Pini Muthu Palasa පිනි මුතු පලස
පූජිත බීමත්ව පැමිණ ඇත. මා සිතේ ඇති වූයේ තැති ගැන්මකි.
“මං..දාකිණි…”
ඔහු පෙරට වඩා උස් හඬින් කෑ ගැසීය.
“මේකට මොනව වෙලාද ඒ පාර…ආයෙමත් බීලද කොහෙද…?”
අම්මා එසේ කියා ඉදිරිපසට යාමට සුදානම් වන විට මමද ඈ පසුපස ඒමට සැරසෙන විටම පූජිත දොර අසලය.
“මොකද බං මේ බෙරිහන් දෙන්නේ…උඹ අදත් බීගෙන ආවද…?”
අම්මා ඔහු ඉදිරියේ සිට ගනිමින් ඇසුවාය.
“ඔව්ව්…මං…බීලා…තමා…ආවේ…කෝ…මේකි…?”
“මොකද බං…මේ උඹට වෙලා තියෙන්නේ…? බීලා ආවා නම් පාඩුවේ පැත්තකට වෙලා හිටපන්කෝ…අපිට පව් පුරවන්නේ නැතුව…”
“ඔයා…යන්න පැත්තකට…”
පූජිත කෑ ගැසුවේය. ඔහුට කෝප ගන්නට තරම් සිදුවූයේ කුමක්ද කියා මට සිතා ගන්නට නොහැකිය.
“පැත්තකට යන්නේ මොකටද…?”
“ඔයා යන්න…මං මේකි එක්ක බලාගන්නම්…”
“මොනවා බලන්නද බං…මෙන්න මෙහෙට වෙලා ඉඳින්…”
අම්මා ඔහුව ගෙතුළට තල්ලු කරන්නට උත්සහ දරමින් කීවද ඇයට ඔහුව පාලනය කළ නොහැකිය.
“කීවාම අහලා පැත්තකට වෙන්න…මට දැන ගන්න ඕන මේකි පොළට ගිහින් මොකා එක්කද කතා කරන්නේ කියලා…”
දෙවියනේ ! එසේ නම් කාරණය පැහැදිළි ය. පූජිත කෙසේ හෝ එය දනගෙන ඇත. ඔහු කෝපයට පත්ව සිටින්නේ මේ නිසාය. කිසිවෙකු හෝ අපව දැක ඇත. ඒ බව පූජිත සමඟ කියන්නට ඇත.
“මොකා එක්ක කතා කරන්නද…පිස්සු හැදිලද…?”
“පිස්සු…මට පිස්සු…එතකොට ගමේ උන් කතා වෙන ඒවා බොරු…උඹට මම…”
අම්මා ඉවතට තල්ලු කර මා වෙත පිනූ පූජිත මා ගෙලෙන් අල්ලාගෙන ගැසූ අතුල් පහරින් මගේ කම්මුල් වේදනාවෙන් පුපුරු ගසන්නට විය. අම්මා දිව විත් ඔහුව ඉවතට අදින්නට විය. ඔහු මා තල්ලු කර දැමුවේ එවිටය. මම විසි වී ගොස් ඇද වැටෙන්නට යන විට මේසය අල්ලාගෙන නොවැටී බේරුණෙමි.
“මම…අද උඹව මරනවා…”
ඔහු කෑ ගැසුවේ අම්මා ඔහුව බඳ වටේ දෑත යවා තදින් අල්ලාගෙන සිටින විටය.
“උඹට පිස්සු හැදිලද…මෙන්න මෙහෙ යමන් බං…”
“අද මේක ඉවරයක් කරලා තමා මං නවතින්නේ…මොකාද ඌ…?”
ඔහු කෑ ගැසුවේය.
“තමුසේ හිතුවේ තමුසේ හොර ගෑණු තියන් ඉන්නවා වගේ මටත් හොර මිනිස්සු ඉන්නව කියලද…?”
