NovelsRath Dothaluරත් දෝතළු - 85

රත් දෝතළු – 85

-

spot_img

රත් දෝතළු – 85 

සවස නිර්මාණිගෙන් ඇමතුමක් ලැබෙන විට මම සෙමෙන් යහනින් බැස ජනේලයෙන් කොරිඩෝවට පිවිසුණෙමි. මේ මොහොතේ සිහින් පොදයක් ඇද හැළෙමින් තිබූ අතර පුතු සිටියේ සුව නින්දකය. ගෙවුණු කාලය පුරාම නිර්මාණි මා ගැන සොයා බැලුවා පමණක් නොව නිවසේ තොරතුරුද සොයා බලා මවෙත දැන්වූවාය.

“කවද්ද ආයේ කොළඹ එන්නේ… අම්මාත් ඇහුවා ඔයා කවද්ද ලංකාවට එන්නේ කියලා…”

“දැන්ම නෙවේ නිරූ… තව ටික දවසක් මෙහෙට වෙලා ඉන්නවා… තව මාස කීපයක් තියනවානේ… මං කොළඹ ආවත් දැන්ම ගෙදර යන්න බැහැනේ…’

“ඔව්… ඔව්… ඒක ඇත්ත… මටත් ආසයි ඔයාව බලන්න… පොඩි එකී නැත්නම් මාත් එනවා…”

“ඒකනේ… අපි ආවාම එන්න එහෙ… ඒක නෙවේ නිරූ අපේ ගෙදර අය හොඳින් නේද…? මට අම්මා මතක් වෙනවා…”

දෑසට ඉනූ කඳුළු මම ඇස් යටම සිරකරමින් ඇසුවෙමි.

“ගෙදර අය හොඳින් ඉන්නවා අරවින්දි… ඔයා ඒ ගැන හිතන්න ඕනම නැහැ… ඔයාට අම්මාව ගෙන්නගන්නත් බැහැනේ ඔහෙට…”

“ඔව්… ඒක හරි…”

“මං වට්ස්ඇප් එකෙන් කෝල් කළොත් එයාලා දැනගනියි නේද…?”

“කෝල් ගන්න එපා… ඔය හිටිය විදියට තව ටික දවසක් ඉවසන් ඉන්න… මොනවා හරි තිබුණොත් මට කියන්න…”

“හ්ම්ම්… තෑන්ක්ස් නිරූ…”

ඇමතුම අවසන් වී මොහොතක් ගතවනතුරුත් මම කුළුණකට බරදී සිටගෙන සෙමෙන් ඇදවැටෙන සිරිපොදය දෙස බලා සිටියෙමි. ගෙල පාමුලට දැනුණු සීතල පහසක් නිසා මම තිගැස්සී හැරුණෙමි. අහස් මා පසෙක විය.

“මොකෝ මේ එළියට වෙලා… වැස්ස දිහා බලන් ඉන්නවද…?”

ඔහු අසනවිට මට අතීතයේ එවන් දිනක් සිහි විය. ගිළිහෙන්නට ගිය සුසුම නවතා ගත් මා ඔහු දෙස බලා මඳහසක් පෑවෙමි.

“නිරූ කෝල් කළා…ඒකයි එළියට ආවේ…”

“ආහ්… මොකෝ කියන්නේ… සේරම හොඳින් නේ… ගෙදරින් කතාකරලද…?”

“නිකන් අරන් තියෙන්නේ… අවුලක් නැහැ…”

“එහෙනම් ඕකේ… ඔයාට සීත නැත්ද මෙතන්ට වෙලා ඉන්න…?”

“නැහැ… දැන් හුරුවෙලා…”

“ඒ වුණාට ආව දවස මතකද… වෙව්ල වෙව්ල හිටියේ…”

ඔහු සිනහසෙන විට මමද ලැජ්ජා මුසු සිනහවක් පෑවෙමි. ඒ සෑම දිනක්ම මා මතකයේ නිධන්ව ඇත. යම් කළෙක මට උරුම වන්නේද එම මතකයම පමණක් නොවේද.?

“මතකයි…”

මම කීවෙමි.

