NovelsMandaramen EhaMandaramen Eha - 36 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 36 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – කැලේගම වලව් මිදුලෙහි ශාරිකගේ තැපැල් නයින්ටි වර්ගයේ යතුරුපැදිය නවතා තිබේ. වැව දෙස සිට කකුල අද්ද,අද්දා පැමිණි රිදී නැන්දා එය දුටු සැනෙන් මොහොතක් නතරවී විපරම් කෙරුවාය. ගෙතුළට සවන් යොමු කරමින් වලව්වේ මුළුතැන්ගෙය දෙසින් ඇති කොරිඩෝවට ඇතුළු වූවාය. ඉස්කෝලෙ මැණිකේ ගෙයි සිට කොරිඩෝවට ඇතුළු වූයේත් ඒ මොහොතේමය.

“ආහ්..මේ ඉන්නෙ..මං රිදී නැන්දව තමා හොය,හොය හිටියෙ..”

ඉස්කෝලෙ මැණිකේ, රිදී නැන්දා අසළටම පැමිණියාය. අනතුරුව සෙමෙන් ඇයට කතා කළාය.

“ආන්න..රිදී නැන්දට වලව්වෙ හාමුදුරුවන්ට කේළමක් කියන්ඩ පොටක් පෑදිලා…බංඩාර නිළමෙගෙ පවුලම මෙහේ…”

රිදී නැන්දාගේ මුහුණ නොසතුටෙන් මැළවෙනු නිරීක්ෂණය කරමින් ඉස්කෝලෙ මැණිකේ මුවඟට සිනහවක් නඟා ගත්තාය. රිදී නැන්දා සිය කකුල අද්දමින් මුළුතැන්ගෙය දෙසට යන්නට සැරසුණේය.

“මේ ගොල්ලො ගියාම තරහ නිවෙන්ඩත් එක්ක කේළමක් කියාගන්ඩ සොහොන පැත්තෙ යන්ඩ බැරියැ රිදී නැන්දෙ..එතකං අපිට කෝපි ඩිංගිත්තක් වක්කරන්ඩෝ….”

මුළුතැන්ගෙය දෙසට යමින් සිටි රිදී නැන්දාට මඳක් හඬ නඟා එසේ කී ඉස්කෝලෙ මැණිකේ සුපුරුදු ලෙස ඉදිරියට අඩි කීපයක් ගොස්, ඒ දුරම නැවත ආපසු විත්, කකුල් බිම පිස දමා ඇවිදගෙන ගොස් සාලයට ඇතුළු වූවාය. ශාරික සහ හීන්බණ්ඩාර මැණිකේ සාලයේ අසුන් ගෙන හුන් අතර, සරලා සිය කාමරයේ උළුවස්සට හේත්තු වී මව සහ සොහොයුරා දෙස බලා සිටියාය.

“අනේ කෙල්ලේ කුස්සිය පැත්තෙ ගෙහුං අර රිදී නැන්දට කියලා කෝපි ඩිංගක් වක්කරං එන්ඩකෝ….”

ඉස්කෝලෙ මැණිකේ කීයේ, සරලාටය. ඒ තමා මෙතනින් ඉවත්ව යා යුතු බවට නොකියා කියූ ආකාරය බව වටහාගත් සරලා එසේ කියූ සැනින් මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය.

“කාලිංග..ලක්මාල්..කවුද මේ දෙන්නා…”

සරලා පිටව යනතෙක් මොහොතක් බලාසිටි ඉස්කෝලෙ මැණිකේ සෘජුවම එසේ ඇසුවාය. හීන්බණ්ඩාර මැණිකේ ශාරිකගේ මුහුණ බැලුයේ උත්තරයක් සොයාගන්නට මෙනි.

“ඒ පුතා දන්න අයද…”

එවර ඉස්කෝලෙ මැණිකේගේ ප්‍රශ්නය එල්ල වූයේ ශාරික වෙතටය.

