NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 38

Tharu Mal Viyan තරු මල් වියන් – 38

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

සිදු වූ කිසිත් ඇයට සිතා ගන්නට නොහැකිය. ඇති වූයේ තදබල කම්නයකි. තමා පිට කෙනෙක් කියා ඈ කීවේ මන්ද..? තමාට වඩා බැඳීමක් ඇයට ඇත්තේ කෙසේද.? ඇයට මේ කිසිත් වටහා ගන්නට නොහැකිය.

“තමුන් දැන්ම මේ ගෙදරින් එළියට බහින්න ඕන…තමුන් කොහොමද මෙහෙම දෙයක් කළේ…?”

ඉන්ද්‍රාණි කෑ ගසන හඬින් අංජලී පියවි සිහි ලබා මෙන් ඈ වෙත දිව ගියාය. ගිම්හානිද අමාරුවෙන් පිටතට පැමිණියේ මේ කළබලය ඇසීය.

“අනේ නැන්දා…එපා…එහෙම කරන්න එපා…”

“මේකි මෙච්චර දෙයක් කරලත්?…මේකිව එළවලා දාන්නම ඕන…මං අපේ හරකට කිව්වා…”

සංචලා කෝපයෙන් ගෙතුළට දිව ගියාය.

“අනේ දුව…ඒ කියපු දෙවල් හිතන්න එපා…”

“එයා මොනවද නැන්දා ඒ කිව්වේ…ඇයි මං පිට කෙනෙක් වෙන්නේ කොහොමද…?”

ඉන්ද්‍රාණි මහ හඬින් හඬන්නට වූවාය. ගයානිත් ගිම්හානිත් ඇයව කැඳවාගෙන ගෙතුළට එන විට අංජලීද නැන්දා පසුපස පැමිණියේ තෝන්තු වූ සිතිනි. සංචලා පිටව ගියේ අඩි පොළවේ හප්පමිනි. පරිසරය තුළ වූයේ ඉතා දිගු නිහැඬියාවකි. ඉන්ද්‍රාණි වරින් වර හෙළූ සුසුමක හඬින් එම නිහඬ බව බිඳී ගියේය.

“ඇයි නැන්දා ඔයාලා මට මේ මොකුත් කලින් නොකීවේ…ඇයි පිට කෙනෙක්ගෙන් මට ඒ දේ අහන්න සැළැස්සුවේ…ඔයා මට ඒක කිව්වා නම් මං ටිකක් වත් දුක් වෙන්නේ නැහැ…”

මහ හඬින් නොහැඬුවද අංජලීගේ දෑසින් වරින් වර කඳුළු ගලා යන්නට විය. ගයානි පසු වූයේ දැඩි ශෝකයකිනි. ඈ කිසිත් නොකියා ඇගේ අතින් අල්ලාගෙන ඈ අසලම සිටියාය. ගිම්හානි සිටියේද කෝපයත් කම්පනයකට පත්වය. මේ කිසිවක් ඈ දැන නොසිටි අතර අසන්නට ලැබුණු දෙයින් ඈ සිතේ අංජලී කෙරෙහි මහත් දයාවක් හට ගැණිනි. තමාවත් නොදන්නා දෙයක් සංචලා දැන ගත්තේ කෙසේද කියා ඈ පුදුම වූවාය. ඉන්ද්‍රාණි හඬ හඬා කතා කරන්නට වූවාය. ඇගේ හඬ බිඳී තිබිණි. මේ මොහොතේ හේෂාන් සිටියා නම් කුමකින් කුමක් සිදුවනු ඇතිද කියා ඇයට සිතා ගන්නටවත් නොහැකි විය.