මමද ඔහුට නොදෙවෙනි සේ කෑ ගැසීමි.
“මේකිගේ කට…”
ඔහු අම්මාගේ ග්‍රහණයෙන් මිදෙන්නට තැත් දරන විට අම්මා බඳ වටා දෑත් යවා ඔහුව බදා ගත්තාය. ඔහුට බියේ ඔහුගේ අඩන්තේට්ටම් වලට යට වී තවදුරටත් මම දුර්වල ගැහැණියක සේ මුළු ගැන්විය යුතු නැත. තවමත් ළිපේ ඇවිළෙන දිගු දර කොටය ඇදගත් මම එයින් පූජිතගේ මුහුණට වේගවත් පහරක් දුනිමි. ඔහුගේ මුහුණ පිළිස්සී ගිය නිසාදෝ මුවින් පිට වූයේ මර ළතෝනියකි.
“බැල්ලී…උඹ මාව පිච්චුවා…අද මං උඹව මරනවා…”
“පුළුවන් නම් මරපං…අද මැරෙන්නේ මම නෙවේ…උඹයි…මං අද උඹව මරනවා…”
මමද කෑ ගසමින් ඔහුට තවත් පහරක් ගැසීමි. ඔහු අම්මා ඉවතට තල්ලු කර මා වෙත පිනුවේ මා අල්ලාගන්නට වුවද බිම වැටී තිබූ ගිනි අඟුරු පෑගී ඔහුගේ කකුල් පිළිස්සෙන්නට ඇත. ඔහු උඩ පනිමින් පසෙකට පැන්නේය. ඒ නිසා වාසිය මා අතේ විය. මම ලද අවසරයෙන් මුළුතැන්ගෙයින් පිටව කාමරයට දිව ඒමට තැත් කරන විට ඔහු මා අල්ලාගන්නට හැදුවද අතට අසු වූයේ ගවුමට උඩින් මා හැඳ සිටි චීත්තයයි. එය ගළවා දමා මම කාමරයට දිව විත් මෙට්ටය යට සඟවා තිබූ දිගු මන්නා පිහිය අතට ගෙන පූජිතට මුහුණ දීමට සූදානම් වූයෙමි. අද මාතින් ඔහු හෝ ඔහු අතින් මා මිය යනු ඇත. නමුත් සටනක් නොදී නිකරුණේ නම් මිය යෑමට මා සූදානම් නැත. පූජිත මා පසුපසම කාමරයට දිව ආවේය.
“උඹ මගෙන් බේරෙන්න…”
මා වෙත කඩා පිනුමට සූදානම් වූ පූජිත මා පිහියත් අමෝරාගෙන ඔහු දෙසට දිව එන විට බියෙන් වහා නැවතී පසු පසට ඇදුණේය.
“උඹ මාව නැති කළා…උඹට හොර ගෑණු හිටියට මට හොර මිනිස්සු නැහැ…මං තවත් උඹට බය නැහැ…මට කරදර කරන්න ආවොත් මං අද උඹව මරනවා…”
පිහියත් අමෝරාගෙන කොණ්ඩයත් ලිහී මා ඔහු ඉදිරියට යන විට මා උමතු වූ ගැහැනියක සේ දිස් වන්නට ඇත. පූජිත බියෙන් මෙන් වැනී වැනී පිටු පසින් පිටු පසට යන්නට විය.
“උ…උ…ම්බ…ට…පිස්…සු…ඕක…බිම දාපන්…”
ඔහු කෑ ගැසුවේ බියෙන් මෙනි. අම්මා දිව ආවේ එවිටය.
“ඔව්…මට පිස්සු…මට පිස්සු හැදෙව්වේ උඹ…උඹලා එකතු වෙලා මාව නැති කළා…”
“අනේ ළමයෝ…ඕක පැත්තකට දාපන්… මොනාද ඔය කරන්න යන්නේ…?”
