NovelsMandaramen EhaMandaramen Eha - 33 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 33 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – මාස ගණනාවක් තිස්සේම ගිරාතලාන ගම පීඩාවට පත් කොට තිබූ දැඩි නියඟයට මද අස්වැසිල්ලක් ලබා දෙමින්, පසුගිය දින කිහිපයේ කඩින්,කඩ මද වැසි ඇද හැලී තිබිණි. ශාරික ආලින්දයට වී මිදුල පිරික්සමින් සිටියේ ඒ වැස්ස විසින් අම්මාගේ මල් සහ එළවළු වගාවට පණ දී ඇති අරුමයය. අම්මා ළිඳෙන් වතුර ඇද කෙතරම් ඒවාට සාත්තු කළද, එක වැස්සකින් ලද ප්‍රගතියට ළංවීමට වත් නොහැකි වී ඇති බව ඔහු නිරීක්ෂණය කළේය. වැස්ස පොළොවට මව්වත් ආශිර්වාදයකි. ගහකොළ ඒ පින්වත් ආශිර්වාදයෙන් හැදී වැඩෙන ගුණවත් දරුවන් වැනියැයි ඔහුට හැඟුණේය.

“ලොකූ..”

ඒ ශාරිකගේ මව හීන් බංඩාරමැණිකේ ය. ඈ අත දුම් දමන ඇළුමිණියම් ජෝගුවක් වූවාය.

“හවසත් පොදේට තෙමීගෙන ආව නිසා මං ඔයාට ඉඟුරු,කොත්තමල්ලි ඩිංගක් වැක්කෙරුවා…”

ශාරික මුවෙහි ස්නේහවත් සිනහවක් දරාගෙන මවගෙන් එය පිළිගත්තේය.

“හවස ඉස්කෝලෙ නැන්දා කතා කරා…”

“ටැලිෆෝං එකෙං..”

“ඔව් ගල්නෑවෙ කඩේට…මටත් හිතාගන්න බැරිවුණා, නොම්බරේ හොයාගත්තෙ කොහෙන්ද කියලා…”

“ඉස්කෝලෙ අක්කා මොකෑ කියන්නෙ ඉතිං..”

“චූටී ගැන යමක් කතා කරගන්ඩ තියේය කියලා අම්මට එහෙ ඇවිත් යන්ඩ පුළුවන්ද ඇහුවා…”

“බංඩාරමුත්තේ..අහන්ඩෙපායැ හදිසියක්දෑ කියලා..”

“කළබල වෙන්ඩ දෙයක් නැතය, නිවාඩු පාඩුවෙ අම්මවත් එක්කාන එන්ඩය කියලා තමා කීවේ..”

ශාරික සේම හීන්බණ්ඩාර මැණිකේද මොහොතක් නිහඬ වූවෝය. ගිරාතලාන වැව දෙසින් අලි රංචුවක් කෑගසන හඬ ඇසිණි.

“වැවට වතුර ඩිංගක් එක්කහු වුණානේ..පේනවද එයැයිලගෙ සංතෝෂෙ..”

හීන්බණ්ඩාර මැණිකේ කීයේ වැව දෙසට කන් දෙමින් සිනාසෙමිනි.

“පොල්වත්තෙ කම්බි වැටත් තැනින් තැන දිරලා ගෙහුං…ඔය රංචුව බැම්ම දිහාට පල්ලම් බැස්සොත් කාරිය කණාටු පොල් ගහක්වත් අතාරින්නෑ ආයේ..ගිය වංගියේ පොල් මුරෙත් සාරෙට තිවුන්නෑ.. වැහි පාරකුත් ගිය එකේ පොහොර ඩිංගිත්තක්වත් ගස් මුලට කරන්ඩ කාලෙ හරි..”

මේ සියල්ල මව කියන්නේ තමාට බව ශාරික දන්නේය. ඒ වචන වලින් හැඟවෙන්නේ පියාගේ ඇවෑමෙන් ඒ යුතුකම් ඉටුකළ යුත්තේ තමා බවය.

“මං මේ සතියෙ සෙනසුරාදා, ඉරිදා දෙකම නිවාඩු දාන්ඩ ඉන්නෙ අම්මේ…අපි ජිල්බුව අල්ලං පොල්වත්තෙ වැටත් ගහලා, කැලේගම ගිහිං ඉස්කෝලෙ නැන්දවත් බලලා එමු..”

ඒ වචන කිහිපයට සිය මවගේ වත ප්‍රබෝධමත් වනු ශාරික දුටුවේය. නිවස පසු කරමින් යන යතුරු පැදියක හඬට සහ ආලෝකයට දෙදෙනාම එදෙස බැලුවෝය.

“කාලිංග පුතා නේද…මේ අලි එළිබහින ජාමෙ කොහේ යනවද..”

ජිල්බුවද රැගත් කාලිංගගේ මේට් වර්ගයේ යතුරුපැදිය විත් නතරවූයේ සමන්තිගේ නිවස අසළය. පිටුපස උන් ජිල්බු ඇස් ගෙඩි කරකවමින් යතුරුපැදියේම හිඳගෙන උන්නේය.

