NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 52

Pini Muthu Palasa පිනි මුතු පලස – 52

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

කපටි සිනහවක් මුව මත තවරාගෙන මා දෙස බලා සිටි සුමිත් අයියා දැක මා සිතේ තැති ගැන්ම පහව ඇති වූයේ කෝපයකි. ඔහු මා දුටු බව ගොස් අක්කාට කියනු ඇතැයි කියා මට එක්වරම කල්පනා විණි.

“නංගී…”

මුව මත මවා ගත් මනමාල සිනහවක්ද සමඟ ඔහු මා ඇමතුවේ බොහෝ ලෙංගතු හඬකිනි. මා සිත යට සැඟව තිබූ වෛරයේ ගිනිදළු බුර බුරා නැඟ එන බවක් මට දැනිණි. මගේ ජීවිතය විනාශ කිරීමට ඔහුද එක් හවුල් කරුවෙකි. ඔහු මට සිදුකිරීමට ගිය අතවරය මට අමතක නැත. අක්කා මා නිවසින් පිට කිරීමට ඉක්මන් වූයේ මොහු නිසාය. පූජිත මා විනාශ කළේ මොවුන් සියළු දෙනා සමඟ එකතුවය.

“නංගී…! උඹට දැන්ද මාව නංගී වගේ පෙනුණේ…?”

මේ අහළ පහළ නිවෙස් කිසිවක් නැති බව දැන මම කෑගැසුවේ උස් හඬිනි. සුමිත් අයියා කලබලයෙන් වටපිට බලන්නට විය.

“ඕකනේ…ඕකනේ…ඔයා කළබල වෙලානේ…චුට්ටක් නිවී සැනසිල්ලේ කතා කරමු…”

“උඹ වගේ වනචරයෙක් එක්ක මට මොන කතාද…පලයන් මෙතනින්…”

කෑ ගැසූ මම මා හැපී වැටෙන්නට ගිය කලු ගල ඔසවා අතට ගත්තේ සිතේ වූ වෛරය නිසා ඔහුට පහර දෙන්නට සූදානමිනි.

“හරි…හරි…ඕක බිම දාපන්…මම යන්නම්…මනුස්ස කමට මම උඹව දැකලා කතා කළේ…අරූ උඹව මරන්න හොයනවා…”

“ඌ හෙව්වොත් ඌ හොයා ගනියි…හැබැයි උඹ මං ගැන කියලා තිබ්බොත් මුලින් මැරුම් කන්නේ උඹ…පලයන් මෙතනින්… මගෙන් මැරුම් නොකා…”

මම වැර යොදා කෑ ගැසීමි. සුමිත් අයියා බියසුල්ලෙක් බව මම දැන සිටියෙමි. මම කෑ ගසන විට ඔහු බියට පත්ව වහා ත්‍රි රෝද රිය පණ ගන්වා ගන්නට විය.

“හරි…හරි බං…කෑ ගහන්න එපා… මිනිස්සුත් දුවන් එයී…”

කලබලයෙන් එය පණ ගන්වා ගත් ඔහු වේගයෙන් රිය පදවාගෙන ඉදිරියට ධාවනය කළේය. එය නොපෙනී යන තුරුම මම කළු ගලත් ඔසවාගෙන බලා හිඳ එය ඉවත දමා යළි පැමිණියේ කැළඹුණු සිතිනි. මෙතුවක් කලක් මා සැඟව සිටීමෙන් පළක් නොවනු ඇතැයි බියක් මා සිතේ ඇති විය. ඔහු නිවසට ගිය සැණින් අක්කාට මා ගැන පවසනු ඇතිවාට සැක නැත. පූජිත යළිත් වරක් මා සොයා නිවසට පැමිණියා නම් අක්කා ඔහු සමඟ මේ බව පවසනු ඇත. තව වැඩි කාලයක් මට මෙහි සිටීමට නොහැකි වනු ඇත. මේ සියල්ල සිතේ දරාගෙන මා සිටියේ ගිනිගත් සිතිනි.

