Mandaramen Eha – මහ කමත වෙල් යායේ කොහොඹ ගස පාමුල ඇන තබාගෙන සිය වගා ළිඳ දෙස බලා සිටින්නේ කාලිංගය. මවගේ හත් දවසේ දානය දී දින තුනකටත් වඩා ගෙවී ගොස් ඇතත්, වගා ළිඳේ කටයුතු යළි ආරම්භ කිරීමට තරම් උද්යෝගයක් තවමත් ඔහුගේ සිතට පැමිණියේ නැත. විටෙක දරාගත නොහැකි පාළුවක්, තනිකමක්, හිස්කමක් විත් ඔහුගේ හිත වසා ගනී. තවත් විටෙක මුස්පේන්තු ගතියක්, ඕලෑරීකමක්, කුසීත බවක් ඔහුගේ ශරීරය පුරා දිව යන්නා සේ ඔහුට දැනේ. මේ සියල්ල අම්මාගේ මරණයත් සමඟ ඇති වු දේ බව ඔහු දනී. තමා අවට ලෝකය සහ එහි ප්‍රානීන් සමඟ ගැටුණේ,උරණ වූයේ තමාගේ බලාපොරොත්තු උදෙසාම නොවන වග ඔහුට හැඟෙමින් තිබුණේය. සිය මවගේ මරණයත් සමඟ තමා වෙලාගත් මේ නම නොදන්නා ආගන්තුක හැඟීම් සමුදාය ලිහා ගළපාගන්නට ඔහු මනසින් ද්වන්ධ සටනක යෙදී සිටියේය.
“කාලිංගයියේ..”
ඒ හඬ සරලාගේ බව හඳුනාගන්නට කාලිංගට හැරී බලන්නට වුවමනා වූයේ නැත. එබැවින් ඔහු දිගටම වගා ළිඳ දෙසම බලාගෙන සිටියේය. සරලා ඔහුට පසෙකින් සමාන්තරව වාඩිවී, හිස ඇලකොට කාලිංගගේ මුහුණ දෙස බැලුවාය.
“දැන් මදෑ ඉතිං ඔය..වැටිච්චි,වැටිච්ව් තැන ඉඳගෙන කල්පනා කරා…”
“වැටිච්චි,වැටිච්චි තැන දපලා කල්පනා කරපු දේකුත් නෑ කියලා මතක් වුණාම තමා බං ඇවිලෙන්නේ..”
සරලාගේ මුවට සිනහවක් නැඟ අවාය. කාලිංග එය දුටුවේය.
“මොකෝ උඔගෙ සිරික්කිය..”
“මෙච්චර කාලෙකට ඔයා වැදගත් කතාවක් කීවමද කොහෙද අනේ….”
“ආහ්.. ඇත්තද..ඔය පාරෙ,තොටේ හම්බවෙලා උකුළු, මුකුළු දාන උන් කියන්නෙම වැදගත් කතා වෙන්ඩැති ඒනං..”
සරලා කාලිංග දෙස බැලූයේ ආදරයෙනි. මේ ඔහු සැනසිය,අස්වැසිය යුතුම මොහොත බව ඈ දන්නීය. ඔහු ඊට අපූරූ ආරම්භයක් දුන් වග වහා හැඳින ගන්නට තරම් ඈ සූක්ෂම වූවාය.
“මං හිතුවෙ ඔයා පතෝල වගේ කියලා.. බලං යද්දි එහෙමමත් නෑ නේහ්..”
“මොකක්…”
“නෑ මං කීවේ ඉතිං පතෝල ගුණත් නෑ අගුණත් නෑ…ඒත් ඉතිං කන එක නවත්තන්නෙත් නෑනේ…”
“උඔ දැන් මාව කාලා බැලුවද ගුණද,අගුණද කියලා..”
සරලා නිකටට දබරැඟිල්ලෙන් තට්ටු කරමින් කාලිංගගේ මුහුණ දෙස බලා උන්නාය.
“මොකෑ බොල..”
“නෑ මං මේ බැලුවෙ පොඩ්ඩක් කාලා බලනවද කියලා…”
“තොට නුහුගුණේද බොල..”
“කවුද නුහුගුණේ කීවේ මේ ළිඳ කපන බාස් මාමද..”
