NovelsRath Dothaluරත් දෝතළු - 39

රත් දෝතළු – 39

-

spot_img

රත් දෝතළු – 39

මිදුල දිගේ මම පිටුපසට පැමිණියෙමි. පිටුපස දොර හරින තුරු මම දොර ළඟ පමා වූයෙමි. මඳ වෙලාවක් ගියද දොර හරින පාටක් පෙනෙන්නට නැත. ඔහු දොර හරීවි කියා විශ්වාසයක්ද මසිතේ නොවීය.

“මොන එහෙකට පිටිපස්සෙන් එන්නම් කිව්වද මංදා… දොර වහලා කියලා මට අමතක වුණානේ…ෂිට්…”

මම මටම දොස් පවරාගතිමි. ගවුමේ ඇළුණු වැලි තවමත් එසේමය. කීප වරක් ගසා දැමුවද මුහුදු වැලි ගවුමට ඇළී ඇතිවාක් මෙනි. ගෙයක් සාදන්නට තරම් වැලි එහි ඇත. යළි ආපසු හැරී යෑමට සූදානම් වන මොහොතේම අහස් දොර හැරියේය.

“මං හිතන්නේ ජීවිතේ පළවෙනි වතාවටද කොහෙද බීච් ගියේ… හොඳට නැටුවද…?”

ඔහු දොර අවුරා සිටගෙන විමසුවේ උපහාසය මුසු හඬිනි.

“මම නැටුම් කළේ නැහැ… මියුසික් කළේ… හැබැයි හොඳට රැල්ල පෑගුවා… ආයේ කවදා චාන්ස් එකක් හම්බෙයිද කියන්න දන්නැහැනේ…”

ඔහු කී දේ නොතකමින් මම කීවේද උපහාසයෙනි. මා කෝප ගනීවි යැයි කියා ඔහු සිතුවා වන්නට ඇත. ගෙතුළට යෑමට නොහැකිය. අහස් මඟ අවුරා සිටගෙන සිටියේ දෙඅත් උළුවස්සට බරදී සිටගෙනය. යනවා නම් ඔහුගේ අත යටින් රිංගිය යුතුය. එය නොමනාකමකි.

“සුදු මම්මට පින්… මෙයාලව බීච් එක්ක ගියාට…”

ඔහු එල්ල කළේ ඇනුම්පදයකි. මට එය ඉවසා සිටිය හැකි මුත් සිත සියුම් ලෙස රිදෙන කාරණය කුමක්දැයි කියා වටහාගැනීම නම් අසීරුය.

“මම ඇතුළට යන්නද…?”

ඔහු ඉවතට නොයන පාටක් නොමැති නිසා අවසන මම ඇසුවෙමි.

“ඕහ්… ප්ලීස් කමින්… සමාවෙන්න පමා කළාට…”

ඔහු පැවසුවේද උපහාසයෙනි.

“ඉට්ස් ඕකේ…”

ඔහු පසෙකට වූ ඇසිල්ලේ මම ගෙතුළට ආවේ ඔහුගේ කතා විලාසයට සිත යටින් සිනහසෙමිනි. ඇඟ පත සෝදාගෙන මම ඉක්මනින් ඉදිරිපසට ආවේ විනීෆ්‍රීඩා මහත්මිය සොයාගෙනය. ඈ අහස් සමඟ ආලින්දයට වී කතාබහකය.

“තේ ටිකක් බිව්වා නම් හොඳයි නේ සුදු මම්මා…”

