Hima Mal Renu හිම මල් රේණු
පසුදින මා අවදි වන විට බොහෝ පමා වී තිබිණ. අපි නිවසට එන විට පාන්දර දෙකට ආසන්නය. පිටව ඒමට පෙර අවීශ් සෙවූ මුත් මට ඔහු දැක ගත නොහැකි විය.
“කොහොමද…පාර්ටිය හොඳද…? ”
නැන්දා මා විමසුවේ සවස අපි මිදුලේ බංකුව මත හිඳගෙන කතා බහ කරමින් සිටින විටය. නංගී දිවා ආහාර ගත් සැණින් නින්දට යන බව පවසා කාමරයට වැදුණේ පෙර දින මිතුරන් සමඟ නැටූ නිසා දෙපා රිදෙන බව පවසමිනි. ඒ මොහොතේ ඇගේ මුවේ වූ සිනහව මා සිත් ගත්තේ නැත.
“කාලෙකට පස්සේ….කෙල්ල මෙහෙම එන්ජෝයි කළේ…”
ඇගේ වෙනස පිළිබඳව කිසිදු වැටහුමක් නොවූ පුංචි අම්මා කීවේ කුඩා දැරියකගේ නැටුම් ගැයුම් බලා සතුටු වන ස්වරයකිනි. මා මුවේ ඇතිවන්නට ගිය උපහාසය මුසු සිනහාව මම සඟවා ගත්තේ ආයාසයෙනි. අම්මා ගැහැණු සමඟ ඕපදූප දොඩවමින් සිටි අතරේ දුව තරුණයෙකු සමඟ තුරුළට වී සිටි බව දැන සිටියා නම් ඈ මෙසේ සතුටු වනු ඇද්ද…?
“පා(ර්)ටිය නම් හොඳයි….කට්ටිය ගොඩාක් හිටියා…”
“ලංකාවේම ඉන්න කෝටිපතියෝ…”
“හ්ම්ම්…වෙන්නැති…නැන්දා දන්නවද දැරණියගල කියලා කෙනෙක්ව….?එයාත් හිටියා…”
මා එසේ කියන විට නැන්දා ගේ මුහුණේ ඇති වූ තිගැස්ම මම පැහැදිළිව දුටිමි.
“එයා එන්නම එපැයි….එයාත් හොඳ බිස්නස්මන් කෙනෙක් නේ….”
ඈ කීවේ නම් නොපහන් හඬකින් යයි කියා මට සිතිණ.
“ඔයා දන්නවද එයාව….එයා තාත්තාගේ යාළුවෙක්ද…? ඒත් ඒ දෙන්නා කතා කරනවාවත් මම දැක්කේ නැහැ….එයාලා අතරේ මොනවා හරි ප්‍රශ්නයක් වුණාද …? මං අහගෙන කට්ටිය කතා වෙනවා… කාලෙකට කලින් දෙන්නා හොඳ යාළුවෝලු නේද…?”
මම එක දිගටම කියවගෙන ගියෙමි.
“අපෝ….ඔව්….හරී….හොඳ….යාළුවෝ. ”
නැන්දා එය ඇද පැද කී ආකාරය මා සිත් ගත්තේ නැත.
“ඇයි නැන්දා ඒක අමුතු විදියකට කිව්වේ….”
“මොන අමුතුද ළමයෝ…? ඒ දෙන්නගෙ යාළුකම් නම් මම දන්නේ නැහැ…ඒත් ඔය බිස්නස් කරද්දී දැන ඇඳුනුම් කමක් නම් තිබුණා….හොඳ යාළුවෝ වුණා නම් අදටත් ඒවා තියෙන්න එපැයි…”
ඒ කතාවද සත්‍යකැයි මටද සිතිණ.
“එයා නම් එච්චර…හොඳ කෙනෙක් නෙවේලු නේද..?”
නැන්දා තිගැස්සුණු බැල්මෙන් මදෙස බැලුවාය.
