FeaturesDonilaye Amme - 16 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 16 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – අද ගේ ඇතුලේ කිසිම සද්දයක් ඇහෙන්නෑ. ගේ අවට වටපිටාව පවා තියෙන්නේ ලොකු නිහැඩියාවක. පස්සෙ තමයි ඔලුවට ආවේ අද ලංකාවටම කරන්ට් එක නෑ නේද කියලා. වෙනදට ගේ ඇතුලෙන් ඇහෙන ටී.වී, රේඩීයෝ සද්දෙ, ෆෑන් කැරකෙන සද්දෙ, වොෂින් මැෂින්, ජූස් මැෂින්, මයික්‍රොවේව් මැෂින් වැඩකරන සද්ද මොකුත් අද නෑ. අඩුම තරමෙ අවට ගේක කොල්ලෙක් සද්දෙට සෙටප් එකක් දාන කන්දොස්කිරියාවක්වත් ඇහෙන්නෑ. ඒකෙත් අපූරු අත්දැකීමක් විඳගන්න තියෙනවා නේද කියලා මට හිතුණා. එකපාරටම ලොකු එකීගෙයි, පොඩි එකීගෙයි සද්දෙ ඇහුණා කාමරේ පැත්තෙන්. මං ටිකක් අහගෙන හිටියා. ඒක ටිකෙන්,ටික ගාලගෝටිටියක් වෙද්දි මට හිතුණා දෙන්න රණ්ඩුවක් පටං අරං කියලා. ඒ පැත්තට යන්න කියලා හදද්දිම දෝණිලයෙ අම්මයෙ සද්දෙත් ඒ අතරට එකතුවුණා. දැන් ඉතිං කොහොමත් මං එතනට ගිහිං වැඩක් නැති නිසා පොඩ්ඩක් ඒ පැත්තට කන් යවලා මොකෝ වෙන්නේ කියලා අහගෙන හිටියා.

“අත තියන්නෑ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මොබයිල් ෆෝන් එකට..”

ඒ ගෝරනාඩුව දෝණිලයෙ අම්මගෙන්. ඒ කියන්නේ කෙල්ලෝ දෙන්නා රණ්ඩු වෙන්නේ මොබයිල් එකට.

“අම්මේ මං මේ ටියුට්ස් වගයක් බල,බලා හිටියෙ ෆෝන් එකෙන්..නංගි ඒක ඉල්ලනවා ගේම් එකක් ප්ලේ කරන්න..”

“ලොකූ..මං දන්නවා ඔයාගේ ටියුට් බැලිල්ලයි, නංගිගෙ ගේම් ගැහිල්ලයි හොඳටම. මේ කරන්ට් එකත් නැති වෙලාවෙ හදිසියකට කෝල් එකක් ගන්න හරි තියෙන්නේ මේක විතරයි ගෙදර හරියෙ..ඒකත් ඕෆ් නොකර, වැඩක් පලක් නැත්තං අන්න ඇඳ තියෙනවා දෙන්නත් එක්කම ගිහිං නිදාගන්න එකයි ඇත්තෙ මගෙ යකා අවුස්සන්නෙ නැතුව..”

“කොහෙ නිදාගන්නද අම්මේ මේ රස්නෙ..ෆෑන් එකක්වත් වැඩ නැතුව..”

“මේක මාර වැඩක්නෙ..දැන් මට කියන්නෙ මෙතන ඔය දෙන්නට පවන් ගගහ ඉන්න කියලද නින්ද යනකං, මගේ ඔක්කොම වැඩ නතර කරලා..”

ගේ ඇතුලෙ අම්මලා, දූලයෙ කතාව දුරදිග යන ලකුණු පේන නිසා, මං හිමීට ගිහිං ඒ පැත්තට ඔලුව දාලා බැලුවා.

“ආහ්..මේ ඉන්නේ තාත්තා.. කරන්ට් එක නැත්තං එයාට කියලා ජෙනියක් ගෙන්න ගන්න එකයි ඇත්තෙ..මට බබ්බු නලව,නලව ඉන්න වෙලාවක් නෑ ගෙදර ගමකට වැඩ තියෙනවා…”

මාව දැක්ක ගමං දෝණිලයෙ අම්ම එහෙම කියලා, වහා ගිනි ඇවිලෙන සුලු ගෑස් ටැංකි දෙක මට බාරදීලා කුස්සිය පැත්තට ගියා. මං මේ ටැංකි දෙකේ ගිනි නිවන ක්‍රමයක් ගැන හිතන්න ගත්තා.

