More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 54

    Pini Muthu Palasa පිනි මුතු පලස – 54

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    මා සිතේ වූයේ දෙගිඩියාවකුත් කුතුහළයකුත්ය. ඔහු නිවසින් පිටව යන විට නම් කිසිදු ප්‍රශ්නයක් සිදුව තිබුණේ නැත. එසේ නම් එය සිදු වූයේ පිටතදී ය.

    “මොකද නෝනේ අද අපේ පුංචි මහත්තයාට වෙලා තියෙන්නේ…?”

    මා මුළුතැන්ගෙයට පිවිසෙන විටම ප්‍රේමා නැන්දා රහසින් මෙන් මා විමසුවාය. ඔහුගේ හදිසි වෙනස ඇයටද වැටහී ඇත.

    “ඒකම තමා ප්‍රේමා නැන්දේ…මාත් මේ කල්පනා කළේ…”

    “ගෙදරින් යනකොට නම් ගියේ ඔහොම නෙවේ…”

    “හ්ම්ම්…”

    මම හූමිටි තැබුවා මිස කිසිත් නොකීවෙමි.

    “නෝනාම තේ ටික හදනවද…අද පුංචි මහත්තයාගේ මූණ හරි නැහැ…තේ එක රස නැති වුණොත් මටත් දොස් අහන්න වෙයි…”

    ප්‍රේමා නැන්දාද සිටියේ රජිව්ගේ වෙනසට තැතිගත්තාක් මෙනි. කුමක් හෝ කාරණයක් නිසා ඔහු සිත් තැවුළෙන් පසුවන බව නම් මට ඉතා පැහැදිළිය.
    මම නිහඬ කල්පනාවෙන් තේ සෑදුවෙමි.

    “ලොකු නෝනාගේ තේ කෝප්පේ මට දීලා මහත්තයාගේ තේක නෝනම අරන් යන්න…”

    ප්‍රේමා නැන්දා මෙසේ හැසිරෙණු මම මීට පෙර දැක නැත. මා කිසිත් කීමටත් පෙර ඈ චිත්‍රා මිස්ගේ තේ කෝප්පයත් රැගෙන පිටුපස දොරින්ම මිදුලට බැස්සාය.
    මම රජිව් සොයා එන විට ඔහු සිටියේ ආලින්දයේ අසුනක ගිළී කල්පනාවකය. මා පිළිගැන්වූ තේ කෝප්පය පවා අතට නොගෙන ඔහු එය ස්ටූලය මතින් තබන්නැයි කීවේය. ඔහු කී ලෙසම එය තබා මම ඔහු ඉදිරියේ අසුන මත හිඳගතිමි.

    “මොකක් හරි ප්‍රශ්නයක්ද රජිව් අයියේ…?”

    පහත් හඬින් මම ඇසීමි.

    “නැහැ…ඇයි…?”

    ඉක්මන් බැල්මක් මවෙත හෙළූ ඔහු පෙරළා ඇසීය.

    “නැහැ…ඔයාගේ මූණ හරි නැහැ…”

    “හරි වුණත් වැරදි වුණත් ඉතින් මට තියෙන්නේ එක මූණනේ…”

    ඔහු ඒ පැවසූ ආකාරයට මම තිගැස්සී ගියෙමි. එය විහිළුවට කියූවක් නොව සිතේ වූ නොමනාපය පළ කිරීමකි. යටි තොල සපාගත් මම බිමට හිස නැඹුරු කොට ගත්තේ සිත සියුම්ව රිදුණු නිසාය.

    “මම හිතුවා මාරවිල වත්තට පොඩ්ඩක් ගිහින් ආවා නම් හොඳයි කියලා…”

    සුළු මොහොතකට පසු ඔහු කීවේ ස්ටූලය මත වූ තේ කෝප්පය අතට ගනිමිනි. ඔහු කී පෙර කතාවෙන් මා සිත රිදුණු බව ඔහුට වැටහුණා වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.

