NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 18

Pini Muthu Palasa පිනි මුතු පලස – 18

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

ගිම්හාන දේවින්ද සර් සමඟ ගියා නම් අද රාත්‍රියේ මට සැනසීමෙන් ඇස් පියා ගන්නට නොහැකි වනු ඇත.

“සරුත් මේ වෙලේම ආවානේ…”

මම සිතුවේ නොසතුටෙනි.

“සර්…යන්න…මං කට්ටිය එක්ක එන්නම්…”

ගිම්හාන වහා කියන විට මා සිතට දැනුණ සැනසුම නම් අපමණය.

“එහෙනම් මං යන්නම්…ඉක්මනට ගෙවල් වලට යන්න ළමයි…”

අප මඟ පමා වෙනු ඇතැයි සිතූ නිසාදෝ දේවින්ද සර් එසේ අවවාදයක්ද දී පිටව ගියේය.

“මොකක්ද ගිම්හාන කියන්න ගියේ…?”

මා විමසීමට පෙර තරුෂි යළි විමසුවාය.

“අද මායි දේවින්ද සර්යි එඩුයුකේෂන් එකට ගිහින් එන ගමන් චිත්‍රා මිස්ලා ගෙදර ගියානේ…අද මිස් නිවාඩු නිසා මොකක් හරි පණිවිඩයකට වෙන්න ඇති…”

“ඔයාලා එහේ ගියාද…රජිව් අයියා හිටියාද…?”

ඔහුට බාධා කරමින් මම ඇසීමි.

“අහන්නකෝ…රජිව් ඒ වෙලේ හිටියේ නැහැ…සර් මිස් එක්ක කතා කරනකල් මම මිදුලට වෙලා ඇවිද ඇවිද හිටියා…මිස්ලගේ මිදුල පුරාම මල් ගසුයි පඳුරුයිනේ…සර් එනකල් මම අඹ ගහ යට තිබ්බ බංකුව උඩට වෙලා ඉඳන් හිටියා…ඒ ගහ වටෙත් මල් පඳුරු…එතකොටම තමා රතුපාට කාර් එකක් ඇවිත් මිදුලේ නැවැත්තුවේ…ඒ රජිව් කියලා මං දැක්කා…එහා පැත්තේත් තව කවුරු හරි කෙල්ලෙක් හිටියා…”

“රුවින්දි වෙන්නැති…”

මා සිතූ දෙයම තරුෂි කියන විට මා සිතේ ඇති වූයේ ඊර්ෂ්‍යා සහගත හැඟීමකි.

“මොන උන්දි ද මං දන්නේ නැහැ…හැබැයි ඉතින් පුදුම නැටිල්ලක් තියෙන්නේ…දෙන්නම කාර් එකෙන් බහින්න යත්දී මේකි රජිව්ව කිස් කළා…”

මා දෑස් උඩ ගියේය. කෝපය ඊර්ෂ්‍යාව සමඟ ශෝකයකුත් එකට කැළතී මා සිතේ ඇති කළේ වේදනා මුසු හැඟීමකි.

“මොනවා ගිම්හාන…ඔය ඇත්තමද…?”

අදහාගත නොහැකි දෙයක් සවන් වැකුණු කලක මෙන් තරුෂි කෑ ගැසුවාය. මා සිටියේ ගොළුව ගියාක් මෙනි. උගුරේ යමක් සිරවී ඇති බවක් මට දැනිණි. මා සිත ඉරි තළා යනු මට දැනිණි.

“ඔව් තරූ…උන් දෙන්නම මං එතන ඉන්නවා දැක්කේ නැහැ…කාර් එකෙන් බැහැලා අරකි රජිව් ගේ අතේ එල්ලිලා ගියේ…”

“මොකක්…?”

“හොඳම වැඩේ ඒක නෙවේ තරූ…”

මම යටි තොල සපාගෙන අසා සිටියේ හද දැවී ගිය ශෝකී හැඟීමකිනි. ඒ කුමක්දැයි කුහුළක් මා සිතේ ඇති විය. ඈ ඔහුව සිප ගැනීම හැරුණු කොට තවත් බරපතළ යමක් සිදුවන්නට හැකිද.? කෝපයක් මෙන්ම ශෝකයත් හද දෙදරා ගිය බවකුත් මට දැනේ.

“ඒ මොකක්ද…?”