“තෝ ඕකේ පැලවෙලාද බොල…බැහැපිය..”

කාලිංගගේ හඬින් තිගැස්සී ගිය ජිල්බු යතුරුපැදියෙන් බිමට පැන්නේය.

“කණ උඩ ඔහොම ඝාන්ඨාර ගහන්නෙපා කාලිංගයියේ..මං උඩ ගියා…”

“උඩ ගියානම් දැන් බිමට බැහැලා ආං අර කඩුල්ල ඇරපිය..”

ජිල්බූ කඩුල්ලේ ලී දඬු පැන්නවූ සැනින්, කාලිංග සිය යතුරුපැදිය ගේ පිටුපසට රැගෙන ගොස් නතර කළේය. සිද්ධ වන්නට යන කිසිත් නොදන්නා ජිල්බු කඩුල්ලේ ලී දඬු නැවත වසා දමා කළුවරේ පිටුපස බලමින් ගේ දෙසට පැමිණෙද්දී, ගේ පිටුපස සිට පැමිණ කාලිංගගේ ඇඟේ හැපුණේය.

“බුදු අම්මෝහ්…මෙන්නෝඕ…”

කියමින් ආපසු හැරී දුවන්නට ගිය ජිල්බුව බෙල්ලෙන් අල්ලා නතර කරන ලද්දේ කාලිංග විසිනි.

“මොකෝ බොල උලමෝ තෝ බෙරිහන් දෙන්නේ..”

“හප්පොච්චියේ කාලිංගයියද..මං හිතුවෙම වසන්තයියගෙ අවතාරෙ කියලා…”

“මොකාගෙ…”

“සමන්ති අක්කගෙ මිනිහගෙ…ආමි එකේ ඉඳලා මැරුණෙ..”

“තෝ කොහොමද දන්නෙ ඌ මැරුණා කියලා ..”

“ඕං බලාපල්ලකො අහන ඒවා…පණපිටින් උන්නනම් මෙලාකටත් ඇවිත්නෙ…අවුරුදු ගනං ඉන්නවැයැ නිවාඩු නෑවිත්..අර ආමිකාරයා එන්නෙ හේනං මාසෙන්,මාසෙට සමන්ති අක්කා බලලා යන්ඩ..”

කාලිංග ජිල්බු දෙස බලා උන්නේ කෝපයෙන් බව දැක, එකවරම කතාව නැවැත්තූ ජිල්බූ, තදින් කෙළ පිඩක් ගිල්ලේය.

“නෑහ්… මේහ්…මං…”
“ඤෑහ්.. මේහ්… දෙනව තොගෙ දත් වහල්ල බඩට යන්ඩ..”

කාලිංග අත මිට මොලවා ජිල්බුගේ මුහුණ දෙසට එසවූයේය. ජිල්බූ හිස පාත් කරගෙන බිමට පහත්වූයේය. එකෙණෙහිම අලෝක ධාරාවක් කඩුල්ල දෙසින් නිවස දෙසට එල්ල වූයේය. වහාම ජිල්බුවද ඇදගෙන කාලිංග, ගෙය පිටුපසට දිව ගියේය. ජිල්බුගේ මුව අතින් තදකොට වසාගත් කාලිංග කඩුල්ල දෙසම ඇස් දල්වා බලා සිටියේය. කඩුල්ල අසල නතරවූයේ, ලක්මාල්ගේ යතුරුපැදියයි. මොහොතක් වටපිට පරීක්ෂාකාරී වූ ලක්මාල් සෙමෙන් කඩුල්ලේ ලී දඬු ඉවත්කර මිදුලට පැමිණියේය. නිවසේ දොර අසළට පැමිණ, සෙමෙන් දොරට කිහිප වතාවක් තට්ටු කර හඬ නොනැඟෙන සේ “සමන්තී” යැයි මිමිණුවාය. කාලිංග උන්නේ ජිල්බුගේ මුව තදින් වසාගෙනය. හුස්ම ගැනීමට අසීරූ වූ ජිල්බූ අත,පය දෙපසට වනන්නට වූයේය. ඔහුගේ දැඟලිල්ලට බිත්තියට හේත්තු කර තිබූ ලී දඬු කිහිපයක් “දඩාස්” හඬින් බිම පතිත වූයේය.

සමන්තී මහ ගෙදර මිදුලෙහි එහා, මෙහා සක්මන් කරමින් සිටිද්දී, තාරුකා ඈ අසළට පැමිණියාය.

“මොකෝ අක්කේ මේ කළුවරට වෙලා කරන්නේ..”

“අයියා බයික්කෙකත් අරං ගියා.. ඒකයි බැලුවේ…”

“එයැයිට ඉතිං නඩලමේ යන්න රැයක්,දවාලක් නෑනේ..”

“ඒ වුණාට මට මහා අමුත්තක් දැනෙනවා නංගී..”

“ඒ කිව්වේ…”

“අයියා දැන් ඉස්සර වගේ නෙවෙයි…හුඟක් වෙනස්..”