    “ඒත්…ඔයා එහෙ ගිහින් ආවේ ගිය සතියෙනේ…”

    “හ්ම්ම්…ඔව්…අලුතින් පැල හිටවන්න ඕන කිව්වානේ…ඒකත් බලලා එනවා…”

    එසේ කී ඔහු දිගු හුස්මක් පිට කළේ සිතේ වූ බරක් සැහැල්ලු කරගන්නට මෙනි. මුවින් නොකී යමක් ඒ සුසුමේ සිරවී තිබුණා වන්නට නොහැකිද…?

    “ඔයා ඉන්නේ හිතේ කරදරේකින් නේද…? නොකීවට ඒක මුණෙන් පේනවා…”

    “ඔව්…පොඩි අවුළක් නම් වුණා…මගේ හිතට හරි නැහැ…”

    “මාරවිල යන්න හදන්නේ ඒ නිසාද…?”

    ඔහු ඊට හිස සැළුවේය.

    “කමල් එක්ක පොඩි ආගියුමන්ට් එකක් වුණා…”

    ඒ ඇසූ මම පුදුම වූයෙමි. ඔවුන් දෙදෙනා හොඳම මිතුරන්ය. එසේ නම් ඔවුන් අතර මෙවැන්නක් සිදු වීමට තරම් හේතු වූ කාරණය කුමක්ද..?

    “ඒත් ඇයි එහෙම දෙයක් වුණේ…?”

    ඔහු එයට පිළිතුරක් දීමට පමා විය. එය මා හා කීමට බැරි දෙයක්ද…?

    “මේ අහන්න මංදාකිණි…”

    සුළු මොහොතකට පසුව ඔහු කීය.

    “මගෙන් ඔයාට වරදක් වෙලා තියනවද…මං ඔයාගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්න හැදුවද…?”

    මම තිගැස්සුණෙමි.දෙවියනේ…! ඔහු මේ අසන්නේ මොනවාද…? එවැන්නක් කොයි යම් මොහොතක හෝ සිදුව නැත.

    “එහෙම වුවමනාවක් මට තිබුණා නම්…මං ඔයාව අපේ…මේ ගෙදරට එක්ක එන්නේ නැහැනේ…වෙන තැනක ඔයාව නවත්තනවානේ…එහෙම කරලා මට ඕන වෙලාවට ඇවිත් යනවනේ…”

    මා ගත සීතලව ගියේය.

    “එහෙම නම් කවුරුත් ඒක කවදාවත් දැනගන්නේ නැහැනේ…”

    ඔහුගේ හඬේ වූ කළකිරීම මට පැහැදිලිවම වැටහිණි.

    “මේවා කමල් අයියා කිව්ව ඒවා නෙවේනේ…?”

    “නැහැ…මිනිස්සු එහෙම කියයිලු…මිනිස්සු මොනවා කිව්වත් මට මොකද…ඇයි ඌටත් මාව විශ්වාස නැත්ද…?”

    “ඒකට කමල් අයියා එක්ක තරහා වෙලා හරියනවද…?”

    “තරහව නෙවේ තියෙන්නේ…දුක…”

    මම කිසිත් නොකීවෙමි.

    “මගේ හිතට හරි නැහැ…”

    තේ කෝප්පය එක හුස්මට පානය කළ ඔහු අසුන මතින් නැඟී සිට සූදානම් වීමට කාමරයට යන විට මමද කාමරයට පැමිණියෙමි. ජනේලය අසළ සිටගෙන මම පිටතට දෑස් යොමා සිටියේ හිස් දෑසිනි. මෙවන් ප්‍රශ්නයක් කෙදිනක හෝ පැන නඟිනු ඇති බවක් මම දැන සිටියෙමි. දැන් එය උදා වී ඇත.

    “මංදාකිණි…”

    රජිව්ගේ හඬින් මම හැරී බැලීමි. ඔහු කාමරයට හිස පොවා බැලීය. මෘදු විළවුන් සුවඳක් මා නාස් පුඬ සිප ගති. රතු පැහැති සැහැල්ලු ටී ෂර්ටයකිනුත් නිල් පැහැ ඩෙනිමකිනුත් සැරසී හුන් රජිව් වඩා කඩවසම්ව දිස් විය.

    “මං ගිහින් එන්නම්…”

    මා අසළටම ආ ඔහු මට ළංව මගේ හිස මෘදුව සිප ගනිමින් කීවේය.

    “මිස්ට කිව්වද…?”

    පහත් හඬින් මම ඇසීමි.