අම්මාද කෑ ගසන්නට වූයේ බියෙන් මෙනි.
“අද උඹ…නැත්නම් මම….වරෙන්…පුළුවන් දෙයක් කරපන්…”
මම කෑ ගැසීමි. අම්මා පූජිත ඇදගෙන ඉවත යනවිට මම වහා කාමරයේ දොර වසා අඟුළු ලා ගතිමි.
“උඹ…බේරුණා.කියලා හිතන්න එපා…මං බලා ගන්නම්…උ…ම්බව…”
පූජිත වහසි බස් දොඩන්නට වූයේ එවිටය.
“මම්ම හොයා…ගන්නම්…ඕකා…කවුද කියලා…ඕකා…ආයේ එයිනේ…මං එදාට ඕකව…හංදියේ තියලා…මරන්නේ… උම්බට…පේන්න…”
ඒ මොහොතේ නම් මම තැති ගතිමි. ඒ බොරු පූචානම් නම් නොවන බව සහතිකය. ඔහු තාත්තාවද මරා දැමුවේ ඉක්මන් කෝපය නිසාය. දෙවියනේ! රජිව්. මගේ ජීවිතයට කුමක් සිදු වුවද කම් නැත. බියක් සිතුණේ ඔහුගේ ජීවිතය ගැනය. ලෙහුණ කොණ්ඩය බැඳ ගත් මම යහන මත හිඳගෙන කල්පනා කරන්නට වූයේ මා කුමක් කළ යුතුද කියාය. පරිසරයේ වූයේ දිගු නිහැඬියාවකි. පූජිතගේද කිසිදු හැල හොල්මනක් නැත. ඔහු නිවසින් පිටව ගියා වත්ද..? මා දැන් කුමක් කළ යුතුද…? ඔහු රජිව් පිළිබඳව දැන ගත්තේ කාගෙන්ද..? සමහර විට එදින අපි දෙදෙනම එකටම වැස්සට ගොඩ වන විට සිල්ලර බඩු කඩයේ සිටි කිසිවෙකු අපව දකින්නට ඇත. එසේ නැතිනම් වළං කඩය අසළ අපි කතා බස් කරමින් සිටිනු දුටු කිසිවෙකු හෝ සිටින්නට ඇත. මා කුමක් හෝ කළ යුතුය. රජිව්ගේ ජීවිතයද ඇත්තේ අනතුරේය. මා ඔහුට අනතුරු ඇඟවිය යුතුය. මේ ඉරුදින ඔහු නොපැමිණෙන බව කීවද, ඊළඟ ඉරු දින ඔහු නොවරදවාම පැමිණෙනු ඇත. ඔහුගේ පැමිණීම වළකාලිය යුතුමය. මගේ ජීවිතය කෙරෙහි වුවද මට දැන් විශ්වාසයක් නොමැත. පූජිත මාවද මරා දමන තරම් කෝපයකින් පසුවේ. සිත, සිතා සිටීමට කාලයක් නොමැත. මා මේ නිවසින් කෙසේ හෝ පැන ගත යුතුය. යළිත් වැස්සක් ඇද වැටෙන හඬ පිටතින් ඇසේ. යහන මතින් නැඟී සිටි මා අල්මාරිය හැර ගවුමක් පිටතට ගෙන හැඳ ගතිමි. අල්මාරියේ තිබූ මැටි