More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 37

    Pini Muthu Palasa පිනි මුතු පලස – 37

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    දවස ගෙවුණේ හීයක් විදින තරම් වූ වේගයකිනි. ඉරිදා වන තුරු මා සිටියේ නොඉවසිළිමත්වය. සෙනසුරාදා දිනය වන වන විට මා සිත වඩ වඩාත් නොසන්සුන් වන්නට විය. ඉරිදා දින පූජිතද සිටියේ නිවසේමය. මා පසුවූයේ තරමක බියකිනි. මෙදින මට පොළට යාමට ඉඩක් ලැබේදෝයි සැකයක් මා සිතේ වූයේ පූජිත නිවසේ සිටි නිසාය. රජිව් පැමිණියහොත් ආපසු හැරී යනු ඇත. පොළට යනවා නම් යා යුත්තේ මල්ලිකා නැන්දා හෝ නිරෝෂා සමඟය. ඔවුන් සමඟ ගොස් මම රජිව් සමඟ කතා බහ කරන්නේ කෙසේද…? මා පත්ව සිටියේ උගතෝඝෝටික ගැටළුවකටය. නිරෝෂා මා සමඟ පැමිණියා නම් එතරම් ගැටළුවක් වන්නේ නැත. මට ඈ හා සත්‍යයම පැවසිය හැකිය. දැන් ඈ මට ඉතා හිතවත් මිතුරියකව සිටියි. නමුත් මල්ලිකා නැන්දා සමඟ යාමට සිදුවුවහොත්…? මම නිරෝෂා සොයා පැමිණියේ මේ ගැටළුව විසඳා ගන්නටය.

    “පොළට යනවද අද…?”

    වැට ළඟ හිඳ කතා බස් කරමින් මම නිරෝෂා විමසීමි.

    “අද අම්මාට නම් යන්න වෙන්නෙ නැති වෙයි…මට තමා යන්න වෙන්නෙ…”

    මා සිත සහනයට පත් කරමින් නිරෝෂා කීවේ මුව ඇද කරගෙනය.

    “ඒ මොකෝ අනේ…?”

    “අම්මාගේ තුනටිය රිදෙනවා කියනවා උදේ ඉඳන්…මමයි අද ඉව්වෙත්…”

    “මොකුත් බිව්වේ නැත්ද ඉතින්…?”

    “බිව්වා…බාම් එකකුත් ගෑවා…දැන් ඔය ඉන්නවා ඇඳට වෙලා…”

    “පව් වැඩේ…එහෙනම් ඔයා ලෑස්ති වෙලා එන්නකෝ…තුනට විතර යමු…”

    මම සතුටින් නිවසට පැමිණියේ මල්ලිකා නැන්දාගේ අසනීපය නිසා නම් නොවේ. ඇය පොළට නොයාම පිළිබඳවය. දහවල් ආහාරයෙන් පසු පුජිත කාමරයටම වී සිටියේ අලස ලෙසය. ඔහු නිවසින් පිටව සිටිනවාට වඩා මා බිය වූයේ මෙදින නිවසේ නැවතී සිටීමය. ඔහු යහන මත වැතිර මම ඇඳුම් මාරු කරන සැටි බලා සිටින බව මම නෙත් කොණින් දුටිමි.

    “පොළට යන්නද…?”

    ඔහු අසන විට මම තිගැස්සුණෙමි.

    “ඔව්…සල්ලි දෙනවද…?”

    දෙගිඩියාවෙන් මම ඇසුවේ මෙදින ඔහුත් නිවසේ සිටින නිසා මා සමඟ පොළට යාමට ඔහුද පැමිණෙනවා යැයි කිවහොත් කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිවය.

    “අක්කේ…”

    පිටතින් ඇසුණු නිරෝෂාගේ හඬින් මම කඩිමුඩියේ හිස පීරා ගතිමි. කල්වේලා ගෙන හැඩ වැඩ වීමට ගියා නම් පූජිත තුළ සැකයක් ඇතිවනු ඇතැයි මම සිතුවෙමි.

    “ඔන්න ඔය පර්ස් එකෙන් ගන්න…හොඳ කොමඩු ගෙඩියක් අරන් එන්න…”

    පූජිත පැවසුවේ ඇඟමැලි කඩමිනි. අද නම් ඔහු යහනින් බසින පාටක් වත් පෙනෙන්නට නැත. පසුම්බියේ වූ නෝට්ටු කීපයක් ගෙන මම වහා වහා පිටතට දිව විත් මා බලාපොරොත්තුවෙන් සිටින නිරෝෂා සමඟ සෙමෙන් ඇවිද ආවේ සිත තුළ වූ කැළඹීමකිනි.