“නිෂාධිලා මැරි කරලා අවුරුද්දක් යන තුරුම එයාලට දරුවෝ නැති නිසා ටෙස්ට් කීපයක්ම කළා…ඒකෙන් දැන ගන්න ලැබුණා නිෂාධිට දරුවෙක් හදන්න බැහැ කියලා…නංගී හිටියේ හරිම වේදනාවකින්. පස්සේ දෙන්නම කතා වෙලා තමා දරුවෙක් හදා ගන්න තීරණය කළේ…”

අංජලීට යළිත් හැඬිණි. ගිම්හාන් මෙන්ම ගයානිද මේ කතාව අසා කඳුළු සලන්නට වූහ.

“අම්මා මට කොයි තරම් ආදරේ කළාද…එයා කවදාවත් මට මං එයාගේ දරුවෙක් නෙවේ කියලා දැනෙන්නවත් දුන්නේ නැහැ…මං දැනගෙන හිටියා නම්…!”

ඈ දැඩි වේදනාවකින් එසේ කියන විට ගිම්හානිගේ පපුව සිරවන සෙයක් ඇයට දැනිණි.

“අනේ ළමයෝ…මේක සංචලා කොහොම දැනගත්තද කියලා මං දන්නේ නැහැ…අඩුම තරමේ අපේ පුතාලාවත් දන්නේ නැහැ…”

ඒ ඇසූ අංජලී පුදුමයෙන් නැන්දා දෙස බැලුවාය.

“සුනේන්ද්‍ර ඇක්සිඩන්ට් වුණා කියලා කෝල් කරලා කියපු දවසේ නම් මායි හේෂානුයි ගෙදර මේ ගැන කතා වුණා…ඒත් අපි කතා කළේ කාමරේ ඉඳන්…ඒවා එළියට අහෙන්න තරම් කෑ ගහලා නෙවේ…එයාට ලේ දෙන්න ඕන වුණා කියලා පුංචි අම්මා කතා කළේ ඔයාට කියන්න කියලා…ඒත් අපි කොහොමද ඔයාට කියන්නේ ඒක…ඒ කතා කරපු දෙයක් සංචලාට ඇහෙන්න ඇති…”

නොමනාපයෙනුත් කළකිරීමෙනුත් ඉන්ද්‍රාණි කීවාය.

“ඒක මෙහෙම දැන ගන්න වුණ එකටයි මට දුක…ඒකත් සංචලාගෙන්…”

අංජලී එසේ කියා නැඟී සිටින විට ඉන්ද්‍රාණි ඇගේ අතින් අල්ලා ගත්තාය.

“අනේ දුව…අපි කොහොමද ඔයාට එහෙම කියන්නේ…ඔයා අපේ දුව…”

අංජලී මඳහසක් පෑවාය.

“ඒත් ඇත්ත ඒක නෙවේ නැන්දේ…තාත්තා කවදාවත් අම්මට ආදරේ කළේ නැහැ… එයා එයාට ආදරේ නොවුණේ මේ හේතුව නිසා…එහෙම එයා මට ආදරේ කරයිද…?”

ඈ ගිම්හානි වෙත ගොස් ඇයව වැළඳගෙන සිප ගත්තාය.

“ඔයා මේ යන්නද හදන්නේ නංගී…?”

අංජලී කළේ හිස සැළීමය. ඈ ගයානි සමඟ පිටව ආවේ ඇගේ කියා තිබූ සියළු දේ රැගෙනය. යළිත් මේ නිවසට නොඑමියි කියා ඈ ඒ මොහොතේ සිතුවාය.

“සංචලාට සමාව දෙන්න නැන්දා…එයාව එක්ක එන්න…එයාගෙ වරදක් නැහැ…”

අංජලී අවසාන වශයෙන් කියා නැන්දාගේ දෙපා වැන්දාය. හිස් බවක් ඇගේ සිතට දැනිණි. බසයේ නැඟී එන අතර තුරවත් ඈ කිසිත් නොකීවාය. සිත ඔහේ පාවී ඉබාගාතේ සැරි සැරුවේය. තමා අනාථ නිවසකින් රැගෙන හදා ගත් එකියක් වුවද මව කවදාවත් තමාට වෙනසක් නොකළාය. ඈ සිය කුසින් බිහිකළ අයෙකුට මෙන් තමාට ආදරය කළාය.