“ඔව් ඉස්කෝලෙ නැන්දේ…කාලිංග කියන්නෙ අපේ අම්මගෙ අයියගෙ පුතා….”

“එතකොට අනිත් ඉලංදාරියා…”

“මං දන්න විදිහට සමන්ති අක්කගෙ මහත්තයගෙ යාළුවෙක්..සමන්ති අක්කා කාලිංග අයියගෙ ලොකු නංගී..” ශාරික පැහැදිලි කළේය.

“ඒ දෙන්නට සරලත් එක්ක තියන සම්බන්ධකම මොකක්ද..”

හීන්බණ්ඩාර මැණිකේ තිගැස්සෙණු ඉස්කෝලෙ මැණිකේ දුටුවාය. ඒ නිසාවෙන්ම, උත්තරය හීන්බණ්ඩාර මැණිකේගෙන්ම ගත යුතුය යන අපේක්ෂාවෙන් ඉස්කෝලෙ මැණිකේගේ දෑස් රැඳී තිබුණේ හීන්බණ්ඩාර මැණිකේ වෙතය.

“අපේ මේ ලොකූගෙයි, ඔය කාලිංග පුතාගෙ බාල නංගිගෙයි අතරෙනම් සම්බන්ධයක් තියේ බොහොම කාලෙක ඉඳලා…ඇවැස්ස නෑයො වෙච්චි එකේ මට විරුද්ධ වෙන්ඩ තරමේ කාරණා තිබ්බෙ නෑ ඉතිං..ඒත් කාලිංග පුතයි, ඔය කියන ළමයයි, අපේ චූටියි අතරෙ මොන වගේ සම්බන්ධකමක් තියේද කියලනම් මට තේරුමක් නෑ ඉස්කෝලෙ අක්කේ…”

“ඔය තේරුමක් නැති සම්බන්ධකම් නිසා තමා අද මේ වලව්ව මෙහෙම තියෙන්නේ..අතීතය ආයෙ,ආයෙ සිද්ධ වෙද්දි මගේ ඇඟ ගැහෙනවා….”

ඉස්කෝලෙ මැණිකෙගේ මුහුණ රෞද්‍ර පෙනුමක් ගෙන තිබුණාය. ශාරික හෝ හීන්බණ්ඩාර මැණිකේ එකඳු වචනයක් හෝ කීමට මැළි වූයේ එහෙයිනි. හීන්බණ්ඩාර මැණිකේගේ දෑස්වලට ලාවට කඳුළු පුරා එමින් තිබිණි.

“මං මේ කියන දේ හොඳට…”

ඉස්කෝලෙ මැණිකේ කතාව අතරමඟ නැවැත්වූයේ, සරලා සහ රිදී නැන්දා සාලයට ඇතුල් වූ හෙයිනි. සරලා සිය මවට,ඉස්කෝලෙ මැණිකේට සහ සොහොයුරාට පිළිවෙලින් කෝපී බන්දේසිය පිළිගන්වන අතර, රිදී නැන්දා සාලයේ පිවිසුමට මඳක් එහායින් එදෙස බලා උන්නාය.

“රිදී නැන්දා ගිහිං වැඩක් බලාගන්ඩ..”

ඉස්කෝලෙ මැණිකේගේ හඬ තරමක් වේගවත්ව ඇසිණි.

“එහෙමයි අපෙ මැණිකේ…”

රිදී නැන්දා සැනෙන් එතැනින් ඉවත්ව ගියාය. සරලාද බන්දේසිය රැගෙන එතැනින් පිටව යෑමට සැරසුණාය.

“ඔය ළමයත් ඕක පැත්තකින් තියලා මෙතනින් වාඩිවුණානම් හොඳා…”

ඉස්කෝලෙ නැන්දාගේ හඬට සරලාට ඉබේම අසල පුටුවක ඉන්ඳවුණාය.

“ඕගොල්ලන්ගෙ අප්පච්චි ඒ කියන්නෙ මගේ මල්ලී…”

ඉස්කෝලෙ මැණිකේ කීයේ ශාරිකට සහ සරලාට වෙන,වෙනම අත දිගු කොටය.

