Tharu Mal Viyan තරු මල් වියන්
විවාහ උත්සවයට ගිය මාමාත් නැන්දාත් රථයෙන් බැස ගෙතුළට ආවේ දෑත් පටළවාගෙනය. ඔවුන් තවමත් සෙනෙහසින් පසුවන්නේ අලුත විවාහ වූ යුවළක් මෙනි. දෙදෙනා අතර බහින් බස් වීමක් හෝ ඇති වූ බවක් අංජලී ඇසී නොතිබිණි. ඇයට අම්මාත් තාත්තාත් සිහි විය. ඔවුනතර නිතර නිතර සංඩු සරුවල් ඇති විය.තාත්තා නිවාඩු දිනක හෝ නිවසේ සිටින විට එකට හිඳගෙන කෑම කටක් කෑ බවක් ඇගේ මතකයේ නොවීය.
“ගෙදර ඉන්න දවසටවත් එකට ඉඳන් බත් කටක් කන්න බැරි හැටි…”
අම්මා කියන්නේ ශෝකයත් කලකිරීමත් මුසුව තමාටම මිස තාත්තාට ඇසෙන්නට නොවේ. ඈ කවදත් සංඩු සරුවල් ඇතිකර ගැනීමට අකමැති වූවාය.
“හම්මේ…හරි මහන්සියි…දුව කොයි වෙලේද ආවේ…?”
මාමා ඇසුවේ අසුනකට බර දී සුව පහසුව හිඳ ගනිමිනි.
“හවස ආවේ මාමේ…කොහොමද වෙඩින් එක…?”
නැන්දාද පසෙක හිඳ ගන්නා විට ඈ විමසුවාය. මේනක ද කාමරයේ සිට පිටතට පැමිණියේ ඔවුන්ගේ හඬ ඇසීමෙනි.
“අනේමන්දා…දැන් කාලේ තියෙන්නේ මඟුල් ගෙවල් නෙවේනේ…මළ කෝළම්නේ…අර ඩාන්ස් කියයි…මේ ඩාන්ස් කියයි…මනමාලයගේ හරි මනමාලිගේ හරි පරණ වීඩියෝ ටිකක් අරන් උන් දෙන්නව අපහසුවට පත් කරන එව්වයිනෙ…ඕවා වෙඩින්ද…ලක්ෂ ගණන් වියදම් කරලා ඕවාද කරන්නේ…ඒ කරලත් හරියට පවුල් කන්නේ කීයෙන් කී දෙනාද…?”
නැන්දාගේ කතාවට සිනහ නැඟුණද ඈ පවසන්නේ සත්‍යයකි.
“ඒක නම් ඇත්ත තමා…”
අංජලීද කීවාය.
“දැන් කාලේ හැමෝම රැල්ලකට අහුවෙලා ඉන්නේ අම්මේ…තමන්ට ගැළපෙන දේට වඩා කරන්නේ අනිත් අයට ඕන දේ…”
ගිම්හානි කීවාය.
“නොගිහින් බැරි කමට ගියා…”
නැන්දා කතා කරන්නේ කලකිරීම් මුසුව බව අංජලීට වැටහිණි.
“අම්මා වෙඩින් එකකට ගිහින් ඇවිත් ඉන්නේ නිකන්…ෆියුනරල් එකකට ගිහින් ආවා වගේනේ…”
මේනක සිනහා නඟමින් කීය.
“අද කාලේ මඟුල් ගෙවල් මොනවද…මළ ගෙවල් මොනවද කියලා හොයා ගන්න පුළුවන්ද…දෙකම එක වගේ…කාලා බීලා සතුටු වෙලා මනමාලි යන්න හදනකොට හොටු පෙරන් අඬනවා අවසන් ගමන් යනවා වගේ…මළ ගෙවල් වල කාලා බීලා මිනිය අරගන්න හදනකොට අඬනවා අනේ ගෙනියන්න එපා කියලා…තියාගෙන කරෝල කරන්නද…?”
ඉන්ද්‍රාණිගේ කතාවට මේනක උස් හඬින් සිනහසෙන විට අංජලීත් ගිම්හානිත් එකිනෙකා දෙස බලා පහත් හඬින් සිනහසුණෝය. මාලක නිවසට පැමිණියේ ඉරු දින රාත්‍රියේය. අංජලී පැමිණ ඇති බව ඔහු දැන ගත්තේ පසු දින ඈ පිටත්ව යාමට සූදානම් වන විටය.
“අංජු යමු මා එක්ක…මං ඩ්‍රොප් කරන්නම්…”
ඔහු එසේ කීවේ සූදානම් වීත් නැතිවය.