“අම්මා මං කවුරු වගේද…?”

කුඩා කල ඈ කන්නාඩිය ඉදිරිපිට සිටගෙන ඇසූ සැටි ඇයට සිහි විය.

“ඔයා මං වගේ…වෙන කවුරු වගේ වෙන්නද…?”

තමා සිප ගෙන ඈ පැවසූ සැටි සිහිවී ඇගේ දෑස් අලුතින් තෙත් විය. ඈ දෙසම බලා සිටි ගයානි අංජලීගේ අතක් තරයේ අල්ලා ගත්තාය.
——————————————————————————————————
නිවස මළගෙයක් මෙනි. මේනක නිවසට එන විටත් ගිම්හානිත් ඉන්ද්‍රාණිත් සිටියේ ඔහේ බලා ගත් අත බලානය. සංචලා නම් පෙර ආත්මයක සැතිරියකමැයි කියා ඉන්ද්‍රාණිට යළි යළිත් සිතිණි. මවගේත් බිරිඳගේත් වෙනස නිවසට ගොඩ වුණු සැටියේම මේනකට පෙනුනද ඔහු එක්වරම කිසිත් නෑසුවේය. ඒ වෙනුවට ඔහු ගිම්හානිගේන් දෑසින් විමසුවේ කුමක් හෝ සිදු වූවාද කියාය. ඈ මඳහසක් පමණක් පෑවාය. සැමියා නිවසට ගොඩ වූ සැණින් කේළම් කියන බිරිඳක නොවේ ඈ .ඉන්ද්‍රාණිද එසේය.

“මං තේකක් හදන්නම්…”

ගිම්හානි අසුනින් නැඟී සිටීමට සැරසෙන විට ඉන්ද්‍රාණි වහා කීවාය.

“අද නම් හරි මහන්සියි…”

ඔහු බිරිඳ අසල අසුන් ගනිමින් කීවේ ඇගේ අතක් අල්ලා ගනිමිනි. ඒ මුහුණ දුක්බරය. කුමක් හෝ යමක් සිදුව ඇත. ඈ මවත් සමඟ ආරවුළක් ඇති කරගත්තා නම් විය නොහැක. එකත් එකටම ඒ සංචලා විය යුතුය. ඈ නිවසේ සිටින බවක් පෙනෙන්නට නැත.

“මොකෝ මේ…? අද ඔයාගේ මූණ ලෙඩ පාටයි…”

මේනක ඇසුවේ එය බිරිඳගෙන්ම දැන ගන්නටය.

“ලෙඩ පාට නේන්නම්…කොයි වෙලේ අමාරුවෙයිද මන්දා…”

මුව මත ආයාසයෙන් නංවා ගත් සිනහවක් සමඟින් ගිම්හානි කීවාය.

“තව දවස් තියනවා නේද…?මං සතියක් නිවාඩු දානවා…අම්මලා කවද්ද එන්නේ…?”

මේ තියන වාතාවරණය මත මවත් පියාත් මෙහි කැඳවා ගන්නට නම් ගිම්හානි සතුටු නොවූවාය.

“අම්මලා අද හෙටම එනවා කියල කිව්වේ…ඒත්…අනේ මන්දා…එයාලා කැමති නැහැ මෙහෙ ඇවිත් වැඩි දවසක් ඉන්න…”

එයට සැබෑම හේතුව නම් සංචලාය. ඔවුන් දෙදෙනාම ඇයට කැමති නැති බව ඈ දැන සිටියාය.

“ඒක නම් ඉතින් මාත් දන්නවා…එයලට එන්න කියන්නකෝ…”

“එහෙනම් ඔයා අද හෙට නිවාඩු දාන්න එපා…හොස්පිට්ල් ඇඩ්මිට් වුණාම ගන්න…තාත්තා ඉන්නවානේ…”

“බලමුකෝ…ඒත් මං ඔයා ළඟ ඉන්න ඕන මේ ටිකේ…”

ඇගේ හිස පිරිමදිමින් මේනක කීවේය.