“ඕගොල්ලන්ගෙ අම්මව කරකාරෙට ගත්තෙ අපේ පවුලෙ ඔක්කොම එක පෙළට විරුද්ධ වෙද්දි..මං දන්නවා මේ කිසි දෙයක් අම්ම ඕගොල්ලන්ට කියලා නෑ….”

ඉස්කෝලෙ මැණිකේ ඒ වචන ස්වල්පය කීයේ හීන්බණ්ඩාර මැණිකේ දෙස බලාගෙනය.

“ඒත් දැන් ඔය දෙන්නම ඉන්නේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්ඩෝන වයසෙ…ඒ නිසා අම්ම හංඟපු කිසි දෙයක් තව දුරටත් ඔයාලට රහස් වෙන්ඩෝනෙ නෑ….”

සිය මවගේ දෑස් වල කඳුළු පිරී තිබෙනු සරලා දුටුවාය. ඉස්කෝලෙ මැණිකේ කතාව නොනවත්වාම කරගෙන ගියාය.

“එක නොගැළපෙන කසාදයක් ඇති පරම්පරාවක ඉරණම තීන්දු වෙන්ඩ..අතීතේ වෙච්චි,කෙරිච්චි කිසිම දෙයක් ආයේ වෙන්ඩෝනැන්නෑ කියලා මේ තුන්දෙනාටම හිතෙනවනම්…සරලව දිගටම මගේ ගාව තියලා යන්ඩ.. මං මරුණට පස්සෙ මේ කැලේගම පරම්පරාව ඉවරවෙන්ඩ ඕනේ කියලා හිතෙනවනම් අදම සරලවත් අරං තුන්දෙනාටම මෙහෙං යන්ඩ පුළුවන්..හැබැයි ඔය කාටවත්, මගේ මරණෙටවත්, අර ගේට්ටුවෙන් ඇතුලට එන්ඩ බෑ ආයේ…”

කොරිඩෝවට වී මේ සියලු දේ අසා සිටි රිදී නැන්දා වහ,වහා සොහොන් කොත් දෙසට ඇවිද ගියාය.

කාලිංග මහ කමත වෙල් යායේ කොහොඹ ගස යට ඇණ තබාගෙන උන්නේය. ඔහු කමතේ පොළොව අත ගාමින් තනිවම කතා කළේය.

“අප්පච්චී…මං ඔයාගේ හුස්ම ගියපු පොළොවට ආයේ පණ දෙන්ඩයි යන්නේ…ඔයාගෙ පණ හිර කරගෙන ඉන්න ආං අර වගා ළිඳේ හැම කළු ගලක්ම පුපුරවලා..හෙට උදේ වෙද්දි ඔයා මැරුණු හීනෙ මං ඇහැරවනවා අප්පච්චී…”

කාලිංග බාගෙට වැඩ නැවැත්තූ සිය වගා ළිඳ පෙන්වමින් මොර ගෑවේය. ඔහුගේ ඇස්වල කඳුළු තිබුණේ නැත. එහෙත් මුළු ශරීරයෙන්ම නැඟී ආ වේදනාවකින් ඔහු ගැහෙමින් සිටියේය. විටෙන්,විට පහතට නැවී සරම් පොටකින් බුරුල් වූ නාසය සූරා දැම්මේය. වෙල්‍ යාය මැදින් වැටී ඇති පටු පාර දිගේ ලොරි භාගයක් මහ කමත දෙසට පැමිණෙමින් තිබුණේය. ඔහු සිය මුහුණ සරමෙන් පිස දමමින් ලොරිය පෙරමඟට ගියේය. ලොරිය පිටුපස එල්ලී පැමිණි ජිල්බූ එය මහ කමතට සමීප වද්දීම ඉන් කමතට පැන්නේය.

“ආ…ඔහොම…පිටිපස්සට රිවස් කරලා ගන්ඩෝඕඕ…ෆුල් කපලා තව ටිකක් කපන්ඩෝඕඕ..”