ඔහු එසේ කීවේ මා එනු දැකය.එසැණින් ආපසු හැරී මම මුළුතැන්ගෙයට ආවෙමි. තේ සාදන අතරේද මම සිතුවේ විනීෆ්‍රීඩා මහත්මිය ගැනය. පිටින් නොපෙන්නුවද මුවින් නොපැවසුවද ඈ කෙතරම් නම් මානසික පීඩාවකින්, ඇතුළාන්ත තනිකමකින් පසුවෙනවා ඇතිද කියා සිතන විට අනුකම්පාවකිනුත් යම්කිසි වේදනාවකිනුත් මා හද ඇවිළිණි. අඟහිඟ කම් අඩුපාඩු නොවුවද ඇගේ ජීවිතය හිස් වූවක් කියා ඇයට නිතර දෙවේලේ සිතෙනවා ඇතිවාට සැක නැත. ඇයද ගැහැණියකි. ශාරීරීක වේදනාවක් නොවින්දා වුවද ඈ දැඩි මානසික වේදනාදක් විඳින්නීය. මට අම්මා සිහි විය. ඈ උදෑසන පටන් ගත වෙහෙසා වැඩපළ කරන්නේ සිය පවුල නිසාය. ඈ දුක් විඳින්නේ ශාරීරිකවය. අඟහිඟ කම් තිබුණද අප නිවසේ සිටියේ සතුටිනි. විනීෆ්‍රීඩා මහත්මියට සියළු සැපසම්පත් ඇතිමුත් ඈ සිටින්නේ වේදනාවෙනි. අම්මාත් ඇයත් දෙවිදියකට අසරණ වූ ගැහැනුන්ය. මුදල් හදල් තිබුණා නැතා මිනිසුන් වූ සැමදෙනම කුමන හෝ වේදනාවකින් පීඩා විඳින්නේය. මම තේ සාදාගෙන එන විට අහස් පෙනෙන්නට නොවීය. දැන් තේ වුවමනා වූයේ ඔහුටය.

“පුතා එළියට ගියා දුවේ…”

මම තිගැස්සී ගියේ ඈ මා “දුවේ”යැයි ඇමතූ නිසාය. ඈ කෙරෙහි උපන් අලුත් සෙනෙහසකින් මසිත පිරී ගියේය. ඇයට තේ කෝප්පයක් පිළිගන්වා මම අහස් සොයා මිදුලට පැමිණියෙමි. සිය ජංගම දුරකථනයට හිස ඔබාගෙන ඔහු සිටියේ මිදුලේ වූ බංකුව මත හිඳගෙනය.

“සර්… තේ ගෙනාවා..”

මම පැවසුවද ඔහු හිස ඔසවා නොබලාම ඉඟියෙන් කීවේ එය බංකුව මතින් තබන ලෙසය. නොරුස්සුමක් මා සිතේ ඇති වුවද මම තේ කෝප්පය බංකුව මතින් තබා මඳක් පමා වූයේ ඔහු සමඟ කතාකිරීමේ වුවමනාව නිසාය. දැන්, දැන් ඔහු හිස ඔසවා බලනු ඇතැයි සිතමින් මම එහි පසු වුවද ඔහු හිස ඔසවන පාටක් නම් නොපෙනිණි. වශී බන්ධනයකට හසු වූවාක් මෙන් කුමක් බලනවාදැයි කියා මම පුදුම වූයෙමි.

“සර්…”

නොසතුටෙන් මම යළිත් ඇමතීමි.

“ඔව්… කියන්න අරවින්දි…”

ඔහු දුරකථනයෙන් නෙත් මුදවා නොගෙනම පිළිතුරු දෙනවිට මා සිතේ නොරුස්සුම වැඩි විය.

“කොච්චර උගතෙක් වුණත්… මොන තරම් සල්ලි තිබුණත් ඇති වැඩක් නැහැ…”

තිගැස්මෙන් ඔහු හිස එස්වූයේ එවිටය.

“මොළේකුත් නැත්නම්… හදවතකුත් නැත්නම්…”

වැකිය අවසන් කොට මම ආපසු හැරුණේ ඔහුට රවමිනි.

“ඔහොම ඉන්න… මොකක්ද ඒ කතාවේ තේරුම…?”

ඒ හඬින් මම ආපසු හැරුණෙමි. ඔහු ජංගම දුරකථනය පසෙක තබා මවෙත හෙළුවේ නොමනාපය මුසු බැල්මකි.

“තේරුම ඒකම තමා… ඉඳලා හිටලා හරි මනුස්සයෙක්ට ඇහුම්කන් දෙන්න පුරුදුවෙන්න… මම මෙතන හිටගෙන හිටියා… නිකමට ඔළුව උස්සලා බැලුවද… කතා කරනකොටවත් ඇයි කියලාවත් ඇහුවද…?”

“හරි… දැන් මොනවද කියන්න හැදුවේ…?”

“දැන් ඒවා කියලා වැඩක් නැහැ… සර්ගේ වැඩේ කරගෙන යන්න… ඔය යන්තරේ හුඟාක් වටිනවා ඇතිනේ…”

ඔහුට හිස ගස්සමින් මම ගෙතුළට ආවෙමි.