කැටයද පිටතට ගෙන මම එය පොරවනයේ දවටා බිම ගසා බිඳ දැමුවේ පිටතට හඬ ඇසේවි යැයි බියෙනි. වැසි හඬ නිසාත් පොරවනයේ දවටා තිබූ නිසාත් කැටය බිඳී ගියේ කිසිදු හඬක් නොනංවමිනි. එහි සැළකිය යුතු තරම් මුදලක් ඉතිරිව ඇත. මා දැන් නිවසින් පැන ගන්නේ කෙසේද..? පූජිත නිවසේ සිටින බවට ලකුණක් නැත. ඔහු පිටව ගියා විය යුතුය. යළි ඔහු පැමිණෙනු ඇත්තේ පෙරට වඩා බීමත්වය. කුමකින් කුමක් සිදුවනු ඇතිද කියා මට පැවසිය නොහැකිය. මා මෙහින් පිටව යා යුතුය. සියල්ල විඳ දරාගෙන මම දුක් විඳිමින් මේ නිවසේ ජීවත් විය යුතුද..? ඇරත් ඔහු මට ජීවත් වීමට ඉඩ දෙනු ඇතැයි කියා විශ්වාසයක්ද නැත. මේ සියළු තාඩන පීඩන ඉවසා දරාගෙන මම මෙහි සිටින්නේ මන්ද..? රැකියාවක් සොයාගෙන මම දුර පෙදෙසකට ගොස් ජීවත් වන්නෙමි. සිදුවන දෙයක් දෙවියන්ටම භාර කොට මා පලා යා යුතුය. රැගෙන යාමට කියා මට කිසිත් මෙහි නොමැත. මගේ කියා තිබුණේ රන් මාලයකුත්, වළලු ජෝඩුවකුත් පමණි. අල්මාරියේ ඇඳුම් ගොඩේ සඟවා තිබූ එය පිටතට ගෙන මම ලේන්සුවක දවටා මගේ අත් බෑගයේ දමා ගතිමි. මා දැන් සූදානමිනි. මා පිටතට යන්නේ කෙසේදැයි සිතන විට අම්මා දොරට ගසා මා අමතනු ඇසිණි.
“ළමයෝ…ඇවිත් කාලා හිටියා නම්…පුතාත් ගියා ඔන්න…ආයේ..බීගෙන එයි…වද දෙන්න…කරුමක්කාරයා…”
වැසි හඬ පරයා අම්මාගේ හඬ මට ඇසිණි. එසේනම් පූජිත නිවසේ නැත. මේ මොහොත සුදුසුම මොහොත නොවේද..? අම්මාත් දිවා ආහාරයෙන් පසු නින්දට යන බව මම දනිමි. පූජිත නැවත පැමිණීමට පෙර මා යා යුතුය. මින්පසු මට ඔහුගේ කුරිරු වද හිංසාවලට මුහුණ පෑමට සිදු නොවනු ඇතැයි සිතන විට පවා මට දැනුණේ ඉමහත් සැනසීමකි. තත්පර විනාඩි බවට හැරී ගෙවී ගියේ අඩ පැයක් පමණ වන්නට ඇත. පිටත වැසි හඬ හැරුණු කොට වෙනත් කිසිදු හඬක් නොමැත.