    “අද අයියා ගෙදරනේ…?”

    නිරෝෂා විමසුවාය.

    “හ්ම්ම්…”

    මම හූ මිටි තැබුවෙමි. රජිව් නොපැමිණේවි යැයි කියා සැකයක් නම් මා තුළ නොවීය. ඔහු දනටමත් පැමිණ ඇතිවාට සැක නැත. මා දෙගිඩියාවෙන් සිටියේ මෙය නිරෝෂා හා පවසනවාද කියාය. ඇයට රජිව් අමතක වන්නට හැකියාවක් නැත. එදින ඈ ඔහු සමඟ කතා බහට මාවද ඇදගෙන ගියේ ඔහුගේ හඬට වසඟව සිටි නිසාය. ඔහුට එවන් ගැඹුරු, මිහිරි හඬක් ඇති බවක් මම දැන ගත්තේද එදාය. ගිටාරය වයමින් ඔහු ගැයූ හිංදි ගීතය කෙතරම් මිහිරිද.! මහා ලෝභ කමක් මා සිතට දැනුනද මම එයට වැඩෙන්නට ඉඩ නොහැරියෙමි. නිරෝෂාට මම රජිව් පැමිණෙන බව පැවසිය යුතුද කියා මම බොහෝ වාරයක් සිතුවෙමි. අහම්බෙන් ඔහු හමු වූ බවක් අඟවා කතා කරන්නට නොහැකිය. එතරම් සුහදව කතා බහ කරන්නට තරම් හිතවත් කමක් පළමු දිනම ඇති වන්නේ නැති බව ඕනෑම කෙනෙකුට තේරුම් නොයන්නේද…? නිරෝෂා බුද්ධිමත් තරුණියක වූවාය. මසිතට බියක් දැනෙන්නේ පූජිත මෙම හමුවීම දැන ගනීවිද යන්නය. ඔහුට සැක සිතන්නට කරුණු වුවමනා නැත. පෙර දිනක ඔහු මට පහර දුන්නේ සැකය හේතු කොටගෙනය.

    “නිරෝෂා…”

    සිතත් සමඟ තර්ක කර මම අවසානයේ නිරෝෂා ඇමතුවෙමි. වන්නක් වේවා. රජිව් සමඟ කත බහ කරනවා මිස මම කරන්නේ වරදක් නොවේ. මම සියල්ල නිරෝෂා සමඟ පැවසීමට තීරණය කළෙමි.

    “අක්කේ…”

    ඈ සිය ගමන බාල කරමින් මවෙත හැරුණාය.

    “මම ඔයාට දෙයක් කියන්නම්…ඒත්…මට පොරොන්දු වෙන්න කාටවත් මේක කියන්නේ නැහැ කියලා…”

    “අක්කා දන්නවනේ…මං අක්කාට ගොඩක් ආදරෙයි…ඔයාට පුළුවන් මාව විශ්වාස කරන්න…බෙල්ල ගහලා ගියත් මං ඒ විශ්වාසේ කඩ කරන්නේ නැහැ…”

    ඈ පොරොන්දු වූවාය. මම ඇයට රජිව් පිළිබඳවත් අපේ පැරණි සම්බන්ධය පිළිබඳවත් සියල්ල ඈ හා කෙටියෙන් පැවසුවෙමි. ඈ අසා සිටියේ මවිතයෙනි.

    “එහෙනම් ඔයාලා අඳුනනවා…කමක් නැහැ…මං ඒක දැනන් හිටියේ නැහැ…මං මේ කිසිදෙයක් කාටවත් කියන්නේ නැහැ අක්කේ…”

    මා සිතට දැනුණේ සහනයකි. ඉක්මනින් එළවළු කීපයක් මිළට ගෙන අපි රජිව්ට පැමිණීමට යැයි කියූ තැනට ගියද ඔහු පෙනෙන මානයක නොවීය.

    “එයා ඇවිත් නැත්ද අක්කේ…ඔයා කිව්වේ මෙතනට එන්න කියලානේ…?”

    “ඔව්…අනේ…මං කිව්වා වළං කඩේ ගාවට එන්න කියලා…”

    වටපිට බලමින් මම කීවෙමි. ඔහු ඇවිත් නැතුවාවත්ද…?

    “තාම තුනහමාර වුණා විතරයි…අපි තව ටිකක් බලමුද…?”

    නිරෝෂා සිය අත පැළඳි ඔරොලෝසුවට නෙත් හෙළමින් කීවද බලාපොරොත්තු සුන් බවක් මා සිතට දැනිණි. ඔහු පැමිණෙනු ඇත. මසිත කොඳුරන්නාක් මෙනි.
    පූජිත මට කොමඩු ගෙන ඒමට යැයි කී බවක් මට සිහි වූයේ මෙවිටය. මම ඒ බව නිරෝෂා හා කීවෙමි.