“කවුද අනේ ඕවා කියන්නේ….? අපිට ඕවා ඕන නැහැ…”
“කවුද මම දන්නේ නැහැ…එතන හිටපු අය කතා වෙනවා ඇහුණා…”
“අනේ මන්දා…ගෑණුන්ගේ වැඩකට නැති ඕප දූප කතා…”
නැන්දා නොරුස්සුම් මුසුව කීවාය.
“වැඩකට නැති වෙන්නත් බැහැනේ…ගින්නක් නැතිව දුමක් නඟින්නෙත් නැහැ කියනවනේ…අනික ඉතින් ඔය දැරණියගල කියන කෙනාගේ පුතා ඉන්නෙත් අපේ පන්තියේ…එයාත් ඇවිත් හිටියා ඊයේ…”
“දැරණියගලගේ පුතා…! ඒ…කවුද..?”
“ඔව්….ඔව්…එයාගේ පුතා…අර නපුරු කොල්ලා…එයත් හිටියා ඊයේ…”
“මොන නපුරු කොල්ලාද..?”
“ඇයි අනේ…මම අර කිව්වේ අපේ කොලේජ් එකේ…අර පිස්සු පිහාට්ටා…අර කඩේ යනවා වගේ ස්කූල් එනවා කිව්වේ… ”
“අපොයි දෙවියනේ…! ඒ කොල්ලා එතකොට ඒ වසවර්තී මාරයගෙ පුතාද..? මේක නම් හරි යන්නේ නැහැ දුව…ඔයා තාත්තාට කියලා හෙටම ඔය කොලේජ් එකෙන් අයින් වෙන්න ඕන…”
නැන්දා හුනස්නෙන් නැඟිට කළඹලයෙන් කළ කෑගැසීම නිසා මමද තැති ගතිමි.
“අනේ!… ඇයි නැන්දේ මේ…නිකන් කළඹල වෙලා…? මෙහෙන් වාඩි වෙන්නකෝ….”
මම ඇගේ අතින් ඇද යළි හිඳවූයෙමි.
“නිකම් වෙන්නෙ කොහොමද..? අර කොල්ලාත් එන්නේ ඔයාලගේ කොලේජ් එකට නම්….ඔයා ඒකට යන්න ඕන නැහැ…”
“ඒ…ඇයි අනේ…?”
“ඒ මිනිස්සු එච්චර හොඳ අය නෙවේ…”
“දැන් එහෙනම් මං අහද්දී නැන්දමනේ කිව්වේ…ගෑණුන්ගේ ඕපදූප කතා…ඕවයින් අපිට වැඩක් නැහැ….අරක මේක කියලා…දැන් කියනවා ඒ මිනිස්සු හොඳ නැතිලු…දැන් මොකක්ද ඔය කතා වලින් ඇත්ත..?”
“අනේ මන්දා…මේවා ඔයාට කොහොම තේරුම් කරලා දෙන්නද කියලා…?”
“දෙන්න ඕන නැහැ…හැමදේම කොළේ වහන්නැතිව මට කිව්වා නම් හරි…තේරුම් බේරුම් කරගන්න බැරිතරමට මම පොඩි එකෙක් නෙවේනේ…අනික ඒ ළමයා මට වැරැද්දක් කරලා නැහැ…එයා එයාලගේ තාත්තා එක්කත් වැඩිය කතා කරන්නෙ නැහැලු…”
“ඒකත් හොයා ගත්තද?…තවත් ඕප දූපයක්…”
“ඔව් ඉතින්….මට ඇහුණා…”
“හරිම…නරක මිනිස්සු…”
“දැන් කාලේ කොහෙද නැන්දා හොඳ මිනිස්සු…දැන් මේ අපේ ගේ ඇතුළෙත් ඉන්න අය හොඳ අයද..?”
“ෂ්….! මොකක්ද ළමයෝ ඒ කතාව..?”
ඈ වටපිට බලමින් ඇසුවේ කිසිවෙකු අහළ පහළ සිටීදැයි බියෙන් මෙනි.
“පුංචි අම්මා තාත්තාගේ කරේ එල්ලුණා කියන්නේ..?
