More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 42

    Pini Muthu Palasa පිනි මුතු පලස – 42

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    වැස්සට අසුව දිය බත් වී සිටි නිසා මම ඇඟ පත සෝදාගෙනම නිවසට ගොඩ වූයෙමි. කාමරයට එන විට පූජිත එහි නොවීය. මා සිතට යම් සහනයක් දැනුණේ මන්ද කියා මම නොදනිමි. අම්මා තවමත් නින්දේය. දොරකඩ හිඳගෙන මම රාත්‍රී අහසට නෙත් යොමාන සිටියේ හිස් දෑසිනි. මා සිත වටකොට ගෙන තිබුණේම රජිව්ගේ සිතුවිලිය. සිත පුදුමාකාරය. බැඳීම් ඇති වූ කළ එයින් මිදෙන්නට කෙතරම් නම් අපහසුද..? වීදි පහන් කණුවේ ද විදුලි පහන නිවී ගොසින් තිබුණේ වර්ෂාව නිසා වන්නට ඇත. මහ වර්ෂාව දැන් නම් පායා එය කුඩු පොදක් බවට පරිවර්ථනය වී තිබිණි. ඇඟ පත සෝදා ගත් නිසාත් පරිසරයේ වූ සීතල මා ගතේ හී ගඬු නැංවූයේ ගත හිරි වට්ටමිනි. වරින් වර සිතට එබෙන රජිගේ මතකයත් සිත හිරි වැට්ටුවේ එලෙසමය. ඔහු පවසන්නා සේම අපි දෙදෙනාම දෙවිදියකට අසරණ වූවන් වූයෙමු. මට මා කෙරෙහිත් වඩා අනුකම්පාවක් ඇති වූයේ ඔහු ගැනය.

    “පුතා හදිසියේ කොළඹ ගියා…ඔය දොර වහලා දාලා ගෙට ආවා නම්…”

    අම්මාගේ හඬින් පුදුමයට පත්ව මම ආපසු හැරී බැලීමි. පූජිත කොළඹ යන බවක් මා හා පැවසුවේ හෝ නැත. එහි පුදුම වන්නටද දෙයක් නැත. ඔහු නිවසින් බැහැර යන්නේ මට පවසා නොවේ. දොර වසා දමා මම කාමරයට පැමිණියේ නිරෝෂා හෝ කැඳවා ගන්නට සිතාය. ඈ අද දවසටම මෙහි නොපැමිණි බව මට සිහි වූයේ දැන්ය. කුඩයත් රැගෙන මම පිටුපස දොරින් මිදුලට බැස වැටෙන් පැන මල්ලිකා නැන්දාගේ නිවසට ආවෙමි. පරිසරය සීතලය. මගේ හඬ ඇසී මල්ලිකා නැන්දා විත් දොර විවර කළාය.

    “ආහ්…දුවේ…ඇයි ළමයෝ…හදිසියක්ද…?”

    ඇගේ හඬේ වූයේ කළබලයකි.

    “අනේ නැහැ නැන්දේ…පූජිත හදිසියේ කොළඹ ගිහින්…මම පොළට යනකොටත් ගෙදර හිටියා…කිව්වෙත් නැහැ යනවා කියලා…මං ආවේ නංගිව ටිකක් එවන්න පුළුවන්ද අහන්න…”

    “එන්නකෝ දුවේ ගේ ඇතුළට…එළියේ සීතලනෙ…”

    ඈ මට ඇතුළට ඒමට ඉඩ හැර දොර වසා දැමුවාය.

    “කෙල්ලට හෙම්බිරිස්සා උණක් හැදිලා ළමයෝ…කළින්ම නිදා ගන්න ගියා… වැස්සෙ තෙමෙන්න එපා කියලා මං මේකිට කොච්චරවත් කිව්වද…”

    “ආහ්…ඉතින් බෙහෙත් ටිකක් ගන්න ගියේ නැත්ද…?”

    “මේ හවස හදිසියේම කිබුහුම් ඇර ඇර උන්නා…ඔන්න බලනකොට ඇඟත් රස්නෙයි…පස් පංගුව ටිකක් තම්බලා දුන්නා…”

    “හෙට උදේම යමු එහෙනම් බෙහෙත් ටිකක් ගන්න…”

    “ඔව් ළමයෝ…යන්න ඕන…ඒක නෙවේ…මොකද පූජිත හදිසියේ කොළඹ ගිහින් තියෙන්නේ…?”

