More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 01

    Hima Mal Renu හිම මල් රේණු – 01

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    කුඹුක් ගස යට වූයේ මෘදු සිසිළසකි.ඒදණ්ඩ මත හිඳගෙන ගලා යන දොළ පාරට දෙපා ඔබාගෙන මා බලා සිටීයේ වෙල් යායේ තැනින් තැන ගොදුරු සොයන කොකුන් රෑන දෙසය. ලා නිල් වන් අහසේ සුදෝ සුදට පුළුන් කැටි මෙන් වළාකුළු පෙළ ගැසී සුළඟ සමඟ පාව යයි. ඉඳහිට කෑ ගසමින් ඉඟිල යන ගිරවුන් හෝ දෙමලිච්චන් නැඟූ හඬින් පරිසරයේ නිහඬ බව බිඳී ගියේය.

    ” ලොකූ….”

    නංගීගේ හඬින් තිගැස්සී ගිය මා සිතේ ඇති වූයේ කළබලයකි. නිවස දෙසින් දිව විත් ඈ කුඹුක් ගස බදාගෙන හතිළන්නට වන විට මම සිතේ ඇති වූ කළබලයෙන්ම ඈ දෙස බැලුවෙමි. ඒ මුවේ වූයේ ප්‍රීතිමත් බවක් මිස නොසන්සුන් කරවන යමක් නොවූ බව දැක මා සිත කෙමෙන් කෙමෙන් සන්සුන් වන්නට විය.

    “මොකද මේ ගම හෙල්ලෙන්න බෙරිහන් දෙන්නේ ? ”

    නොසතුටු මුහුණක් මවා ගත් මම ඇසුවේ පුංචි දෙයත් ලොකුවට අරගෙන බොළඳ ලෙස හැසිරීම ඇගේ සිරිත බව දැනය.

    “මං ගුඩ් නිව්ස් එකක් කියන්න ආවේ ලොකූ. ”

    ඈ කුඹුක් ගස අසළින් මෑත්ව මා අසළම හිඳ ගත්තේ දෙපා දියට ඔබාගෙන මා අනුගමනය කරමිනි.

    “ඔයාට ගුඩ් මට බෑඩ්ද දන්නැහැනේ . කියන්නකෝ බලන්න. ”

    මඳහසක් පාමින් මම කීවේ එතරම් තැකීමක් නොකරය. නංගීගේ මුවේ වූ සිනහව දකින විට නම් එය ඇයට සුබ දෙයක් බව මට වැටහී ගියේය.

    “ඔයාගේ රිසාල්ට්ස් ආව ගමන් අපි කොළඹ යනවාලු පදිංචියට.”

    එවන් දෙයක් ඇසීමට මා කිසි විටක බලාපොරොත්තුවෙන් නොසිටි නිසා මම අදහාගත නොහැකි යමක් සවන් වැකුණාක් මෙන් කම්පනයෙන් නංගී දෙස බැලුවෙමි. ඇගේ මුවේ වූයේ ජයග්‍රාහී බැල්මක් වූ අතර ඈ සතුටින් දෙපා දියේ ඔබා ගෙන දිය කළතන්නට වූවාය.

    “මොකක්ද , කවුද ඔයාට කිව්වේ ? ”

    වෙව්ළන හඬ පාලනය කර ගැනීමට උත්සාහ කරමින් මම ඇසීමි.

    “කවුරුත් මට කිව්වේ නැහැ.තාත්තා ආච්චි අම්මා එක්ක කියනවා මට ඇහුණා.නැන්දාත් හිටියා.”

    “අනුන්ගේ කතා වලට හොරෙන් කන් දෙන එක නම් මහා කැත පුරුද්දක්.”

    සිතේ ඇති වූ නොරුස්සම මම පිට කළේ අදාළ පුවත තාත්තාගෙන් නොව නංගීගෙන් අසන්නට ලැබීම පිළිබඳව උපන් නොසතුටෙනි .