“යමු ඇතුළට… සීතල අල්ලලා අසනීප වෙයි…”

ඔහු මා අතින් අල්ලාගෙන ජනේලයෙන්ම කාමරයට කැඳවාගෙන එන විට මම කෙටි සුසුමක් මුදාහළෙමි. ඔහු මා පිළිබඳව වද වනවාද නැතිනම් මා අසනීප වුවහොත් පුතුද අසනීප වනු ඇතැයි සිතනවාද කියා මම නොදන්නා මුත් ඔහුගේ වදන්වලින් මා සිත දියවී යන බව පමණක් මට දැනිණි. මෙසේ තිබියදීත් මා තව නොබෝ දිනකින් ඔහුගෙන් සමුගන්නේ කෙසේද කියා සිතනවිට පවා ශෝකී හැඟීමක් මා සිතේ ඇතිවිය.
————————————————————————————————————————————————————-
කෙටි නින්දකට වැටී සිටි මා අවදිවූයේ පුතු නැඟිට හඬන හඬිනි. මම ඔහු ඇකයට ගෙන කිරි පොවමින් සිටිනවිට අහස් කාමරයට පැමිණියේය.

“කොල්ලා ඇහැරියද…?”

යහන පසෙක හිඳගනිමින් ඔහු ඇසීය.

“හ්ම්ම්… බඩගිනි වෙලාද කොහෙද…”

විහඟද ඒ මොහොතේ කාමරයට පිවිසෙනවිට අපි දෙදෙනම ඔහු දෙස හැරී බැලීමු.

“බිග් බ්‍රෝ… මමීයි ඩැඩීයි ඇවිත්…”

ඔහු කියනවිට මා සිතේ ඇතිවූයේ තිගැස්මකි. ඈ ගැසූ කම්මුල් පහර මට තවමත් අමතකව තිබුණේ නැත. මා රෝහලේ සිටින විට වතාවක් දෙකක් ඈ පැමිණ ගොස් තිබූ මුත් මා සමඟ කුළුපඟ කතාබහක් නම් නොකළාය. මෙදින නම් ඇගෙන් සැඟව සිටින්නට අවකාශයක් මා හට නොවනු ඇත. මා සිතේ බියක් ඇතිවූයේ ඈ මට බැණවදිනු ඇතිදැයි කියාය.

“මැඩම් මට බනියිද…?”

මම අහස්ගෙන් ඇසුවේ විහඟ ඉවතට ගිය පසුවය.

“ඇයි ඒ… ඔයාට බනින්නේ… බැන්නොත් මං බලාගන්නම්කෝ…”

ඔහු නැඟිට ගියේ එසේ කියමිනි. සුළු මොහොතක් එසේ ගෙවී යන්නට ඇත. වික්‍රමසූරිය යුවළ කාමරයට පිවිසියේ අහස්ද සමඟමය. පුතු නින්දට වැටී සිටි බැවින් මම හැට්ටයේ බොත්තම පියවාගෙන පුතුව යහන මත තැබීමි. විශාකා මහත්මිය මා දෙසට බැල්මක් හෝ නොහෙළා යහන මත හිඳගත්තද රිච්මන්ඩ් මහතා මදෙස බලා පෑවේ සුහද සිනහවකි. මම සෙමෙන් නැඟිට පසෙකට වීමි.

“අහස් පොඩි කාලේ වගේ… නේද රිචී…?”

ඈ සැමියා විමසනවිට ඔහු පෑවේ පුළුල් සිනහවකි.

“දැන්ම කොහොමද කියන්නේ… පාට නම් දෙන්නගෙම එකම වගේ…”

ඔහුද එසේ කියමින් විත් යහනේ පසෙක හිඳගත්තේය. මා විශාකා මහත්මියට හොරෙන් ඈ දෙස බලා සිටියෙමි. මීට පෙර ඈ තුළ වූ උඩඟු පෙනුම දැන් නැත. මුහුණේ ද වූයේ පෙරට වඩා නිවුණු ශාන්ත පෙනුමකි. මුහුණේ කිසිදු ආලේපනයක් නැත. එහි තරමක දුක්මුසු පෙනුමක් විනැයි කියා මට සිතිණි. දෙදෙනා සුළු මොහොතක් හිඳ පිටතට යනවිට මා සිතට සහනයක් දැනිණි. මම යළි යහන මත අසුන් ගත්තේ ඉන්පසුවය. ඒ මොහොතේම විශාකා මහත්මිය යළි කාමරයට පිවිසෙනවිට තැතිගැන්මක් මා සිතේ ඇතිවිය. ඈ යළි පැමිණියේ මට දොස් පවරන්නටදැයි සැකයක් මා සිතේ ඇතිවිය. මම සූදානම් වූයේ යහන මතින් නැඟී සිටින්නටය.