    “අපි ගිහින් අරන් එමු…එතකොට එයා ඇවිත් ඉඳියිනේ…නැත්නම් ඉතින් ලබන සතියේ තමා…”

    නිරෝෂා කීවේ දුර්මුඛ වූ හඬකිනි. අපි දෙදෙන විත් කොමඩු ද රැගෙන යළි පෙර තැනටම එන විට රජිව් එහි සිටිනු දුර තියා දුටු මසිත කළබලයෙන් ගැහෙන්නට වූයේ පීල්ලක දුවන දුම්රියක් මෙනි. සිත පතුළේ මියැදීමට ආසන්න වූ මල් ගොමුව යළිත් වරක් පෙති විහිදා හිනැහෙන්නට විය.

    “එයා ඇවිත් නිරෝෂා…”

    මම එසේ පවසමින් හනික ඔහු කරා දිව යන්නට සූදානම් වූ මොහොතේ නිරෝෂා මා වළකාලමින් මා අතින් අල්ලා ගන්නා විට මම පුදුමයට පත්ව ඈ දෙස බැලීමි.

    “ඇයි නිරෝෂා…?”

    මගේ හඬේ වූ මවිතය ඇයට වැටහෙන්නට ඇත.

    “අනේ…අනේ අක්කේ…ආදරේ අන්ධයි කියලා මං අහලා තිබුණාට…මම ඒක තේරුම් ගත්තේ අද…”

    ඈ කුමක් කියන්නට හදනවාද කියා මට සිතා ගන්නට නොහැකිය.

    “ඒ කිව්වේ…?”

    “අනේ මෝඩි…අරයව දැක්කා විතරයි…ගාල කඩා ගත්තු වැස්සි වගේ දුවන්න හදන්නේ…අමතක වුණාද…මේ ගමේ රොයිටර්ලා හැමෝම අද පොළට ඇවිත් ඇති…ඔයා හදන්නේ ඔයාත් අමාරුවේ වැටිලා…අර කොල්ලවත් අමාරුවේ දාන්නද…? අපි හිමින් යමු…”

    ඈ කීවේ සත්‍යයක් බව මට වැටහුණේ මෙවිටය. මට වඩා වසරකින් බාල වුවද නිරෝෂා බුද්ධිමත් යැයි කියා මට මේ මොහොතේත් සිතිණි. මා කෙතරම් මෝඩියක්ද ! මම මීට වඩා සිහිබුද්ධියෙනුත් ප්‍රවේශමෙනුත් වැඩ කළ යුතුය.

    “සතුට වැඩි කමට මට ඒ හැමදේම අමතක වුණා…”

    “මේ වෙලාවට හදවතින් නෙවේ… බුද්ධියෙන් වැඩ කරන්න ඕන…”

    ඈ පැවසුවේ අවවාදයක ස්වරයෙනි. අපි දෙදෙන පමා වෙමින් ඔහු සමීපයට ගියෙමු.

    “මං හිතුවේ එන එකක් නැහැ කියලා…”

    ඔහු අසලට ළංව මම රජිව් දෙස වඩාත් වුවමනාවෙන් හිස සිට දෙපතුළ තෙක් විපරමින් බලමින් ඇසුවෙමි. පුදුමයක් මා සිතට දැනිණි. ඔහු හැඳ සිටියේ දුර්වර්ණ වූ ඇඳුමකි. කලිසම සායම් ගොස් පරණ පාටය. ලා දුඹුරු පැහැති කමිසය අව්වට පිළිස්සී ගොසිනි. පිළිවෙලකට හඳින පළඳින ඔහු මෙසේ කවදාවත් දුර්වර්ණ ඇඳුමක් හඳින නොපළිඳන බව මම හොඳාකාරව දැන සිටියද එයට හේතු වූ කාරණය දැන ගත්තේ පසුවය. ඔහු මා ඇසූ දෙයට පිළිතුරක් දීමට පෙර නිරෝෂා වෙත පෑවේ සුහද සිනහවකි. ඈ නිසා ඔහු කතා බහ කිරීමට මැළි කමක් දක්වනවාදැයි සැකයක් මා සිතේ ඇති විය.

    “මාව මතකයි නේ…වෙඩින් එක දවසේ කතා කළේ…ඔයාලා කලින් ඉඳන් යාළුවෝ කියලා ඇඟෙව්වවත් නැහැ නේද…?”

    නිරෝෂා කතා කළේ බොහෝ කලක් ඔවුන් දැන හැඳින සිටින මිතුරන් මෙන් සුහදවය.

