NovelsRath Dothaluරත් දෝතළු - 63

රත් දෝතළු – 63

-

spot_img

රත් දෝතළු – 63

අහස් සමඟ රථයේ එන අතරේ වුවද මම කිසිත් කතා නොකළෙමි. නිර්මාණි කීවේ ඔහු එනතුරු නොසිට කුලී රියක නැඟී යන ලෙස මුත් එවැන්නක් කිරීමටද මසිත මට ඉඩ නොදිණි. මඳ දුරක් නිහඬම රථය පදවාගෙන ආ ඔහු ජනාකීර්ණ නොවූ තැනක රථය නවතන විට මම ගෙළ හරවා ඔහු දෙස බැලුවේ ඔහු එසේ කිරීමට හේතුව කුමක්දැයි වටහාගනු නොහැකිවය.

“මොකද මේ… කට අගුල් වැටිලද…?”

ඔහු මවෙත හැරී අසන විට මම ඉවත බලාගතිමි. මාවත කළබලය. ඊටත් වඩා මා සිත කළබල වී ඇතිවාක් මෙනි. එක පෙළට දිවෙන රථ වාහන දෙස මා බලා සිටියේ හිස් දෑසිනි.

“අම්මා කළ දේ වැරදියි අරවින්දි… එයා අම්මා වුණත්… මං එයාගේ පැත්ත ගන්නෙවත්… එයාව සුදනා කරන්නවත් හදන්නේ නැහැ… වැරද්ද වැරැද්දමයි… ඒක අම්මා නෙවේ කවුරු කළත් මං ඒකට විරුද්ධයි… එහෙම කියලා ඔයා මා එක්ක මූණ ඇද කරන් ඉන්න මං වරදක් කළා නෙවේනේ…”

එය එසේ වුවත් මට ඔහු සමඟ වුවද කතා බහ කිරීමට වුවමනාවක් නැත.

“කතා කරන්න… මේ බලන්න… මං ඔයාට වරදක් කළාද…?”

ඔහු යළිත් අසන විට මම එක එල්ලේම ඔහු දෙස බැලීමි.

“සර් වරදක් කළේ නැහැ… ඒත් එහෙම කියලා මං වරදක් කළාද… මං සර් එක්ක නටන්න ආවද… දෙන්නා එක්කම නටනවා කියලා මට මොකටද චෝදනා කරන්නේ…?”

මා ඇසුවේ යම්තරමක කෝපයකිනුත් ශෝකයෙනුත් යුතුවය. අහස්ගේ මුවේ ඇඳී තිබූ සිනහව දුටු මා සිතේ ඇතිවූයේ නොසතුටකි.

“හරි ළමයෝ… ඔයා නැටුවේ නැහැනේ… මං නටමු කිව්වොත්… ඔයා නටනවද මා එක්ක…?”

වේගයෙන් ඇසිපිය සළමින් මම ඔහු දෙස බැලීමි.

“අහස් සර්… මාව විහිළුවකට ගන්න එපා… මගේ අම්මා තාත්තාවත් මෙච්චර කාලෙකට මට අතක් උස්සලා පාරක් ගහලා නැහැ… ඒත්… අද… මං වරදක් නොකරම මට කම්මුල් පාරක් කන්න වුණා… මං අදත් ඉවසන් හිටියා… මොකද මට එයාගේ තත්වෙට වැටෙන්න ඕන නැති නිසා… දුප්පත්කමට රස්සාවට ආවට එක එක්කෙනාගෙන් කතා අහගන්න මට ඕන නැහැ… ආයේ වතාවක් මං ඉවසන්නේ නැහැ… මට මගේ ආත්ම ගරුත්වය වටිනවා රස්සාවට වඩා…”

මා සිතේ වූ කෝපය මම ඔහු ඉදිරියේ දිග හැරියෙමි.

