More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 27

    Pini Muthu Palasa පිනි මුතු පලස – 27

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    පරිසරය ගිනි ගෙන දැවෙන්නාක් මෙනි. තද අව් රශ්මිය නිසා මම තුවාය හිස වටා දමාගෙන ගුරු පාර දිගේ වැව දෙසට පියවර තැබුවේ රෙදි ටික සෝදාගෙන ඒමටය. පෙර කල මෙන් පිටුපස වැටෙන් රිංගා වැවට යෑමට නොහැකිය. අල්ලපු ඉඩමේ දැන් අලුත් නිවසක් තනා එහි අපි නොදන්නා පවුලක් පදිංචියට පැමිණ ඇත. නොඑසේ නම් වැවට යෑමට කෙටිම මඟ එයයි. දහවල් කාලය බැවින් මේ මොහොතේ වැව අසළ කිසිවෙකු නොගැවසෙයි. නිදහසේ රෙදි ටික සෝදාගෙන ඒමට සුදුසුම වේලාව මෙයයි. මම වැව අසළට යන විට කමලා අක්කාද රෙදි සෝදමින් එහි සිටිනු දුටිමි. අක්කාගේම සම වයසේ මිතුරියක වූ කමලා සිටියේ අප නිවසට තරමක දුරිනි. මා රෙදි බාල්දිය බිම තබන හඬින් දෝ ඈ වහා හිස ඔසවා බැලුවාය.

    “ආනේ…කෙල්ලේ…උඹද…?”

    සිනහවක් මවෙත පුද කළ ඈ ඇසුවේ ලෙංගතු හඬකිනි.

    “කොහොමද කමලාක්කේ…? මං හිතුවා කවුරුත් මේ වෙලේ නැතිව ඇති කියලා…අක්කා හිටපු එක හොඳයි…”

    “මාත් මේ ආවේ ඒකමයි බං…මේ වෙලාවට කවුරුත් එළියට බහින්නේ නැහැනේ…”

    මම ඇගේ කතාවට එකඟ වෙමින් චීත්තයට උඩින් හැඳ සිටි ගවුම ගළවා දමා දියට බැසීමි.

    “නංගිලා ගෙදරද අක්කේ…?”

    සේදීමට ගෙනා රෙදි ටික දියේ පොඟවමින් මම ඇසුවෙමි.

    “ලොකු එකී පන්ති ගියා…පොඩ්ඩි ගෙදර බං…”

    කමලා අක්කා එසේ කීවේ සබන් ගෑ රෙදි ටික දියට ඔබා සෝදමිනි. මමද රෙදි සෝදන්නට පටන් ගන්නා විට කමලා අක්කා මා ඇමතුවාය.

    “ඈ බං කෙල්ලේ…”

    ඇගේ හඬින් මම හිස ඔසවා ඈ දෙස බැලීමි. මා දෙස වුවමනාවෙන් බලා සිටි කමලා අක්කා කුමක් හෝ යමක් ඇසීමට මෙන් මුව සාදමින් මොහොතක් මා දෙස බලා සිටියාය.

    “මං මෙහෙම අහනවට උඹ මා එක්ක තරහ වෙන්න එපා කෙල්ලේ…මං උඹව දන්නේ උඹ චූටි කෙල්ල කාලේ ඉඳන්… උඹ දන්නවනේ ඒක…”

    ඈ කුමක් කීමට සැරසෙනවාදැයි මා සිතේ ඇති වුයේ කුහුළකි.

    “මොකක්ද අක්කේ…?”

    “උඹලාගේ අක්කාට පිස්සු හැදිලද බං…මෙච්චර ඉක්මනට උඹව බන්දලා දෙන්න හදන්නේ…?”

    ඈ කෝපයෙන් මෙන් අසන විට මම තිගැස්මෙනුත් අසරණ හැඟීමෙනුත් ඈ දෙස බලා සිටියෙමි.