“මහන්තත්තකම…”

මම සිතින් මිමුණුවෙමි.
————————————————————————————————————————————
“අරවින්දිට හොඳ අත් ගුණයක් තියනවා… නැත්ද පුතේ…?”

රාත්‍රී ආහාර ගන්නා අතරේ විනිෆ්‍රීඩා මහත්මිය කීවාය. අහස් එයට හූ මිටි තැබුවා පමණි. අම්මාගේ අත්ගුණය මටද පිහිටා ඇති බව මම විශ්වාස කළෙමි. මා ගැනම උදම් ඇනීමට තරම් දෙයක් මට නැති වුවද අහස් නිහඬව සිටියේ උඩඟුකම නිසා කියා මම සිතුවෙමි. නොඑසේ නම් සවස මා කී කතාවට ඔහු පසුවෙනවා ඇත්තේ නොමනාපයෙන් විය හැක.

“ශීලාගේ කෑම නම් මෙලෝ යකෙක්ට කන්න බැහැ තමා සුදු මම්මා… හොද්දක් හැදුවත් ඇල් වතුර වගේ… මීට පස්සේ නම් හොටෙල් කෑම ඕර්ඩර් කරන්න ඕන වෙන එකක් නැහැ…”

ඔහු නොකියා කියූ දෙය මට වැටහිණි. මම වහා හිස ඔසවා ඔහු දෙස බැලීමි. ඔහුද මඳහසක් මුවේ තවරාගෙන මදෙස බලන විට මා මුවටද සිනහවක් නැඟිණි. එසේනම් ඒ සිතේ අමනාපයක් නොමැත. මා සිතූ දෙය වැරදිය. මසිත සතුටින් පිරී ගියේ පෙර වූ නොපහන් බව බොඳව යමිනි.

“සුදු මම්මා… මම හිතුවේ මේ වීකෙන්ඩ් එකේ ගිහින් එන්න කියලා…”

ඔහු ඒ පවසන්නේ සිය ව්‍යාපාර කටයුතු සඳහා විදෙස්ගත වීම ගැන බව මට වැටහිණි.

“ඔයා ගිහින් නිදහසේ ඒ වැඩ ටික කරගෙන එන්න පුතේ… අරවින්දි ඉන්නවානේ…”

“ඔව්… දැන් නම් හිතට බයක් නැහැ…”

ඔහු කීවේ සැහැල්ලු සිනහවක් මුව මත නංවාගෙනය. ඔහුට මා කෙරෙහි විශ්වාසයක් ඇත. ඔහු නැඟිට ඉවත ගියේය. වින්ෆ්‍රීඩා මහත්මියද ආලින්දයට යන විට මම මුළුතැන්ගෙය අස්පස් කොට පිටතට ආවෙමි. දෙදෙනා සිටියේ රූපවාහිනිය නරඹමිනි. දැන් ඇගේ බෙහෙත් වේල බීමට වෙලාවය. මම එයත් රැගෙන ඈ අසලට ගියෙමි.

“දැන් නම් මට මේවා බීලා අප්පිරියා වෙලා තියෙන්නේ…”

ඈ බෙහෙත් අහුර අතට ගත්තේ අපුළෙන් මෙනි.

“සනීපෙන් ඉන්න නම් බෙහෙත් බොන්නම එපැයි මැඩම්… නැත්නම් ආයේ බීච් ගිහිල්ලත් ඉවරයි…”

“ඒක නම් ඇත්ත… ඒත් ඉතින් මට අද නම් කිසිම අමාරුවක් ඇත්තේම නැහැ…”

බෙහෙත් අහුරම එක හුස්මට ගිල දැමූ ඈ කීවාය.

“ලෙඩ හොඳ වෙන්න… බෙහෙත් විතරක් මදි මැඩම්… හිතත් සතුටින් සැහැල්ලුවෙන් තියෙන්න ඕන… ගේ ඇතුළටම කොටු වෙලා හිටියාම හිතයි, ගතයි දෙකම ලෙඩ වෙනවා…”

මම එය කීවේ අහස්ටද ඇසෙන්නටය. රූපවාහිනිය වෙත දෑස් දැල්වී තිබුණද ඔහුද අපේ කතාබහට සවන් දෙන බව මම දැන සිටියෙමි.

“අරවින්දි…”

මම පිටුපසට යෑමට සැරසෙන විට අහස් මා අමතන හඬින් මම ආපසු හැරුණෙමි.

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you