අම්මාගේ කුකුල් මස් කරිය – Nasif Khan
“ගියසැරේ වගේ නැතිව ළූණු ටික රන්වන් පාටට බැදගන්න”
ෆාහිම් කුඩාවට කැපූ ළූණු කවලම් කරමින්, අම්මා නිතර පැවසූ ආකාරයට ඒවා රන්වන් පැහැයට හැරෙන විදිහ බලා සිටියේය. ඔහුගේ ජංගම දුරකථනය හැඬවිණි. ඔහු පිළිතුරු නොදුන් හෙයින් නොකඩවා මැසේජ් එන්නට පටන් ගත්තේය.
“ෆාහිම්, ඔයා අද එනවද? කෝ මැසේජ් එකක්වත් නෑනේ. මං දන්නව ඔයාට අද නිවාඩු කියලා. මේ පැත්තෙ ඇවිත් යන්න එන්න “
අම්මාට කිසිම දෙයක් ලෙහෙසියෙන් අමතක වෙන්නේ නැත. සති කිහිපයකින්ම ඔහු ඇගේ මැසේජ් එකකට පවා රිප්ලයි නොකරත් ඇයට ඔහුගේ දින චරියාව හොඳහැටි පුරුදුය. ඔහු ඇයට අද කතා කිරීමට සිතුවේය.

“පස්සෙ ගන්නවා”
ෆාහිම් උපාධියට සූදානම් වෙන අතර රැකියාවක් කළේය. තනිව ජීවත් වුයේය. ටෝස්ට් කෙරූ පාන් සමග ටූනා සහ මෙයොනීස්, සීරියල්, පෙති කැපූ කෙසෙල් වැනි කෑමවලින් බඩගිනි නිවාගත් ඔහු, කෑම උයන්න සූදානම් වීම ඉතාම දුර්ලභ සිදුවීමකි. ඥාති සහෝදර සහෝදරියන් හෝ අමුත්තෙක් ඔහුව බැලීමට එන විට වැනි විශේෂ අවස්ථාවක පමණි ඔහු කෑම සැකසුවේ. ඒ කොහොම වුණත් වෙනසක් වූවමනා නිසා මාස ගණනාවකට පසු අද ඔහු උයන්න සූදානම් විය. ෆාහිම් කුකුළු මස් කරියක් පිසීමට සූදානම් වූ නමුත් ළූණු වල රන්පැහැය දැන් අඳුරු පැහැයට හැරෙමින් තිබුණි. ඔහු තෙල් වැඩිපුර දමා ගින්දර වැඩි කර තිබේ. කළබල වූ ෆාහිම් ගින්දර අඩු කර වළඳට කටින් පිම්ඹේය.
“ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි දෙකක් දාලා මද ගින්දරේ විනාඩි පහක් තෙම්පරාදු කරගන්න”
ෆාහිම් අම්මා එවා තිබූ ඉඟුරු – සුදුළූණු මිශ්‍ර පේස්ට් එක රැගත් බඳුන විවර කළේය. ඉන් අපූරු සුවඳක් හැමුවේය. බෙංගාලි ටෙලි නාට්‍යයක් නරඹමින් ඇය ඉඟුරු පේස්ට් එක හදන්නට ඇත. නැන්දම්මා ලේලි සටන් කරන නාට්‍ය ඔහුට සිහිපත් විය. ඔහු බඳුනට ළූණු එකතු කළේය.