ජිල්බූ කෑගසමින් ලොරිය පිටුපසින් එද්දී, ඉදිරිපස සිටි තලතුනා මිනිසෙකු බැස කාලිංග ඉදිරියට විත් සිට ගත්තේය.

“ගුණේ මාමා….වැඩේට ඕනේ සබ්බ සකලමනාවම ගත්තනෙ නේහ්…”

“ආයෙත් අහලා.. කිරි ගහට ඇන්නැහෙ අඩුම කුඩුම ඔක්කෝම ගානට,මිම්මට ලොරියට පටෝලා ඇත්තෙ කාලිංග පුතා…”

ලොරියෙහි පිටුපස උන් කිහිප දෙනෙකු එතුළ වූ බඩු භාණ්ඩ ඉන් පිටතට ගෙන කමතෙහි දමන්ට වූහ.

“ළිඳ ළඟට දාන්ඩෝනේවා මෙහෙමම දාගනිං මාමා…ආයේ වැඩේ දෙක කොරන්ඩ ඕනෙ නෑනේ…”

“කොල්ලනේ…ඔය වතුර මෝටරෙයි, ගල් වෙඩි ටිකයි, වයර් ටිකක් කෙළින්ම ළිඳ ළඟට ඇන්න පලයල්ලා….”

කෑගසමින් ගුණේ බාස් ලොරිය අසළට දිව ගියේය. තමාටත් වඩා දිග පයිප්පයක් කර තබාගෙන ආ ජිල්බූ එය පාලනය කරගත නොහැකිව කොහොඹ ගසේ වැදී බිම ඇදගෙන වැටුණේය.

“තව පොඩ්ඩෙන් වැටෙනවා….”

දණි,පණි ගා නැඟිටගත් ජිල්බූ, වැලමිටෙහි සහ දණහිස් වල තැවරුණු වැලි පිස දැම්මේ තමා දෙස බලා සිටින කාලිංගට බයාදු ලෙස සිනාසෙමිනි.

“මේං මෙහාට වර බැරි වැඩ නොකර…”

කාලිංගගේ කෑගැසීමට ජිල්බු ක්ෂණිකව විත් ඔහු අසළ නතර වූයේය.

“අර ගඩොල් බාන තැනට ගිහිං ගණං කරපිය කීයක් බානවද කියලා…”

ජිල්බු සැනෙන් එදෙසට දිව ගියේය. කාලිංග ලොරිය අසළට ගොස් රියදුරුගේ ගණුදෙනු බේරුවේය. සහයට ආ තරුණයන් අතද කිසියම් මුදලක් තැබුවේ ඔවුන්ගේ පිටට තට්ටුවක් දමමිනි. ගුණේ බාස් කාලිංග ඉදිරියට පැමිණ සිනාසෙමින් සිට ගත්තේය.

“මාත් මේකෙම ගොඩවෙලා ගිහිං ගෙදර ගාවිං බැහැගන්නං කාලිංග පුතා…”

“මේක උඔගෙ පරණ ගණුදෙනුව මාමා….” කාලිංග ඔහු අතද මුදලක් තැබුවේය.

“අද රෑම ඉතුරු වැඩේට බහින්ඩෝනේ මාමා….සතියකින් මට වතුර එක්ක මේ ළිඳ ඕනෑ…ආයේ පස්සෙ ඤං පචං කියාගෙනනං එන්ඩෙපා ගුණේ මාමා…”

“වැඩේ කෙරුණ කියලා හිතාගනිං පුතා …”

ගුණේ බාස් ලොරියේ එල්ලෙනවාත් සමඟම ලොරිය මහ කමතෙන් පිටව ගියේය. කාලිංග බැලූයේ ජිල්බූ දෙසය. ඔහු සිටියේ ලොරියෙන් ගෙන කමතේ ඇසිරූ ගඩොල් ගොඩ අසළ අතේ,පයේ ඇඟිලි සමඟ ගණිත ශාස්ත්‍රයක නියැළෙමිනි.