    “නැහැ බං…මං මේ කියන්නේ…උඹට තාම අවුරුදු දහ අටවත් නැහැනේ…අක්කායි මායි දෙන්නම එකට ඉස්කෝලේ ගියේ…ඒකිත් මේ සුමියා එක්ක යාළු වෙලා…හිතුවක්කාර කමට ඌවම බැඳ ගත්තා…කොහේද ඉතින් අපි කියපුවා ඇහුවද…දැන් ඒකි කියලා සැප විඳිනවද…? එහෙම එකේ…උඹලාගේ අක්කට තිබුණා උඹටවත් හොඳට උගන්වන්න…වැඩිම වුණොත් තව අවුරුදු දෙකයිනේ…මේ කෙරුවා වගේ ඔය අවුරුදු දෙකත් කරගන්න බැරිද බං…මං අහන්නේ…මං එදා නාන්න ආව වෙලේ අක්කාට ඔය ටික කිව්වා…ඒකි මා එක්ක ඔරොප්පු වෙලා මූණ පුම්බං ගියා…ඇයි බං වරදක්ද කිව්වේ…දැන් ඔන්න මා එක්ක කතා කරන්නෙවත් නැහැ…අනේ මට මොකද බං…මං ඔය ටික හරි ඒකිට කිව්වේ උඹ ගැන අනුකම්පාවට…”

    මසිත ආත්මානුකම්පාවෙන් බර විය. පිට ගැහැණියක වූ කමලාට මා ගැන ඇති අනුකම්පාව එකුස උපන් සහෝදරියට නැති වීම මගේම අවාසනාවය.

    “අනේ මන්දා කමලාක්කේ…මං කොච්චරවත් කිව්වා…කෝ වැඩක් නැහැ…”

    හැඬුම් මුසු හඬකින් මම කීවෙමි.

    “මට තේරෙනවා බං නංගියේ…මටත් ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක්නේ…ඒකයි බං මටත් උඹ ගැන මෙච්චර අමාරු…අපි නම් ඉක්මනට බැන්දේ අපේ ගෙවල් වල තිබ්බ අමාරුකම් නිසා…උඹලට එහෙම ප්‍රශ්න නැහැනේ බං දෙයියනේ කියලා…මොනදේ වුණත් මගේ මනුස්සයා හොඳයි බං…අපිට අඩු පාඩුවක් නැතුව සලකනවා…ඔය සුමියා වගේ නෙවේ…මට ඕකව දෑහැට පේන්න බැහැ බං…තුඃ…”

    ඈ අපුළෙන් මෙන් කෙළ පිඩක් ගැසුවාය.

    “අනික් ගෑණි තමා ඇසිළින්…ඔන්න උඹට හොඳ මඟුලක් කතා කළා කිය කියා ගම වටේ ඇවිදිනවා…මාත්.දැන ගත්තේ එතකොට…”

    ඒ ඇසූ මා සිතේ ඇති වූයේ දරාගත නොහැකි කෝපයකි.

    “ඔය ගෑනි තමා සේරටම මුල…”

    “මාත් හොඳවයින් දෙක තුනක් කිව්වා…දැන් ගම වටේ ඇවිදිනවාලු මගේ කුණු හෝද හෝද…ඕකිගේ කුණු හෝදගන්න තමා වෙලාවක් නැත්තේ…ජරා ගෑණු…
    මට මොකද බං…එකාතකට මේව උඹලාගේ මහ උන්ගේ වැරදි මංදාකිණියෝ…උඹලෑ අම්මා එහෙට වෙලා නොඉඳ දැන්වත් ලංකාවට ආවා නම් මොකද…දැන් උඹලා ලොකුයි..තව කාටද බං හම්බ කරන්නේ…පුදුම මිනිස්සු…ඇත්තමයි මගේ අම්මා වුණා නම්…!”