“අන්න එහෙම ඉන්න අරවින්දි… ඔයා වරදක් නොකළ නිසා තමා… මං ඔයා වෙනුවෙ කතා කළේ… මං විතරක් නෙවේ… මල්ලිත් එයාට හොඳට දොස් කියලා… සුදු මම්මාත් කෝල් කරලා බැන්නා… එයා අපේ අම්මා එයා නංගි වුණාට… එයාට වඩා ඔයාට ආදරෙයි… ඔයා ඒක හොඳටම දන්නවානේ… මටත් හරිම කණගාටුයි සිද්ද වුණු දේට… අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි…”

අහස් සැබෑවටම කණගාටු වන බව සැබෑ මුත් එය මා සිත සැනසීමට තරම් ප්‍රමාණවත් නොවූවා සේම සිදු වූ දෙය මට ලෙහෙසියෙන් අමතක කරන්නට නම් නොහැකිය.

“සොරි කිව්වා කියලා… ඒ තුවාල වුණු හිත සනීප වෙන්නේ නැහැ අහස් සර්… ඒ වෙලේ මමත් සර්ගේ අම්මට බැන්නා නම් සර් මෙහෙම මෙතන ඉඳන් මගෙන් සමාව නොගන්නත් ඉඩ තිබුණා… නැත්ද…?”

උපහාසයෙන් මම කීවෙමි. ඔහු කෙටි සුසුමක් හෙළමින් රථය පණගන්වාගෙන ධාවනය කළේය.

අහස් මෙන්ම විහඟවද හැකිතාක් මඟහැර සිටීමට මම ප්‍රවේශම් වූයෙමි. රාත්‍රී කෑම මේසය සූදානම් කර මම ඔවුන් මඟහැර එන විට අහස්ගේ දෑස් මා ලුහුබඳින බව මට දැනුණද මම තැකීමක් නොකළෙමි. මා ඔවුන් මඟහැරීමට උත්සාහ දරන්නේ මා සිතේ පහව නොගිය අමනාපය නිසාවෙනැයි ඔවුන් සිතුවා වන්නට ඇත.

“කැලෑ මල කන්න එන්නේ නැත්ද…?”

විහඟගේ හඬ මා පසුපසින් ඇසුණද පිළිතුරක් දීමට මම පමා නොවූයෙමි. දින කීපයක්ම මම මෙසේ ඔවුන් මඟාරින විට අහස් නොසන්සුන් සිතින් පසුවන බව මට දැනුණද, මම ඒ පිළිබඳව තැකීමක් නොකළෙමි. විහඟ වුවද පෙර මෙන් මා සමඟ විසුළු කිරීමට නොආයේය. ඉන් මා කෝපයට පත්වනු ඇතැයි කියා ඔහු සිතුවා වන්නට ඇත. ඔවුන් නිවසේ නැති විටක පමණක් මම විනිෆ්‍රීඩා මහත්මිය සමඟ හිඳ ආහාර ගතිමි.

“අරවින්දි…”

දිනක් මා මෙසේ ඔවුන් මඟහැර ඒමට සූදානම් වන විට අහස් මා ඇමතුවෙන් මම ආපසු හැරී ඔහු දෙස බැලීමි.

“එන්න අපි එක්ක කෑම කන්න…”

එය ඉල්ලීමක් නොව විධානයකි. මා එයට අවනත විය යුතුද?

“මට බඩගිනි නැහැ සර්… මං පස්සේ කන්නම්…”

මම හැරී ආලින්දය දෙසට එන විට කිසිවෙකු මා පසුපස එන බව දැනී මම ආපසු හැරී බැලීමි.

“අරවින්දි… ඔයාට බඩගිනි වුණාම කතාකරන්න… මාත් ඒ වෙලාවටම කන්නම්…”

මා සිත අසරණ කරමින් ඔහු එසේ පවසා අනෙක් පසට යෑමට සූදානම් විය.

“අහස් සර්…”

මගේ හඬින් නැවතුණු හෙතෙම දොර උළුවස්සට දෑත බරකර මවෙත හැරුණේය. මා දෑස් කඳුළුවලින් පිරී තිබුණෙන් මට ඔහුගේ රුව පෙනුණේ බොඳවය.