දානමය කටයුත්ත අවසන්ව රජිව් නිවසට පැමිණි දිනට පසු දින මම ඔහුට මීට දින කීපයකට පෙර සුමිත් අයියා මුණ ගැසුණ හැටි කීවෙමි. ඔහු මට තනිව පිටතට යෑම ගැන දොස් පවරනු ඇතැයි කියා මම සිතුවද ඔහු බොහෝ වේලාවක් නිහඬ කල්පනාවක ගිළී සිටියා මිස මට දොස් නොපැවරුවේය.

“ගේට් එක මම නැති හැම වෙලේම ලොක් කරලම තියන්න…අපි බලමු මොකෝ වෙන්නෙ කියලා…ඔයා වැඩිය හිතන්න එපා…අපි එන විදියකට මූණ දෙමු…”

මම එයට එකඟව හිස සැලුවද මා සිතේ වූ බිය නම් පූජිත මා සොයා මෙහි විත් කළබලයක් ඇති කරනු ඇතිද කියාය. එය චිත්‍රා මිස්ගේ අසනීපයට හොඳ නැත.

“මංදාකිණි…මේ ටිකේම කල්පනා කරනවා වැඩියි…”

දින කීපයකට පසුව එක් සැඳෑ වරුවක චිත්‍රා මිස් මා විමසුවේ අපි මිදුලට වී සිටින විටය.

“ආහ්…නැහැ…මිස්…”

“මොකක් හරි ප්‍රශ්නයක්ද ළමයෝ…?”

ඈ විමසුවේ කාරුණික හඬකිනි. මේ ගෙවුණු සතිය පුරාම මම පසු වූයේ සිත් කරදරයෙන් බව සැබෑය. එය එසේ වුවත් මම එය චිත්‍රා මිස් හා පවසන්නට අදහස් නොකළෙමි. නිකරුණේ ඇගේ සිත කළබලයට පත් කරන්නේ මන්ද..?

“අනේ නැහැ මිස්…එහෙම මොකුත් නැහැ…”

“හ්ම්ම්…ඒක නෙවේ…මංදාකිණිගේ මහත්තයා මොකක්ද කරපු රස්සාව…?”

හදිසියේ ඈ විමසුවාය. මම එය පවසන විට ඇගේ මුහුණේ පළවූයේ විමතියකි.

“හ්ම්ම්…අනේමන්දා ළමයෝ…ඔයාගේ සහෝදරියි…මගේ සහෝදරියි…දෙන්නම එකම වගේ බලන් යනකොට…තමන්ගේ වාසියට ඕන කෙනෙක් බිල්ලට දෙයි…”

කලකිරීම් මුසු හඬකින් ඈ කීවාය. ප්‍රේමා නැන්දා එහි පැමිණියේ තරුෂි පැමිණ ඇති බව කීමටය.

“තව කවුද ගෑනු කෙනෙක් එක්ක ඇවිත් තියෙන්නේ…”

මා සිතේ ඇති වූයේ කුතුහළයකි.

‘ඔයා ගිහින් බලන්නකෝ දරුවෝ…”

චිත්‍රා මිස් සමඟ ප්‍රේමා නැන්දා තබා මම මිදුල දිගේම ඉදිරිපසට එන විට තරුෂිද මා දෙසට එමින් සිටියාය. ඈ දුටු මම සිනහවක් මුවට නඟා ගත්තද ඈ පිළිතුරු සිනහවක් හෝ නොපෑවාය.

“මොකද තරූ…මොකක් හරි ප්‍රශ්නයක්ද…?”

ඈ දෙස වුවමනාවෙන් බලමින් ඇසුවේ ඒ මුහුණේ වූ කණස්සළු මුසු බව නිසාය.

“අනේ මංදි…මම නම් මේ මොකුත් දන්නේ නැහැ…මං ඉස්කෝලේ ඇරිලා ඇවිත් බස් එකෙන් බැහැලා එනකොට ඔයාලගේ අක්කා අපේ ගෙවල් හොයන් යනවා…”

“මොනවා…!”