    “ඔව්…”

    කෙටියෙන් ඔහු කීය.

    “පරිස්සමෙන් ගිහින් එන්න…”

    හිස සළමින් ඔහු පිටව ගියේ මා හිස මත අලුත් බරක් පටවා තබා යැයි මට සිතිණි. පාළු මූසළ හැඟීමක් මා සිත වෙළා ගත්තේ මන්ද කියා මට සිතා ගැනීමට අපහසු විණි. ඔහු පිටව ගොස් මඳ වෙලාවකට පසුව කමල් ඔහු සොයා පැමිණියේය. චිත්‍රා මිසුත් ප්‍රේමා නැන්දාත් සිටියේ සුව නින්දකය.

    “මොකක්ද වුණේ කමල් අයියේ…?”

    මම ඇසුවේ ඔහු සමඟ කතා බහට පිවිසෙමිනි.

    “මම ඌට කිව්වේ වරදක් නෙවේ…පහදලා දුන්නා විතරයි…ඔයා ගැනවත් රජිව් ගැනවත් මට ප්‍රශ්නයක් නැහැ…ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ හස්බන්ඩ් දැන ගත්තොත් ඔයා ඉන්නේ පිරිමියෙක් ඉන්න ගෙදරක කියලා ඒක ඇති එයාට ඇක්ෂන් එකක් ගන්න…ඇරත් ඩිවෝස් නොවී මෙහෙම ඉන්න එක හොඳ නැහැ කියලායි මං කිව්වේ…ඒක ඔයාටත් හොඳ නැහැනේ…ඔයාගේ අම්මලාම ඔයාට එහෙම කතාවක් කිව්වා කියලා තරූ මට කිව්වා…”

    ඒ සියල්ල සත්‍යය විය. අම්මාද මට චෝදනා කලේ එසේය.

    “ඒක ඇත්ත කමල් අයියේ…”

    “මං කියපු දේවල් ඌ තේරුම් ගත්තේ වැරදියට…”

    දිගු සුසුමක් මා මුවින් පිට විය.

    “ඔයා කිව්ව දේ හරි…”

    “දැන් ඌ මාරවිල ගියේ මේ නිසාද…?”

    “මං හිතන්නේ ඒ නිසා තමා…මොකද ගිය සතියේ තමා එහෙ ගිහින් ආවේ…”

    “අනේ මන්දා නංගී…මූට දෙයක් තේරුම් කරන්නේ කොහොමද…ඔයාවත් කියන්න…”

    කමල් පිටව ගියේද මා සිතේ තවත් බරක් පටවමිනි. මා මෙහි රැඳී සිටි කාලය ඇති යැයි කියා මම සිතුවෙමි. මා නිසා රජිව්ගේ ජීවිතයට බලපෑමක් එල්ල නොවිය යුතුය. කිසිවෙකු ඔහුට ඡෝදනා එල්ල කරනු දකින්නට කැමැත්තක් මා තුළ නොවීය.

    සතර අතින් නැඟෙන කුරුළු නදින් පරිසරය පිරී තිබිණි. විටින් විට හමා ඇදෙන සුළඟ ගත කුල්මත් කළේය. කොහොඹ ගස යටද වූයේ වෙනදා නැති සිසිලසකි. චිත්‍රා මිස්ගේ හිසේ තෙල් තවරා හිස සම්භාහනය කර මම ඇගේ කොණ්ඩය තනි කරලට ගෙතුවේ ඇගේ පැරණි සොඳුරු සිදුවීම් වලට සිනහමුසුව සවන් දෙමිනි.

    “ඒ කාලේ හරි ෂෝක් ඇති නේද ලොකු නෝනා…?”

    ප්‍රේමා නැන්දා ඇසුවේ සිනහව නවතාගෙනය. ඒ සමඟම ගේට්ටුවේ සවිකර තිබූ විදුලි සීනුව නද වන හඬ ඇසිණි.

    “ආහ්…ඒ කවුද ප්‍රේමා මෙච්චර උදෙන්ම ආවේ…? පුතා වෙන්න බැහැ…”

    චිත්‍රා මිස් මවිතයෙන් අසුවාය.