    “අනේ මන්දා නැන්දේ…මං දන්නේත් දැනුයි…අපරාදේ උයපු කෑම ටිකත්…කළින් කියන්න එපැයි…”

    මම නොමනාපයෙන් කීවෙමි.

    “යන තැනක ගෙදර ගෑණිට එපැයි කියන්න…”

    “ගෑණියෙක් නම් ඉන්නේ ඉතින්…”

    නොසතුටෙනුත් කෝපයෙනුත් මම කීවෙමි.

    “අනේමන්දා දුවේ….මේවා කාගේ වැරදි වුණත්…දැන් ඒකෙන් දුක් විඳින්නේ ඔයානේ…ඒකයි අපිට තියන දුක…”

    මා සිත අලුතින් පෑරිණි. අක්කාත් සුමිත් අයියාත් දැන් සතුටින් සිටිනවාදැයි කියා මම සිතුවෙමි. ඇයට වුවමනා වූයේ මා නිවසින් පිට කිරීමටය. දැන් එය ඉටු වී ඇත. ඇයට නම් කවදාවත් සැනසීමෙන් ජීවත් වන්නට නම් නොලැබේවායි මම සිය දහස් වාරයක් සිතින් පැතුවෙමි. මල්ලිකා නැන්දාගෙන් සමුගෙන මම යළි නිවසට පැමිණියේ හිස් වූ හැඟීමෙනි.
    ——————————————————————————————————
    පසුදින උදෑසනම නිරෝෂා කැඳවාගෙන ගොස් මම ඇයට හංදියේ ඩිස්පෙන්සරියෙන් බෙහෙත් රැගෙන දුනිමි.

    “අනේ…අක්කට පින්…”

    ඈ බර වූ නාසය පිසිමින් කීවාය.

    “මොන පින්ද බං…කාලා මේ බෙහෙත් ටික බොන්න…”

    “අනේ…කන්න නම් බැහැ අක්කේ…මං බෙහෙත් ටික නම් බොන්නම්…”

    ඈ නහයෙන් හඬමින් කීවාය.

    “හිස් බඩට බෙහෙත් බොන්න හොඳ නැහැ…බිස්කට් එකක් හරි කාලා බෙහෙත් බොන්න…”

    මම ඇයට තදින් පැවසුවෙමි. මල්ලිකා නැන්දා අපට තේ සාදාගෙන ආවාය. නිරෝෂා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කීපයක් තේ කෝප්පයේ පොඟවාගෙන ගිළ දැමුවේ මගේ බලකිරීමටය.

    “බත් කන්න නම් බැහැ…කට තිත්තයි…”

    “බත් ටිකක් නම් කන්නම ඕන…නැත්නම් ඇඟ දුර්වල වෙයි…”

    “මෙයා දොස්තර වෙලානේ…”

    නිරෝෂා දුර්වල හඬකින් කීවාය.

    “පේනවනෙ දුව….මෙයාගේ පණ්ඩිත කතාව…”

    මල්ලිකා නැන්දා කීවේ නොසතුටෙන් මෙනි.

    “අක්කාටත් මං නිසා වදේ…”

    “ඔය කිව්වේ…මං වෙච්ච වදයක් නැහැ… එහෙම බැලුවොත් ඔයාලා මං නිසා කොච්චර වද වෙලා ඇත්ද…?”

    “ඔයා ගියාත්මේ අපේම කෙනෙක් වෙන්නැති…”

    “හ්ම්ම්…මටත් එහෙම හිතෙනවා…ඔයා බෙහෙත් බීලා නිදා ගන්න…මං දවල්ට බත් අරන් එන්නම්…”

    “අන්..නේ…”

    මුහුණ ඇද කරගනිමින් නිරෝෂා කීවාය.