“මේකිගෙ අප්පට…” කාලිංග හුන් තැනින් නැඟී සිටියේය. සරලා කමත මැදට දිවගොස් සිටගත්තාය.
“නුහුගුණේ තියෙන්නෙ ඔහේට…අම්මපා මං දවසක බඳිනවා හිසකුඩිච්චියක්..”
“හිසකුඩිච්චිය බැඳගං තොගෙ…”
කාලිංග කුණුහරුප වැලක් කියමින් සරලාට බනිමින් ඇය ඉදිරියට ආවේය. ඒ සමානවම සරලා පිටුපසට ගියාය.
“ඊයා…තකතීරූ, මෝඩ මස්සිනා…ඕවා තමා දන්නෙ ඉතිං ඔයා….”
“තොගෙ නැටිල්ල එන්ඩ,එන්ඩම වැඩී හරිද සරලෝ…”
“ඉතිං අඩුකරලා ගන්නෙකනෙ ඇත්තෙ..ඒකවත් බැරි මස්සිනාකම් මොකටද…”
කාලිංග බොරුවට බිම අත,පත ගෑවේ, දමා ගසන්නට යමක් සොයන්නට මෙනි. සරලා කමතෙන් එළියට දිව ගියාය.
“ඔහොම හිටපං ගෙදරට ගිහිං ඇරලන්නං…” කාලිංග කෑගසා කීවේ සරලාටය.
“එපෝඕඕ…පුළුවන් දවසක ගෙදරට ඇවිත් එක්කං යන්ඩෝඕඕ….”
“පිස්සු හටන…”
තමාටම මුමුණා ගනිමින්, කාලිංග නියර දිගේ උඩ පනිමින් තමාගෙන් ඈතට ඇදෙන සරලා දෙස සිනහමුසුව බලා සිටියේය.
පොහොය දිනයක් වූ බැවින් සුදු මහත්තයා සිය නිවසෙහි රැඳී සිටියේය. ඔහු සැටියෙහි වාඩිවී අතීතාවර්ජනයකට සැරසුණේය. ඔහුගේ මතකය ඇදී ගියේ පෙරදා ලොකුබණ්ඩාර මැණිකේගේ ආදාහන කටයුතු සිදුවූ රාත්‍රිය වෙතටය.
සුදු මහත්තයා සිටියේ තාරුකාගේ නිවසෙහි තහඩු අට්ටාලය යට පුටුවක වාඩිගෙනය. මොහොතකට පෙර ශාරික පැමිණ ඔහුට කතාකොට ගිය මුත්, සුදු මහත්තයාට එම නිවසින් පිටව ඒමට සිතුණේ නැත. කිහිපවාරයක් ඔබ,මොබ සක්මන් කරමින් ඔහු හැසිරුණේ කිසිවෙකු බලාපොරොත්තුවෙන් මෙනි. සමන්තී තහඩු අට්ටාලය හරහා ගමන් කරනු ඔහු දුටුවේ මේ මොහොතේය. ඔහු වහාම අසළ පුටුවක වාඩි වූයේය. සිය දෑස් සමන්තී වෙතින් ඉවතට නොගෙනම ඔහු ඈ හා එහා, මෙහා ගමන් කළේය.
“පෙනේද නළව,නළවා යන හැටි…අම්මගෙ මරණෙ ගැන වගේ වගක් නෑ මේ සක්කර වට්ටමට….”
සුදු මහත්තයා හඬ ආ දෙසට අවධානය යොමු කළේය. ඒ ගැමි ගැහැණුන් දෙදෙනෙකි. ඔවුන් කතා කරන්නේ සමන්තී ගැන බව හැඳිනගත් සුදු මහත්තයා, ඔවුන්ට නොදැනෙන්නට ගොස් ඔවුන් අසළ පුටුවක වාඩි වූයේය.
“බලන්ඩෙපායැ කැරකොප්පුවට යනකොට මේකීගෙ කොල්ල නටපු ජවුසම..බයිස්කෝප් පරාදයි…” එක් ගැමි ගැහැණියක සෙමෙන් අනෙක් ගැහැණියට කීවාය.