    “අනුන්ගේ කතා නෙවේනේ. ගේ ඇතුළේ වෙච්ච කතාව මටත් ඇහුණා. ඒක ෂෝක් නේද ලොකූ.? මට නම් මෙහේ ඉඳලා එපා වෙලා ….”

    නංගීට එය සතුටට කාර්ණයක් වුවද මට නම් එය ශෝකය දනවන්නකි.ඈ පවසන්නේ සත්‍යයක් ද, තාත්තා මෙවන් තීරණයක් ගත්තේ මන්ද ?

    “ෂෝක්…අනේ අපි ඉක්මනින් මෙහෙන් යනවා නම් මං කැමතියි.”

    නංගී එසේ කියා නැඟිට පැමිණියා සේම සතුටින් දිව ගියේ මා දෙලොවක් අතර වල්මත් කර දමාය. මම එළෙසම හිඳගෙන කල්පනා කරන්නට වූයේ තාත්තා ගත් මෙම තීරණය පිළිබඳවය. අපි කොළඹින් තාත්තාගේ ගමට පැමිණියේ මවගේ මරණයෙන් පසුව ඔහුගේ ව්‍යාපාර සියල්ල කඩා වැටී බංකොලොත් භාවයකට පත්ව තිබූ අවදියකය. එවකට මා සත්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියෙමි. ඔහුගේ ව්‍යාපාර පිළිබඳව යම් දැනුමක් හෝ අවබෝධයක් මා තුළ නොවූවද ඒවා ලාභ ලැබූ ආයතන බව ආච්චි අම්මාත් නැන්දාත් කතා වනු මා සවන් වැකී තිබිණ.

    එවකට මා ඉගෙනුම ලබමින් සිටි පාසල හැර දමා මෙහි පැමිණියේ කැමැත්තකින් නොවේ. පාසලත් මිතුරු මිතුරියනුත් හැරදමා මෙහි පැමිණීමට සිදුවීම මා සිත වේදනාවට පත් කළ කාරණයක් විය. එය බොහෝ කලක් යන තුරු මා සිතේ රැඳී තිබූ මුත් දැන් මා කොළඹට වඩා මේ ගමට මේ පරිසරයට ආදරය කරමි. එය හැර දමා යාමට නම් මට සිත හදා ගනු නොහැකි වනු ඇත. මෙතෙක් වෙලා මා සිතේ වූ සැනසුම කිසිවෙකු මගෙන් සොරකම් කරගෙන ගියාක් මෙන් මට දැනිණ. මා හුන් තැනින් නැඟී සිටියේ මෙහි අග මුළ තාත්තා ගෙන්ම අසා දැන ගැනීමට සිතා වුවද එය සත්‍යයක්ම නම් මට එය දරා ගැනීමට තරමක් අපහසු වන දෙයක් වනු ඇතැයි සිතා සිත වෙනස් කරගෙන පළමුව ශ්‍රීමා ගේ නිවසට ගොස් ඇයත් සමඟ මේ ගැන කතා කළ යුතු යැයි සිතට උපන් හැඟීමට ඉඩ දෙමින් මම නියර මැදින් ඇගේ නිවස දෙසට පා තැබුවෙමි.

    මා එහි එන විට ශ්‍රීමා ඉස්තෝප්පුවේ බංකුව මත හිඳගෙන නැගණියට බත් කවමින් සිටිනු දුර තියා දුටිමි.

    “ආන්න අක්කේ, ආරණ්‍යාක්කා එනවා. ”

    පළමුව මා දුටු සිඟිති ප්‍රීතියෙන් කෑගසමින් දිව විත් මගේ දෑතේ එල්ලුණාය.

    “සිඟිති දැන්ද ඔය දවල්ට කන්නේ ?”

    ඇගේ අතින් අල්ලා ගත් මා ඉස්තෝප්පුවට ගොඩ වෙමින් සිඟිති ද සමඟ බංකුවේ හිඳ ගනිමින් ඇසුවෙමි.

    “අපි මේ කොටුවේ ඉඳලා දැනුයි ආරණ්‍යා ගෙට ආවේ.”

    ශ්‍රීමා අවසන් බත් කටත් අනා සිඟිතිට කවමින් කීවාය.