    “මිරිස් ටිකක් වැඩිපුර දාලා උයන්නම්… දවල්ට නැන්දා උයන්න එපා…මං බත් අරන් එන්නම්…”

    “අනේ ළමයෝ…ඔයාට කරදරේනේ…”

    “මේ විඳින කරදර එක්ක…මේක මොන කරදරයක්ද නැන්දේ…මං කොහොමත් උයන එකනේ…”

    “හ්ම්ම්….හොඳ විදියක් කරන්නකෝ එහෙනම්…”

    මම වැටෙන් පැන නිවසට පැමිණියේ පිටුපස දොරිනි. ආලින්දය දෙසින් ඇසුණු කටහඬවල් නිසා නිවසට කිසිවෙකු පැමිණ ඇති බව දැන මම එදෙසට නොයා දහවල කෑම පිසීමට සූදානම් වූයෙමි. පිරිමි අයෙකුගේ උස් සිනා හඬ මට ඇසිණි. අම්මාද එයට හවුළ් වෙයි. පැමිණ ඇත්තේ රාජකරුණාවත්ද කියා සැකයක් මා සිතේ ඇති විය. හිටි ගමන් කතා බහ නැවතුණ අතර යළිත් අම්මාගේ කැකිරි පැළීම ඇසෙන විට මා සිතේ ඇති වූයේ කුහුළක් වුවද මම ගෙතුළට නොයාම සිටියේ හේතු කාරණා දෙකක් නිසාය. එකක් නම් ඒ රාජකරුණා යැයි සැකය නිසාත්, අනික නම් පැමිණි අය සමඟ සිනහ වුවත් මා මුකුළු කරනවා යැයි අම්මාම පූජිත හා කේළම් කියනු ඇතැයි සිතුණු නිසාය. දැන් කෝළම් කරන්නේ කවුද කියා පූජිත සිටියා නම් දෑසින්ම බලා ගත හැකි වනු ඇත. මා උයමින් සිටින විට අම්මා පැමිණියේ ශබ්දය ඇසුණු නිසා විය යුතුය.

    “තේ ටිකක් හදනවද…ඇමති තුමාගේ ගෙදර ඩ්‍රයිවින් කරන ළමයා ඇවිත්…”

    අම්මා එසේ කීවේ අමුතු ලැජ්ජාශීලි බවකින් මෙනි. මම වුවමනාවෙන් ඈ දෙස බැලීමි. ඒ මුහුණේ වූයේ අමුතු මනමාල බැල්මකි.

    “තේ හදන්නම්…අරන් යන්න එන්න වෙයි…ආපු උන්ට තේත් අල්ලලා…අන්තිමට මට කතාවක් අහගන්න වෙයි…මුකුළු කරන්න ගියා කියලා…”

    උස් හඬින් මම කියන විට අම්මා ආපසු හැරුණේ තැති ගත්තාක් මෙනි.

    “ෂ්…එහෙට ඇහෙයි….හිමින්…මං එන්නම්…”

    “මළ කෝළම්…ඇහුණදෙන්කෝ…මට මොකද…මං බයේයැ…”

    නොරුස්සමින් මම කීවෙමි.

    “හා…හා…හදන්නකෝ…මං එන්නම්…”

    මම තේ සාදා මේසය මත තැබුවෙමි. සුළු මොහොතකට පසු පැමිණි අම්මා එයත් රැගෙන ගෙතුළට ගියේ මනමාල සිනහවක් පාමිනි. ඇගේ හැසිරීම නව යොවුන් තරුණියකගේ මෙනි. ඉඳහිට ඔවුන්ගේ උස් සිනා හඬ කතා හඬ ඇසුණද සමහර විටක එහි දිගු නිහැඬියාවක්ද විය. මම දහවල කෑම උයාගෙන මල්ලිකා නැන්දාගේ නිවසට පැමිණියේ අම්මාට මා එහි යන බව කියන්නට ආලින්දයට කර පොවා බලමින් වුවද ඔවුන් එහි පෙනෙන්නට නොසිටියෝය. සිහින් කතා හඬවල් ඇසුණේ ඇගේ කාමරයෙනි. සිරුර කිලිපොළා යන විට මම වහා වහා නිවසින් පිට වූයේ සිතේ උපන් පිළිකුල් හැඟීමෙනි.
    ——————————————————————————————————
    තද නින්දේ සිටි මා තිගැස්සී අවදි වූයේ දොරට තඩි බාමින් කිසිවෙකු කෑ ගසන හඬිනි.

    “දොර ඇරපියව් යකෝ…තොපි මැරිලද…?”