    “මතකයි…මතකයි…එහෙම අමතක වෙනවද…”

    සිනහසෙමින් ඔහු කීය.

    “අද නම් ඔයත් පොළේ බඩු විකුණන කෙනෙක් වගේ…”

    නිරෝෂා විහිළු කළාය.

    “ඔව්…ඔව්…පොඩි වෙස් මාරුවක් කරන්න වුණා…පරණ ඇඳුමක් හොයා ගත්තේ බොහොම අමාරුවෙන්…මම නිකන් කිට මරලා මෙතන්ට ඇවිත් හිටන් හිටියා නම්…හැමෝම මං දිහා ඇස් කරකෝලා බලන්න ගනියිනේ…වළං මුදලාලිව ටික වෙලාවකට පැත්තකට කළා…ගානක් දීලා…”

    පසෙක සිටි වෙළෙන්දා පෙන්වා ඔහු කීය. ඔහු කියන කතාව සැබෑය. එසේ නුවණක් පහළ වීම කෙතරම් අපුරුද.? මාත් නිරෝෂාත් මුහුණින් මුහුණ බලාගෙන මඳ සිනහ පෑවෙමු. අප දෙදෙනාට කතා බහ කිරීමට ඉඩ හැර නිරෝෂා මඳක් ඉවතට ගියේ තවත් එළවළු කීපයක් මිලට ගත යුතු බව කියමිනි.

    “මං පරක්කු වුණාද…?” රජිව් මා විමසුවේය.

    “මොනවටද…?”

    මා මුවින් නොසිතා පිටවූ වචනය කෙරෙහි මා සිතේ ඇති වූයේ පසුතැවීමකි. ඔහු අපහැදිළි බැල්මක් මවෙත හෙළා කෙටි සුසුමක් පා කළේය.

    “මං හැමදේටම පරක්කු වුණා තමා මංදාකිණි…ඒත්…ඔයාත් මේ තරම් ඉක්මන් වෙයි කියලා මං හිතුවේ නැහැ…”

    පසුතැවීමකුත් ශෝකයකුත් ඔහු සිතේ විණැයි කියා මට සිතිණි.

    “ඉක්මන් වුණේ මං නෙවේ රජිව් අයියේ…මගේ අසරණකම…මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ…”

    “ඔව්…ඒ අවස්ථාවේ හැටියට මටත් ඔයා වෙනුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ…”

    “ඒක මං දන්නවා රජිව් අයියේ…අපි ඒ ගැන කතා නොකර ඉමු…”

    පසුතැවිළි හඬකින් මම කීවෙමි. අසන්නට, දැන ගන්නට, කියන්නට මට බොහෝ දෑ තිබුණද මේ මොහොතේ ඒ සියල්ලටම කාලය මදිය.

    “මං ලබන සතියෙත් එන්නද මෙතන්ට…?”

    මා සිතැඟි වටහා ගත්තාක් මෙන් ඔහු අසන විට මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමි.

    “ඔයා ආයෙමත් එනවද…?”

    “ඇයි…එන්න එපාද…?”

    “ඒත්…ඔයාට කරදරයි නේද…?”

    “මට කරදරයක් නෙවේ මංදාකිණි…මම එන්නද…?”

    මට ඔහුට එන්නට එපා යැයි කීමට දිව නොනැමිණි. මම හිස සැළිමී. පමා වන බවින් ඔහුගෙන් සමුගත් මම නිරෝෂා සමඟ පාරට ආවෙමි.

    මා සිතට සහනයක් මෙන්ම ජීවත් වන්නට අලුත් බලාපොරොත්තුවක්ද ලැබුණාක් මෙන් හැඟිණි. පණ ගැසෙමින් තිබූ ජීවිතයට රජිව් යළි හුස්ම ලබා දුන්නාක් මෙනි.

    “අක්කේ…දැන් සතුටුද…?”

    නිරෝෂා මා විමසන විට මම ඈ දෙස බැලුවේ මඳහසක් මුව මත තවරාගෙනය.

    “හ්ම්ම්…ඔව්…මං ආයෙමත් ජීවත් වෙනවා වගේ කියලා මට දැනෙනවා…”

    දිගු හුස්මක් ගෙන මම කීවෙමි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    of murder ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    of murder - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා....

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...
    - Advertisement -spot_img

    The Voice 27 වන අදියරේ ජයග්‍රාහකයා

    The Voice 27 වන අදියරේ අවසන් මහා තරඟය පසුගියදා (මැයි 20) පැවැත්වුනා. Adam Levine, John Legend, Kelsea Ballerini, Michael...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page