Pini Muthu Palasa පිනි මුතු පලස
රජිව් හමුවීමෙන් පසු මා සිතේ ඇතිව තිබුණේ බලවත් වූ පසුතැවිල්ලක් මෙන්ම කලකිරීමකි. ඒ ඔහු පිළිබඳව නොව මා පිළිබඳවමය. ඔහු හමුවීමෙන් සිත තුළ වූ ආදරයේ තුවාළය පෑරී අලුතින් වේදනා දෙන්නට විය.
“අක්කේ…”
රාත්‍රී කෑම මේසයේ හිඳගෙන කෑම ගනිමින් මම අක්කා ඇමතුවෙමි. කෑම ගනිමින් යැයි කීවද මා බත් පිඟානට අතවත් තබා නොතිබුණෙමි. කුස ගින්නක් හෝ කෑමට ප්‍රියයක් මා තුළ නොවීය. සිත වේදනාවෙන් පිරී පවතින විට වතුර උගුරක් හෝ උගුරෙන් පහළට නොයයි. අක්කා මා දෙස බැලුවේ ඕනෑවට, එපාවට මෙනි. කොහොමත් ඈ දැන් එසේය. ඇගේ බැල්මෙන් මට ඇති කාරියක් නැත.
“ඒ පාර මොකද…?”
කිසිදු තෙතමනයක් නොමැතිව ඈ අසන විට අත දිග හැර ඇයට කම්මුල් පහරක් ගසන්නට නොහැකියාවෙන් මම ඉවසා සිටියෙමි.
“මේ කසාඳේ කෙරෙන්නම ඕනද…?”
එක එල්ලේම මම ඈ දෙසම බලා අසන විට ඈ මා දෙස බැලුවේ කෝපය උතුරන දෑසිනි.
“ඒ පාර මොන යකා වැහිලද…?”
ඈ වචන වලින් දමා ගසන විට කෝපයක් සිතේ ඇති වූ මුත් මම ඉවසා සිටියෙමි.
“චූටි නංගී මේ…ඒ පාර මොකාටද එන්න හදන්නේ…දැන් මේ හැමදේම ලෑස්ති කරලා තියෙත්දී…ඔයා හිතන් ඉන්න දේවල් මේ අත්මෙ වෙයි කියලා හිතන්න එපා…දැන් ඔය පරණ ඒවා අමතක කරලා මේ මඟුලට ලෑස්ති වෙනවා…”
ඈ තර්ජනාත්මක හඬින් කියන විට මා කෝපය හිස එසවීය.
“මොනවද පරණ දේවල්…තමුසේ මොනවද කියවන්නේ…?”
මහ හඬින් මම කෑ ගැසීමි.
“කියවන්නේ…මං මොකුත් දන්නේ නැහැ කියලද හිතන් ඉන්නේ…අද හවස මොකා එක්කද පාරේ කතා කර කර හිටියේ…දැන් ඌ මේ පාරෙනුත් යනවා එනවානේ…තමුසේ තාම ඌත් එක්ක යාළුද…?”
ඈ දන්නවා යැයි කියා සිතා සිටින්නේ මොනවද.? මාත් රජිව්ත් අතර සම්බන්ධය බිඳී දැන් කොපමණ කල්ද! හිතළු මවාගෙන ඈ මට චෝදනා එල්ල කරන්නේ නිරපරාදේය.
