FeaturesDonilaye AmmeDonilaye Amme - 11 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 11 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – පාන්දර හතරට විතර මට ඇහැරුණේ ලොකු ඔලුවෙ කැක්කුමක් එක්ක. ඇඳේ එහාට මෙහාට පෙරලි,පෙරලි කොච්චර නිදාගන්න හැදුවත්, නින්දක් එන පාටක් නෑ. ලයිට් එක දැම්මොත් චූටි එකියි, දෝණිලයෙ අම්මයි ඇහැරෙයි කියලා හිතුණු නිසා මං කළුවරේම අත,පත ගාගෙන ඇඳෙන් බැහැලා කාමරෙන් එළියට ආවා. මේ වෙලාවට පෙනඩෝල් පෙත්තක්වත් තියන තැනක් මට තනියම හොයාගන්න බෑ කියලා මං දන්නවා. කුස්සිය පැත්තට ගිහිං කෝපි එකක්වත් හදාගන්න ඕනේ කියලා හිතාගෙන තමා ඒ පැත්තට ගියේ. කුස්සිය පැත්තෙ ලයිට් එළියක් තියෙනවා. මට පුදුමත් හිතුණා. දෝණිලයෙ අම්මා නිදාගන්න කලිං ඉස්සෙල්ලාම බලන්නෙ ලයිට් පත්තු වෙන්නෙ කොහෙද කියලා. එළියේ එක ලයිට් එකක් ඇරෙන්න, කිසිම වෙලාවක එයාට හොරෙන් මේ ගෙදර නිකරුණේ ලයිට් පත්තු වෙන්න බෑ.

“මං ඒත් බැලුවා කවුද මේ හීනෙන් ඇවිදින්නේ කියලා…”

මං කුස්සියට ඇතුල්වෙන්න ඔන්න,මෙන්න තියෙද්දි දෝණිලයෙ අම්මා කුස්සියෙන් එළියට ආවේ එහෙම කියාගෙන.

“ඔයා මොකෝ මේ මහ පාන්දර ඇහැරගෙන….”

මං දෝණිලයෙ අම්මගෙන් එහෙම ඇහුවෙ ඇත්තටම ඒ දෝණිලයෙ අම්මද, නැත්තං මට ඔලුවෙ කැක්කුම වැඩි කමට විකාර පේනවද කියලා හරියටම දැනගන්න.

“ඔයාට මහ පාන්දර කවදාවත් ඇහැරෙන්නැති නිසා මං හැමදාම ඇහැරෙන්නෙ මේ වෙලාවට කියලා පේන්නේ කොහොමද ඉතිං…”

ඒ දෝණිලයෙ අම්මම තමයි කියලා සැක ඇරලා දැනගන්න මට ඒ වචන ටික හොඳටම ප්‍රමාණවත්. මං ඔලුව ඇඟිලි තුඩුවලින් මිරික,මිරිකා කුස්සියට ඇතුල් වුණා.

“ඇයි සුරංග..මොකක්ද ප්‍රශ්නෙ…”

“මාර ඔලුවෙ කැක්කුමක් ඇල්ලුවා….මට පෙනඩෝල් පෙත්තක්, හරි සිද්ධාලේප ටිකක් හරි දෙන්නකෝ….”

මං ඒකටත් එයාගෙන් මොනාහරි හරස් ප්‍රශ්නයක් බලාපොරොත්තු වුණත්, කිසිම හාවක්,හූවක් නැතුව මං ළඟට ආපු එයා නළලට අත තියලා බැලුවා.

“පොඩ්ඩක් ඕන්න ඔහොම වාඩිවෙන්නකෝ මං එනකං….”

කියලා එයා කුස්සියෙන් පිටවෙලා ගියා. මං එතන තිබුණු කොට බංකුවේ වාඩිවෙලා කුස්සිය දිහා ඇස් යවලා බැලුවා. එළවළු වගයක් කපලා මාබල් මේසේ උඩ, කඩල වගයක් පෙඟෙන්න දාලා සින්ක් එකේ. පලා මිටි දෙකක් වට්ටියට දාලා තියෙනවා. ඒ කියන්නේ දෝණිලයෙ අම්මා මේ දවසේ රාජකාරී පටං ගන්න වෙලාව.

“කෝ පොඩ්ඩක් අනිත් පැත්තට හැරෙන්නකෝ….”