    “පුංචි මහත්තයා නම් බෙල් එක ගහන්නේ නැහැනේ ලොකු නෝනා…යතුරක් තියනවනේ…මං බලන්නම්…”

    “ගේට් එක අරින්නැතුව බලන්න…එක පාර ගේට්ටුව අරින්න එපා…”

    චිත්‍රා මිස් අනතුරු ඇඟවූවාය. පැමිණියේ පූජිතවත්දැයි සැකයක් මා සිතේ ඇති විය. එම සිතුවිල්ල පවා මා බිය ගැන්වීය. ප්‍රේමා නැන්දා යළි එන තුරු මා සිටියේ ගැහෙන සිතිනි. පපුව මැද බිත්තර තැමිබිය හැකි තරමට උණුසුමක් දැනේ. ප්‍රේමා නැන්දා දිව ආවේ හතිළමිනි.

    “මොකද ප්‍රේමා…කවුද ඇවිත් තියෙන්නේ…?”

    චිත්‍රා මිස්ද ඇසුවේ කළබලයෙනි. මා සිත ඊට වඩා කළබලය.

    “ලොකු නෝනාගේ අක්කා තමා…”

    ප්‍රේමා නැන්දා කියන විට මා සිතට තරමක හෝ අස්වැසිල්ලක් දැනිණි.

    “මොනවා!…මොන එහෙකට ආවද ආයේ…ප්‍රේමා ගේට්ටුව ඇරියද…?”

    “නැහැ ලොකු නෝනා…මොකද කරන්නේ ලොකු නෝනා…මෙදා පාර මොන විජ්ජුම්බරයක් නටයිද දන්නැහැ…”

    ප්‍රේමා නැන්දාද ඔවුන් පැමිණියාට කැමැත්තක් නැත.

    “ඔන්න ඔහේ හිටපුදෙන් ටිකක් වෙලා…මගේ ලෙඩ වැඩිවෙනවා මුන් නිසා…”

    “මං ගිහින් ගේට්ටුව අරින්නම් ලොකු නෝනා…වෙලාවට අද පුංචි මහත්තයාත් නැහැ…”

    චිත්‍රා මිස් නිහඬව එයට අනුමැතිය පළ කළාය.

    “මිස්…එයාලා මොනව කිව්වත් කළත්…මිස් කලබල නොවී ඉන්න…මිස් ආයේ නම් අසනීප වෙන්න එපා…”

    ප්‍රේමා නැන්දා යළි ගිය පසුව මම කීවේ. චිත්‍රා මිස් ගෙතුළට යාමට සැරසෙන විටය.

    “හ්ම්ම්…බලමුකො…”

    ඈ පිටුපස දොරින් ගෙතුළට යන විට මමද ඈ පසුපස ගෙතුළට පැමිණියෙමි. පෙර දිනක ඔවුන් පැමිණි වෙලේ දොස් පැවරූ සැටි මට සිහි විය. ප්‍රේමා නැන්දා මුළුතැන්ගෙයට පැමිණියේ කොස්සද අතැතිවය.

    “නැන්දා කොස්ස අතට ගත්තේ එයාලව එළවන්න හිතාගෙනද…?”

    මඳහසක් පාමින් මම ඇසීමි.

    “කොස්සෙන් ගහලා මුන්ව පන්නන්න පුළුවන් වුණා නම්…මං ඒක දහපාරක් හරි කරලා නෝනේ…”

    මට එයට සිනා නොවී නම් සිටිය නොහැකි විය. අනවසරයෙන්ම එහි පැමිණි චිත්‍රා මිස්ගේ සොයුරිය නිසා අපේ අවධානය ඈ වෙත යොමු විය.

    “හහ්…මෙයා තාම මෙහෙද…?”

    ඈ විමසුවේ මගෙනි. ඈ දුවගෙන ආවේ මා සිටිනවාද කියා බලන්නට විය හැකිය. ප්‍රේමා නැන්දා ගෙබිම අමදින්නට වූයේ නොමනාපය පළ කරන්නට මෙනි.

    “මේ කුණු කොච්චර අතුගෑවත් වැඩක් නැහැ මංදාකිණි නෝනා…ගෙටම එනවා…ගෙටම එනවා…”

    ප්‍රේමා නැන්දා ඒ නම් එල්ල කළේ ඇනුම්පදයකි. රජිව්ගේ ලොකු අම්මා ඇය දෙස බැලුවේ කෝප දීප්ත බැල්මකිනි.