“කරේ එල්ලුණා..? ඒක අයියා කැමැත්තෙන් කරගත්ත දෙයක්නේ…එයා මගේ සහෝදරයා වුණත් අපිට ඕවා කතා කරන්න අයිතියක් නැහැ…”
“ඒ වුණාට මට අයිතියක් තියනවා… මගේ අම්මාට මොනවද වුණේ කියලා හොයා ගන්න…”
නැන්දා එයට විරුද්ධව නම් කිසිත් නොකීවාය.
“අයියට කියන්න…ඕන මීට පස්සෙ ඔය පාර්ටි වලට යනවා නම් තනියම යන්න කියලා…”
“අනේ,අනේ…මේ…එහෙම කියන්න එපා… ඒව හරි ජොලි…ඔතන්ට එන අය එන්නේ එන්ජෝයි කරන්න නෙවේ…ඔය වගේ අනුන්ගේ ඇද කුද හොයන්න….ඒ වුණාට එයාලා දන්නේ නැහැ එයාලාගෙත් ඇද කුද හොයන අය ඉන්නවා කියලා…ඒක හරි ජොලි නැද්ද…?”
“අනුන්ගේ කුණු ගොඩවල් අහන් ඉන්න එක ජොලි ද..?”
“කුණු කිව්වට ඒව කුණුමත් නෙවේ…අපි නොදන්න තොරතුරු…”
“ඔයා හොඳයි සී අයි ඩියට…”
“අනේ…කොච්චර දෙයක්ද…ඔයා ඒක මං ගැන කරපු වර්ණනාවක්ද?…තෑන්ක් යූ…”
“විකාර…දැන් ඔයා වටේම ඒවාට කන් දික් කරන් ඉද්දී නංගී මොනවද කළේ..?”
“මොනාවා කරන්නද?…නට නට හිටියේ ඔය…යාළුවෝ ටිකක් හොයන්…”
“එයා ඒ ටිකට යාළුවොත් හොයන්… මෙයා රොයිටර් වගේ නාකි ගෑනුන්ගේ විකාර අහන් ඉඳලා…නටන්නවත් ගියා නම් එකක්…”
“හරි යාළුවෝ…පව්…අනික මං අහන් හිටියේ විකාර දේවල් නෙවේ…අනාගතයට ප්‍රයෝජනවත් වෙන දේවල්…ඕවයේ ගෑවුණු ඇත්තකුත් නැති වෙන්න බැහැ….ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැහැලුනේ…”
“ගිනි තියන අය සෙට් එකක්ම ඉඳලා තියෙන්නේ…ඕවා කොහොම වුණත් කමක් නැහැ…මම නම් දැන් ඔයා ඔය කොලේජ් එකට යනවාට කැමතිම නැහැ…”
“අනේ නැන්දේ….ඔයා තේ කෝප්පෙ දිය සුළි හොයනවා…ඒ ළමයා මට කරදර කරන්න ආවේ නැහැ…එයා තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කෙනෙක්…අනික් අය රැග් කරන්න එද්දිත් එයා තමා මාව බේර ගත්තේ…”
බේර ගත්තා නොව ආරක්ෂාව පතා මම ඔහු වෙත දිව ගිය බවක් මම නොකීවෙමි.
“අනික ඉතින් තාත්තට ඕවා කියන්න ගියොත් එයා නිකරුණේ කළඹල වෙයි…”
“අයියා ඕවා දැන ගන්නේ නැති වෙයිද…?”
“පහු වෙලා දැන ගත්තාට කමක් නැහැ… දැන්ම ඕන නැහැ…”
“ඒ ළමයා එක්ක ප්‍රශ්න දාගන්නැතිව ඉන්නවා කියලා පොරොන්දු වෙනවද..?”
දැනටම ප්‍රශ්නයක් දාගෙන ඇති බව කීවා නම් නැන්දා තවත් කළඹල වනු ඇති බව සිතා මා මුවට සිනහාවක් නැඟිණ.