සියල්ල මට පැහැදිළිය. සුමිත් අයියා කේළම කියා ඇත. ඔහු මරා දමන්නට ඇත්නම් කියා කෝපයක් මා සිතේ ඇති විය.

“ඔයාලගේ සුමිත් අයියා ඔයාව දැක්කා කිව්වනේ..එයා ගිහින් කියලා වෙන්නැති…අක්කා මගෙන් බල කරලම ඇහුවා…ඔයා ඉන්න තැන කියන්න කියලා…අනේ මංදි මට කියන්නම වුණා…”

“කමක් නැහැ තරූ…දැන් අක්කා එක්කද ඔයා ආවේ…රොත්ත පිටින්ම ඉස්සරහද…?”

ඔවුන් පිළිබඳව උපන් කෝපයෙන් මම ඇසීමි.

“නැහැ…අම්මා විතරයි ඉන්නේ…මම කිව්වා මිස් ඉන්නේ අසනීපෙන්…මෙතන කළබල කරන්න හදන්න එපා කියලා…ඔයාට මෙතන රස්සාවක් හොයලා දුන්නේ මම කියලා…රජිව් අයියා ගැන නම් කටක් අරින්න එපා මංදි…එයාලා හිතන් ඉන්නේ අසනීප කෙනෙක් බලා ගන්නවා කියලා විතරයි…හොඳද…?”

මම ඇගේ අත තරයේ අල්ලා ගතිමි. ඈ එසේ පැවසීම හොඳය. ඇගේ අත අල්ලාගෙනම මම මිදුල දිගේ ඉදිරිපසට පැමිණියෙමි. අම්මා යැයි කියූ අයව මා මේ දකින්නට යන්නේ වසර ගණනාවකට පමණ පසුවය. ඇගේ මතකය පවා මා සිතින් මැකී ගොස් දැන් බොහෝ කලකි. චකිතයක් මා සිතේ නොවූවා නොවේ. ඉස්තෝප්පුවේ අසුනක හිඳ සිටියේ මා කිසිසේත්ම දකින්නට බලාපොරොත්තුව හුන් අය නොව වෙනස්ම අයෙකුය. මා දුටු මතින් ඈ අසුන මතින් නැඟී සිටින විට මම හුන් තැනම නැවතී ආගන්තුක බැල්මකින් ඈ දෙස බලා සිටියෙමි. කෙටි සායකුත් සැහැල්ලු ටී ෂර්ටයකිනුත් සැරසී හුන් ඈ පිරිපුන් ඇඟ පසඟින් යුත් මැදි වියේ යැයි කිව නොහැකි තරුණ පෙනුමකින් යුතු වූවාය. ඈ අක්කාටත් වඩා තරුණ පාට යැයි මට ඒ මොකොතේත් සිතිණි.

“චූටි දුව…”

ඈ දෑත් විදහාගෙන මා වැළඳ ගැනීමට මෙන් පෙරට එන විට මම අඩියක් පසු පසට තැබීමි. ඈ නතරව මා දෙස පුදුමයෙන් බලා සිටියාය.

“චූටි දුව…!”

මමද එයම ප්‍රතිරාවය කළෙමි.

“කවුද ඔයා…ඇයි මෙහෙ ආවේ…?”

මම අසන විට තරුෂි මා දෙස බැලුවේ මේ අම්මා නොවේදැයි අසන බැල්මකිනි.

“අනේ ළමයෝ…මම ඔයාගේ අම්මා…”

තරුෂි මා අත අතහැර ඉවත ගියේ මට ඈ හා කතා බහ කරන්නට ඉඩ හැර මෙනි.

“අම්මා…! හහ්…අවුරුදු ගානකට පස්සේ ඇවිත්…මං ඔයාගේ අම්මා කියපු ගමන් ළඟට දුවන් ඇවිත් බදා ගන්න මං රූකඩයක් හරි රොබෝ කෙනෙක් හරි කියලද හිතන් ඉන්නේ…?”

කෝපයකටත් වඩා මා හඬේ තිබෙන්නට ඇත්තේ උපහාසය මුසු බවකි.