“කෝ සංචලා…ගෙදර ගිහින්ද…?”

මේනක රහසින් මෙන් අසන විට ගිම්හානි හිස සැළුවාය.

“අදත් මොකක් හරි වුණාද…?”

ගිම්හානි පිළිතුරක් නොදී දිගු සුසුමක් හෙළුවාය.

“අම්මා එක්කද…?”

ඔහු සැකයෙන් මෙන් අසුවේය.

“නැහැ…අම්මා ඔයාට කියයි මේනක…”

ඉන්ද්‍රාණි පැමිණියෙන් ගිම්හානි නිහඬ වූවාය.

“තාත්තා අද මොකෝ පරක්කු…මං වේලාසන එන්න කියලා කෝල් එකකුත් දීලත් තාම නැහැ…”

ඉන්ද්‍රාණි මේනකටත් ගිම්හානිටත් තේ පිළිගන්වා අසුනකට බර දෙමින් කීවාය.

“අද මොකද විශේෂයෙන් එන්න කිව්වේ…තාත්තගේ බර්ත්ඩේ එක නෙවේනේ…?”

මේනක මඳහසක් පාමින් කීවේ ඇසක් ඉඟි මරමිනි. ඔහු මේ මොහොතේ සැහැල්ලුවෙන් සිටියද අද සිදුවීම දැනගත් පසු නම් කෝපයෙන් වියරු වැටෙනු ඇතැයි කියා ගිම්හානි බිය වූවාය. ඔහු අංජලීට බෙහෙවින් ආදරය කරන බව ඈ දැන සිටියාය. ආදිත්‍යගෙන් ඇමතුමක් ලැබුණෙන් ඔහු එයට ඇමතුවේ ඔවුන් ඉදිරියේදීමය.

“මචං හැමදේම හොඳින් නේද…මේ වෙලේ නම් කළබල නොවී වැඩ කරපන්…මාත් මේ එන ගමන්…”

ආදිත්‍ය මේ පවසනේ කුමක්ද කියා මේනකට වැටහුමක් නොවීය. ඔහු ඇමතුම ගත්තේ තමාටද නැතිනම් වෙන අයෙකුටද කියා ඔහු මවිත විය.

“ආදි මචං…මම මේනක…උඹ වැරදිලාද මට කතා කළේ…?”

ඔහු සිනහමුවෙන්ම ඇසීය.

“නැහැ…නැහැ…මං උඹට තමා ගත්තේ.. උඹ තාම ගෙදර ගියේ නැත්ද…?”

“මං දැන් ඇවිත් ටිකක් වෙලා…ඇයි…?”

ආදිත්‍ය පැකිළෙන්නට විය. ගයානි ඇමතුමක් දී සිදු වූ සියල්ල ඔහුට දැන්වූයේ මීට සුළු මොහොතකට පෙරය. රංගිකාද අංජලී සමඟ ගයානිගේ නිවසේ බව ඈ දැන්වූවාය.

“හරි මං එන ගමන් ඉන්නේ මචං…ඇවිත් කතා කරමු…”

ඔහු එපමණක් පවසා දුරකථනය විසන්ධි කළේය. මාලකත් ඔහුත් අතර ආරවුලක් හට ගනු ඇතැයි ඔහු බිය විය. මේ මොහොතේ ගිම්හානි සිටින තත්වයද එතරම් සුවදායක නැත.

“අම්මේ…මොකද අද වුණේ…?”

මේනක ඇසුවේ කුහුළිනි.

“තාත්තා එනකල් ඉන්නකෝ…ඔයා ගිහින් වොෂ් එකක් දාන් එන්නකෝ…අපි හිමින් කතා කරමු…”

මේනක නිහඬ බැල්මක් බිරිඳ වෙත හෙළමින් අසුනින් නැඟී සිටියේය.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you