    ඈ සබන් ගෑ රෙදි ටික ගලේ ගසන්නට වූයේ කෝපය පිට කර ගැනීමට මෙනි. මමද සබන් ගා රෙදි ටික සෝදා බාල්දියට දැමුවෙමි. කමලා අක්කා රෙදි සෝදා අවසන්ව දියට බැස නාන්නට පටන් ගත්තාය.

    “ඈ බං කෙල්ලේ…”

    දෙතුන් වරක් දියේ ගිලී නා හිස වතුරෙන් උඩට ගත් කමලා අක්කා යළි මා ඇමතුවාය.

    “උඹ දැන් ඔය කොල්ලට කැමතිද…?”

    ඇගේ අලුත් පැනයෙන් මම තිගැස්සුණෙමි.

    “අනේ නැහැ අක්කේ…”

    මට වහා කියවිණි.

    “අනේ දෙවියනේ…! මේකි මේ මොන අපරාධයක්ද කරන්න යන්නේ…?”

    කමලා අක්කා එය කියූ ආකාරයට මා තුළ තැති ගැන්මක් ඇති විය. ඈ මට අනුකම්පා කරන බව සැබෑය. මා සිතේ ඈ කෙරෙහි අහිතක් හට නොගත් මුත් ඇගේ කතාවෙන් මා තුළ ඇති වූයේ විශාල බිය මුසු තැතිගැන්මකි. නා අවසන් කළ ඈ යන්නට ගියේ මා සිත කඩා බිඳ දමා යැයි කියා මට සිතිණි. මමද රෙදි ටික සෝදාගෙන වහ වහා නිවස වෙත පැමිණියේ තනි වී කල්පනා කිරීමටය. කමලා අක්කා කියූ දේවල් සිහි වන විට මට අක්කා කෙරෙහි ඇති වූයේ දරාගත නොහැකි කෝපයකි. මගේ ජීවිතය පිළිබඳව තීරණයක් ගැනීමට නොහැකි තරමට මම අසරණව සිටියෙමි. මගේ සිතුවිළි දැහැන බිඳී ගියේ මා අසළම නැවතූ යතුරු පැදියක් නිසාවෙනි. මා පැමිණියේ පාර අයිනේමය. මෝටර් රථයක් යාමට වුව පාරේ ඉඩ තිබියදී එය මා මඟ අවුරා නැවතූ නිසා යතුරු පැදි කරු දෙස මම බැලුවේ සිතේ උපන් කෝපයෙනි. හෙල්මටය ගලවා ඔහු සිනහමුසු මුහුණින් මදෙස බලන විට මම තිගැස්සී ගියෙමි.

    “රජිව් අයියේ…”

    මේ මොහොතේ මම ඔහු දකින්නට ලැබේ යැයි කියා හෝ සිතා නොසිටියෙමි. ඔහු මෙහි කුමක් කරනවාද කියා මම පුදුම වූයෙමි.

    “මොකෝ මංදාකිණි…මාව දැකලා බය වෙලා…හරියට අමුතු සතෙක් දැක්කා වගේනේ…”

    ඔහු උපහාසය රැඳි හඬින් කීවේ මා සිතේ සියුම් ලැජ්ජා මුසු හැඟීමක් ඇති කරමිනි. මම වට පිට බලන්නට වූයේ තවමත් පහව නොගිය තැති ගත් හැඟීමෙනි. මේ වෙලාවට නම් පාරේ කිසිවෙකු ගමන් නොකරන බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි.

    “බය වෙන්නේ නැතුවැයි…හදිසියේ මෙහෙම ඉස්සරහට ඇවිත් ඉන්නකොට…ඔයා මොකද මේ පැත්තේ කැරකෙන්නේ…?”

    ඔහුට මෙහි කරක් ගසන්නට හේතු කාරණාවක් නොමැත. මගේ යටි සිත බලාපොරොත්තු වූයේ ඔහු පැමිණියේ මා බලන්නට යැයි පවසනු අසන්නට බව කීමට මම ලැජ්ජා නොවෙමි. ඔහුගෙන් මම එවැන්නක් අසන්නට ආශා කළෙමි. දෙසවන් විවර කරගෙන මම බලා සිටියේ ඔහු දෙන පිළිතුර දැන ගැනුමටය.