“ආහ්…! ඒ හිනාව නම් මට ඇල්ලුවේ නැහැ…දැනටම මොකක් හරි කරගෙනද?…එහෙ ඉස්කෝලේ චණ්ඩි පා(ර්)ට් දැම්මේ ආච්චි අම්මා ප්‍රින්සිපල් වෙලා හිටපු නිසානේ…මෙහෙත් පටන් ගත්තද..?”
“අනේ…මම කරපු දෙයක් නැහැ අනේ…මම මොකටද ප්‍රශ්න දාගන්නේ ඒ ළමයා එක්ක…? මම ඊයේ කතා කළා…”
“දැන් එහෙම කතාවක් මට කිව්වෙ නැහැනේ…”
“ඒක ඉතින් කියන්න තරම් දෙයක් නෙවේනේ…අනික ඉතින් නැන්දා ඔයා මිස්ටර් දැරණියගල ගැන මොකුත් නොදන්නවා කිව්වාට ඔයාත් හුඟාක් දේවල් දන්නවා…කමක් නැහැ…මං දැනට මොකුත් අහන්නේ නැහැ…හැබැයි මම මේ මොකුත් හොයා නොගෙන ඉන්නෙත් නැහැ…”
නැන්දා නිහඬ දෑසින් මා දෙස බලා සිටියා මිස කිසිත් කීවේ නැත. ශ්‍රීමා ගෙන් ඇමතුමක් ආ නිසා ඈ නැඟිට ගෙතුළට ගියේ මට කතා බහ කිරීමට ඉඩ හරිමිනි. කතා බහ අවසානයේ මම එහිම හිඳගෙන සිතමින් සිටියේ තාත්තාගේත් දැරණියගලගේත් අතර මිතුරු දමක් තිබුණා නම් එය බිඳී ගියේ කෙසේද කියාය. මම බංකුව මතින් නැඟිට පැමිණියේ ඊටත් සුළු මොහොතකට පමණ පසුවය. දොර අසළදී ඇසුණ පුංචි අම්මාගේ හඬින් මම එළෙසම නැවතී සවන් දුනිමි.
“ඔයා දැක්කද මාවන්…දැරණියගලගේ පුතාව…?”
“හ්ම්ම්…අර උස කොල්ලානේ..?”
තාත්තා නොසැළකිලිමත් ලෙස කීවේය.
“ඔව්…අර කොණ්ඩෙත් වවන් හිටියේ පිස්සෙක් වගේ…මිනිහාට ඕවා පේන්නේ නැද්ද දන්නැහැ…”
පුංචි අම්මාගේ හඬේ වූ පරිභවාත්මක බව වැටහී මා සිතේ උපන්නේ කෝපයකි. ඈ කවදත් අනුන්ට අපහාස කිරීමට දක්ෂය. ඈ ගමේ සිටියදී භාෂිත ඇතුළු මිතුරනටද කතා කළේ එවන් අපහාසාත්මක වදන් වලිනි.
“මේ මනෝරි…පුතාගේ කොණ්ඩේ ගැන මහා උන් බලාගනියි…අනුන්ගේ ළමයි හදන්න කළින් තමුන්ගේ දරුවා හදන් ඉන්නවා….දැන් මොකද කරන්නේ…පාඩම් කරනවද කාමරේට වෙලා..?”
තාත්තාගේ හඬ කෝපයෙන් පිරී තිබූ අතර මා සිතේ කුරිරු සතුටක් ඇති විය.
“ඔය ඉන්නේ…මං ආවේ ඔයාට කියන්න දැරණි…”
“මේ මනෝරි…මට ඔය දැරණියගල ගැන දැන ගන්න කිසිම වුවමනාවක් නැහැ… ඕප දූප අහන් ආවා නම්…පාඩුවේ කට පියන් ඉන්නවා…”
තාත්තා ඇයට බාධා කරමින් කෑ ගසන විටම මම නිවස තුළට පැමිණියෙමි. පුංච් අම්මා තිගැස්මෙන් මදෙස බලන විට මම එය නොදුටුවා සේ තරප්පු පෙළ නැඟ මගේ කාමරයට පැමිණියෙමි. තාත්තා දැරණියගල ගේ නම ඇසෙන විට පවා මෙතරම් කෝප වන්නේ මන්ද කියා මට නම් සිතා ගැනීමට පවා නොහැකිය.