“දන්නවා කෙහෙල්මලක්…තමුසෙගේ මොළේ අමාරුවද…මං මොකා එක්කද යාළු…? නොදන්න දේවල් කතා නොකර ඉන්නවා…තමුසේ දැන් අත පිහිද ගන්න මගේ පිට වැරැද්ද පටවන්නයි හදන්නේ… කරන්න යන්නේ අපරාධයක් කියලා දන්නවනේ…ඊට පස්සේ කියන්න පුලුවන්නේ මං කොල්ලෙක් එක්ක යාළු වෙලා නිසා බන්දලා දුන්නෙ කියලා…නේද…? තමුසෙට ඕන මාව මොකෙක්ගේ හරි ඇඟේ ගහලා බේරෙන්න…එතකොට අර ජරා සතාව ගෙට දාගන්න පුලුවන් නේ…ඒකනේ දැන් තමුසෙට ඕනා…මේ කරන දේට කවදා හරි තමුසෙටම පටිසන් දෙයි…තමුසෙයි…තමුසෙගේ මල්ලියි දෙන්නම එකයි…අම්මා එවපු සල්ලි වලිනුත් දෙන්නම ජොලි කරපු එක කළේ…පිට මිනිස්සුන්ට මං ගැන තියන කැක්කුමවත් තමුසෙලා දෙන්නට නැහැ…අම්මා එවන ඒවා බෙදා ගන්නත් ලේසියි නේ…අම්මා ලංකාවට එනවට අකමැතිත් ඒ නිසානේ…එයා වෙන මිනිහෙක් එක්ක හිටියත් තමුසෙලා දෙන්නා වචනයක් වත් කතා නොකරන්නේ සල්ලි තණ්හාවටයි…ආත්මාර්ථකාමී කමටයි…මාවත් අර මිනිහට බන්දන්න යන්නෙ සල්ලි වලටද දන්නැහැ…සල්ලි සල්ලි…උඹලාට ඕන සල්ලි විතරයි…කීයක් හම්බෙනවද උඹලාට ඒකෙන්…?”
මම කෑ ගැසීමි. මෙතුවක් කලක් සිත තුළ කැකාරෙමින් තිබූ වේදනාව මම වචන වලට හරවා අක්කාට දෙස් තැබුවේ ඈ බියෙන් බලා සිටියදීමය.
————————————————————————————————-
තව ඇත්තේ දින කීපයක් පමණි. කුමක් හෝ දෙයක් සිදුවනු ඇතැයි කියා මම සිතූ මුත් කිසිවක්ම සිදුවුණේ නැත. මිය ගියා නම් හොඳ යැයි කියා මට යළි යළිත් සිතිණි. තරුෂි මා සොයා පැමිණියේ මම මෙසේ කලකිරීමෙන් පසුවන මොහොතේය. ඈ දැකුමෙන් මා සිතේ වූ වේදනාව උතුරා පිටාර ගලන්නට විය. කාමරයට වැදී මම ඇගේ උරමත හිස තබාගෙන ඉකිබිදිමින් හැඬුවෙමි. ඈ මා හිස පිරිමදිමින් නිහඬව සිටියේ කුමක් කිව යුතුදැයි සිතා ගත නොහැකිව වන්නට ඇත.
“පහුගිය ටිකේ එන්න වෙලාවක් වුණේ නැහැ…අපේ සීයා නැති වෙලා අපි සති දෙකක්ම ගමේ හිටියේ…ඊට පස්සෙ ඉස්කෝලේ මාරු කළා…එක එක ඒවා මංදි…”
පසුතැවිළි හඬකින් ඈ කීවාය.
“ඒකට කමක් නැහැ තරූ…”
බර වූ නාසය පිසිමින් මම කීවෙමි.
“මං අද පන්ති ඇරිලා කොහොමත් මෙහෙ එන්න හිටියේ…ඒ අස්සේ තමා ඊයේ රජිව් අයියා අපේ ගෙදර ආවේ…”
තිගැස්සුණු බැල්මෙන් මම ඈ දෙස බැලුවේ ගවුම් කරෙන් කඳුළු පිසිමිනි.
“මට ඊයේ හවස හමුවුණා තරූ…”
“හ්ම්ම්…මට කිව්වා…අනේ…! එයත් හරි අවුළෙන් ඉන්නේ මංදි…මට කතා කරත්දී අඬන සයිස් එකක්…මොකුත් කරන්න බැරිද අහනවා…එයාට පුළුවන්නම් ඔයාව කොහේ හරි එක්ක යනවලු…ඒත් මංදි එයත් මේ වෙලේ අසරණයි…”
මම ඒ බව දැන සිටියෙමි. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් මසිත බර විය.
“මං දන්නවා තරූ…එයාට අප්සට් ගන්න එපා කියන්න…”
“අනේ මංදි…මේක නවත්තන්න ක්‍රමයක් ඇත්තෙම නැත්ද…?”
“නැහැ තරූ…මං මට පුළුවන් හැම දේම කළා…දැන් ඉතුරු වෙලා තියෙන්නේ මැරෙන එක තමා…”
මට යළිත් හැඬිණි.