“බේ කොළ දෙකක්. කුරුඳු කූරු දෙකක්. එනසාල් ඇට තුන හතරක්”

ෆාහිම් කුළුබඩු බහා තැබුවේ පිරිසිදු වීදුරු භාජන තුළයි. අම්මා නම් පරණ පීනට් බටර් භාජනවල කුළුබඩු දැම්මාය. ඒවා ඇලෙන සුළුවිය. ඔහු වියළි බේ කොළ සෝදා, අම්මා කියා දුන් විදිහට කුරුඳු කූරු කඩා, එනසාල්ද එකතු කළේය. දකුණු ආසියානු කෑමවල රහස්. එකක් වැරදියට දැම්මොත් කෑම එකම විනාසයි. මෙච්චර කුළුබඩු මොකටදැයි ඔහු සිතුවේය. අම්මා නම් කිව්වේ ඒවා දමන්නේ කෑමවලින් හොඳ සුවඳක් එන්නට කියාය.
“දුරු, කොත්තමල්ලි, කහ සහ මිරිස් කුඩු හැන්දක්”
කහ අඳුරු පැහැයට දිය වී, බලකොටුවක් සේ දිලිසෙන කහ පැහැයට හැරුණි. පැල්ලම් සහිත ඇඟිලි සමඟ පාසල් ගිය හැටි ඔහුට සිහිපත් විය. ඒ දවස්වල කෑම කන විට ඔහු තම අත් සාක්කුවලට දමා ගත්තේය. අතින් කෑමට ඔහු කැමති වූයේ නැත. ජංගම දුරකථනය නැවත නාද වූ අතර මෙවරද ඇමතුම අම්මාගෙනි. ඔහු ඇයට වොයිස් මැසේජ් එකක් යැව්වේය. කුළුබඩු බඳුනට ඇලී තිබුණි. ඔහු හැන්දෙන් ඒවා සීරුවේය.
“කොත්තමල්ලි, දුරු දැම්මද”
ෆාහිම් සුවඳ ඉව කර බැලූ නමුත් ඔහුට එකම සුවඳක් දැනුණි.
“දුරු දාන්න ඇති”
ඔහු සුසුමක් හෙළුවේය. සමහරවිට මේක හරියට එන එකක් නෑ. ඒත් ට්‍රයි කරන එක වටිනවනෙ.
“මීළඟට වතුර කෝප්පයක් එක් කර කවලම් කරන්න. වතුර හිඳිලා තෙල් විතරක් ඉතුරු වෙනකං කවලම් කරන්න ඕනේ. තුන් වතාවක්ම.”
වෙහෙසකරම දේ එයයි. සමහරු එය මග හැරියත් අම්මා කුකුල් මස් කරිය හැදුවේ එලෙසිනි. රසවත් කුකුල් මස් කරියක රහස එයයි. ෆාහිම්ගේ කුස්සිය කුළුබඩු සුවඳින් පිරී තිබේ. ඒ සුවඳ හරහා ඔහු අතීතයට පාව ගියේය.

2008 මැතිවරණයේදී බැරැක් ඔබාමා අමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා බවට පත්විය. එය ඓතිහාසික රාත්‍රියකි. බංග්ලාදේශ ප්‍රජාවට එය ඔවුන්ගේ ජයග්‍රහණයක් මෙන් දැනුණි. එවකට එකොළොස් වියැති ෆාහිම් තාත්තා සමඟ රූපවාහිනිය නැරඹුවේය.
“ ඔබාමා මුස්ලිම් කියලත් කියනවා”
තාත්තා පැවසුවේය.
“ඒක කටකතාවක්”
ෆාහිම් පිළිතුරු දුන්නේය.
“ඔබාමාගේ මැද නම හුසේන්.”
මේ අතර අම්මා තනිවම ඉඳගෙන සිටියාය. ඇය උයන්නේ නැත. ඇගේ ඇසින් කඳුළු ගලා ගියේය. කවුරුත් ඇය අඬනු දුටුවේ නැත. නමුත් ෆාහිම් එය දැක අඬන්නේ ඇයි දැයි ඇගෙන් ඇසුවේය.