“දෙන්නත් එක්ක එන්නකෝ එළියට යන්න..”

මං එහෙම කියලා ඉස්සර වුණා. දෙන්නම මගේ පස්සෙ එනවා මං දැක්කා. මිදුලෙ සේපාලිකා මල් ගහ යට බංකුවෙ දෙන්නා දෙපැත්තෙන් තියාගෙන මං මැදින් වාඩිවුණා.

“ගේ ඇතුලේ හරි රස්නෙයි නේද..”

මං ඇහුවාම දෙන්නම බුම්මාගෙන වුණත් ඔලුව වැනුවා.

“බලන්නකෝ ඒ වුණාට එළියේ තියන සනීපේ..හුළං පාරත් එක්ක..”

“ඉතිං තාත්තෙ රෑ වෙනකං කරන්ට් එක ආවේ නැත්තං අපි මදුරුවො කකා මේ බංකුවෙද නිදාගන්නෙ?..”

චූටී එකී කෙලින්ම මට යෝකර් එකක් දැම්මා. ඇත්ත මයෙ පුතේ..විදුලි බලය ලැබුණට පස්සෙ සාමාන්‍ය මිනිස් ජීවිතයේ හුඟක් ක්‍රියාකාරකම් පහසු වුණා. මිනිස් ශ්‍රමයෙන් වැඩි කාලයක් අරගෙන කරපු වැඩකටයුතු කෙටි කාලයකින් කරගන්න පුළුවන් විදිහෙ කාර්යක්ෂමතාවයක් ඇති වුණා. හැබැයි ඒ ඇතිවීම ඇතුලේ අපිට නැතිවුණු ගොඩක් දේවල් තියෙනවා.

“මයෙ පුතාලා කරන්ට් නැතිව ඉඳලම නෑ නේද.”

මං උන් දෙන්නයෙ මූණු දිහා බැලුවෙ උත්තරයක් ගන්න නෙවේ.

“තාත්තා ජීවිතේ වැඩි කාලයක් ගෙව්වේ මේ විදුලි බලයෙන් වැඩ කරන කිසිම උපාංගයක් නැතුව..”

ඒ ගමන කෙල්ලො දෙන්නගෙ ඇස් ලොකුවෙලා, කටවල් ඇරෙනවා මං බලාගෙන.

“ඉස්සර අපිට විදුලි ඉස්ත්‍රිරික්ක තිබ්බෙ නෑ…ඔයාලා දන්න විදිහට “ඉලෙක්ට්‍රිකල් අයන්”..”

“එතකොට කොහොමද රෙදි මැද්දෙ..”

චූටී එකී කෙලින්ම ප්‍රශ්නෙට බැස්සා.

“මයෙ පුතා දැකලා තියනවද පොල් කටු ඉස්ත්‍රිරික්ක?..”

චූටී එකී මං දිහා පුදුමෙන් බැලුවා, ඒ අතරෙ මං දැක්කා ලොකු එකී එයා දිහා ඔලොක්කුවට වගේ බලනවා.

“ඉස්සර අපි ඉස්කෝලෙ යන්න ඇඳුම් මැන්දෙ පොල්කටු පුච්චලා ඒ යකඩ ඉස්ත්‍රිරික්කෙට දාලා..”

“අක්කා දැකලා තියනවද ඒ ඉස්ත්‍රිරික්ක..”

පොඩි එකී ලොකු එකිට දුස්රා පන්දුවක් දැම්මා. ලොකු එකී ටිකක් කළබල වුණා.

“ඔව් අනේ..තාම ඒවා ඔය ටවුමෙ ලොන්ඩ්‍රි වලත් තියෙන්නේ..ඒක මොන කරුමයක්ද..පොල් කටු හොයන්නයි, ඒවා පුච්චන්නයි..නිවෙනකොට ආයේ පිඹ,පිඹා රත් කරන්නයි..”

