියලා අපිට පේන බොහොමයක් උන්ට “වැද්දෝ” වගේ හිටපු කාලයක් තියනවා. ජීවත්වෙන්න පුළුවන් හොඳම මොහොත මේ මොහොත. හෙට කියන්නෙ අවිනිශ්චිත දවසක්. හැම දරුවෙකුටම අද දවස විඳින අයිතිය දෙන්න ඕනේ. උන්ට සතුටු වෙන්න කාලසටහන් හදලා වැඩක් නෑ. දරුවො සතුට කියලා උන්ගෙ හිතේ සටහන් කරගන්නේ උන්ට දැණුනු කාලය විතරයි. ඒ නිසා අපි උන්ට දැනෙන්න ජීවත් වෙන්න සැලකිය යුතු කාලයක් හරි දෙන්නෝනෙ.
“මොකෝ උඔ බැම්මේ කුඹුක් ගස් ගනිනවද බං…”
චමියා ඇහුවෙ හිනාවීගෙන.
“අපි දෙන්නත් නාමු නේද බං… අම්මලයෙ දිහා යද්දි රෑවෙයිනේ…”
“ඔව් නාමු…ඊට කලිං උඔගෙන් ප්‍රශ්නයක් තියනවා අහන්න…”
“අහපං…”
“මං දන්නවා උඔ කාර් එකේදී කීවේ ගෑණී ආසම සිංදුව කියලා….ඇත්තටම උඔ ආසම සිංදුව මොකක්ද ?”
“ගුණදාස කපුගේයි,නන්දා මාලනියි කියන මේං මේ සිංදුව…”
“බිරිඳ මගේ….නෑ මා ඔබගේ බිරිඳ නොවේ……”