“මගේ වයසෙ ඔහු අමෙරිකාවෙ ජනාධිපති. මම මොකක්ද මගේ ජීවිත කාලෙම කරේ. ඉවීමයි. පිරිසිදු කිරීමයි”
එකොළොස් හැවිරිදි ෆාහිම් ඇයට පිළිතුරු දීමට නොදැන සිටියේය. ඔහු මව දෙස හිස් බැල්මෙන් බලා සිටියේය. එදින රෑ කෑමට බාස්මතී බත්, පරිප්පු, කුකුල් මස් කරියක් සහ නිවිති සකසා තිබුණි. අම්මාට එතකොට අවුරුදු හතලිස් හතකි. ෆාහිම්ට දැන් විසිහතකි. හරියටම තව දශක දෙකකින් ඔහුත් ඒ වයසට එනු ඇත. ඔහු අවුරුද්දකට පනස් අටදහසක් උපයා ගත් අතර, ඔහුගේ මෘදුකාංග ඉංජිනේරු මිතුරන් නම් ඉලක්කම් හයට වඩා උපයමින් සිටියේය. ඔහුට උදව්වට මිතුරන් සිටියේය. නමුත් අම්මට කවුද හිටියේ? කුළුබඩු බඳුනේ තෙල් සමග ඇලී ඇත.
“උඹ මොන සිහියකින්ද හිටියෙ?”
ඔහු ගින්දර අඩු කළේය. ළූණු කළු පැහැ වී ඇත. කුළුබඩු කීයක් එකතු කරාදැයි මතක නැත. දැන් මේක කෑමක්ද? අම්මා කොහොමද හරි ලේසියෙන් මේවා කළේ? මම හරියට සෙල්ලං ගෙදරක සෙල්ලම් බත් උයලා වගේ. ඔහු නතර වුණේ නැත. දැන් කුකුළු මස් ටික දාන්න වෙලාව. විනාඩි දහයක් විතර හොඳට කවලම් කරාම හරි.
ඉස්සර ඔවුන් මස් මිලට ගත්තේ බෙංගාලි ජාතික වෙළෙන්දෙකුගෙනි. ඔවුන්ගේ අසල්වැසියෝ සියල්ල එකිනෙකා දැන සිටි අතර නිවාස හරහා නිරතුරු හමන කරිවල සුවඳ නිසා හැමෝම ඒ පෙදෙස Curry Building යනුවෙන් හැඳින්වූහ. දැන් ඔහු උස්බෙකි ජාතික මස් වෙළෙන්දෙකුගෙන් මස් මිලදී ගත්තේය. ඔහු එතරම් මිත්‍රශීලී අයෙක් නොවීය.
ෆාහිම් කුකුළු මස් කරියේ මූඩිය වසා දමා එය දැමීමට බඳුනක් සෙව්වේය. අම්මා නම් ප්ලාස්ටික් බඳුන්වල කෑම දැමුවත් ඔහු එයට අකමැති වුණේ ප්ලාස්ටික් සිරුරට අහිතකර නිසාවෙනි. ඔහු ඇයට අනතුරු ඇඟෙව්වත් ඇය ඒවා ගණන් ගත්තේ නැත. එවැනි එකඟ නොවීම් රාශියක් ඔවුන් අතර තිබුණි. ඔහු එළියට යන්නට සූදානම්ව මෝටර් රථයට නැගුණි. අතරමගදී අම්මා හමුවිය. ඇය මෝටර් රථයේ වීදුරුවට තට්ටු කළාය.
“මෙන්න. මේක ගන්නකෝ”
ඇය පැවසුවේ ප්ලාස්ටික් බඳුන්වලින් පිරුණු බෑගයක් ඔහු අත තබමිනි.
“බත්, නිවිති, පරිප්පු එක්ක කුකුළු මස් කරියක්.”
ඔහු බෑගය පරිස්සමින් අසුනේ තැබුවේය
“ඔයා ගියාට පස්සෙ මැසේජ් එකක් තියන්න.”
ඇය ඔහුට නොපෙනෙන සේ කඳුලු පිසිමින් පැවසුවාය.