“ඔයා ඉන්න… මගේ පර්ස් එක අමතක වුණා…”

ඈ වහා කීවේ මා වළකාලමින් යහන පසෙක වූ ඇගේ පසුම්බිය අතට ගනිමිනි. පසුව ඈ යහන පසෙක හිඳගන්නා විට මා සිතේ වූයේ තැතිගැන්මකි.

“කොහොමද ඔයාට…?”

ඈ විමසුවේ එය වුවද ඇයට විමසන්නට වුවමනා වූයේ නම් එය නොවන බව මට සක් සුදක්සේ පැහැදිළිය.

“හ්… හොඳයි මැඩම්…”

මම අපහසුවෙන් ගළපාගතිමි.

“හ්ම්ම්… විවේකෙන් ඉන්න… මට සමාවෙන්න දරුවෝ… මං එදා හැසිරුණු විදිය ගැන මට මතක් වෙනකොටත් ලැජ්ජයි… ඔයා විහඟව බේරන්න කියල හිතලයි ඒ දේ කළේ කියලා මං දැනගත්තේ පස්සේ…”

ඈ එය දැනගත්තේ කෙසේද කියා මා තුළ පුදුමයක් ඇතිවිය. එය එසේමුත් මා ඒ දේ කළේ විහඟ බේරාගන්නා අදහසින් නෙවේ.

“මට ඕන වුණේ විහඟ සර්ව බේරගන්න නෙවේ මැඩම්… ඒ වැරැද්ද විනීෆ්‍රීඩා මැඩම් පිටින් යයි කියලා හිතලයි මං විහඟ සර්ට කියන්න ගියේ…”

මම කීවෙමි.

“ආහ්… ඔව්… ඒක හරි… ඒක විහඟගේ වැරැද්ද නෙවේ… මගේ වැරැද්ද… විහඟගේ වැරදි දැක දැක මාත් කළේ ඒවා නොදැක්කා වගේ හිටපු එක… මං දැන් ඒ ගැන පසුතැවෙනවා…”

ඈ එසේ කියා දිගු සුසුමක් හෙළුවාය.

“දැන් ඉතින් මොනවාකරන්නද… දොර වහන්න තිබුණේ අශ්වයා පැනලා යන්න කලින්නේ… මං හොඳ වයිෆ් කෙනෙක් වුණෙත් නැහැ… හොඳ අම්මා කෙනෙක් වුණෙත් නැහැ… ඒත් මං හිතනවා ඒ හැමදෙයක්ම ඔයා ළඟ තියනවා කියලා… අහස්ව බලාගන්න ඔයාට පුළුවන්…”

මා සිතේ අලුත් තිගැස්මක් ඇතිකරමින් ඈ කීවේ යහනින් නැඟිට මා අසලට විත් වරක් පහරදුන් මා කම්මුලක් සෙමෙන් පිරිමැදය. ඈ කමාරයෙන් පිටව ගිය පසුවත් මා කළේ හිස් දෑසින් සෙළවෙන දොර රෙද්ද දෙස ඔහේ බලසිටීමය. අහස් ළඟින් ඉඳගෙන ඔහුව බලාගන්නට හැකියාවක් මට තිබුණේ නම් අගනේය. නමුත් එවන් අවස්ථාවක් මට නොලැබෙනු ඇත. ඔහු ළඟින් ඉන්නට පවා තිබෙන්නේ කෙතරම් සීමිත කාලයක්ද.! අහස් කාමරයට පිවිසියේ විපරම් බැල්මකින් මදෙස බලානය.

“අම්මා මොකද කිව්වේ… ඇයි එයා ආයේ ආවේ…?”

මා අසලින් හිඳගනිමින් ඔහු ඇසීය.