******************************************************************
මා පාසලට එන විට තරමක් ප්‍රමාදව තිබිණ. ඊට හේතුව නම් නංගී අවදි වීමට පමා වීමය. නදීරා ද ඇගේ තාත්තා සමඟ පාසලට යන බව පැවසුවේ පෙරදිනයේය. පාසල ආරම්භ වීමට ඔන්න, මෙන්න කියා තිබියදී මම ගේට්ටුවෙන් ඇතුළට පැන ගැනීමට සමත් වූයෙමි. ළමුන් සියළු දෙනම වගේ පැමිණ සිටියද අවීශ් පෙනෙන්නට නොසිටි නිසා දෝ මා සිතට දැනුණේ දොම්නස් හැඟීමකි. නදීරා මා බලාපොරොත්තුවෙන් බලා සිටියාය.
“මොකෝ පරක්කු…?”
ඈ විමසන විට මම එයට හේතුව පැවසුවෙමි.
“මූණත් අප්සට් මූඩ් වගේ ඇයි මොකෝ වුණේ…?”
එසේ වන්නට ඇත්තේ අවීශ් නැති නිසා බව කීමට මා දිව නොනැමිණ. මම නිහඬව සිටියේ කිසිත් නැති බව හිසෙන් පවසමිනි.
“අවීශ් නැත්තේ මොකෝ…?”
සීනුව හැඬ වෙන විට මම රහසින් ඇසුවෙමි. නදීරා මවෙත හෙළූ බැල්ම නොදුටුවා සේ මම බිම බලා ගතිමි.
“ඒක තමා මේ…මූණ කජු ලෙල්ල වගේ කරන් හිටියේ…”
මා සිතට ලැජ්ජා මුසු හැඟීමක් ඇති විය.
පාසල ආරම්භ වීත් ඔහු නොපැමිණි අතර පළවෙනි කාල පරිච්ඡේදය ඇරඹුණ සීනුව නද වන විටම පන්තියට දිව ආ කිසිවෙකු නිසා එහි ඇති වූයේ කළඹලයකි.
“අම්මෝ!…මේ…අවීශයානේ යකෝ…උඹ අපිවත් හොල්මන් කළානේ…”
ටිරෝන් කෑ ගැසුවේය. සැබෑවට මටද ඔහු හඳුනා ගත නොහැකි විය. සැවොම ඔහු දෙස හැරී හැරී බලන්නට වන විට නදීරා මට වැළමිටෙන් ඇන්නාය. තේෂාන් මා දෙස හැරී බලා ඇසක් ඉඟි මරන විට මා සිතට දැනුණේ කියා ගත නොහැකි හැඟීමකි. අවීශ්…පෙනුමෙන් වෙනස්ම අයෙකු වී සිටියේය. කෙටිව කැපූ කොණ්ඩය පැත්තට පීරා කමිසයත් පිළිවෙළකට හැඳ සපත්තුද දමා සිටි ඔහු කෙරෙන් දිස් වූයේ මා ඔහුව පළමු දින දුටු අවීශ් ලෙස නොවේ. ඔහුගේ කඩවසම් මුහුණ ආලෝකයෙන් බැබළුණා යයි කියා මට සිතිණ. හැරී හැරී ඔහු දෙස බලන්නට නොහැකියාවෙන් මම සිටියේ බිමට නැඹුරු කොට ගත් හිසිනි.
“අවී…ශ්…ලුකින්….ගූ…ඩ්…”
රොසෙටා ඔහුට ඇසෙන්නට කියන විට මම ඈ දෙස බැලුවෙමි. තෙෂාරා මා දෙස බැලුවේ නොපහන් බැල්මකිනි. මා ඔහු ජය ගත්තා යන හැඟීමෙන් මිදෙන්නට නම් මට නොහැකිය. මසිත මහත් සතුටකින් ඉපිළිණ. තෙෂාරා ශලිනි හා යමක් මුමුණනු මම දුටිමි.