“මට හිතෙන්නෙම ඔය සමන්තියගෙ කොල්ලා වසන්තයගෙ නෙවේ…අර නිතර දෙවේලේ ගෙට රිංගන ගල්ගමුවෙ ආමිකාරයගෙ.. නැත්තං ඌව දැක්ක ගමං කොල්ලා අප්පච්චියේ කියාගෙන ඌ ගාවට දුවාවියැ….”
අනෙක් ගැහැණිය කීයේ රහසින් මෙන් කොඳුරමිනි. සුදු මහත්තයා ඔවුන්ට වඩාත් සමීප වෙනත් පුටුවකට සෙමෙන් මාරු වූයේය.
“දැන් ඔය ලොකු බංඩාරිගෙ කොල්ලයි,තාරුකයි වැඩකරන්නෙත් ඒ ආමිකාරයගෙ තාත්තගෙ කඩේකලුනෙ..සමන්තියා ඌව ගොනාට අන්ඳගෙන ගානට වැඩ ගන්න හැඩයි…”
එම ගැහැණිය මහ හඬින් සිනහවූයේ තමා සිටින්නේ මල ගෙදරක බව අමතක වීමෙනි.
දොරක් ඇරෙන හඬ ඇසී සුදු මහත්තයා කල්පනා ලොවින් මිඳුණේය. හාන්සි වී සිටි සැටියෙන් හිස ඔසවා බැලූ ඔහු දුටුවේ සිය පියා වූ සිරිවර්ධන මුදළාලී තමා පසුකර යන ආකාරයය.
“පප්පේ…” ඔහු සිය පියා ඇමතුයේ කුහුලෙනි. එම හඬට සිරිවර්ධන මුදළාලි හැරී සුදු මහත්තයා දෙස බැලුයේය.
“ආආහ්…මං හිතුවා සුදු පුතා මෙලහකටත් ගල්නෑවෙ කඩේය කියලා…මං මේ ගල්ගමුවට ගිහිං පොඩි පුතා බලලා අහක්කෙලා එහෙමම සුදු පුතාගෙ අහ යන්ටය කියලා ගියේ..”
සිරිවර්ධන මුදළාලී කීයේ සිය අත් ඔරලෝසුව දෙස වරින්,වර බලමිනි. සුදු මහත්තයා සිය පියා අසළට පැමිණියේ හඬන්නට ආසන්න කිරි දරුවෙකු මෙන් අසරණවය.
“පප්පේ…අද පෝය..” සුදු මහත්තයාගේ හඬ ආයේ උගුරෙනි.
“කිව්වත් වාගේ ඇත්ත නේන්නං සුදු පුතේ…ඒක නිච්චියක්ම නැතුව ගියානේ මට…”
සිරිවර්ධන මුදළාලී කීයේ සමාව අයදින බැල්මකින් සුදු මහත්තයා දෙස බලමිනි. සුදු මහත්තයා පැමිණ සිය පියාගේ දෙවොරින් අල්වා ගත්තේ ශෝකය පිරීගිය මුහුණෙනි.
“පප්පා ගිහිං තව පොඩ්ඩක් නිදාගන්ඩකෝ…අපි හවසට පොඩ්ඩක් ඇවිදින්න යං…”
“හරි..හරි සුදු පුතේ..පොඩි පුතත් ආවම යං…මං හිතන්නෙ අක්කත් කැමති වෙයි…අක්ක අකමැතිනම් ඉතිං ඒ ගමන යන්න වෙන්නෑනේ…අක්කා කීවොත් කීවා….අක්කා කීවොත් කීවා…”
අවසන් වචන කිහිපය පුනරුච්චාරණය කරමින්, සිරිවර්ධන මුදළාලි ආපසු සිය කාමරයට වැදුණේය. මොහොතක් එදෙස බලා සිටි සුදු මහත්තයා,
“මැක්කම්මා……”
කියා වේගයෙන් කෑ ගැසුවේය. මොහොතකින් වයෝවෘද්ධ කාන්තාවක් පැමිණ සුදු මහත්තයා අසළ සිටගත්තාය.
“පොඩ්ඩක් පප්පට ඇහැගහගෙන ඉන්න කියලා තියෙනවා නේද මැක්කම්මේ…කොහෙද හිටියේ..”
“මුදළාලී එක්ක ලේසී නෑ සුදු මහත්තයා….කබඩ් එකේ රෙදි ඔක්කොම බිමට ඇදලා දාලා.. කිලිටියි කිය,කියා හෝදන්න කීවා…මං මේ ඒවා හෝද,හෝදා හිටියේ..”