    “මේ පැත්තේ ඉතින් වෙන මොනවා කරන්නද…ඔයාව බලන්න තමා ආවේ…කීප දවසක්ම ආවා මේ පැත්තේ…ඒත් ඔයා පේන්න හිටියේ නැහැනේ…අද තමා දැක්කේ…”

    ඔහුගේ කතාවෙන් මා සිතට සතුටක් නොදැනුණා කිව නොහැකිය. සැබැවින්ම මා එයින් සතුටට පත් වූයෙමි. එසේම සියුම් දුකක්ද එලෙසම මා සිත වෙලා ගත්තේය. සතුටු නම් ඔහු මා සොයා පැමිණීමය. දුක නම් මා තව දුරටත් ඔහුගේ පෙම්වතිය නොවීමය. මා මුවින් පිටවන්නට ගිය සුසුම මම සෙමෙන් පිට කළේ කඩින් කඩය.

    “මම ඉතින් ගේ ඇතුළෙමනේ රජිව් අයියේ…දැනුත් මේ රෙදි ටික සෝදන් එන්න ගියා මිසක් එළියට බහින්නවත් විදියක් නැහැ…”

    බාල්දිය අනෙක් අතට මාරු කරමින් මම කීවෙමි. දිගු කතා බහකට මුළ පුරන්නට බලා සිටින බවක් ඔහුගේ මුහුණින් මට පෙනිණි.

    “රිසාල්ට්ස් කොහොමද…?”

    ඔහු එය නොදැන අසනවා දැයි කියා මම පුදුම වූයෙමි.

    “ගණන් ෆේල්…ඔයාට තරූ කිව්වේ නැත්ද…?”

    ඈ එය ඔහු හා නොපවසා සිටින්නට හැකියාවක් නොමැත.

    “මට තරූ නංගි මුණ ගැහුණේ නැහැ…නිවාඩු කාලේ අපිත් ගෙදර හිටියේ නැහැනේ…ඇවිත් එහෙ යනකොට තරූලෑ ගෙදරත් කවුරුත් නැහැ…එයා මෙහෙන් අස් වෙලා ගිහින්…දැන් අනික් ඉස්කෝලෙටනේ යන්නේ…මේ ටිකේ මං ඉස්කෝලේ ගියෙත් නැහැ…කමල් හමුවුණෙත් නැහැ දැන් ගොඩ දවසකින්…”

    ඔහු පවසන තුරු මම ඒ බවක් දැන නොසිටියෙමි. පාසල ආරම්භ වූ පසුව ඈ මා බලන්නටද නාවාය. මා මුවින් සුසුමක් පිට විය. එසේ නම් ඔහුට මා පත්ව ඇති අසරණ භාවය දැන ගන්නට අවස්ථාවක් උදා වී නැතුවා විය යුතුය. ආදරය පිරී ගිය දෑසින් ඔහු මා දෙස බලා සිටින විට මා දිය වී සිත අසරණ වන බව දැනී මම වහා ඔහු කෙරෙන් නෙත් ඉවතට යොමු කර ගතිමි. පරිසරය දිගු නිහැඬියාවක ගිලී ඇත. නිවෙස් වල සිටින අය මේ මොහොතේ කෙටි නින්දකට යන වේලාවය. පාරේ කිසිවෙකු නැත්තේ ඒ නිසාය.

    “ඔයා තාමත් මා එක්ක ඉන්නේ අමනාපෙන්ද මංදාකිණි…?”

    මා ඉවත බලා ගත්තේ අමනායෙන්දැයි සිතාදෝ ඔහු අසන විට මම වහා ඔහු දෙස බැලීමි.