“ඔයා ඕන නැහැ…අයියා ගිහින් ඇරලවයි…තාම ලැහැස්ති වෙලත් නැතුව…”
නැන්දා වහා කියන විට අංජලී තිගැස්සී ගියේ නැන්දා එසේ විරුද්ධ වීමට හේතුව ඔවුන් පිළිබඳව සැකයක් ඇති කරගත් නිසාවෙන්දැයි කියා ඈ සිතුණු බැවිනි.
ඈ මේනක සමඟ පැමිණෙන අතර තුරදීත් සිතමින් ආවේ ඒ ගැනමය.
“මොකද මෙයා නිකන් අද මහසෝන් දිෂ්ටිය වැදිලා වගේ ඉන්නේ…?”
මේනක ඇසුවේ ඇගේ නිහඬ බව නිසාය. අංජලී මඳහසක් මුවේ තවරාගෙන මේනක වෙත හැරුණාය.
“ඔයා මීට කලින් මහසෝන් දිෂ්ටිය ගහපු අයව දැකලා තියනවද සුදු අයියා…?”
“මීට කළින් නම් දැකලා නැහැ…ඒත් අහලා තියනවා…මේ දැන් තමා දැක්කේ එහෙම කෙනෙක්ව…”
මේනක සිනහසෙමින් කියන විට අංජලී මවා ගත් නොමනාපයකින් ඔහු දෙස බැලුවාය.
“හරි නරකයි…”
මේනක සිනහවෙන් කතාව මඟහැරීම ගැන අංජලී සිත යටින් සතුටු වූයේ කතා බහ දිගටම ඇදී ගියා නම් මාලක ගැන ඈ මුවින් පිටවනු ඇතැයි සිතූ නිසාය. අනෙක් අතට ඇගේ සිතේ වරදකාරී හැඟීමක් ඇති වූයේ මේනක මෙන්ම නැන්දා මාමාත් තමාට දක්වන සෙනෙහසට විරුද්ධව පවක් කළාක් මෙන් දැනුණ බැවිනි. ගිළිහෙන්නට ගිය සුසුම ඈ ආයසයෙන් මැඩ ගත්තාය. රථයේ එන අතරේ මාලක ගන්නා ඇමතුම් ඈ මඟහැරියේ මේනක ඉදිරියේ කතා කරන්නට නොහැකි නිසාය.
——————————————————————————————————
“මෙයා ගෙදර ගිහින් එන හැමදාම ඉන්නේ මූණ පුම්බන්…”
මියුර ඇනුම්පදයක් එල්ල කළේ අංජලීටය. සැමදෙනගේ අවධානය ඈ වෙත යොමු වන විට අංජලී තිගැස්මෙන් මියුර දෙස බැලුවාය.
“අනේ නැහැ අනේ…පිස්සු මෙයාට…”
සිනහවක් මුව මත නංවාගෙන ඈ කීවාය.
“පිස්සු තමා…මං කියන්නේ බොරුද…?”
මියුර ඇසුවේ ගයානිගෙනි. ඇයද එවිට හිස සැළුවාය.
“දීකිරට බළල්ලුත් සාක්කිලුනේ…”
අංජලී කීවේ මවා ගත් නොමනාපයක් පළ කරමිනි.
“ආයේ මෙයාට ගෙදර යන්න නොදී හිටියා නම් හරි…”
සෙනුර කීය.
“ආහ්…එහෙමද ආසා…බලමුකෝ…”
හිස ගස්සමින් අංජලී කීවේ සෙනුරට මුවද ඇද කරමිනි.
“බලන්න දෙයක් නැහැ…ඔන්න තුෂර මෙයාට ආයේ ලීව් දෙන්න බැහැ…”
මයුර කීවේ නිහඬව සිටින තුෂරටය. ඔහු සිනහසෙමින් අංජලී දෙස බැලුවේය.
“මට එහෙම කරන්න බැහැ…”
තුෂර දුන් පිළිතුරෙන් අංජලී සිතේ ඇති වූයේ සතුටකි.
“හූ…ඇත්ද දැන්…?”
ඈ කෑ ගැසුවේ මයුර පරාජයට පත් වීම කෙරෙහි උපන් සතුටිනි.
“හා…හා…ඔහොම යමුකෝ…”
මයුර මවා ගත් ශෝකයකින් කීය.
“දුක හිතුණාද…?”
අංජලී අනුකම්පාවෙන් ඇසුවාය.
“ඕන නැහැ…මොකටද ඔයා අහන්නේ…?”
“අනේ…ඇත්තටම දුකද…හරි හරි…ඔයා කියනවා නම් මං ආයේ නොයා ඉන්නම්කෝ…”
සැවොම අතර සිනහවක් නංවමින් අංජලී කීවාය.