    “අනේ එහෙමද…වතුර දාන්න ගියාද ? ”

    මම අනුකම්පා මුසු හැඟීමෙන් අසන විට ශ්‍රීමා හිස සලා ගෙතුළට වැදුණේ දෑත් සෝදාගෙන එන්නම් යයි පවසමිනි.

    ” ඉතින් සිඟිති අද ඉස්කෝලේ ගියාද ?”

    මම අසන විට ඈ කළේ හිස සැළීමය.

    “ලබන අවුරුද්දේ ඔයාට ශිෂ්‍යත්වේ නේ? ”

    “ඔව්නේ…අදත් ඉස්කෝලේ පන්ති තිබ්බා.”

    ඈ හුරත්ල් හඬකින් කියන විට මම ඇගේ හිස අත ගෑවෙමි.

    ශ්‍රීමාගේ නිවස කටුමැටි වලින් සාදා බිමට ගොම මැටි ගෑ, කුඩා නමුත් ඉතා පිරිසිදු වටපිටාවක් සහිත සොඳුරු නිවසකි. ඔවුනට අයත් ඉඩමද නොයෙක් වර්ගයේ ගස් වැල් වලින් සෙවන වූ අතර ඇගේ මව්පියන් කළේ ගොවිතැනය. ඔවුනටම කියා කුඩා කුඹුරු යායකුත් කෙසෙල් වගාවකුත් විය. ඊට අමතරව නොයෙක් බෝගද වගා කොට තිබිණ. නිවස වට කොට ගත් උස්ව නැගුණ තුරු ලතා නිසාවෙන් ඇගේ නිවස තුළ වූයේ සිසිළසකි.

    ශ්‍රීමා යළි පැමිණියේ ගවුමට උඩින් හැඳ සිටි චීත්තයෙන් දෑත් පිස දමමිනි.

    “ඒ පැත්තේ එන්නත් බැරි වුණා ආරණ්‍යා.”

    සමාව යදින හඬකින් ඈ කීවේ මා පසෙක හිඳ ගනිමිනි.

    “ඔයාට තියෙන වැඩ කන්දරාව මම දන්නවනේ අනේ..කෝ අම්මලා.? ”

    “අම්මායි අප්පච්චියි ටවුමට ගියා. දැන් එයි…”

    ” හ්ම්ම්.”

    මම කෙටි සුසුමක් මුදා හළන විට ශ්‍රීමා මා දෙස වඩාත් වුවමනාවෙන් බලනු මම දිටිමි.

    “මොකෝ ආරණ්‍යා? ”

    ඈ ඇසුවේ පුදුමයෙන් මෙනි.

    “මම දෙයක් කියන්නත් එක්ක ආවේ ශ්‍රීමා.”

    ඈ එවිට බැලුවේ සිඟිති දෙසය.

    “සිඟිති වතුර බිව්වේ නැහැ නේද, ගිහින් බීලා එන්න..”

    ඈ එසේ කීවේ සිඟිති ඉදිරියේ එය කීමට මා මැළිවන බව සිතා මෙනි. නංගීගෙන් දැන ගත් පුවත මම ඈ සමඟ පැවසුවේ ශෝකී හැඟීමෙනි.

    ” අනේ ආරණ්‍යා , ඔය ඇත්තමද ? ”

    ඈ මගේ සුරත දැඩිව මිරිකා ගනිමින් ඇසුවේ ශෝකී රාවයකිනි.

    “ඔව්, නංගී ඉන්නේ පුදුම සතුටකින්…ඒ නිසා බොරුවක් වෙන්න බැහැ…”

    “ඉතින් අනේ, එයාලට යන්න කියලා ඔයා ආච්චි අම්මා එක්ක මෙහෙ ඉන්නකෝ..”

    එම සිතුවිල්ලම මා සිතේද පහළව තිබූ මුත් තාත්තා කුමක් පවසනු ඇතිදැයි නොදන්නා නිසා මේ මොහොතේ මම කිසිත් නොකීවෙමි.