ලොකු ළමය ඒකේ අපහසුතා ටික කියාගෙන යනවා. චූටී එකී මොනා වුණත් ඒ ගැන අවධානය දීගෙන ඉන්නෙක මට සතුටක් වුණා. ඇත්ත, කාලයත් එක්ක මිනිස්සු කාර්‍යබහුල ජීවිතයකට හුරු වුණා. ඒ නිසා සීමිත කාලයකින් අසීමිත වැඩ ප්‍රමාණයක් ඉවරකරගන්න වුවමනා වුණා. විදුලි බලය ඒ අවශ්‍යතාවයෙන් වැඩි හරියක් බාරගත්තා. හැබැයි අපේ කාලයේ දරුවෙක් ජීවිතය ගැන ගත්තු අත්දැකීම් සහ පාඩම් තාක්ෂණික මෙවලම් නිසා අද කාලේ දරුවන්ට මඟෑරිලා තියනවා. අපි උදේට අඳින ඇඳුම් නවලා කොට්ටෙ යට තියලා උදේට ඇඳගෙන ගිය මිනිස්සු. උණුවතුර වීදුරු බෝතලේකට දාලා ඒකෙන් රෙදිවල පොඩි වුණු තැන් මැදලා දිගෑරගෙන ඇඳපු මිනිස්සු. හැබැයි අද දරුවෙක්ට ඒවා කීවොත් පැය ගානක් හිනාවෙන්න කාරණා. ඔව්, මිනිස්සු ලෝකයත් එක්ක නවීන වෙන්නෝනේ. තාක්ෂණය එක්ක යාවත්කාලීන වෙන්නෝනේ. හැබැයි ඒ මත සම්පූර්ණයෙන්ම යැපෙන්න ගියොත් ජීවිතයේ ලබන්න තියන, විඳින්න තියන අත්දැකීම් නොලැබ මැරෙන්න වෙනවා.

“සුරංග..”

දෝණිලයෙ අම්මා දොරකඩ ළඟ ඉඳලා මට කතා කරා.

“ගෑස් එක ඉවරයි වගේ..”

“ලීක් ද දන්නෑ…සබන් පෙන ටිකක් දාලා බැලුවෙ නැද්ද.”

මං හයියෙන් කෑගහලා එහෙම ඇහුවෙ එයා ඉන්නෙ මට ටිකක් දුරින් නිසා. එයා වේගෙන් ඇවිදගෙන මගේ ළඟට ආවා.

“ලීක් වෙන්න ඒකේ ගෑස් නෑ සුරංග..ඒ නිසා විහිළු එපා…පුළුවන්නම් ගිහිං ගෑස් එකක් හොයාගෙන එන්න..අනික වොෂින් මැෂින් වැඩ කරන්න කරන්ට් එකත් නැති නිසා…සබන් ගාලා ඔයාගේ ඇඳුම් ටික අතේ හෝදගන්න..ඒ ගමන් ඕනේනම් සබන් පෙන දාලා ටැංකියෙ ලීක් තියනවද කියලා හොයාගන්න..”

එහෙම කියලා එයා ගියා. කෙල්ලො දෙන්නා උන් දෙන්නගෙ මූණූ දිහා මාරුවෙන් මාරුවට බලනවා මං දැක්කා.

“දැන් පුතේ ඉස්සර ගෑස් තිබ්බෙත් නෑනේ..අපෙ අම්මලා ඉව්වෙ දර ලිප් වල, මැටි හට්ටිවල..දන්නවද ඒ කෑම කොච්චර රසද..කි..”

මං කතාව ඉවර කරන්න කලිං ලොකු එකී බංකුවෙන් නැඟිට්ටා.

“දැන් ෂුවර් එකටම අම්මා කියනවා මගෙ රෙදියි නංගිගෙ රෙදියි මට අතේ හෝදන්න කියලා…කොහොම හරි ගෑස් එකක් හොයාගෙන එන්න තාත්තෙ..පිපුරුවත් කමක් නෑ බඩගින්නෙනම් ඉන්න බෑ ඕං..”

එහෙම කියලා ලොකු එකී ගස්සාගෙන ගෙට ගියා. චූටී එකී ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියා.

“මයෙ පැටියා බයවෙන්නෙපා….ඔයාගේ ඇඳුම් ඔක්කොම තාත්තී හෝදලා දෙන්නම් හොඳේ..”

“රෙදිනම් හෝදන්නෙ නැතුව හරි ඇන්දෑකිනෙ තාත්තෙ..ඔයාට දැන් දර ටිකක් හරි පලන්න වෙනව අම්මට උයන්න..අනේ මට බඩගින්නෙනම් ඉන්න බෑ ඕං හරිද..”

එහෙම කියාගෙන ඒකිත් ගියා. විදුලිබල මණ්ඩලේට ඇරෙන්න ඉතිං කරන්ට් එක මට දෙන්න බෑනේ. කෙල්ලො දෙන්න කීවා වගේ බඩගින්නෙ ඉන්නයැ දැන්. දර පලනවට වඩා හොඳයි ගිහිං කොහෙන් හරි ගෑස් එකක් හොයාගෙන එනවා කියලා මාත් බංකුවෙන් නැඟිට්ටා.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you