    ඒ පූජිත බව හඳුනා ගන්නට මට මොහොතක් ගත විය. ඔහු බීමතිනි. යහනින් බිමට පැන ගත් මම ආලින්දයට එන විටත් නින්දෙන් අවදි වූ අම්මා දොර හරිමින් සිටියාය. දොරට බර දී සිටගෙන සිටි පූජිත ගෙතුළට ඇද වැටුණේ කපා හෙළූ කඳක් මෙනි. පරුෂ වදනින් කෑ ගැසූ ඔහුව අපි දෙදෙනා එකතුව කාමරයට ඇදගෙන විත් යහනට දැමුවේ අපහසුවෙනි. ඔහු තුළින් හැමූ සැර මත්පැන් ගන්ධය ඔක්කාරයක් ඇති කළ අතර මා සිතේ ඔහු කෙරෙහි ඇති වූයේ පිළිකුළක් මෙන්ම වෛරයකි. අම්මා කොට්ටයක් ගෙන ඔහුගේ හිස යටින් තැබුවාය.

    “දෙහි ලෙල්ලක් වත් ඔළුවේ අතුල්ලන්න වෙයි…”

    අම්මා කීවේ මට ඇසෙන්නටය. සිත යට සැඟව තිබූ කෝපයේ ගිනි පුපුරු බුරා නඟිමින් මා ගත සිත දෙකම අවුළුවාලීය.

    “දෙහි…! දෙහි අතුල්ලන්න ඕන ඔළුවේ නෙවේ…ඔහේගේ කටේ…පුතණ්ඩියාව හදා ගන්න බැරි වුණ අම්මා කෙනෙක්ද උඹ…? මගේ ජීවිතෙත් නැති කරලා දාලා…දැන් අතුල්ලපන් දෙහි…උඹලා සේරටම හෙන ගහනවා…මගේ ජීවිතේ මට නැති කළාට…”

    අම්මාගේ උරමතින් අල්ලා ගත් මම ඇයව සොළවමින් කෑ ගසන විට ඇයත් ළතෝනි තැබුවාය.

    “අනේ දෙවියනේ…! මේ මොන කරුමයක්ද මට වුණේ…?”

    “කරුමේ වුණේ උඹට නෙවේ…මටයි…මේ වගේ එකෙක්ව මට බන්දලා දීලා…උඹලා කළේ හොඳ දෙයක් කියලද හිතන් ඉන්නේ…”

    බිම හිඳ ගත් අම්මා හඬන්නට වූවාය. මමද යහන මත හිඳගෙන හැඬුවෙමි. පූජිත වෙරි මතින් කෙඳිරි ගාන හඬ මට ඇසිණි. අම්මා නැඟිට ඉවතට ගියේ ඊටත් සුළු මොහොතකට පසුවය. මමද යහන මතින් නැඟී සිටියේ පූජිත පිළිබඳව උපන් වෛරයෙනි. මෙට්ටය යට සඟවා තිබූ මන්නා පිහිය අතට ගෙන මම එය ඉහළට එසවූයේ එක්වරම ඔහුගේ පපුවටම කොටන්නට සිතාගෙනය. ගැහැණියක යක්ෂණියක වන්නේත් දෙව්දුවක වන්නේත් ඇයට ජීවිතයේ හමුවන පිරිමියා නිසාය. මම දැන් යක්ෂණියක වී සිටිමි. මට වුවමනා ඔහු මරා දමන්නටය. මගේ ජීවිතය දැන් විනාශ වී හමාරය. තවත් ජීවත් වීමට මට ආසාවක් හෝ බලාපොරොත්තුවක් නැත. මෙලෙස ජීවත් වී පලක්ද නැත. පූජිතගේ පපුවට එල්ල කරන ලද පිහි පහර කිසිවෙකු විසින් වළකන ලද බවක් මට දැනිණි. ඔහු වෙනුවට එහි වැතිර සිටියේ රජිව්ය. ඒ මුහුණ දුටු මතින් මම ගල් ගැසී ගියෙමි. ඔහුගේ මුහුණේ වූයේ මා ප්‍රිය කරන මෘදු සිනහවය. මාතින් ගිළිහුණ පිහිය යහන මතට වැටිණි. මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියේ ආදරය පිරුණු දෑසිනි. සැණෙකින් මා දෑසේ වූ මායාව පලා ගියේ පූජිතගේ මුවින් නික්මුණ ගෙරවිල්ල නිසාය. තිගැස්මට පත් මා කිරීමට ගිය බිහිසුණු ක්‍රියාව මෙනෙහි වී මා සිතේ ඇති වූයේ බියකරු හැඟීමකි.