    “මාත් ආස නැහැ ශ්‍රීමා කොළඹ යන්න…ඒත් ඉතින් තාත්තා මොනවා කියයිද මංදා…”

    ඈ එය වටහා ගත්තාක් මෙන් දිගු සුසුමක් හෙළුවාය. මේ අලුත් පුවත නිසා මා සිතේ ඇතිව තිබූ සිත් තැවුළ ඇයටද වැළඳුණාක් මෙනි.

    “ඒ ගැන හිතන්න එපා…අපි යමුද පාලම උඩට…යාළුවෝ ටික ඇති එතන…”

    පන්තියේ මිතුරන් බොහෝ විට සැන්දෑවට පාලම උඩට එකතු වීම සිරිතක්ව පැවතිණ. මම අසන විට ශ්‍රීමද එක් පයින්ම එයට එකඟ වූවාය. අපි සිඟිත්වත් කැඳවා ගෙන වෙල දිගේ විත් පාරට වැටුණෙමු.

    අපි සිතූ ලෙසම මිතුරන් සියලු දෙන එහි රොක් වී කෑ කෝ ගසමින් සිටිනු අපි දුර තියා දුටිමු.

    “අම්මට සිරි මෙන්න ඩබල…අපි මතක් කළා විතරයි.”

    මාධව දුර තියා අපව දැක කෑ ගැසුවේය.

    “සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. ”

    භාෂිත තාලයට ගැයුවේය.

    “ආන්න දැක්කද ප්‍රේමවන්තයා දීඝායූ පතනවා..”

    සුමින්ද භාෂිතට විහිළු කළේ මා ඈඳාගෙනය.

    “ඕවා ඉතින් හීන තමා, සඳළුතලෙන් බිමට බැහැලා ආව සිටු කුමාරියක් දුප්පත් ගොවියෙකුගේ පුතෙකුට ආදරේ කළා කියලා ඉතිහාසේ කොතනකවත් ලියවිලා නැහැ…”

    මාධව යළි කියන විට මගේ දෙකොපුල් රත්ව යනු මට දැනිණ.

    “ඉතිහාස පොතේ ලියවිලා නැති වුණාට ඒ වගේ දේවල් අනන්තවත් වෙලා ඇති…නැද්ද ආරණ්‍යා ? ”

    ශ්‍රීමා කීවේ මාධව කී දේට විරුද්ධවය.

    “මෙයාලට විකාර…පිස්සු කියෝනවා…”

    නොමනාපය මුසුව මම කියන විට සෙස්සෝ උස් හඬින් සිනහාසුණෝය.

    “මූ නිකන් අනංගයා වෙන්න යනවා…මල්සරා වෙන කාටදෝ ව්දපු එකක් මුගේ වළිඟ කොනක වැදිලා ගිහින්ද කොහෙද.? ”

    මාධව කීවේ යළිත් අපව සිනහා නංවමිනි.

    “උඹලා එක්ක බැහැනේ…ටිකක් රොමෑන්ටික් වෙන්න හැදුවාම ඒකටත් උදැල්ල දානවා..”

    මවාගත් නොමනාපයක් පළකළ භාෂිත කීවේය.

    “දවල් හීන දකින්න එපා බොල…ආරණ්‍යා උඹට කැමති නැහැ… ”

    සුමින්ද භාෂිතගේ පිටට එල්ල කළේ දැඩි පහරකි.

    “අම්මෝ යකෝ… රිදුණා..”

    එවන්ම ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ භාෂිත කෑ ගැසුවේය.

    “රිදුණා නම් අත ගා ගනින් කියලා…ඔය ඉන්නේ ළඟම…”

    මා පෙන්වමින් අමිල පවසන විට මම ඔහුට රැව්වෙමි.

    “පිස්සු නැතිව ඉන්න..දැන් ඇති ඔය විකාර.”

    මවාගත් නොමනාපයකින් මම කීවෙමි.

    “හරි,හරි ඔන්න නැවැත්තුව…ඩබල මොකද මේ පැත්තේ ආවේ.? ”

    මාධව හරි බරි ගැහී පාලම උඩ හිඳගනිමින් කීවේ භාෂිතගේ කරවටා අත යවමිනි.

