NovelsShort Storiesලාහෝර් සරුංගල්

ලාහෝර් සරුංගල්

-

spot_img

ලාහෝර් සරුංගල් – A Kite 

ලාහෝර් නගරයේ සරුංගල් පාවීම නතරවෙන විට මම දස හැවිරිදිය. “බෙදීම” යන වචනය වැඩිහිටියන් නිතර මිමිණීමට පෙර ලාහෝරය කාටත් අයිති තැනක් බව පෙනෙන්නට තිබුණි. තාප්ප වලින් වටවූ නගරයට සෑම දිනකම හිරු උදාවිය. කිරි විකුණන්නන්, රික්ෂෝ, බයිස්කල්කරුවන්, එළවළු මිල කේවල් කරන ගැහැණුන්ගෙන් නගරය පිරී පැවතුණේය. අපේ ගෙදර උඩ තට්ටුවේ සිට, මට නගරය, මසාලා කඩ, මුස්ලිම් පල්ලිය දැකගත හැකි විය. හොඳම දෙය නම් මගේ හොඳම යාළුවා කාෂිෆ්ගේ බැල්කනියත් දකින්න පුළුවන් වීමයි. ඉතින් අපි මුණගැහීමට සංඥා කරගත්තෙමු. කාෂිෆ් එකොළොස් හැවිරිදිය. ඔහු මට වඩා උසය. මට වඩා වේගයෙන් දිවීමට ඔහුට පුළුවන් වුණත් කාෂිෆ් කිසිම දිනෙක මා පරාජය කළේ නැත.

A Kite

බසන්ත් පංචමි දිනය සෑම කෙනෙක්ම නිවාසවල බැල්කනි මතට වී සැමරුවෝය. කාෂිෆ්ගේ පවුලේ අය සහ අපේ පවුලේ අය හැමදාමත් එය සැමරුවේ එකටයි. සහනි සහ සිද්දිකි වෙන් කළ නොහැකි බව ඔවුන් හැමෝම දැන සිටියෝය. වර්ණවත් සරුංගල් වලින් අහස පිරී තිබුණි. තාත්තලා එක්ව චායි බොමින් සිටි අතර අම්මලා කුස්සියේ ඕපදූප කතාකළෝය. සේවකයෝ සරුංගල්වලට නූල් බඳිමින් සිටි අතර කාෂිෆ් මගේ කහ පැහැති සරුංගලයේ තීන්ත ආලේප කරන්නට උදව් කළේය. කාෂිෆ්ගේ නංගි බැනෝ අත්වල කහ තීන්ත තවරාගෙන සෆීනාගෙන් බැනුම් අහනතුරුම සෙල්ලම් කළාය. කුස්සියේ කෑම පිසෙන සුවඳ නිවස සිසාරා පැතිර තිබුණි. කාෂිෆ් තම සරුංගලය ඔසවා වැඩිහිටියෙකු ලෙසින් අත්ලෙන් සුළඟ පරීක්ෂා කළේය. මගේ සරුංගලය යන්තම් ඉහළ ගියමුත් ඔහුගේ සරුංගලය වේගයෙන් අහසට ඇදුණි.

“නූල තදින් අල්ලන්න එපා…. හුළඟට ඉඩ දෙන්න”

ඔහු කෑගැසුවේය. ඔහු මගේ හොඳම මිතුරා පමණක් නොවේ. ඔහු මට වැඩිමල් සහෝදරයෙක් විය. එය අපි සතුටින් සැමරූ අවසාන උත්සවයයි.

අප්‍රේල් මාසය උදාවුණේ බියකරු හීනයක් ලෙසිනි. නගරයේ මුස්ලිම් පිරිමින් රාත්‍රියට වෙළඳපොළේදී හමුවීමට පටන් ගත්හ. මම මීට පෙර කිසිදා දැක නොතිබූ පිරිමින්ද දකින්න ලැබුණි. ඔවුන් එක්ව කඩදාසි මත සටන් පාඨ පින්තාරු කළහ. ඒවා බවුජි මට කිසිදා ශබ්ද නඟා කියවන්න එපා යැයි කියූ වචනවලින් පිරී තිබුණි. ඔවුන් නිතර නිතර මුණ ගැසුණෝය. එක් බියකරු සැඳෑවක කාෂිෆ් අපේ ගෙදරට පැමිණියේය. උඩ තට්ටුවට නොවේ. ඔහුගේ හිසකේ අවුල්වී තිබුණි. ඇඳුම අපිළිවෙලය.

A Kite

“අද කඩේ රණ්ඩු වුණා”

ඔහු මගේ තාත්තාට කිව්වේය.

“අබ්බජාන් කියනවා එතනට යන්න එපා කියලා”