    “අනේ නැහැ රජිව් අයියේ…මගේ හිතේ ඔයා ගැන කිසිම අමනාපයක් නැහැ…”

    පැහැදිලි වූත් අවංක වූත් හඬකින් මම ඉක්මන් පිළිතුරක් දුන්නේ ඔහු කෙරෙහි උපන් අනුකම්පා මුසු වූ හැඟීමෙනි. අහම්බෙන් හෝ ඔහු මෙලෙස හමුවීම හොඳ යැයි කියා මම සිතුවෙමි.

    “මම ඔයාට වරදක් කළේ නැහැ මංදාකිණි…කවදාවත්ම නැහැ…”

    ඔහුගේ හඬේ වූයේ සැබෑ අවංකභාවයකැයි කියා මට මේ මොහොතේ සිතුණද එදා එසේ නොසිතුණේ මන්ද කියා මට සිතා ගන්නට නොහැකිය. මම දිගු හුස්මක් ඇද ළය පුරවා ගතිමි.

    “දැන් ඒ කිසි දෙයක් කතා කරලා වැඩක් නැහැ නේද රජිව් අයියේ…?”

    සිතේ ඇති වූ ශෝකය සඟවාගෙන මම ඇසුවේ පහත් හඬිනි.

    “ඇයි වැඩක් නැත්තේ…?”

    “ඒ හැමදේම අයිති අතීතයට…ඒවා අතීතයට බාර දීලා අපි බලන් ඉමු…”

    “ඔයාට ඒ හැමදේම අතීතයක් වෙන්න පුළුවං…මට ඒක අතීතයක් නෙවේ…ඔයාට ඒක අතීතයක් කියලා අමතක කරන්න පුළුවන් වුණාට මට එහෙම කරන්න බැහැ…මං හැම මොහොතකම ඔයා ගැන හිතුවා මංදාකිණි…මං පාරක් පාරක් ගානේ මෙහෙම රස්තියාදු වෙන්නේ…ඒ ආදරේ නිසයි…මට ඔයාව දකින්න ඕන…කතා කරන්න ඕන…අපි අතරේ මොකුත් නොතිබුණා වගේ කතා කරන්න එපා…මං ඔයාට ආදරෙයි…ඔයාට ඒක තේරෙනවා නේද…? ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ…කවදාවත්ම නැහැ…”

    දෙවියනේ…! මට වුවමනා වූයේ කෑ ගසා හඬන්නටය. දෑස් පුරා කඳුළු පිරී ඔහුගේ රූපය පවා බොඳව යන විට මම වහා වහා ඇසි පිය සළමින් ඒ වළකා ගන්නට අසීරු ප්‍රයත්නයක යෙදුණෙමි. මා ද ඔහු මෙන්ම ඔහුට ආදරය කරන බවත් ඔහු පිළිබඳව සිතන බවත් කෑ ගසා කියන්නට මට වුවමනා විය.

    “ඔයා හිතන්නේ මං ඔයාට ආදරේ නැහැ කියලද…ඔයාගේ ආදරේට මගේ දෛවය වෙනස් කරන්න පුළුවං කමක් නැහැ රජිව් අයියේ…ගෙවෙන හැම තත්පරයක් තත්පරයක් ගානේම මං හිතන්නේ ඔයා ගැන…”

    මා හද නොනවත්වා කියවන්නට වුවද මා මුව නිහඬය. කෑ ගසා හඬන්නට නොහැකියාවෙන් සියල්ල නිහඬව දරාගෙන මම ඔහු දෙස බලා සිටියේ හිස් දෑසිනි.
    ඔහුගේ දෙපා මුළ වැඳ වැටී මේ උගුළෙන් මා බේරා ගන්නා ලෙස කෑ ගසා කියන්නට මට වුවමනා වුවද තවමත් පාසල් යන අධ්‍යාපනය හදාරන ඔහුට මා වෙනුවෙන් කළ හැකි කිසිත් නොමැති බව වැටහී මම නිහඬව සිටියෙමි.