“අපොයි…ඕන නැහැ…අපි කවුද ඔයාට නීති දාන්න…”
මයුර යළිත් කීය.
“මුං දෙන්නා බලකෝ…අලුත බැඳපු ජෝඩුව වගේ…”
සෙනුර කියන විට යළිත් පැතිර ගියේ සිනහවකි.
මාලක සමඟ කතා බහ කිරීමට අංජලීට අවස්ථාවක් ලැබුණේ රාත්‍රියේ නවාතැනට පැමිණි පසුවය.
“ඔයා මා එක්ක තරහද…?”
මාලක අසන විට ඈ සිතේ ඇති වූයේ මවිතයකි.
“ඒ ඇයි…?”
“ඔයාව ඇරළවන්න නාවට…”
“ඒකට නම් මං තරහා නැහැ…හැබැයි තරහා නොකියාම ට්‍රිප් එක ගිය එකට…”
මාලක සිනහසෙන හඬ ඇයට ඇසිණි.
“මොකද හිනා වෙන්නේ…?”
ඈ ඇසුවේ නොසතුටෙනි.
“නැහැ…නිකන්…ඒක ඉතින් අපි හදිසියේ ගිය එකක්…”
“ඕකම අපි කළා නම් ඔයා නිකන් ඉඳියිද…?”
ඈ පෙරළා ඇසුවාය.
“ඕකට ඉතින් මූණ එල්ලගන්න ඕන නැහැනේ…”
“වැඩේමයි…කවුරු කවුරුද ගියේ…?”
“ඉරේෂ්…මම…සංජය…මල්කි…නිමා…සංචලා…තව කීප දෙනෙක්…”
සංචලාගේ නම ඇසෙන විට ඈ සිතේ ඇති වූයේ තිගැස්මකි. ඇයත් එයට සහභාගී වී ඇත. ඔහු එය එසේ කීවේ තමා ඇවිස්සීමට සිතාද කියාත් ඇයට සිතිණි. මාලක සමඟ තව දුරටත් කතා බහ කරගෙන යාමට වුවමනාවක් ඇයට නොවූ සෙයකි. ඈ කතා බහ නිම කළේ සිතේ ඇති වූ ඊර්ෂ්‍යාවත් ශෝකයත් මුසුවය.
“ඒ පාර මොකද ආයේ මූණ සත පහ කරන්…?”
කාමරයට පැමිණි අංජලීගේ මුහුණ දැක ගයානි ඇසුවේ රංගිකා දෙසත් බලානය. අංජලී සුසුමක් හෙළමින් ගයානිත් රංගිකාත් අසළ හිඳ ගත්තාය.
“ඉරේෂ් කිව්වද ඔයාට ට්‍රිප් එකක් යනවා කියලා…?”
අංජලී ඇසුවේ ගයානි දෙසම බලානය. ඈ තිගැස්මෙන් මිතුරිය දෙස බැලුවාය.
“ට්‍රිප් එකක්..කවද්ද යන්නේ…මට කිව්වේ නැහැ…”
“යන්නේ කවද්ද නෙවේ…ගිහින් ආවේ…”
අංජලී කීවේ නොමනාපයෙනි.
“මොකක්…කවද්ද…කොහෙද ගිහින් තියෙන්නේ…?”
“සෙනසුරාදා…ඊයේ රෑ තමා මාලක ගෙදර ආවේ…ගෙදර යනකලුත් මං දන්නේත් නැහැ…”
“ඕක අපි කළා නම් එහෙම නටාගෙන එයි…මතකනේ තුෂරලා ගෙදර ගියා කියලා නටපු හැටි…මටත් දැන් මේක ඇති වෙලා තියෙන්නේ…”
ගයානි කතා කළේ කෝපයත් කළකිරීමත් මුසුවය. අංජලීගේ දුරකථනය හැඬවෙන හඬින් ඈ එයට අවධානය යොමු කළාය. ඇමතුම ගිම්හානිගෙනි.
“අක්කේ…”
“නංගී…ඔයා බෝඩිමට ආවද…?”
“හ්ම්ම්…ඔව්…”
“එහෙනම් හොඳයි…”
ආගිය තොරතුරු කතා බහ කළ ගිම්හානි වැදගත් යමක් පැවසීමට ඇති බව පවසන විට අංජලීගේ සිතට දැනුණේ අනියත බියකි.
“ඔයා කළබල වෙන්න එපා…”
ඈ තිගස්වමින් ගිම්හානි කියන විටත් ඈ සිටියේ බියට පත්වය.