    “අපිට තහනම්ද ,නේද ආරණ්‍යා ? ”

    “අම්මෝ ,අම්මෝ අපිට තහංචි දැම්මත් ඔයාලට තහංචි දාන්නේ කවුද මේ ගමේ?”

    “හාකෝ ගෙදර ගිහින් කොල(ර් ) එක උස්සගන්නම් භාෂිත…”

    ” ඔව් මං කිව්වා කියලා හිතා ගනින්කෝ.නංගී නැත්නම් මං කියනවා..”

    භාෂිත කීවේ මගේ ඇඟේ දැවරෙමින් සිටි සිඟිති දෙසත් බලා ගෙනය.

    කතා බහ වෙනතකට යොමු කළේ මාධවය.ඒ සා/ පෙ ප්‍රතිඵල ලබන සතියේ එන බවක් පවසමිනි.

    “බයත් හිතෙනවා හැබැයි.” සුමින්ද කීවේය.

    “මොකටද බය වෙන්නේ අපි හොඳට මහන්සි වෙලා පාඩම් කළා නේ.සේරම පාස් වෙයි… ”

    මම කීවේ කිසිවෙකුගේ සිත සැනසීමට නොව සැබෑවටම එවන් විශ්වාසයක් මා තුළ වූ නිසාය.

    “ඔව් ,ඔව් ඒක ඇත්ත.”

    භාෂිතද එකඟ වෙමින් කීවේය.

    “ඒක නෙවේ අපිට දුක හිතෙන ආරංචියක් තියනවා…”

    ශ්‍රීමා කල් යල් බලා පවසන විට සියල්ලෝ අප දෙස මාරුවෙන් මාරුවට බැලූවෝය.

    “ඒ මොකක්ද ආරණ්‍යා ?”

    භාෂිත අසන විට මම දෙවන වරත් නංගීගෙන් දැන ගත් පුවත ඔවුන් සමඟ පැවසුවෙමි. සියල්ලන්ගේ මුහුණු අඳුරුව ගියේ බලා සිටියදීමය.

    “අයියෝ ඒ කියන්නේ ඔයා ඒලෙවල් වලට මෙහෙ නැහැ කියලාද ? ”

    මාධවගේ හඬේ වූයේ ශෝකයකි.

    “අනේ මංදා මම දන්නේ නැහැ. මටත් ඕන මෙහෙ ඉන්න ඒත් තාත්තා මොනවා කියයිද මං දන්නේ නැහැ.”

    “අනේ ආරණ්‍යා ඔයා කියලා බලන්නකෝ…ඔයාට නැන්දා එක්ක මෙහේ හිටියෑකිනේ.. ”

    ශ්‍රීමා ඇවිටිල්ලක ස්වරයෙන් පැවසුවාය.මම කළේ සුසුමක් වා තලයට මුදා හැරීමය. තාත්තා කියන දෙයකට එකඟ වනවා හැරුණු කොට මට තනි තීරණයක් ගැනීමට නොහැකි බව මම හොඳාකාරවම දැන සිටියෙමි.

    – හෙටත් හවස 5 ට මුණ ගැහෙමු-

    1 COMMENT

    Comments are closed.

    Latest news

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...

    Dense fog in නුවරඑළියේ ඝණ මීදුම් තත්ත්වයක්

    Dense fog in  - නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල...

    Taken to court කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට

    Taken to court - අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගෙන...
    - Advertisement -spot_img

    Jose Alberto Mujica Cordano කයිවාරු පසෙකලා රටට වැඩකළ නායකයා

    Jose Alberto Mujica Cordano නොහොත් "Pepe" යන ආදරණීය නාමයෙන් ජනතාව හැඳින්වූ පසුගිය දා මියගිය උරුගුවේ හිටපු ජනාධිපතිවරයා උරුගුවේ දේශපාලනය...

    Taken to court කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට

    Taken to court - අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගෙන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page