“අනේ මංදි…ඒ වගේ දෙයක් කරගන්න නම් හිතන්නවත් එපා…මිනිස්සු අසරණ වෙනවා තමා…”
තැතිගත් හඬකින් ඈ කීවාය.
“මට අනන්තවත් එහෙම හිතෙනවා තරූ…”
“පිස්සුද ඔයාට…රජිව් අයියා ජොබ් එකක් වත් කර කර හිටියා නම්…! අනේ එයා මොනවා හරි කරන්න තිබ්බා…”
මම ආයාසයෙන් සිනහවක් මුවට නගා ගතිමි.
“එයා මොනවා කරන්නද තරූ…එයා කරන්න ඕන එයාගෙ අම්මලා කියන දෙයක්…මං එයාට ආදරේ කළේ එයා මාව කසාඳ බඳියි කියලා හිතාගෙන නෙවේනේ…මගේ කරුමේ මම ගෙවන්න ඕන තරූ…”
තරුෂි මා කෙරෙන් සමුගෙන ගියේ දැඩි ශෝකයෙන් බව මම දනිමි. ඈ අක්කාට දොස් පවරන හඬ මට කාමරයට ඇසිණි.
“ඔයා කරන්නේ ලොකු වැරැද්දක් අක්කේ…කවදා හරි ඔයාට මේවට වන්දි ගෙවන්න වෙයි…”
අක්කා කුමක් කියනුදැයි මට නොඇසිණි. කඳුළු අලුත් වී ගලන්නට වන විට මම කොට්ටයේ හිස ඔබා ගතිමි. ජීවිතය එය නම් මම එය භාර ගනිමියි මම අවසානයේ සිත හදා ගතිම්.
—————————————————————————————————-
ඉන් දින කීපයකට පසුව මගේ විවාහය, නොමැත. එයට විවාහය යයි පැවසිය නොකැකිය. මගේ මළගම සිදු වූයේ නිවසට ගෙන්වූ විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ඉදිරිපිටය. එයට සහභාගී වූයේ පූජිතගේ පවුලේ කිහිප දෙනෙකුත් ඇසිලින් නැන්දාත් අක්කා සහ සුමිත් අයියාත්ය. ඒ තිදෙනම මගේ පිළිකුළටත්, වෛරයටත් පත් වුණු අයය. සුමිත් අයියා නිවසට පැමිණියේ පෙර දින රාත්‍රියේය. ඒද අක්කාගේ බලවත් බල කිරීමටය. ඈ ඔහුට වචනයකින් හෝ දොසක් නැපැවරුවාය. ඔහු නිවසට පැමිණෙන මොහොතේ මම සිටියේ කෑම මේසය අසළමය. ඔහු දුටු සැණින් මා සිතේ වෛරය ඔඩු දුවන්නට විය. මේසා දෙයක් මගේ ජීවිතයට සිදුවන්නට යන්නේ මේ තිරිසන් මිනිසා නිසා යැයි මසිත මට කෑ ගසා කියන්නට විය. මේසය මත වූ වීදුරු වතුර ජෝගුව ගෙන මම එයින් සුමිත් අයියාට දමා ගැසුවේ එතරම් කෝපයක් මා සිතේ ඔහු කෙරෙහි වූ නිසාය. ඔහු එම ප්‍රහාරයෙන් බේරී කාමරයට පැන ගත්තද ජෝගුව බිත්තියේ වැදී මහ හඬින් බිඳී ගියේය. අක්කා බියට පත්ව බලා සිටියා මිස කිසිත් නොකීවාය. මා සිතේ ඇතිව තිබූ කෝපය කෙතරම් බලවත් දැයි කිවහොත් මට කිසිවෙකු හෝ මරා දමන්නට වුවද හැකිය.
මගේ විවාහය සිදුවන දිනය වුවද අයියා පැමිණියේ නැත. ඔහු සිටියා නොසිටියා කියා වෙනසක් නැත. මා කෙරෙහි කවදාවත් සහෝදර ප්‍රේමයක් ඔහු තුළ නොවීය. සියල්ල ඉතා ඉක්මනින් සිදු විය. සමුගැනීමට සූදානම් වන මොහොතේ අක්කා කඳුළු සළමින් මා වැලඳ ගැනීමට සූදානම් වූවාය. ඒ කිඹුල් කඳුළු වලට රැවටීමට මම මැරී ඉපිද සිටියේ නැත. ඇයට මා ස්පර්ශ කිරීමට හෝ මම ඉඩ නොදුන්නෙමි. මේ මා යන සුබ ගමනක් නොව පෝරකයට ගෙන යන ගමනකි.