සෆීනා පරිස්සමෙන් එළියට ඇවිත් ඔහුට නිවසට අඬගසනු මම දැක්කෙමි. තාත්තා ඔහුට ස්තුති කළේ මෙය කාටවත් නොකියන බව පොරොන්දු වෙමිනි. කාෂිෆ් පිටව ගිය පසුව තාත්තා දොරවසා අගුළු දැමුවේය. මට බියක් දැණූනි. ප්‍රචණ්ඩත්වය ලාහෝරයට පැමිණියේ හදිසියේමය. කෑ කෝ ගැසීම්, දහවල් කාලයේ ඇඳුම් සාප්පුවල වීදුරු බිඳෙන හඬ ඇසුණි. රික්ෂෝවක් වීදියේ පෙරලී ඉදිරියට ඇදී ගියේය. එක රාත්‍රියක, අපි කෑම කමින් සිටින අතරේ කිසිවෙකු අපේ නිවස පසුකර වේගයෙන් දිව යන හඬ ඇසුණි. කිසිවෙක් දොරවල්වලට තට්ටු කළේය. ගින්නක් ගැන කතාවෙනු ඇසුණි. අම්මා මාව තදින් අල්ලා ගත්තාය. කාෂිෆ්ලාගේ ගෙදරත් අඳුරේ පැවතුණි. පසුදින උදයේ කවුරුත් බැල්කනියට ආවේ නැත. ඒ සතියේ මගේ අම්මාත් තාත්තාත් අප සතු ආභරණ, කුඩා දේවල්, ලියකියවිලි, ඇඳුම් බෑග්වලට ඇසුරුවෝය. ඔවුන් ලාහෝරය හැර යන්නට සූදානම් වෙන බව මට වැටහුණි. නිහඬ රාත්‍රියක අපි පිටත්වුණෙමු. නගරය පාළුවී ඇති ලෙසක් පෙනෙන්නට තිබුණි. ඈතින් නගරය හැර යන මිනිසුන්ගේ හඬ ඇසුණේය. අපි ඉක්මන් ගමනින් ඉදිරියට ඇදුණෙමු. තාත්තා නංගිව වඩාගත් අතර අම්මා මගේ අත තදින් අල්ලාගෙන සිටියාය. අපි මද දුරක් යද්දී කිසිවෙක් අපි ඉදිරියට ආවේය. ඒ කාෂිෆ්ය. ඔහු දෑත් පිටුපසට බැඳගෙන, පාවහන් හෝ නොමැතිව සිටියේය. ඈතදීම ඔහු හඬා වැටෙන බව මම දැක්කෙමි. තම දෑත් ඉදිරියට ගෙනා ඔහු මාස කිහිපයකට පෙර මා වෙනුවෙන් සෑදූ සරුංගලය පෙන්නුවේය.

“මේක ඔයාගේ ජනේලෙන් එළියට විසි වෙලා ගියා”

ඔහු පැවසුවේය. මගේ තාත්තා කලබලයෙන් වටපිට බැලූ අතර අපිට අනාරක්ෂිත බවක් දැණුනි. කාෂිෆ් වෙන වචනයක්වත් දෙඩුවේ නැත. දෙයක් අවසන් වන විට වැඩිහිටි පිරිමින් කරන්නාක් මෙන් ඔහු මදෙස බලා එක් වරක් හිස වැනුවේය. සෆීනා ඔහුට අඬගසනු ඇසිණි. ඔහු අපෙන් ඈත් විය. අපි නිහඬවම ඉදිරියට ඇදුණෙමු. කාෂිෆ් කුඩා තිතක් තරමට නොපෙනී යන තුරු මම නැවත, නැවතත් හැරී ඔහු දෙස බැලුවෙමි.

A Kite

අම්රිත්සර් හි සරණාගත කඳවුර මිනිසුන්ගෙන් පිරී තිබුණි. පැදුරුවල සිටින පවුල්, අයිනකට වෙන්නට ගොඩ ගැසූ ධාන්‍ය මළු, පාවහන් නොමැතිව එහෙ මෙහෙ දුවන කුඩා දරුවන්, කෑම සහ වතුර සඳහා පෝලිම්. මට වෙහෙසක් දැණුනි. දින ගතවී ගියේය. උත්සව දවස් ආවද කඳවුරේ දවස් හැමදාමත් එක සේ ගෙවී ගියේය. හෝලි දිනය වර්ණවත් නොවිණි. ඊද් දිනයේ සඳ උදාවුණේ නැත. දීපවාලී දා අඳුරුය. බසන්ත් පංචමි දා පෙර මෙන් අහසේ සරුංගල් නොවීය. සේවකයෙක් ළමයින්ට චිත්‍ර ඇඳීමට කඩදාසි ලබා දුන්නේය. මම එකිනෙකාට මුහුණලා ඇති ගෙවල් දෙකක වහලවල් දෙක මැද සරුංගලයක් ඇන්දෙමි. යමක් මහමින් අම්මා මා අසල සිටියත් ඇය වචනයක්වත් නොදෙඩුවාය. ඇය මහමින් සිටියේ ඇය සහ සෆීනා මහන්න පුරුදුව සිටි මෝස්තරයකි.

අපි නැවතත් කුඩා නගරයක ජීවිතය ගොඩනගා ගත්තෙමු. තාත්තා දිල්ලියේ සාප්පුවක් විවෘත කළේය. අම්මා ගෙදර බලා කියාගත්තාය. නංගී හැදී වැඩුණේ අතීත කතාවේ අපේ පැත්ත ගැන පමණක් අසාගෙනය. මම ඒ කහ පැහැති සරුංගලය ප්‍රවේශම් කළෙමි. කෙමෙන් එහි පැහැය වියැකී ගියේය. නමුත් මගේ මතකයන් එලෙස වියැකී ගියේ නැත. මිනිසුන් ලිපි ලියමින්, වාද, විවාද කරමින්, දේශ සීමා, සංක්‍රමණය, කැරලි, නැගී සිටීම, බෙදීම ගැන කතා කළෝය.

බෙදීම මම දන්නා දෙයකි. ලාහෝර්හිදී පිරිමි ළමයෙක් මගේ අතට සරුංගලයක් දුන් මොහොතේ, ඔහු මට සමු නොදුන් මොහොතේ, මම ඒ ගැන දැන ගත්තෙමි.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Ayaan Kohli විසින් රචිත A Kite කතාව ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි ]

Latest news

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

වත්මන් රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් – විපක්ෂ නායක සජිත්

රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා...
- Advertisement -spot_img

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

රත් දෝතළු – 88

රත් දෝතළු - 88 මට නිතර අහස් සිහි විය. ඔහුගේ මතකයෙන් මා කෙලෙස මිදෙන්නද.? මා නිවසින් පිටව ඇතිබවක් දැනගත් විට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you