“සර් මගේ නම කියාගෙන ඇතුළේ ඉඳන් එළියට ආවෙයි…අර ඩබල ඉස්තෝප්පුවට ගොඩ වුණෙයි එකටම වගේ…රජිව් සර්ව දැකල කලබල වෙලා කෙල්ලගේ අතත් ගසා දාලා…පිටිපස්ස හැරිලා මාව බලනකොට මාව දැකලා මූණ රතු වුණා…රජිව් ඇහුවා මං කොහෙද හිටියේ…දැක්කෙවත් නැහැනේ කියලා…චිත්‍රා මිසුත් ඉස්තෝප්පුවේ…මං නෝන්ඩියටත් එක්ක කිව්වා…ඔයාලා කොහෙ දකින්නද…ඔයාලා හිටියේ වෙන ලෝකෙක නේ කියලා…මිස්ට පේන්නත් එක්ක නෝන්ඩි හිනාවක් දාලා සර් එක්ක ආවා…ඒ මඟක් එනකොට තමා බයික් එක මඟ නැවතුණේ…තල්ලු දාලා දාලා තමා ස්ටාර්ට් කරගත්තේ…ඒ මදිවට දේවින්ද සර් කියනවා…ඒ ළමයාවලු රජිව් බඳින්න ඉන්නේ කියලා…මං ඉඳන් කිව්වා දැනටත් ඒ වගේනේ සර් කියලා…සරුත් හිනාවෙනවා…”

මා සිතට දැනුණේ අසරණ හැඟිමකි. රජිව් මට ආදරය කරන බව කියමින් රුවින්දී සමඟද මෙසේ හැසිරෙන්නේ ඇයත් සමඟත් ඇසුරක් ඇති නිසා නොවේද.? ඔහු ඇයට ආදරය කරනවාද…?

“මංදි…”

තරුෂි මා සුරතින් අල්ලා ගත්තේ මා බලවත් වූ සිත් වේදනාවෙන් පසු වන බව දැන බවට සැක නැත. හැඬේවියයි කියා මා සිතට බියක් ඇති විය.

“මං ඔයාට මේවා කිව්වේ ඔයාව අප්සට් කරවන්න නම් නෙවේ…මංදි…”

ගිම්හාන වහා කීවේ මා එය අසා දුක් වෙනවා යයි සිතා වන්නට ඇත.

“ඔව්…මංදි…ඔයා අප්සට් ගන්න එපා…”

තරුෂිද මා අස්වන්නට මෙන් කීවාය.

“වැරැද්ද කෙල්ලගේමයි කියමුකෝ…ඉතින් කිස් කරනකල් බලන් ඉන්න ඕනද…? සර් මට කතා කරනවා ඇහෙනකොටයි එයාට ඒ කෙල්ලගේ අත ගසලා දාන්න මතක් වුණේ…ඊට කළින් එහෙම කරන්න ඕන වුණේ නැහැනේ…ඔයා ඒක රජිව්ගෙන් අහලා බලන්න…නේද තරූ…?”

“ඔව්…ඒක හරි…මට නම් හිතා ගන්න බැහැ…රජිව් අයියා එහෙම දෙයක් කළා කිව්වාම…ඔයා ඒ ගැන හිතන්නැතුව ගෙදර යන්න…”

තැරුෂි කීවේ අවවාදයක ස්වරයෙනි. කිසිත් නොපැවසූ මා ඔවුන් ගෙන් සමුගෙන පිටව ආවේ අලුතින් ඇති වූ සිත් වේදනාවෙන් යුතුවය.
————————————————————————————————–
පොල් ගස් අතරින් පෙනෙන නිල්වන් අහස දෙස මා බලා උන්නේ නිනව් නැතිවය. සිත කොහේ හෝ අතරමංවූ සෙයකි. මෙතෙක් කලක් රජිව් මා හා කර ඇත්තේ සෙල්ලමක් යැයි සිතන විට මා සිතේ ඔහු කෙරෙහිඇති වූයේ දැඩි කළකිරීමකි. දෑසින් යළිත් කඳුලු ගලා යන විට මට ඒවා පිස දැමිමට වුවමනාවක් නොවූ නිසාදෝ ඒවා නිදහසේ කම්මුල් මතින් ගලා ගියේය. සිතට මේ තරම් වේදනාවක් දැනෙන්නේ මා ඔහුට බලවත් සේ ආදරය කළ නිසාය. මෙවන් චපල කමක් මම ඔහු කෙරෙන් බලාපොරොත්තු නොවූයෙමි.

“චූටි නංගී…”

පිටුපස දොර අසළින් ඇසුණු අක්කාගේ හඬින් මසිත තරමක් කලබල විය. ඈ මා හඬනු දුටුවොතින් ප්‍රශ්න දහසක් නඟනු ඇත. කඳුලු පිස ගැනීමට මම ඉක්මන් නොවූයේ ඒ නිසාය. අක්කා කෙරෙහිද මා සිතේ ඇති වූයේ කෝපයකි. මට කියා නිදහසක් ඇත්තේම නැත. මා ගෙවන්නේ කවර නම් පාපයක්ද කියා මට නොසිතා සිටිය නොහැකිය.