පූජිත යනු කවරෙකුද කියාවත් මම දැන නොසිටියෙමි. මම ඔහුට වෛර කරන්නට පටන් ගත්තේ ඔහු සමඟ ගෙවූ පළමු රාත්‍රියේ පටන්මය. මංගල ඇඳුම ගළවා දමා මම නාන කාමරයට වැදී දිය නා යළි කාමරයට පිවිසෙන විට පූජිත යහන මත හිඳ ගෙන සිටියේ විවර කර ගත් මත්පැන් බෝතලයක් රස විඳිමිනි. මා නාන කාමරයට වැදී අඩ පැයක් පමණ ගෙවී යන්නට ඇත. පූජිත ඒ අතර තුර බෝතලයෙන් අඩකට වඩා අවසන් කොට සිටි සැටි දුටු මා සිතේ ඇති වූයේ මවිතයකි. ඔහු නම් බීමතටම උපන් අයෙකු යැයි ඒ මොහොතේ මට වැටහිණි. ඔහු මා දෙස බැලුවේ ඉතා කෑදර දෑසකිනි. එම බැල්ම පවා මා සිතේ ඇති කළේ භීතියකි. දැඩි කුසගින්නකින්ද මම පෙළෙන්නට වූයේ උදෑසන පටන් කිසිත් කා බී නොතිබූ නිසාවෙනි.
“මංදා…කිණි…”
ඔහුගේ ගොරහැඩි වූ හඬින් පවා මම තිගැස්සී ගියෙමි. මම වහා හැරී ඔහු දෙස බැලුවේ තෙත තුවාය ඇඳුම් වැටේ වනමිනි.
“එන්න…මෙහෙන් ඉඳ ගන්න…”
ඔහුගේ රළු අණට අවනතව මම ගොස් යහනේ පසෙක අඩමානයට හිඳ ගතිමි.
“ෂොට් එකක් දාමුද…?”
මත් වූ දෑසින් අඩමානයට මා දෙස බැලූ ඔහු ඇසුවේය.
“මං බොන්නේ නැහැ ඕවා…”
මම පහත් හඬින් කීවේ නොරුස්සුමෙනි. එවිට ඔහු කෙරෙන් පිට වූයේ උස් සිනා හඬකි.
“මං…නිකන්..කිව්වේ…”
සිනහව නවතා ගත් ඔහු කීවේ පෙර වූ කෑදර බැල්මෙන්ම යළිත් වරක් මා දෙස බලමිනි. මා සිතේ ඇති වූයේ අනියත බියකි. ඔහු මා සිප ගැනුමට මා වෙත නැඹුරුව සිය මුව මා මුහුණට ළං කරන විට මම මුහුණ ඔහු කෙරෙන් හරවා ගත්තේ වහනය වූ සැර මත්පැන් ගන්ධය නිසාය. අපුළක් මෙන්ම දැඩි පිළිකුලක් මා ගත පුරා දිව ගියේ ගත හී ගඩු නංවමිනි. දෙවියනේ! මා මුහුණ දෙන්නට යන්නේ කවර නම් ඉරණමකටද කියා බියෙන් ම සිත ගැහෙන්නට විය.
කෝපයට පත් වූ පූජිත මා කම්මුල් සිය රළු දෑතින් මිරිකමින් මා සිප ගත්තේ යහන මත පෙරළා ගෙනය. එය මෘදු වූ සිප ගැනුමක් නොවීය. ඔහුගේ රළු සිප ගැනුමට ලක් වූ මගේ දෙතොල් පෙති පුපුරු ගසන බව මට දැනිණි. තොල් පෙති පුපුරා ගලන ලේ බිඳු වල රස මට දැනෙන්නට විය. ඔහුගෙන් මිදී පලා යන්නට මට හැකියාවක් නොමැති වූයේ මා ගතින් මෙන්ම සිතින්ද දුබලව සිටි බැවිනි. ඇරත් මා කොහේ පැන දුවන්නද…? කාගේ පිළිසරණක් පතන්නද…?