අත් බෑගයත් කරේ ලා ගෙන මම සෙමෙන් විත් දොර විවර කර පිටතට එබිකම් කළෙමි. කිසිවෙකු පෙනෙන්නට නැත. පිටතට විත් මම දොර යළිත් වසා දමුවේ පූජිත නිවසට පැමිණියා නම් මම තවමත් කාමරයේ සිටිනවා යැයි සිතන්නට ඉඩ හරින්නටය. ඉදිරිපස දොර වසා දමා තිබූ අතර මම අම්මාගේ කාමරයට එබී බැලීමි. ඈ සුව නින්දකය. තවම වැස්ස පායා නැත. කුඩයත් ගෙන පිටුපස දොරින් මිදුලට බට මා වහ වහා පය ඉක්මන් කරමින් පාර දිගේ ඇවිද ආවේ කළබලයෙනි. පූජිත මා ඉදිරියට මුණ ගැසෙනු ඇතිද..? ඔහු මා අල්ලා ගත හොත් මා කුමක් කරන්නද කියා බියක් මා සිතේ නොවුණා නොවේ. වැස්සත් එන්න එන්නම වැඩි වන්නට විය. මම අඩක්ම දියෙන් තෙත බරියම් වී සිටියෙමි. පාරේ නම් කිසිවෙකු පෙනෙන්නට නොසිටියේ වර්ෂාව නිසා වන්නට ඇත.එය නම් සතුටට කරුණකි. මා දැන් කුමක් කළ යුතුද කියා මම සිතුවේ මේ මොහොතේය. පළමුව මා මෙම නගරයෙන් පිට විය යුතුය. බසයක නැඟී පුත්තලමට යන එක නම් අනතුරු දායකය. පූජිත නිවසට පැමිණ මා නැති බව දැන ගත් විට පළමුව එන්නේ බස් නැවතුමට බව නම් සහතිකමය. එසේනම් කුමක් කළ යුතුද…? නැවතුමේ වූ ත්‍රී රෝද රියකට නැඟ ගත් මා පුත්තලමට යා යුතු බව පැවසුවෙමි. මේ මහ වර්ෂාවේ මෙසේ නාන්ඳුනන අයෙකු සමඟ යාමට බියක් මා සිතේ ඇති වුවද මට කළ හැකි වෙනත් කිසිත් නොමැත. ඕනෑම අවධානමකට මා සූදානම් විය යුතුය. මැදි වියේ පුදගලයෙකු වූ රියදුරු කාරුණික පෙනුමින් යුතු විය.
“හදිසියක් වගේ…නෝනා…?”
ඔහු රථය ධාවනය කරමින් විමසුවේය.
“ඔව්…යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා හොස්ප්ට්ල් එකේලු…දැන්ම ගියා නම් හවස බලලා ආවැකි…”
මම මුසාවක් පැවසුවෙමි. සමහරවිට මොහුත් පූජිත දැන හඳුනන අයෙකු වන්නට ඇති ඉඩකඩ වැඩිය. මා ප්‍රවේශම් විය යුතුය. මා දැන් යා යුත්තේ කොහිද..? අක්කාගේ නිවසට මට යා නොහැකිවාක් මෙන්ම එහි යෑමට මා තුළ කිසිදු කැමැත්තක් නැත. පළමුව මා රජිව් හමු වී සිදු වූ දෑ පැවසිය යුතුය. අසුනට බර දී මම සැනසුම් සුසුමක් පිටකළේ සිතට යම් සහනයක් දැනුණු බැවිනි. අපායකින් පිටතට පැන ආවාක් මෙන් හැඟීමක් මා සිතේ ඇති විය. තවමත් මා සුරක්ෂිත නැත. මගේ ජීවිතය මෙන්ම රජිව්ගේ ජීවිතයද ඇත්තේ අනතුරේය. වාසනාවකට පූජිත රජිව් පිළිබඳව කිසිත් නොදනියි. එසේ දැන සිටියා නම් ඔහු මෙසේ කළබල කරමින් මා විමසමින් සිටින්නේ නැති බවත් විශ්වාසය. මා රජිව් හමු වී කතා බහ කළා පමණි. ඉන් එහා වරදක් සිදු වූයේ නැත. ඔහු හමු නොවන්නට මම තීරණය කරමින් සිටින මොහොතේම පූජිත ඔහු ගැන දැන ගැනීම මොන කරුමයක් පටිසන් දීමක්ද…? මා නිවසේ නැති බව දැන ගත් විට පූජිත පළමුව මා සොයා පැමිණෙන්නේ අක්කාගේ නිවසටය. ඔහු කෙසේ හැසිරෙනු ඇතිද කියා සිතන විටත් මා සිතේ ඇති වූයේ බියකි. මා ඔහුට අසු වූවා නම් කුමක් වනු ඇතිද….? එය මගේ මරණයෙන් කෙළවර වනු ඇත. මා ගත හිරි වැටී ගියේ බියෙන් මිස සීතලය නොවේ.