    “දෙවියනේ…! ඒ මොහොතේ ඔහු මාතින් ඔහු මිය ගියා නම්…! එම සිතුවිල්ල පවා මා භීතියෙන් වෙව්ළුවා දැමීය. පිහිය ගෙන මම එය පෙර සඟවා තිබූ තැනම සැඟවූයෙමි. රජිව්ගේ මුහුණ මා දෑසේ මායාවක් වී හෝ මැවී නොපෙනෙන්නට මා දනටමත් මිනීමරු ගැහැණියක වී හමාරය. එවැන්නක් සිතීම පවා බියකරු නොවන්නේද.? රාත්‍රී අඳුර අතරින් බස්සෙකුගේ අමිහිරි නාදය මා සවන් තුළට ගලා ආවේය. නුදුරින් ඇසුණු බල්ලෙකුගේ අමිහිරි උඩු බිරිළෑම අනාගත ව්‍යසනයක පෙර නිමිත්තක්ද….?

    වහලය මතට වේගයෙන් ඇද වැටෙන වැසි කැට වල හඬින් මම අවදි වූයෙමි. මුළු පරිසරයම මහ මූසළ වැසි අඳුරකින් වැසී තිබුණේ සිතත් අමුතු කළකිරීමකින් පුරවාළමිනි. පූජිත යහන මත නොවූ බව මම දුටුවේ පසුවය. යහනින් බැස ගත් මම මේසය මත වූ කුඩා ඔරලෝසුවේ වේලාව බැලීමි. උදෑසන හතට ආසන්නය. මෙතෙක් මට නින්ද යන්නට ඇත්තේ පෙර දින රාත්‍රියේ මා වෙත නින්දක් නොවූ නිසා වන්නට ඇත. එම බියකරු රාත්‍රිය සිහි වී මා ගත අලුතින් වෙව්ළුවේය.
    පූජිත මුහුණ පිස දමමින් කාමරයට පැමිණියේ මම හිස පීරමින් සිටින විටය.

    “තේකක් බොමුද…?”

    ගෙරවිළි හඬින් ඇසූ ඔහු යළිත් යහන මත වැතිර ගත්තේ තුවාය මා මුහුණට දමා ගසමිනි. මම එයද ඉවසා සිටියෙමි. ඔහුගේ මුහුණ තඩිස්සි වී දෑස් ලොවි ගෙඩි දෙකක් මෙන් රතු වී තිබිණි. තුවාය ඇඳුම් වැටේ වනා මම තේ සාදාගෙන කාමරයට එන විට ඔහු යහන මතින් නැඟිට ඇඳ විට්ටමට කොට්ටය තබා හිඳ ගත්තේය.

    “හරි අමාරුයි…”

    ඔහු තේ කෝප්පය අතට ගත්තේ එසේ කියමිනි. මම එය නෑසුණා සේ මුළුතැන්ගෙයට පැමිණ උදෑසන කෑමට කිරිබත් සාදා කෑම මේසය සූදානම් කොට විත් වැස්සෙම ළිඳෙන් නා ගතිමි.

    -හෙටත් හමුවෙමු-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Special transportation services අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට

    Special transportation services  එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා...

    Highland products හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

    Highland products  - හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව යෝගට් එකක...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...

    S M Ranjith – උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමතිට වසර 16 ක සිර දඬුවම් Video

    S M Ranjith - අල්ලස් කොමිසම විසින් ගෙන ආ දූෂණ චෝදනා සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය...
    - Advertisement -spot_img

    S M Ranjith – උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමතිට වසර 16 ක සිර දඬුවම් Video

    S M Ranjith - අල්ලස් කොමිසම විසින් ගෙන ආ දූෂණ චෝදනා සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය...

    Pini Muthu Palasa පිනි මුතු පලස – 53

    Pini Muthu Palasa පිනි මුතු පලස හුන් තැනම හිඳ මම ඔහේ බලා සිටියෙමි. සිතන්නට බොහෝ දේ වුවද කිසිත් මට සිහි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>