“සර්… දැන් නොකාම යනකොට… මැඩමුත් කන්නේ නැතුව බඩගින්නේ ඉඳියි… සර් මැඩම් එක්ක කන්න… මං මගේ සීමාවේ ඉන්නම්… මට කාගෙන්වත් බැනුම් අහලා පුරුදු නැහැ… මං මෙහේ ඉන්න එපා නම් මං යන්නම්…”

ඔහු ඉදිරියේ නොහඬා සිටීමට දැරූ උත්සාහය ව්‍යර්ථවන විට මම ආපසු හැරී කාමරයට දිව ආවෙමි. හඬන්නට වුවමනාවක් මට නොවුවද මට හැඬිණි. දොර වසා දැමූ මම යහන මත වැතිරගතිමි.
————————————————————————————————————————————————————-
පෝච්චි වල සිටුවා තිබූ බෝගන්විලා මල් පැල වල කොළ නොපෙනෙන තරමට මල් වලින් පිරී තිබෙනු දකින විට මසිතේ ඇති වූයේ සතුටකි. ඒවාට සාත්තු කෙරුවේ මාත් විනිෆ්‍රීඩා මහත්මියත් එකතුවය. සුවඳක් නොවූ ඒ මල්වල වූයේ පැහැයකුත් අලංකාරයකුත් පමණි. ඒවාට වඩා නම් මා සිත් ගත්තේ තාප්පය අයිනේ දිගට සිටුවා තිබූ සුදු පාටින් මලින් බර වූ ඉද්ද පැළය. මල් පැළ වලට වතුර දමමින් සිටින විට විහඟ සඳළුතලයට වී මා දෙස බලා සිටිනු මම දුටුවේ අහම්බෙනි. ඔහු නොදුටුවා සේ මම මගේ කාර්යයේ නිරතවූයෙමි. සුළු මොහොතකට පසුව මා පසුපසින් ඇසුණු ගීතයක සිවුරුහන් නදින් මම හැරී බැලීමි. විහඟ එහි විය.

“මල් පිපිලා… ලස්සනයි නේද…?”

මා කතාවට අල්ලාගැනීමේ වුවමනාව නිසාදෝ ඔහු ඇසුවද මම පිළිතුරක් නොදුන්නෙමි.

“තාමත් අමනාපෙන්ද ඉන්නේ…?”

මම එයද නෑසුණා සේ සිටියෙමි.

“ඒ හලෝ… අයෑම් ටෝකින් ටු යූ… යූ හියර් මී…?”

ඔහුගේ හඬ පෙරට වඩා උස් වූයෙන් මම හැරී ඔහු දෙස බැලීමි.

“මොනවද විහඟ සර්…?”

ඕනවට එපාවට මම ඇසීමි.

“ඕකනේ ඉතින්… අපි වැරදි කළා වගේ අපි එක්ක කතා නොකර ඉන්නේ… තාමත් ඉන්නේ අමනාපෙන්ද…?”

නොමනාපය මුසු හඬකින් ඔහු ඇසීය.

“මං මොකටද සර් කා එක්කවත් අමනාප වෙන්නේ හරි… තරහාවෙන්නේ හරි…? මෙහෙම ඉන්න එක හැමෝටම හොඳයි…”

“මොන හොඳක්ද අරවින්දි… කාටද හොඳ…? බලන්න… අපේ බිග් බ්‍රෝ… එයා ඉන්නේ සතුටින් නෙවේ… සුදු මම්මාත් කොයි වෙලේ බැලුවත් කල්පනාව… කාටවත් මොකුත් කරන්න හිතෙන්නේ නැහැ… අපි හැමෝම හිනාවෙලා හිටපු දවසක් මතක නැහැ…”

ඔහුගේ කතාව මා සිතේ ඇතිකළේ කම්පනයක් මෙන්ම පසුතැවීමකි. ඒ කතාව සත්‍යයකැයි කියා මට සිතුණේ මේ මොහොතේදීය. කැළඹුණු සිතින් මම ඔහු දෙස බැලීමි.

-හෙටත් හමුවෙමු-

Latest news

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන්

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන් දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර...

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...
- Advertisement -spot_img

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

මම රෑ දහය වෙනකොට නිදාගන්නව

මම රෑ දහය වෙනකොට නිදාගන්නව - Sonam Kapoor සෝනම් කපූර් හැඳින්වෙන්නේ බොලිවුඩ් සිනමාවේ වඩාත්ම ආකර්ෂණීය නිළියක් සහ Fashion Icon එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you