“අඩේ…මචං එළ…ඔහොම යමා…න්…” පිරිමි ළමුන් කෑ ගැසූහ.
“ඒ මාරයි අනේ…මට හිතා ගන්නත් බැහැ ඒ…අවීශ්මද කියලා…ඔයා තමා කනපිට පෙරළුවේ…”
නදීරා මට රහසින් කෙඳිරුවාය. ඔහු පෙරදින ගොස් කොණ්ඩය කපා ගන්නට ඇත. මා කියූ දේවල් ඔහුගේ සිතට දැනුණාද?.
“ඒයි…තේෂා…මට උඹේ පරණ නෝට්ස් ටික ඕන…”
මෙතෙක් කලක් තේෂාන් හා කතා බහ නොකර අමනාපව සිටි අවීශ් ඔහු වෙත හැරී පවසන විට තේෂාන් ගේ මුහුණේ වූයේ අදහා ගත නොහැකි මවිතයකි.
“ෂූ….ෂුව(ර්)…මචං….”
තේෂාන් මවෙත හැරී දෙවුර ගැස්සුවේ පුදුමය හඟවමිනි. මම ඔහුට මහපට ඇඟිල්ල උඩට ඔසවා ජය පැතීමි. අවීශ් මිරංග හා අසුන මාරු කරගෙන තේෂාන් අසළට පැමිණියේ තව දුරටත් ඔහු සමඟ අමනාප නැති බව මුවින් නොකියාය. නදීරා තව වරක් මට වැළමිටෙන් ඇන්නාය. එවර නම් මම ඇයට රැව්වෙමි.
“අඩෝ…අවීශයා…කැත වැඩ එපා බං… මාත් එනවා…”
පන්තියම සිනහා නංවමින් ටිරෝන්ද නීරෝධ් හා අසුන මාරු කරගත්තේ නීරෝධ් පෑ විරෝධය ද නොතකමිනි. මුල් කාල පරිච්ඡේදය අරඹන්නට ඉන්දු මිස් පැමිණි නිසා සැවොම නිහඬ වූහ.
“කෝ…අවී…ශ්…නැද්ද අද..?”
ඉන්දු මිස් ඇසුවේ මිරංග ඔහුගේ අසුනේ හිඳ සිටි නිසා වන්නට ඇත. අවීශ් අත ඔසවා සිටින විට ඈ ඔහු දෙස බැලුවේ පිටසක්වළ ජීවියෙකු දෙස බලන බැල්මකිනි. මමත් නදීරාත් සිනහව සඟවා ගෙන සිටියේ අපහාසුවෙනි. පන්තියට පැමිණි සෑම ගුරුවරයෙකුම
“අවීශ්…නැද්ද …?”
ඇසුවේ ඔහු හඳුනා ගන්නට නොහැකි නිසා වන්නට ඇත. විවේක කාලය එළඹෙන සීනුව නද වන විට ඔහු වෙනදා මෙන් සැමට පෙර දිව ගියේ නැත. තේෂාන් සමඟ ඔහු පන්තියෙන් පිටව ගියේ අනෙක් අය දිව ගිය පසුවය.
“මං නම් හිතුවේ නැහැ අවීශ් මෙහෙම වෙනස් වෙයි කියලා ආරණ්‍යා…”
අපි දෙදෙන පිටතට පැමිණි සැටියේ නදීරා කීවාය.
“එයාටත් හිතෙන්න ඇති ඉතින්…”
නොසැළකිලිමත් ලෙස මම කීවෙමි.
