More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස -17

    Pini Muthu Palasa පිනි මුතු පලස -17

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    පන්ති කාමරයේ කෙටි බිත්තියට බර දී මම බලා සිටියේ කුඩා ළමුන් දුව පනිමින් සෙල්ලම් කරන සැටිය. තරුෂි කමල් හමුවීමට කියා පිටතට ගොස් සිටි නිසා විවේක කාලයේ එහි වූයේ මාත් තව ළමුන් දෙතුන් දෙනෙකු පමණි. කස ගස් පේළිය යට සමන්මලීත් දුලානි, විදුර සහ සුදේෂ්ද බර කතාබහකය. දුලානි මටද අත වැනුවද මා සිතට දැනුණේ අළස බවක් නිසා මම හුන් තැනටම වී සිටියෙමි.

    “කොයි වෙලෙත් මනෝ ගහලා…”

    විදුර මට ඇසෙන්නට කියන විට මම ඔහුට මවා ගත් නොමනාපයක් පෙන්වමින් මුව ඇද කළෙමි. ඔවුන් හුන් තැනින් මෑත්ව ඉවතට යන විට මම තව මඳ වේලාවක් එහිම රැඳී සිටියෙමි.

    “මංදාකිණි…”

    මා අසළින්ම ඇසුණු රජිව්ගේ හඬින් මම තිගැස්මට පත්ව වහා හැරී බැලීමි. ඔහු පැමිණෙන බවක් හෝ මා නොදුටුවේ පන්ති දෙක යා කරන බිත්තිය ආසන්නයේම මා සිටි නිසාය. ඉක්මන් බැල්මක් ඔහු වෙත හෙළූ මා සූදානම් වූයේ වහා ඔහු කෙරෙන් ඉවත් වන්නටය. ඒ බව වටහා ගත් බැවින්දෝ රජිව් කෙටි බිත්තියට බර දී මගේ අතින් අල්ලා ගන්නා විට මම බියපත්ව වටපිට බැලුවේ කිසිවෙකුගේ උකුසු දෑසට එය අසු වුණා නම් තවත් අමතර ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බව වටහා ගෙනය.

    “අතාරින්න රජිව් අයියේ…කවුරු හරි දකියි…”

    ගැහෙන සිතින් මම කීවේ සුරත මුදා ගැනීමට යත්න දරමිනි.

    “ඔහොම ඉන්න…මට කතා කරන්න ඕන…”

    මා කී දේ පිළිබඳව කිසිදු තැකීමක් නොකර ඔහු කීවේ සිය ග්‍රහණය දැඩි කරමිනි.

    “කවුරු හරි දකියි අනේ…අතාරින්නකෝ…”

    හැඬුම් මුසුව මම නැවතත් කීවෙමි.

    “හරි…අතාරිනවා…මා එක්ක කතා කරනවා නම්…නැත්නම් මං පන්තිය ඇතුළට එනවා…”

    එය තර්ජනයක් වූ අතර මම එයට එකඟ වූයේ ඔහු සමඟ කතා බහ කිරීමේ වුවමනාවට නොව ඒ ග්‍රහණයෙන් මිදීමටත් ඔහු පන්තියට ඒවි යැයි ඇති වූ බියත් නිසාය. ඔහුගේ ග්‍රහණයට හසුව තිබූ සුරත රිදුම් දුන් නිසා මා දෑසට කඳුලු පිරී ආයේය. රජිව් ඒ දුටු නිසාදෝ සිය ග්‍රහණය බුරුල් කරන විට මම අත පසෙකට ඇද ගතිමි. එතැන රත් පැහැයට හැරී තිබුණේ ඇඟිලි සටහන්ද සමඟය.

    “සොරි…රිදුණද…?”

    අනුකම්පා මුසු හඬකින් ඔහු ඇසුවේය.

    “අත රිදෙන එක නම් අඩුවෙලා යයි…හිත රිදුණ තැන නම් හොඳ වෙන එකක් නැහැ…”

    වචන වලින් මම ඔහුට පහර ගැසීමි.

    “ඔයාව රිද්දුවේ මම නෙවේනේ මංදාකිණි…ඇයි මාත් එක්ක තරහ වෙලා ඉන්නේ…ඇයි කතා බහ නොකර මඟාරින්නේ…?”

    ඔහුගේ හඬේ වූයේ කෝපයක් මෙන්ම කළකිරීම් මුසු බවකි.

    “මට තියෙන්නේ තරහවක් නෙවේ…දුකක්.. ඔයාගේ අම්මා මට කියපු දේවල් අහගත්තාටත් පස්සේ…අපිට තවත් කතා කරන්න දේවල් ඇති කියලා මට හිතෙන්නේ නැහැ…”

    අලුතින් ඇති වූ සිත් වේදනාවෙන් යුතුව මම කීවෙමි.