“මොනවද ළමයෝ ඔයා මේ කියන්නේ…?”

“මං තාම මොකුත්ම කිව්වේ නැහැනේ…ඇයි මේ ඔයා කළබල වෙලා?…”

“චූටි දුව…මං ආවේ ඔයාව ගෙදර එක්ක යන්න…මිසක් ඔයාගේ බණ අහන්න නෙවේ…ලැහැස්ති වෙලා එන්න…”

ඈ කීවේ නොසතුටෙන් මෙනි.

“ගෙදර…! මොන ගෙදරද…කාගේ ගෙදරද…මට කොහෙද ගෙයක් තිබුණේ…මාව එක්ක ගිහින් අර මිනිහට බාර දෙන්නද…?”

“මොනවද ඔයා මේ කියන්නේ…මොනවා වුණත් ඒ ඔයාගේ කසාඳ මිනිහා…”

“කසාඳ මිනිහා…ඔය කිව්වේ ලස්සනට… ඌ මිනීමරුවෙක්…තිරිසනෙක්…තමන්ගෙම තාත්තාවත් මරපු…සල්ලි වලට මිනී මරන එකෙක්…ඔහේගේ ලොකු දුව මාව හොයන්නේ බලන්නේ නැතුව බන්දලා දුන්නේ ඒ වගේ මිනිහෙක්ට…තමන්ගේ සහෝදරීට වඩා මිනිහව ලොකු වුණ නිසා මාව ගෙදරින් එළවගන්නයි ඌට බන්දලා දුන්නේ…අර සුමිත් කියන බල්ලා…මට කරදර කරන්න ආවා කියලා ඔයා දන්නවද…?”

“මොනවා…! මොනවද ළමයෝ ඔයා මේ කියවන්නේ…?”

“මං කියවනවා වගේද පේන්නේ…දෝණියැන්දෑ කිව්වේ නැත්ද බෑනාගේ කෙරුවාව…දැන් එනවා ” මං හැම්මා..” ගාගෙන…මං ළඟ ඉන්න ඕන කාලේ ඔයා කොහෙද හිටියේ…ඔයා හිටියා නම් මගේ ජීවිතේ මෙහෙම කාලකණ්නි වෙන්නෙ නැහැනේ…මේ හැමදේම ඔයා නිසයි වුණේ…ඔයා අපි ළඟ හිටියේ නැති නිසයි…”

“උඹලගෙන් ඕවා අහන්න වෙයි කියලා මං හිතුවේ නැහැ…මං මේ හැමදේම කළේ උඹලා වෙනුවෙන්…”

මා මුවට නැගුණේ උපහාසය මුසු සිනහවකි.

“අපි වෙනුවෙන්…! ඔයා මොනවද කළේ…මොනවද අපිට ලැබුණේ…කෝ ඔයා හම්බ කරපු සල්ලි…?”

“මම එහෙට වෙලා සැප වින්දේ නැහැ…දුක් මහන්සියෙන් හම්බ කළේ උඹලට ලස්සන ජීවිතයක් දෙන්න…”

“ලස්සන ජීවිතයක්…හහ්…දැන් පේනවනේ මගේ ජීවිතේ ලස්සන…ඔයා හම්බ කරන් ආව සල්ලි වලින් පුළුවන්ද මට මගේ නැතිවුණ ළමාකාලේ, මගේ ඉගෙනීම, මගේ ජීවිතේ, අම්මා කෙනෙක් නැතුව ගත කරපු කාලය මට ආපහු අරන් දෙන්න…?”

ඈ අසල වූ අසුනකට වැටී හඬන්නට වූවාය. මා සිතේ කිසිදු අනුකම්පාවක් නම් ඉපදුණේම නැත. දෛවය මට අනුකම්පා කළේද නැත. එය මගෙන් පන්න පන්නා පළි ගත්තා පමණි. එයට වගකිව යුතු මූලික තැනැත්තාද මැයමය. එසේ අයෙකුට මා කුමට අනුකම්පා කරන්නද….?
මම මඳක් ඈ අසලට ළං වූයෙමි.