    “මොකක්ද ඔය ළමයාගේ නම කිව්වේ…කිංකිණිද මොකක්ද නේද…?”

    ඈ අසන විට මා සිතේ ඇති වුයේ නොපහන් හැඟීමකි. ප්‍රේමා නැන්දා කල් මරමින් මෙහි රැඳී සිටීම මා සිතට අස්වැසිල්ලකි.

    “නම මොකක් වුණත් මොකද…මොනවද කියන්න තියෙන්නේ…?”

    ඈ ඇසූ විළාසයෙන්ම මමද ඇසීමි.

    “හරි…හරි…මට ඒවයින් වැඩක් නැහැ…මේ ළමයා කලින් බැඳපු කෙනෙක්ලු නේද…?”

    මම සිත යටින් තිගැස්සුණෙමි. ඈ ඒ බව දන්නේ කෙසේද…?

    “කලින් නෙවේ…තාම බැඳලා තමා… දික්කසාද වුණේ නැහැ තාම…ළඟඳිම වෙනවා…”

    ප්‍රේමා නැන්දා මුව වසාගෙන සිනාසෙනු මා නෙත ගැටිණි.

    “හහ්…මෙයාගේ රැස්…”

    “ඉතින් රැස් තිබුණාම මොකද…ප්‍රශ්නයක්ද…?”

    මමද එකටෙක කීවෙමි.

    “ප්‍රශ්නයක්ද කියලා අහන ලස්සන… ප්‍රශ්නයක් තමා…ඔය ළමයා මෙහෙ ඉන්න එක ප්‍රශ්නයක්…අපි එදත් ආවේ රජිව් පුතාට මංගල්ලයක් තීන්දු කරන්න…ඉතින් ඔය ළමයා මෙහෙ ඉන්නකොට ඒ ළමයට කොහොමද මඟුලක් කතා කරන්නේ…? රටේ ඉන්න මිනිස්සු කතන්දර කියාවිනේ…ඔය ළමයට වුණත් ඒක නොතේරෙනවා නෙවේනේ…රජිව් පුතා හොඳ තැනකින් මංගල්ලයක් කර ගෙන සතුටින් ඉන්නවට ඔය ළමය කැමති නැත්ද…? මම මේවා කියන්නේ…පුතා ගැන හිතලා…ඒ ළමයට කැළලක් ඇති නොකර මෙහෙන් යනවද නැත්ද කියලා ඔයා තමා තීරණය කරන්න ඕන…”

    ඈ පවසන්නේ සත්‍යයක් බව මට වැටහිණි. මා මෙහි රැඳී සිටීමෙන් ඔහුගේ ජීවිතයටද සිදුවන්නේ අයහපතකි. රජිව්ගේ ලොකු අම්මා මා අසළින් මෑත් වූයේ ජයග්‍රාහී බැල්මක් මවෙත හෙළමිනි.

    “නෝනා…”

    ප්‍රේමා නැන්දාගේ හඬින් මම තිගැස්සී ගියෙමි.

    “නෝනා ඔය ගෑණි කියන ඒවා ගැන නම තඹේකට මායිම් කරන්න එපා…මොකක් හරි යටි උගුලක් අටවන්න තමා ඔය ප්ලෑන…”

    ප්‍රේමා නැන්දා මගේ සිතුවිලි දැහැන බිඳිමින් කීවාය.

    “රජිව් අයියාට හොඳක් වෙනවා නම්…මාත් කැමතියි ප්‍රේමා නැන්දේ…අනික ඒ කතාව ඇත්තනේ…”

    “පුංචි මහත්තයාට තව මොන හොඳක් වෙන්නද…දැන් එයා ඉන්නේ හොඳින් නෙවේද…ඔය ගෑණි මොකක්ද කරන්න යන හොඳේ කියන්නකෝ…මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවේ නෝනා…”

    ඈ නොසතුටෙන් එක දිගට කියවගෙන ගියද මම සිතුවේ වෙනත් දෙයකි. මා මෙහින් පිටව යා යුතුය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page