“පර්ස් එක අමතකවෙලා… මං බයේ හිටියේ මට බනියිද කියලා… එහෙම මොකුත් කිව්වේ නැහැ…”

ඈ පැවසූ දේවල් මම ඔහු සමඟ කිවද සියල්ලම නොපැවසුවෙමි.

“මං ගත්ත තීරණේට ඔයාට දොස් කියලා හරියන්නේ නැහැනේ… මට පුදුම එයා ඔයාගෙන් සමාව ගත්ත කිව්වමයි…”

කිසිත් නොකී මා සිටියේ නිහඬවමය. රාත්‍රී ආහාර ගන්නවිට මම ඔවුන් සමඟ එකතු නොවන්නට සිතූ මුත් අහස් පැමිණ මා කැඳවාගෙන ආවේ විශාකා මහත්මිය මා කැඳවන බව කියමිනි. මම ඔහු සමඟ එහි ගියේ නොකමැත්තෙනි.

“අපි සේරම එකට එකතුවෙලා කෑම ටිකක් කන්නෙ කොච්චර කාලෙකින්ද…”

රිච්මන්ඩ් මහතා කීවේ තරමක ප්‍රීතිමත් හඬකිනි.

“ඒක නම් ඇත්ත…”

විනීෆ්‍රීඩා මහත්මියද එය අනුමත කළාය.

“දැන් ඉතින් හැමදේම හරිනේ…”

විහඟ කීය. බත් කටක් අනා මම මුවට දමාගත්තේ ඔවුන්ගේ කතාබහට සවන්දෙමිනි.

“හැමදේම නෙවේ…”

විශාකා මහත්මිය පහත් හඬින් කීවාය.

“ඔව්… තව අඩුවක් තියනවා…”

රිච්මන්ඩ් මහතාද එය අනුමතකරමින් කියනවිට විහඟ කලබළයෙන් වටපිට බලන්නට විය.

“ඔයාලා කියන්න යන්නේ මං ගැන නම්… මට දැන්ම මැරිකරන්න බැහැ…”

විහඟ කීවේද කලබළයෙන් වුවද රිච්මන්ඩ් මහතා එයට උස් හඬින් සිනහසුණේය.

“ඔයා නම් ඉතින් මැරිකරයි කියලා මට නම් කිසිම විශ්වාසයක් නැහැ… හැබැයි අහස්… ඔයා මීට වඩා හොඳ තීරණයක් ගන්න ඕන… දැන් දරුවෙකුත් ඉන්නවනේ…”

ඔහු කීවේ අහස්ට වුවද තැතිගත්තේ මාය.

“නැහැ නැහැ… අපි ඒ ගැන මේ වෙලේ කතානොකර ඉමු… මොකද බිග් බ්‍රෝ මේ දේ කළේ හොරෙන් නෙවේනේ… ඒක එයාගේ තීරණේ…”

විහඟ වහා මැදිහත්වෙමින් කී නිසා මම ඒ ගැන සතුටු වූයේ එසේ නොවන්නට මෙය කොතනින් කෙළවර වනු ඇතිදැයි නොදත් නිසාය. පුතු අවදිව හඬන බව නයනා විත් කී නිසා මම දෑත් සෝදාගෙන වහා කාමරයට පැමිණියේ ඒ සමාගමයෙන් මිදෙන්නට ලැබීම ගැන සතුටිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

සුරේෂ් සලේට හෘදයාබාධයක්

සුරේෂ් සලේට හෘදයාබාධයක් ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේජ් සලේ හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ...

ඔන්න අපි රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්නයි හදන්නේ

රාජ්‍ය සේවකයින් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ,...

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...
- Advertisement -spot_img

ජනප්‍රිය වුණාම අතරමං වෙනව

ජනප්‍රිය වුණාම අතරමං වෙනව - Mrunal Thakur මෘනාල් තාකූර් යනු සමකාලීන ඉන්දියානු සිනමාවේ වඩාත් බලාපොරොත්තු සහගත ලෙස සැළකෙන තරුවක්. රූපවාහිනී...

පිරිමියෙක් නැති තනි ගැහැණියක්

පිරිමියෙක් නැති තනි ගැහැණියක් - Maa Behen තමන් ගැන හොයනවට වඩා අනිත් අය ගැන හොයන්න අපි අතරෙ ගොඩක් අය කැමතියි....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you