Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් – Homebound
සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට වඩා සහෝදරයෙක් වගේ දැනෙන මිතුරු බැඳීම් තියෙනවා. සතුටේදිත් දුකේදිත් එක ලෙසින්ම ළඟ ඉන්න.
ශොයිබ් සහ චන්ද්‍රන් කියන ප්‍රාණසම මිත්‍රයො දෙන්නා ජීවත්වුනේ උතුරු ඉන්දියාවෙ කුඩා ගම්මානයක. දුප්පත්කම ඔවුන්ගෙ ජීවිතේම කොටසක්. තමන්ගෙ පවුල්වලට බොහොම ලෙංගතු මේ දෙන්නගෙ හීනෙ වුණේ පොලිසියට බැඳෙන එක. කොස්තාපල්වරයෙක් වුණාම ගෙදර හොඳට හදාගන්න, පවුලට හයියක් වෙන්න වගේම, ජාති භේද, කුලය වගේ දේවල් දරුණුවටම තිබ්බ රටක රැකියාව නිසා තමන්ට පිළිගැනීමක් ලැබෙන බවත් ඔවුන් විශ්වාස කරා. දෙන්නත් එක්ක පොලිස් විභාගයට ලියලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් හිටියා. තවදුරටත් මුදල් හම්බ කරන්න අපහසු දෙමව්පියන් එක්ක, රැකියා විරහිතව ඔවුන් ජීවිතේ ගතකළේ තමන් ගැනම කළකිරීමක් හිතේ තියාගෙන. සැනසිල්ලකට තිබුණෙ මිත්‍රත්වය විතරයි. හීන හුඟක් ඈත බව දැනුනම මේ මිත්‍රයන්ට සිද්ධ වුණා මොනවම හරි කරලා සල්ලි හම්බ කරන්න.

රැකියා විරහිත බව උග්‍ර ගැටළුවක් වෙලා තියෙන රටක රැකියාවක් ලබා ගැනීම කියන්නෙ බොහොම තරඟකාරී දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. චන්ද්‍රන්, ශොයිබ් වැනි තරුණයන්ගෙ ජීවිත සෑහෙන වෙනස් කරන්න, සමාජයේ “තැනක්” ලබා දෙන්න රැකියාවකට පුළුවන්. නමුත් රජයේ රැකියාවක් කියන හීනය හීනයක්ම බව පෙනී යනකොට ඔවුන් ඒකට උත්තර හෙව්වා. ගෙදරට සල්ලි දිය යුතුව තිබුණා. ශොයිබ්ට පිටරටක රැකියාවකට අවස්ථාවක් තිබුණත්, උපන් ගම, පවුල, යාළුවව දාලා යන්න ඔහුට කොහෙත්ම හිත දුන්නෙ නැහැ. රැකියාවක් සොයාගෙන උපන් ගම දාලා ආවට පස්සෙ මේ දෙන්නගෙ ජීවිත ටික ටික වෙනස් වෙන්න ගත්තා. මිත්‍රත්වය පෙර සේම පැවතුණා. පෙර සේම ශක්තියක් වුණා. සතුටෙදි හිනාවෙන්නත්, දුකේදි කෑගහල අඬන්නත් ඔවුන්ට ඔවුන් හිටියා. ඔය අතරෙ තමයි බියකරු යක්ෂයෙක් ලෝකයම ග්‍රහණයට ගන්නෙ.

ඒ තමයි Covid වසංගතය. දෙවියන් ඇදහුව ඉන්දියාවෙ මිනිස්සු කොවිඩ් නිසා එකා පිට එකා මැරී වැටුණෙ වැඩිම මරණ සංඛ්‍යාවක් සිද්ධ වුණ රටක් බවට පත්වෙමින්. මහපාරෙ, වාහන ඇතුළෙ, මිනිස්සු මැරිලා ගියේ වතුර උගුරක් හෝ නොලබා. අනෙකාගෙ හුස්මටත් බය වුණ මිනිස්සු උදව් කරන්න තබා ළඟටවත් ආවෙ නැහැ. කන්න බොන්න දෙයක් හොයා ගැනීම අතිශය දුෂ්කර වී තිබුණා. ඇඳිරි නීතිය රජවී මිනිසුන් නිවාස තුළට කොටුවී සිටියා. නොනිදන නගර සදාතනික නින්දකට වැටී ඇත්තාක් මෙන් දිස් වුණා. සිහින වෙනුවෙන් නගරයට ආ චන්ද්‍රන්ගේත්, ශොයිබ් ගේත් ඉරණම කුමක්ද?

හොඳම මිතුරෙක් කියන්නෙ ඔබ ගැන හැම දේම දන්න, ඔබව කිසිදා තනි නොකරන කෙනෙක්ට. සිහිනවලට යන මාවතේ විතරක් නෙමෙයි මරණය කරා යන මාවතේත් ඔවුන් නොවෙනස්ව ළඟ රැඳෙනව. අපි ළඟ නොසිටියත් ඔවුන් අපි වෙනුවෙන් පෙනී සිටිනවා. හදවත්වල නිධන් වුණ බැඳීම් සදාතනිකයි. අමරණීයයි. වසංගතයකට මිනිස් ජීවිත උදුරාගත හැකියි. අඩාල කර හැකියි. විනාශ කළ හැකියි. නමුත් ඒවාට මිනිස් හිත්වල අධිෂ්ඨානය, ශක්තිය හෝ බැඳීම්වල උණුසුම මකලා දාන්න බැහැ.