“ඔයාට තමා තෑන්ක්ස් කරන්න ඕන…ඔන්න…දැන් තේෂාන් එක්කත් යාළුයි වුණානේ…”
“මට මොකටද තෑන්ක්ස්…මම කරපු දෙයක් නෙවේනේ…”
“ඔයා එදා කියන්න ඕන ඒවා ටික ලස්සනට කිව්වානේ…කන් දෙකේ ඇඟිලි ගහගන්න…”
“කන් දෙකේ ඇඟිලි ගහන් හිටියා නම් එයා අදත් එන්නේ පරණ විදියටමයි…කොහොම වුණත් නදීරා…මට එයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා වෝර්නින් එක දීලා තියෙන්නේ…නැත්නම් වෙන කොලේජ් එකකට දානව කිව්වා…”
“මොනවා!…කවුද අනේ එහෙම කියන්නේ තාත්තද…අනික ඇයි නිකන් එහෙම කියන්නේ…?”
“තාත්තා නෙවේ…නැන්ද …”
“ඒ මොකෝ අනේ…?”
සෙනසුරාදා සාදයේදී මට අවීශ් හමු වූ සැටි මම ඇයට කීවෙමි. අපේ තාත්තාත් අවීශ්ගේ තාත්තාත් කලකට පෙර මිතුරන්ව සිට ඇති බව කීමට සූදානම් වන මොහොතේ තෙෂාරා ඇගේ සහචරයන් දෙදෙනාද සමඟ අප වෙත පැමිණියෙන් මම නිහඬ වීමි.
“හරි හිත ඇති දැන් නේද…මහ ලොකු දෙයක් කළා කියලා…?”
මම පුදුමයෙන් ඈ දෙස බලා සිටියෙමි.
“ඇයි ඒ පාර මොකද තෙෂාරා..?”
“ඒ පාර මොකද කියන්නේ…? තමුන් හිතන් ඉන්නේ තමුන් දින්නා කියලද…?”
“දිනන්න පරදින්න තාම තරඟේ පටන් ගත්තේ නැහැනේ…අනික මට කා එක්කවත් තරඟයක් නැහැ…”
“ආහ්!…දැන් එහෙනම් තමුන් මේ මායම් දාන්නේ අවීශ් අල්ල ගන්න නෙවේද…?!
“මට මායම් දාලා හරි තරඟ තියලා හරි එයාව දිනාගන්න ඕන නැහැ….දැන් ඔයාට තරඟයක් නැති කාලේ වුණත් තිබ්බානේ ඔයාගේ මායම් දාලා එයාව දිනා ගන්න…ඇයි නොකළේ…බැරි වුණානේ නේද…?”
උපහාසය මුසුව මම කීවෙමි.
“මේ…කට පරිස්සම් කරගන්නවා හරිද..?”
ඈ දබරැඟිල්ල ලෙලවමින් මවෙත කඩා පැන්නද මම නිසොල්මන්ව සිටියෙමි.
“මගේ කට විතරක් නෙවේ….හැමදේම හොඳට පරිස්සම් කරගෙන තමා ඉන්නේ…ඔයාට නම් එහෙම පරිස්සම් කරගන්න දෙයක් නැතුව ඇතිනේ…ඔය කටේ බොරු සද්දේ දාලා අනෙක් කෙල්ලො බය කළාට මාව බය කරන්න බැහැ…තේරුණාද..? ආයේ මට ඇඟිලි දිග් කරන් ආවොත් මම අතේ ඇඟිලි පහම කඩලා දානවා…”
මම ඇගේ ඇඟිල්ල අල්ලාගෙන අනික් පසට නවමින් කිවේ තෙෂාරා ඉදිරියට නැවී වේදනාවෙන් කෑ ගසන හඬ පවා නොතකමිනි.
“අනේ!…අතාරින්න අනේ!…ඇඟිල්ල කැඩෙයි…”
ශලිනි සහ රොසෙටා කෑ ගසන විට මම තෙෂාරාව බිම ඇද වැටෙන සේ තල්ලු කර දැමුවෙමි. කෝපයෙනුත් බියෙනුත් ලැජ්ජාවෙනුත් ඈ වට පිට බලන්නට වන වුවාය. අවීශ් ඇතුළු පන්තියේ පිරිමි ළමුන්ද අප දෙස බලා සිටිනු දුටුවද, මම ඒ පිළිබඳව තැකීමක් නොකොට නදීරා සමඟ පන්තියට පැමිණියේ උතුරා හැළෙන කෝපයෙනි.