ඕඩිකොලෝන් බෝතලයක් අරං මං ගාවට ආපූ දෝණිලයෙ අම්ම එහෙම කිව්වා. ප්‍රශ්නාර්ථයක් එක්ක මං පුටුවෙ එයාට පිටුපාලා වටයක් කැරකුණා. හිස්මුදුනට තද සීතලක් එක්ක ඕඩිකොලෝන් බිංදු වැටෙනවා දැණුනා. ඊටපස්සෙ එයාගේ ඇඟිලි තුඩු හිසකේ අතර එහෙ,මෙහෙ ගියා. නළල දෙපැත්ත හිමින් පිරිමදින රටාව එක්ක මං අඩ නින්දක සමාධිය එක්ක උන්නේ. ඉස්සර මෙහෙම සැනසිලිදායක සම්භාහනයක් ඔලුවට දෙන්න පුළුවන් එකම කෙනා අපෙ අම්මා. ඉස්සර ඕඩිකොලෝන් නෑ.. අපෙ අම්මා කරන්නේ තේ හැන්දකට මී තෙල් දාලා රත් කරලා ටිකක් විතර නිවෙන්න ඇරලා හරියටම හිස මුදුනට දාලා අල්ලෙන් මසාජ් කරනෙක.

“දැන් කොහොමද..”

මං කල්පනා ලෝකෙන් බිමට බැස්සේ දෝණිලයෙ අම්මගෙ හඬින්. එයා එතකොටත් මගේ ඔලුව ඇතෑරලා ගිහිං හිටියේ වතුර කේතලේ උණු කරන ගමං.

“මාර සනීපයක් දැනෙන්නේ..කැක්කුම කොහෙන් ගියාද නෑනේ…”

අවංකවම මං කීවේ ඇත්ත. වේදනාව වෙනුවට ඔලුව උඩ මොකක්දෝ අමුතු සීතල සහනයක් මට දැණුනා.

“එහෙනම් මේකත් බීලම ඉන්නකෝ….”

උණුවතුරට දෙහි කෑලි දෙකක් දාපු වීදුරුවක් මං අතේ තියන ගමං දෝණිලයෙ අම්මා කීවා. ඒකෙන් උගුරු දෙකක් බොනකොටම උගුරෙ තිබුණු සෙම ගතිය කැඩිලා ඇගට පණක් එනවා දැණුනා. මෙච්චර වෙලා තිබුණු නිදිමත ගතිය ගිහිං ඇඟට අමුතු පණක් ආවා.

“ඔයාට මොනාහරි උදව්වක් ඕනේනම් කියන්න.. ”

මං එහෙම කිව්වද, කියවුණාද දන්නෑ.. දෝණිලයෙ අම්මා අර එයාගේ හුරුපුරුදු සරදම් බැල්ම මං දිහාට දාලා හිනාවුණා.

“එහෙනම් ඔය කංකුං මිටි දෙකේ මැරිච්චි කොල ටික තෝරලා අයින් කරන්නකෝ….”

පලා වට්ටිය මගේ අතට දෙන ගමං එයා කිව්වා.

“තනියම පාන්දර නැඟිටින එකේ දැන් ඔය ලොකූවත් ඇහැරවලා ගන්නකෝ….මේ ටිකේ නිකංනෙ ඉන්නේ..විභාගෙත් ඉවර එකේ….”

මොනාහරි කියන්න ඕන කමට මං පුරුදු තැටිය වාදනය කරා.

“ගෑණු අපිට කවදාවත් පිරිමි වගේ නිකං ඉන්න කාලයක් එන්නෑ මැරෙනකං….”

“එතකොට අපි ජීවිත කාලෙම නිකං ඉන්නව කියලද ඔය කියන්නේ…”

“ගෑණුන්ට සාපේක්ෂව බැලුවොත් පිරිමි අදටත් නිදහස්…”

“මං ඒ කතාව පිළිගන්නෑ….”

“හුඟක් පිරිමි එහෙමයි..ගෑණු නිදහස් වෙනවට බයයි..ඒ ගොල්ලො නිදහසේ ඉන්නවා කියලා පිළිගන්නත් බයයි….”

“දැන් ඔය කියන්නේ උයන,පිහන එකේ ඉඳලා කරන ගෙදර දොරේ වැඩ ටික ගැනද…එතකොට අපි පවුල් නඩත්තු කරන්න රෑ දවල් නොබලා රස්සාව එක්ක නැහෙන එකට කියන්නේ නිදහසේ ඉන්නවා කියලද….”

“නෑ අනේ..ඔයා දැක්කද දන්නෑ කොහෙහරි තැනක මං දැක්කා තියනවා “වැඩ ඇරී වැඩට යන ගෑණු” කියලා. රස්සා කරන කොච්චර ගෑණු ඉන්නවද..හැබැයි ඒ මොනා කරත් ගෙදර ඇවිත් කරන්නත් එයාලට වැඩ තියනවා. ..ඔයාලට වගේ ඇඟේ අමාරුවට බොන්නවත්, හිසේ අමාරුවට තෙල් ගාන්නවත්, එළිය වැටෙනකං නිදාගන්නවත් ගෑණුන්ට කෝ වෙලාවක්….”