“බොරුවට අඬන්න එපා…අඬන්න ඕන ඔයා නෙවෙයි…මමයි…මං කවදාවත් දැකලා නැති මනුස්සයෙක්ට මාව බන්දලා දෙන්න එපා කියලා මං කොච්චර වැඳ වැඳ කිව්වද…මට තව ටිකක් ඉගෙන ගන්න ඕන කියලා කියනකොටත් ඒක ගාණකටවත් ගත්තේ නැහැ…එයාට ඕන වුණේ මාව එළියට දාලා…මිනිහව ගෙට දාගන්න…ඒ හැමදේටම වැරදි ඔයා…”

ඈ පුදුමයෙනුත් කෝපයෙනුත් මා දෙස බලා සිටියාය.

“ඔව්…ඔව්…මේවට වැරදි මම තමා…මගේ වැරැද්ද…මිනිහා අතෑරලා දාලා ඇවිත්…මෙතන වැටිලා පර වැඩ කරන උඹ වැරදි නැහැ…මමයි වැරදි…ගමේ මිනිස්සු කතා කියන්නේ අපේ මූණට…”

“මිනිස්සුන්ට කතා කියන්න…මං වෙන මිනිහෙක් එක්ක පැනලා ආවේ නැහැනේ…මං ඒ මිනිහාව දාලා ආවේ මාව මරයි කියන බයට…ජීවත් වෙන්න තියන ආසාවට…අනික මං මෙතන පර වැඩ කළා නෙවේ…ඔයා අවුරුදු ගානක් පිටරට ඉඳගෙන කළේ පර වැඩ නෙවේද…? ඔයා ලංකාවට නාවේ එහෙට වෙලා අනුන්ගේ මිනිහෙක් තියන් පවුල් කෑව නිසා කියලා අමතක වුණාද…? පවුල් කෑව නෙවේ…ඒ පවුල කෑවා…ඒ අම්මා…ඒ දරුවෝ විඳපු වේදනාව දන්නවද…?මිනිස්සු කතා කියන්නේ අන්න ඒවට…මං ඔයා වගේ කාගෙවත් පවුලක් කැඩුවේ නැහැ…හොර මිනිහෙක් තියන්…දරුවන්වත් අමතක කරලා එහෙට වෙලා පර වැඩ කර කර හිටියේ ඔයයි…”

අම්මා ඉද්ද ගැසුවාක් මෙන් අසුනින් නැඟී සිට මගේ කම්මුලට වේගවත් පහරක් ගැසුවාය. ඉන් මට ඇති වූ වේදනාවට වඩා වේදනාවක් ඇයට දැනෙන්නට ඇතිවාට සැක නැත. කම්මුලට අත තබාගෙනම මම ඈ දෙස බැලුවේ උපහාසය රැඳි සිනහවකිනි. ඈ ගිණිගත් දෑසින් මා දෙස බලා සිටියේ පුපුරු ගසන කේන්තියකිනි.

“මොකද…මං ඇත්ත කියත්දී රිදුණද…?”

“උඹෙන් ඕවා අහන්න නෙවේ මං ආවේ…”

“එහෙනම්…ඔයාගේ ලොකු දුව ඔයාගේ වැරදි වහ වහ…සුදු හුණු ගාලා…සල්ලි ගන්න බටර් ගෑවා වගේ…මාත් ඔයාව සුදු හුණු ගාලා බාර ගනියි කියලා හිතාගෙනද ආවේ…? මටපාඩුවේ ඉන්න දීලා ආපු අතක් බලන් යන්න පුළුවන්…”

ඈ පිටව ගියේ කෝපයෙන්ද නැතිනම් ශෝකයෙන්ද කියාවත් සිතීමට මට වුවමනා නොවිණි. මා සිතේ වූ එකම බිය වුයේ ඈ පූජිතට මා සිටින තැන පවසාවිද යන්න පමණි.

-හෙටත් හමුවෙමු-

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you