“ගඩොල් ටික හරියට බාලා නේද ජිල්බුවෝ….” ජිල්බු හිස කසමින් කාලිංග දෙස බැලුයේය.

“මොකද බොල…”

“කාලිංගයියේ..අතේ ඇඟිලි වලින් දාසයයි..කකුලේ ඇඟිලි වලින් එකොළහයි..”

කාලිංග සුපුරුදු “හැක්..හැක්…” හිනාවෙන් ජිල්බුගේ පස්සට පයින් පාරක් ගැසුවේය. ඔහු විසිවී ගොස් කමතේ පිදුරු ගොඩ මතට ඇද වැටුණේය.

සේනපුර පොඩි හාමුදුරුවන් ඉහළ මළුවේ සිට පියගැට පෙළ බසිමින් සිටියහ. බෝමළුවට පියගැට පෙළ නඟිමින් හුන් තාරුකා උන් වහන්සේට මුණ ගැසුණේ නෙල්ලි ගස පාමුලදීය.

“අක්කේ…”

සිය දෙපා නමදින තාරුකාට සේනපුර හිමියන් ආශිර්වාද කළේ එලෙස කියමිනි.

“නැන්දට දැන් ගුණද අක්කේ..”

“එහෙම කියන්ඩ තරං ලොකු ගුණයක් නෑ පොඩි හාමුදුරුවනේ..ටිකට් කපාගෙන ඉස්පිරිතාලෙන් නම් ගෙනාවා…”

“අඩුවෙලා යයි අක්කේ..යනකොට කියන්ඩකෝ මං පිරිත් නූලක් ලෑස්ති කරලා දෙන්නං..”

“එහෙමයි අපෙ හාමුදුරුවනේ..”

“ශාරිකයියා දැක්කෙ නෑ ගොඩ කාලෙකිං..”

“මාත් පොඩි හාමුදුරුවනේ…” තාරුකා එසේ කීවා නොව ඇයට ඉබේ එලෙස කියවුණාය.

“මං කීවේ පොඩි හාමුදුරුවනේ එයත් වැඩ දැන් මාත් වැඩනෙ..”

කට වැරැද්දක් වීනම් එය හරි ගස්වන්නට මෙන් තමා කියූ දෙයට තමන් විසින්ම හේතූ කියන තාරුකා දෙස සේනපුර පොඩි හාමුදුරුවෝ උපේක්ෂාවෙන් බලා සිනහසුණහ.

“ජීවිතේ අමාරුම කාලවල් ඉවසීමෙන් ගෙවන්ඩෝනෙ අක්කා…ඉදිරි කාලේ කොහොම කොයි විදිහට ආවත් මූණ දෙන්න හයිය එන්නෙ එතකොට..”

තමාගේ වයසටත් අඩු මේ සාමණේර හිමි නම ගැන තාරුකාට දැණුනේ ගෞරවයට වඩා ආඩම්බරයකි. ජීවිතයේ කටුක බව හෝ තුෂ්ඨිය කිරා මැන බලන්නටනම් ඒ සඳහා තමන් එය විඳිනා, බාරගන්නා ක්‍රමයේ මිණුම් දඬු අවැසි බව, පොඩි හාමුදුරුවන් තමන්ට කෙතරම් සූක්ෂම ලෙස කියා දුන්නේදැයි වැටහී තාරුකාට තමන් ගැනම අනුකම්පාවක් ඉපදුණාය.

“මට සමාවෙන්ඩෝනෙ පොඩි හාමුදුරුවනේ…”

“අක්කා මල් පහන් පූජා කරලා හිත ටිකක් නිස්කලංක කරගෙන එන්ඩ…මං නැන්දට පිරිත්නූලක් ලැහැස්ති කරන්නං…”

සේනපුර හිමියන් අවාස ගෙය දෙසට පියමැන්නහ. ශාරික සිය මව සමඟ පන්සලට ඇතුල්වනු හිමියන්ගේ ඇස ගැටුණේ ඒ මොහොතේදීය.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you