ඇත්තටම ඒ කතාවේ තර්ක කරන්න තරම් ඇදයක් නෑ…ඔව්.. “වැඩ ඇරී වැඩට යන ගෑණු” කාලෙකින් අහපු පදනමක් තියන කතාවක්. මට මතක් වුණේම අපෙ අම්මා සහ ලොකු නංගී. නිමාවක් නැති වැඩ කන්දරාවක් චරු,චුරු නැතුව කරපු මගෙ ජීවිතේ දැකපු පළවෙනි ගෑණු දෙන්නා. ඊට පස්සෙ දෝණිලයෙ අම්මා. වැඩ ගැන සුන්දර කංකරච්චලයක් නිතරම වගේ කටේ තිබුණට, එයාලා ඒ හැමදේම කරේ තමන්ගෙන් පවුලට වෙන්නෝනේ යුතුකම් විදිහට. ඒවා බරක් විදිහට ගන්න කිසිම ආසියාතික ගැහැණියක් ඇති කියලා මං හිතන්නෙ නෑ. බටහිර සංස්කෘතියේ හැලිච්චි කෑලී ටිකක් අහුලගෙන එල්ලගෙන, තමන්ගේ ඇරියස් කවර් කරගන්න සංවිධාන අටවගෙන ඉන්න නෝනලා ටිකක්, ගෑණුන්ගෙ ණුවන හැදි මිටටයි, කුස්සිය මුල්ලටයි තල්ලු කරන්න හැදුවට, කුස්සිය කියන්නේ ආසියාතික ගැහැණියගේ ආදරය පවුලට බෙදන තැන. හැන්ද ඒ රසය පවුලට බෙදන උපකරණය. ඒ වෙහෙස අග ගැහැණියකගේ අපේක්ෂාව ඇගයීම සහ ආදරය. ජීවිත කාලයක වෙහෙස නිවාගන්න ඒ ගැහැණියට එක ආදරණීය වචනයක් ඇති. ඔය “නිසි තැන” “සමතැන” ඉල්ල, ඉල්ලා මයික් ගිලින නෝනලා සමහරවිට කුස්සියක් දැකලත් නැතුවැති.

“අයියෝ සුරංග..මොනාද මේ කරලා තියෙන්නේ….” දෝණිලයෙ අම්මා එහෙම අහද්දි තමා මං වට්ටිය දිහා බැලුවෙ.

“ඇයි…”

“ඇයි කියන්නේ අනේ..කොල මිටි දෙකෙන් භාගයක්ම අයින් කරලනෙ…”

“ඉතිං ඒවා නරක් වෙලානේ…. ”

“මේහ්ං…අනේ ඔයා ගිහිං නිදාගන්න..මං මේ ටික කරගන්නම්…”

“දැන් කොහෙ නිදාගන්නද අනේ..හයත් පහුවෙලා….”

“එහෙනම් අර මිදුල පොඩ්ඩක් අතුගාලා, මල්වලට වතුර ටිකවත් දාන්න…”

“අපි දැන් ලොකු ළමයව ඇහැරවමු…හොඳටම එළිවෙලානේ….” මං ඒ යෝජනාව දැම්මේ වැටෙන්න යන අමාරුවෙන් බේරෙන්න.

“සුරංග…මං කිව්වේ ඒකයි ඔයාටත් ගිහිං නිදාගන්න කියලා..ඔය හැමෝම නින්දෙ ඉද්දි කවුරුත් ඇහැරවන්නෙ නැතිව මෙච්චර කාලයක් මං මේවා කරා වගේ අදත් කරගන්නම්..”

ඒ තමයි එයාලගෙ ක්‍රමය. හැම වැඩකම එයාලට ගැළපෙන ක්‍රමයක් සහ රටාවක් තියනවා. ඒක කිසිම පිරිමියෙක්ට තවත් ගෑණියෙක්ට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවේ. ගෑණුන්ගෙන් පිරිමින්ට එල්ලවන හුඟක් චෝදනා වලින් එයාලා ඉල්ලන්නේ අවධානය සහ ඇගයීම. ගෑණියෙක්ගේ ජීවිතයට ඇගයිමක්, අවධානයක් දුන්නා කියලා කාගෙවත් පිරිමිකම දියවෙන්නෑ. මිදුලට බැහැලා දෙපැත්ත බැලුවෙ කොහෙන්ද පටං ගන්නෙ කියලා. වැඩේ හිතන තරං ලේසිත් නැති පාටයි. අවධානමක් ගන්නවට වඩා ලේසියි දෝණිලයෙ අම්මා කීව කතාවට අවධානය දෙන එක. අපි හැමෝම නිදි අතරෙනෙ මෙච්චර කාලයක් එයා ඕවා තනියම කරගෙන තියෙන්නෙ. ආන්න ඒ හැකියාවට ඇගයීමක් විදිහට, එයාගේ වැඩ එයාටම කරගන්න දීලා මං තව පොඩ්ඩක් නිදාගන්නවා කියලා හිතලා කාමරේට ගියා.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you