සුදු මහත්තයා හිස දෑතින් බදාගනිමින්, සැටියට පහත් වූයේය.
තාරුකා උන්නේ ගිරාතලාන වැව් බැම්ම කෙළවර පිහිටි තිඹිරි ගසෙහි වැවට පාත්වූ අත්ත මත හිඳගෙන,කකුල් නිදහසේ වැවට එල්ලාගෙනය. ශාරික සෙමෙන් තිඹිරි අත්ත දිගේ තාරුකා සමීපයටම පැමිණියද, තාරුකා සිටියේ ඔහු ආ වගක් දැනෙන තරමේ සුළුපටු කල්පනාවක නොවේ.
“තාරූ…” ශාරිකගේ අත තාරුකාගේ උරහිසෙහි වදිද්දී, ඈ වේගයෙන් ගැස්සී ගියාය.
“ඇයි…මේ…” ශාරික ඇසූයේ විමතියෙනි.
“වෙච්චි දේවල් හිතට බර වැඩී මගෙ අයියේ..දරාගන්නම බෑ.. තිස්සෙම ඉන්නෙ ගැස්සි,ගැස්සී..” ශාරික සෙමෙන් තාරුකා අසළ වාඩිවූයේය.
“හිතන්නෙපා තාරූ…අල්ලං ඉමු…හැමෝටම දරාගන්න අමාරු කාල එනවා…”
“ඒ අමාරු කාලේ අනිත් අයට වඩා ටිකක් වැඩියෙන් අපිට දීලා වගේ නේද මගෙ අයියේ…”
තාරුකාගේ ඒ වචන කිහිපය බොහෝ බරට විත් ශාරිකගේ පපුවට ඇණුනේය. කොහේ හෝ සිට අහම්බෙන් පැමිණි,ඔහුත් නොදන්නා බලවේගයකින් මෙන්, ශාරික වහා තාරුකාව ඇද ඔහුගේ උරහිසෙහි ඔබා ගත්තේය.
“ඒ වැඩි ටික මට දෙන්න අපි බෙදාගමු..”
තාරුකාගේ උරහිස් ගැස්සි,ගැස්සී ඉස්සෙනු ශාරිකගේ උරහිසට දැණුනේය. ඔහු ඇගේ හිස පිරිමදිමින්ම සිටියේ ඒ ගැස්ම පාලනය කිරීම සඳහාය. තිඹිරි ගසට මඳක් එහායින් මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිටියේ කාලිංගය. ඔහු බැම්මෙන් ගලක් ගෙන තාරුකා සහ ශාරික හිඳගෙන හුන් තිඹිරි අත්ත අසළ වතුරට වීසී කළේය.
“කාලිංගයියා…”
ශාරික වහා හිඳ සිටි තිඹිරි අත්තෙන් නැඟී සිටියේය. කාලිංග තිඹිරි අත්ත සහ වෑකන්ද සම්බන්ධ වන තැන සිටගෙන සිටියේය.
“අනේ අයියේ…ශාරිකයියා…”
තිඹිරි අත්ත දිගේ වෑකන්දට දිව ආ තාරුකා, කාලිංගට යමක් කියන්නට උත්සාහ කළාය. එහෙත් අතින් සන් කොට කාලිංග ඇයව නතර කළේය.
“මං කියන දේ අහලා උඔ පොඩ්ඩක් ගෙවල් දිහාට පලයංකෝ මගෙ නංගී…මස්සිනාටයි,මටයි තියනවා බොහොම වැදගත් කතාවක්..”
සිය සොහොයුරාගේ හඬ බොහෝ සෙයින් නිවී ඇති වග තාරුකා හැඳින්නාය. ඇය සෙමෙන් ශාරික සහ කාලිංග අතහැර බැම්මේ පහළ බෑවුම වෙතට ගමන් කළාය. ඇය වෑකන්දෙන් බහින්නට පෙර වරක් ඔවුන් දෙදෙනා දෙස හැරී බැලුවාය. ඒ මොහොතේ ශාරික සහ කාලිංග සිටියේ එකිනෙකාට මුහුණලා සිටගෙන ඔවුනොවුන් දෙස බලාගෙනය.