“ඇයි…?”

හිඳ සිටි තැනින් නොසෙල්වී මම ඇසුවේ නොසතුටෙනි.

“අනේ…මේ…පිටි ටික හළලා තියනවද….? හවසට ඉඳි ආප්ප ඕර්ඩරයක්…”

ඈ අතේ පිටි උරයකි.

“ඔහොම තියන්න…මං එන්නම්…”

නොසැළකිලිමත් ලෙස මම කීවෙමි. ඈ යළි නොපෙනී ගිය පසුව මම කඳුලු පිසිමින් නැඟිට පිටුපස දොරින් මුළුතැන්ගගෙයට ගොඩ වූයෙමි.

පුටුව මත දමා තිබූ චීත්තය හැඳගෙන මම පිටි ටික හළන්නට සූදානම් වූයේ ඉසිර විසිර ගිය සිතුවිළි සමඟය.

“රුවින්දි මට විශේෂ කෙනෙක් නෙවේ… ඔයා ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා…”

රජිව් කියූ බවක් මට සිහි විය. එදින මම එය විශ්වාස කළෙමි. ඔහු මා රවටා ඇත. මා මුවින් අලුත් සුසුමක් ගිළිහී ගියේ සිත පාරවමිනි. පිටුපස දොර අසළින් ඇදී ආ සිගරට් දුම් ගඳක් නිසා මම තිගැස්මෙන් හැරී බැලීමි. සුමිත් අයියා දුම් රොටුවක් උරමින් මදෙස බලා සිටිනු දැක මා සිතේ බියකුත් තිගැස්මකුත් ඇතිවිය. ඔහු මෙතනට පැමිණියේ කොයි මොහොතේද….? ඔහු පැමිණි වගක් හෝ මට නොදැනුණේ මා මගේම සිතුවිළි අතර සිරවී සිටි නිසා වන්නට ඇත. සිගරට් දුම් ගඳ මට දැනුණේ මේ මොහොතේම වගේ නිසා ඔහු පැමිණ වැඩි වේලාවක් විය නොහැකිය. ඔහුගේ දෑස් වල පවා වූයේ මහා අවලම් කෑදර බැල්මකැයි කියා මා සිතුවේ සිරුර කිළිපොවා යන හැඟීමකිනි.

“චූටි නංගී…”

අක්කාගේ හඬ ගෙතුළින් ඇසෙන විට කළබලයට පත් වූ සුමිත් අයියා සිගරට් කොටය බිම දමා පාගා වහා ගෙතුළට වැදුණේ බියට පත් ඉදිබුවෙකු කටුව තුළට රිංගා ගන්නාක් මෙනි.

“තමුසේ මේ මහා දවාලෙත් බීලද…?”

අක්කා කෝපයෙන් අසන හඬ මට ඇසිණි.

“පිස්සුද…ම…ම…බී…ලා නැහෑ…”

සුමිත් අයියා දුන් පිළිතුර එය වුවද ඔහු සිටියේ බීමත්ව බව ඕනෑම මෝඩයෙකුට පෙනේ.

“බීලා නෙවේ…නාලා…ගිහින් නා ගන්නවා…ගන්ධස්සාරේ බැහැ…”

අක්කා කෑ ගසනු මට ඇසිණි. සුළු මොහොතකට පසුව ඈ මුළුතැන්ගෙයට හිස පෙව්වේ කෝපයෙන් රතුව ගිය මුහුණිනි.

“මොන මිනිහෙක්ද මංදා…අනේ චූටි නංගී වතුර ටිකක් ළිපේ තියනවද…? අර ඇසිලින් නැන්දා ඇවිත්…තේ ටිකක් බොන්න…”

ඈ එසේ කියන විට මා මුවේ ඇඳුණේ උපහාසය මුසු වූ සිනහවකි. එය අක්කා දුටුවාද කියා මම නොදනිමි. තාත්තාගේ පසින් දුර ඥාතියකු වන ඇසිලින් නැන්දාව මම කිසි කලෙක ප්‍රිය නොකළෙමි. ඈ ගම පුරාම ඕපදූප සොයමින් ගිනි අවුළන ගිනි බෝම්බයක් වූවාය.

පිටි ටික හළා මම තේ සාදා අක්කා ඇමතුවේ ඇසිලින් නැන්දා හමුවට යාමට ඇති අකමැත්ත නිසාය. පසුව පිටි ටික තම්බා තබා ඇඟ පත සෝදාගෙන කාමරයට වැදුණේ තනිවන්නට තිබූ බලවත් වුවමනාව සිතට බෙහෙවින් දැනෙන්නට වන විටය.