ආව්ගයෙන් රාත්‍රී ගවුම ඉරා දැමූ පූජිත, මා මත වැතිර මා සිප ගත්තේ සාගින්නෙන් සිටි වෘකයෙකුට ගොදුරක් ලැබ එය භුක්ති විඳින ලෙසකිනි. ඔහු කෙරෙන් පළ වූයේ රාගයෙන් මත් වූ කාමාතුරයෙක්ගේ විලාසයකි. තිරිසන් සතෙකු ගොදුරක් බුදින තරමටත් වඩා පහත් හැසිරීමකින් හැසිරුණ ඔහු මා මත පෙරළී මා සීරූවේය. සැපුවේය. මා කම්මුල් මතට පහර පිට පහර දෙමින් ඔහු කීවේ මා කිසිදු හැඟීමක් නැති එකියක බවය. තම රාගී ඉඳුරන් ඔහු පිනවා ගත්තේ සා ගින්දරෙන් සිටි වෘකයෙකු මෙන් රළු ලෙසිනි. එය කෙතරම් වේදනාකාරී අත්දැකීමක් වුවද මට එය දරා සිටින්නට සිදු විය. එම කුරිරු රාත්‍රිය අවසන් නොවේ යැයි කියා බියක් මා සිතේ ඇති විය. කෙතරම් වේදනාවක් දැනුණා වුවද මම නොහැඬුවෙමි. දෑසින් එකදු කඳුළු බිඳුවක් හෝ ගලා නොගිය බව සැබෑවකි. මා හැඟීම් දැනීම නැති එකියකැයි ඔහු කී දේ සැබෑවය. අමු තිරිසන් මෘගයෙකු ඉදිරියේ මා මුවැත්තියක බඳු වූයෙමි. මට හැඟීම් දැනීම් නැත. මා ඔහු හා විවාහ වූයේ මාගේ කැමැත්තෙන් නොවේ. මා සිතේ ඔහු පිළිබඳව කිසිදු හැඟීමක් නැත. පොතක අත්සන් තබා මා ඔහු හා විවාහ වූ පළියට මා ඔහුට ආත්මයෙන් හෝ හදවතින් අයිති නොවේ. එය කඩදාසි කොළයකට පමණක් සීමා වූවකි. සියල්ල අවසානයේ පූජිත මෘගයෙකු මෙන් ගොරවමින් නින්දට වැටුණු පසු විසිර තිබූ රාත්‍රී ගවුම ඇඟ දවටා ගෙන අපහසුවෙන් යහනින් බැස ගත් මම නාන කාමරයට වැදී දොර වසා ගතිමි. ශෝකය, කෝපය, වේදනාව, අසරණ බව මා වෙළාගෙන මා රිදවමින් හැඬෙව්වේය. මම බොහෝ වේලාවක් හැඬුවෙමි. මා සැනසීමට මා අසළ කිසිවෙකු නැති බව දැන, දැනම මම හැඬුවේ ආත්මානුකම්පාව මා වෙළා ගත් බැවිනි. වතුර බිඳු සිරුර සිප ගන්නා විට සිරුරේ සීරීම්, සපා කෑම් වලට ලක්ව තුවාළ වුණු තැන් වලින් නැඟුණේ දැඩි වේදනාවක් මෙන්ම දැවිල්ලකි. ඔව්. එය එසේය. ඔහු මෘගයෙකුට අන්තය. මම ඔහුට වෛර කරමි. ඔහුට පමණක් නොව අද මා මෙලෙස අසරණ කළ මගේ අම්මාට, අක්කාට, අයියාට මෙන්ම මා විනාශ කිරීමට ගිය සුමිත්ටද මම වෛර කරමි. ශාප කරමි. මේ සියල්ල ඔවුන් නිසාය. පූජිත මෙදින මා සමඟ අඹු සැමියන් ලෙස හැසිරුණා නොව ඔහු මා විනාශ කළේය. නීති පොතක අත්සන් තබා ඔහු මා විනාශ කළේ තනිව නොව මගේ පවුලේ අයද සමඟය. ඔවුන් පස් දෙනම එකතුව මගේ ආත්මය, මගේ ජීවිතය විනාශ කළෝය. මම උන්ට ශාප කරමි.