“ඒකනම් මටත් තේරිලා තියෙන්නේ අක්කේ..මොනාහරි ලොකූ දෙයක් හිතේ තියාගෙන ඉන්නේ..”

“මටත් තේරෙන්නෑ නංගී…ඉස්සර වගේ අපිට නිකරුණේ කෑගහගෙන එන්නෙත් නෑ…”

“මං මේ ඔයාට කියන්නමයි හිටියෙ..අද හවස වැඩ ඇරිලා එද්දි මාර වැඩක් වුණානේ..”

“ඇයි.. මොනාහරි ජල්ලියක් ඇල්ලුවද කා එක්ක හරි..”

“මාත් හිතුවෙ එහෙම එකක් කියලා…ඒත් මාවත් එක්කගෙන හුරිගස්වැව හන්දියට ගිහිං, එතන පැය භාගයක් විතර ඉඳලා ආපහු ආවා…”

“අද දවල් වගා ළිද ගාවට ලොකු පයිප්ප තොගයක් ගෙනත් බෑවා කියලා කඩේ ගාව කතාවක් ගියා…”

එසේ කියූ සමන්තී තාරුකා දෙස බලා උන්නද, ප්‍රතිචාරයක් නොළද හෙයින් නැවත කතා කළාය.

“අයිය ඔය ඔයා වැඩකරන තැන මොනාද කරන්නේ නංගී..”

“මං දැනුවත්ව නම් කිසිම දෙයක් කරන්නෑ අක්කෙ..මාව ඇරලවලා ඔහේ කැරකි,කැරකි ඉඳලා යනවා.. හැබැයි හරියටම මං වැඩ ඇරෙන වෙලාවට ඇවිත් ඉන්නවා මාව එක්ක යන්න..”

“ඒක මාර රස්සාවක්නෙ…කවුද අනේ එහෙම රස්සා දෙන්නෙ මිනිස්සුන්ට..”

“මාත් ඕකම ඇහුවා ලක්මාල් අයියගෙන්…ඒත් එයත් කියන්නෙ පප්පා තමා ඉතිං ඒව දන්නෙ නංගී කියලා…”

“ලක්මාල්” යන වචනය ඇසූ සැනෙන් සමන්තී තිගැස්සී ගියාය. තාරුකා එකවරම තුෂ්නිම්භූතව කතාව නතර කළාය.

“මොකක්ද නංගි ඒ ලක්මාල්ගේ කතාව..”

තාරුකා අපහසුවෙන් මෙන් ගොස් ඇහැළ ගහ යට බංකුවේ වාඩිවූවාය. සමන්තී වහා ඈ අසළට විත් එක එල්ලේ සිය නැඟණියගේ මුහුණ දෙස බලා සිට ගත්තාය. ලා සඳ එළියෙන් වුවද ඇගේ මුහුණෙහි ඇති අපහසුව තේරුම් ගන්නට සමන්තීට අපහසු වූයේ නැත.

“මට සමාවෙන්න අක්කේ…මං අයියට පොරොන්දු වුණා මේ ගැන එක වචනයක් ඔයා එක්ක කතා කරන්නෙ නෑ කියලා..”

“ඇයි නංගි ඔයත් මට මෙහෙම කරන්නේ..”

සමන්තීගේ හඬ ක්‍රමයෙන් බිඳී අසරණ වූවාය. එය සෙමෙන් ඉකියකට පෙරලෙන බව හැඳිනගත් තාරුකා වහා නැඟිට සිය සොහොයුරියගේ උරහිස් මිරිකා ගත්තාය.

“අඬන්නනම් එපා අක්කේ..”

“කමක් නෑ නංගී…ඒක මං දැනගන්න ඕනේ නෑ කියලා ඔයාට හිතෙනවනම් කියන්න එපා…”

“දැන් මේක හංඟලා මට ඔයා විඳවනවා බලන් ඉන්න බෑ අක්කා…. හැබැයි ඔයා මට පොරොන්දු වෙන්නෝනෙ මේක අපි දෙන්නා අතර විතරක් තියාගන්නවා කියලා ..”

“අවිශ්වාස නම් කියන්නෙපා නංගී..”

“මං වැඩ කරන්නෙ ගල්ගමුවෙ සිරිවර්ධන ෆැන්සි හවුස් එකේ..ලක්මාල් අයිය තමා ඒකේ අයිතිකාරයා..”

සමන්තී මොහොතක් නිසොල්මනේ සිටියාය. ඉන්පසුව බරට හුස්මක් බිම අත හැරියාය. සිය දියණියන් දෙදෙනාගේ කතාවට සවන් දෙමින් බිත්තියට මුවාවී සිටි ලොකුබණ්ඩාර මැණිකේ, එය ඇසෙත්ම දත,කට පූට්ටු වී එකවරම ගල් ගැසී ගියාය. හිසේ සිට දෙපතුළ දක්වා ගැහෙමින්, සිය දියණියන් දෙසට පියවර කීපයක් තැබූවද, ඇවිද ගත නොහැකිව කපා දැමූ කෙසෙල් කඳක් මෙන් ඇය බිම පතිත වූවාය.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you