සුමිත් අයියාගේ අමුතු හැසිරිම් රටාව මා සිතේ ඇතිකර තිබුණේ පිළිකුල් සහගත හැඟීමකි. හේතුවක් නොමැතිව මට අක්කා සමඟ හෝ මේ කිසිවක් පැවසිය නොහැකිය. මේ සියළු හැඟීම් පරයා මා සිතට එබුණේ රජිව් පිළිබඳව සිතුවිළිය. ආදරය මේ තරම් දුකක් වේයැයි කියා ඔහුට ආදරය කිරීමට පටන් ගන්නට පෙර මම නොසිතුවෙමි. ආදරය කරනවා නම් මේ සියල්ල මෙසේ දරා ගන්නටද ශක්තියක් තිබිය යුතුය. නමුත් එවන් ශක්තියක් මා තුළ තිබේදැයි මටම සැක සහිතය.
මගේ සිතුවිළි කඩා බිඳ දමමින් වීදුරුවක් බිම වැටී බිඳී යන හඬින් තිගැස්සී ගිය මා වහා හැරී පිටුපස බැලීමි. සුමිත් අයියා කාමරයේ දොර අසළ සිටගෙන සිටිනු දුටු මා සිත තුළ ඇති වූයේ බියක්ද නැතිනම් කෝපයක්ද කියා මට සිතා ගන්නට අපහසු විය. ඔහුද තැති ගැන්මට පත්ව ඇති බව මා දෑසට හසු විය. ඔහු මගේ කාමරය අසළ කුමක් කරනවාද….?

“චූටි නංගී…මොකක්ද ඒ බිඳුණේ…?”

අක්කා කඩ කාමරයෙර් සිට කෑ ගසන හඬ මට ඇසිණි.

“මේ…වීදුරුව බිදුණා අනේ…”

සුමිත් අයියා එයට පිළිතුරු ලෙස උස් හඬින් කෑ ගැසුවේය.

“අනේ…කෙල්ලේ…මේ කටු ටික අස් කරලා දාපන්…අත කපා ගන්නැතුව…”

ඔහු එසේ පවසා වහා ලිස්සා ගියේ ආඳකු ලෙසය. කිසිවක අගක් මුළක් සිතා ගනු නොහැකිව මම බිඳී ගොස් තිබූ වීදුරු කැබලි දෙස බලා සිටියේ වික්ෂිප්තවය.
මේ මිනිසා දොර අසළට වී මා දෙස බලා සිටියාද..? එම සිතුවිල්ල පවා මා බිය ගැන්වූයේ සවස සිදුවීමත් සිහි ගන්වමිනි. ඔහු සැරසෙන්නේ නම් හොඳකට නොවේ කියා මට ඉවකින් මෙන් දැනිණි. කාමරයේ සිටින විට මින් පසු දොරගුළු දමා ගත යුතුය. මා සිතේ බියක් මෙන්ම කෝපයක්ද ඇතිවෙමින් තිබිණි. අම්මා ළඟ සිටියා නම් කියා ඒ මොහොතේත් මට සිතුණේ සිත පිරී ගිය ආත්මානුකම්පාවෙනි. විසිර ගිය වීදුරු කැබලි එකතුකොට කාමරය අතු ගා දමා මම දොරත් වසා ගෙන ජනේලය අසළට වී පිටතට නෙත් යොමා සිටියෙමි. අනාරක්ෂිත බවක් මා සිතට දැන් දැන් දැනේ. අම්මා තවත් එහි නොඉඳ මෙරටට පැමිණියා නම් අක්කාගේ නිවසට වී ඇගේ බැල මෙහෙවරකම් කරන්නට වුවමනා නැත. ශෝකය නිසා සුසුම් පවා පිටවන්නේ හද අවුළුවමිනි.

රාස්සිගේ අව්ව පොල් ගස් අතරි පෙරී බොඳව යන්නට වූයේ කෙමෙන් කෙමෙන් අඳුර ළංකරමිනි. තරු මල් එකිනෙක අහස් කුස මත හිනැහෙන්නට විය. අඳුර ගලා ආවේ ඉතා ඉක්මනිනි. මම බොහෝ වේලාවක් එසේ හිඳින්නට ඇත. කාමරයද තද අඳුරේ ගිළී තිබුණද පහන් දල්වන්නට පවා අළස කමින් මම එළෙසම සිටියෙමි. අඳුරු ජායාවක් කම්බි වැටෙන් රිංගා වැනී වැනී නිවස දෙසට ඇදෙනයුරු දුටු මා නිසොල්මනේ හිඳ බලා සිටියේ ඒ සුමිත් අයියා බව හැඳිනය. කළකිරීමත්, කෝපයත් යළි හිස ඔසවන විට මම ජනේලය වසා දමා හුන් තැනින් මෑත්ව පිටතට පැමිණියේ ඉඳි ආප්ප තම්බන්නට ඇති බැවිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you