    “අපි අතරේ තිබුණු සම්බන්ධේ ඉවරයි රජිව් අයියේ…ඒක බිඳුණෙත් ඔයාගෙම වරදින් නේද…? වැළලුණු අතීතයක් ගොඩ දාලා ඇයි අපි අපිවම රිද්ද ගන්නේ…?මගේ විශ්වාසය බිඳිලා ගියා…ඒක හරි…ඒත් මං ඔයාට වෛර කරන්නේ නැහැ…මං තාමත් ඔයාට ආදරෙයි රජිව් අයියේ…ඒක ඇත්ත… ඒත්…ඒ බිඳුණු විශ්වාසේ ආයේමත් ඇති කරගන්න එක නම් අමාරු වෙයි…”

    මම එක දිගටම කියවගෙන ගියෙමි.

    “සැරෙන් සැරේ ඕකම කියලා ඇයි මංදාකිණි ඔයා මාව රිද්දන්නේ…?”

    “නැහැ රජිව් අයියේ…මං ඔයාව රිද්දනවා නෙවේ…ඔයාට තේරුම් ගන්නයි මං මේවා කියන්නේ…ඊටත් වඩා මට රිදෙනවා රජිව් අයියේ…ඒ හැමදේම අමතක කරලා දාන්න…දැන් හුඟාක් පරක්කු වුණා…”

    මසිත පුපුරු ගසමින් වේදනා දිණි. තව දුරටත් ඉවසා සිටින්නට ශක්තියක් මා තුළ නොවූ සෙයකි. සිත දියවී මහා හඬින් හැඬේවි යැයි බිය නිසා මට වුවමනා වූයේ ඔහුගෙන් සමුගන්නටය.

    “අපි හැමදේම අලුතින්පටන් ගමු මංදාකිණි…”

    මා මුවින් පිට වූයේ ශෝකී සුසුමකි.

    “අලුතින් පටන් ගන්න දැන් පරක්කු වැඩියි රජිව් අයියේ…මං ලබන සතියේ කසාඳ බඳිනවා…අක්කලා හැමදේම තීන්දු කරලා ඉවරයි…”

    මෙතෙක් වේලා සඟවා ගැනීමට උත්සාහ කළ කඳුළු බිඳු මේ මොහොතේ එක පිට එක ඇද වැටෙන විට මම ඔහුගෙන් සමුනොගෙනම දිව ආවේ ඔහු කම්පනයට පත්ව මෙන් බලා සිටියදීමය.

    “මංදාකිණි…”

    ඔහු කෑ ගසනු ඇසුණද මම නොනැවතී දිව ආවෙමි.

    අවසන් වරට ඔහු බලා සිටි බැල්ම. පුදුමයටත් කම්පනයටත් පත් වූ දෑස්, ඒ මුහුණේ පළ වූ හැඟීම් මට කිසි දිනෙක අමතක නොවනු ඇත. නිවස තෙක්ම මගේ දිවීම නැවතුණේ නැත. සේදූ රෙදි ටික බාල්දිය පිටින්ම ඉස්තෝප්පුවේ අතහැර කාමරයට දිව ආ මම මහ හඬින් කෑ ගසා හැඬීමි. හඬන්නට කඳුළු තිබීම පුදුම වූවත් මම ඉකි ගසා හැඬීමි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    Liquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත දිනය අනිවාර්යයි

    Liquor - ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන් බෝතල් වල හා කෑන් වල නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද...

    IPL 2025 – ඊයේ තරගයේ ජය Mumbai Indians කණ්ඩායමට

    IPL 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) Mumbai Indians හා Kolkata Knight Riders කණ්ඩ‍ායම් අතර පැවති...

    Accident – දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

      Accident - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලොරි රථ දෙකක්,...

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...
    - Advertisement -spot_img

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...

    Ceypetco Revisea fuel prices – Ceypetco ඉන්ධනවල මිල සංශෝධනය කරේ

    Ceypetco revisea fuel prices - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>