    “අම්මා වෙනුවෙන් මට සමාව දෙන්නකෝ මංදාකිණි…එයා කිව්ව දේවලට මගෙන් පළි ගන්න එපා…අම්මා එහෙම කතා කරපු එක වැරදියි…එයාගේ හැටි එහෙමයි…ඔයා ඒවා ගණන් ගන්න එපා කියලා මං ඔයාට කියන්නේ නැහැ…එයාගේ ස්වභාවය ඒක වුණත්…හැම කෙනාටම කෑ ගහන එක එයාගේ හැටි වුණත්…ඒකෙන් අනෙක් කෙනාගේ ස්වභාවයට මොනවද වෙන්නේ කියලා හිතන්න මනසක් නැහැ…මිනිස්සුන්ගේ හිත් තුවාල වුණාම සෑහෙන කාලෙකට ඒවා සුව වෙන්නේ නැහැ කියලා මං දන්නවා…”

    මම පුදුමයෙන් ඔහු දෙස බලා සිටියෙමි. පසුතැවීමක් මා සිතේ ඇති විය.

    “එයා කියපු ඒවා ආයේම ඇදලා ගන්න බැහැනේ මංදාකිණි…ඔයා නොදන්නවා වුණාට මං අම්මා එක්ක ඔය ගැන සංඩු කළා…මේ ටිකේ මං ඉන්නේ ගෙදර නෙවේ…මාව මඟාරින්න එපා මංදාකිණි… ඒක මට තවත් වේදනාවක්…”

    මා සිතේ ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති නොවූවා නොවේ. මම තවමත් ඔහුට ආදරය කරමි. ඒ ආදරය කිසිලෙසකින් හෝ මිය නොයන බව මට විශ්වාසය.
    එක පොකුරට දෑසේ එකතු වූ කඳුලු බිඳු නිසා මම ඔහු දෙස බැලුවේ බොඳ වුණු දෑසිනි.

    “මිස් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා රජිව් අයියේ…ඔයා ආයේ ගෙදර යන්න…මිසුත් ඉන්නවා ඇත්තේ දුකෙන්…අපි මේ හැමදේම අමතක කරමු…”

    කම්මුල් තෙමා ගිය කඳුලු මා දෙපා මුල ඇද වැටිණි. හඬක් නැඟිය හැකි නම් ඒවා පවා විළාප තබනු ඇතිවාට සැක නැත. අවසන් වදන් පෙළ මා මුවින් පිට නොවූ තරම්ය. මගේ හඬ බිඳී ගොසිණි. ඔහු මා දෙස බලා සිටියේ විදහා ගත් දෑසිනි. ඉන පටියේ දවටා හෙන සිටි ලේන්සුව ගෙන මම කඳුළු පිස ගතිමි.

    “මොනවද ඔයා මේ කියන්නේ මංදාකිණි…? කවුරු මොනවා කිව්වත්…මං මගේ හිත වෙනස් කරගන්නේ නැහැ…”

    නොඉවසිළිමත් හඬකින් ඔහු කීවේය. ඔහු කලබල වී ඇති බව මම හඳුනා ගතිමි.

    “කවදහරි මට දුකක් විතරක් ඉතුරු වෙයි කියලා මට බයයි රජිව් අයියේ…”

    තව දුරටත් දරා සිටීමට නොහැකි තැන මම මගේ අසුන කරා දිව විත් මේසය මත හිස හොවාගෙන කඳුලු වලට නිදහසේ ගලා යාමට ඉඩ දුනිමි. මිරිඟුවක් පසුපස දිව යන මුවැත්තියක ලෙස නොලැබෙන දෙයක් පසුපස දිව ගොස් සිදුවන්නේ හති වැටීම පමණක් බව දැන දැනම මා සිත ඔහු කෙරෙහි වඩ වඩාත් ලෝභ කමකිනුත් දැඩි ආදරයකිනුත් පිරෙන්නට විය. මා සතුව කිසිවක්ම නොතිබූ මුත් සියල්ල අහිමිව ගිය හැඟීමක් මට දැනිණි. මහා වැස්සක් ඇද වැටී සියල්ල සෝදා පාළුවට ගියාක් මෙනි. වසා දමා තිබූ හද පියන් පත් විවර කොට ගෙන ආදරයක් සිතට රිංගා සිත පතුළේ අරක් ගෙන අවසන මට ඉතිරි කළේ සිත් වේදනාවකුත් දුකකුත් පමණක් නොවේදැයි කියා මම මා සිතින්ම විමසා සිටියෙමි.
    ——————————————————————————————————
    රජිව් දින දෙක තුනක් පාසලට නාවේ මා සිත යළි යළිත් වේදනාවෙන් පුරවාළමිනි. මසිත මටම දොස් පවරන්නට වූයේ ඔහු නොපැමිණියේ මගේ වරදින් යැයි සිතුණු නිසාය. මහා වරදකාරී හැඟීමක් මා සිතේ ඇති විය. තරුෂි සමඟ මම කමල් හමුවට ගියේ රජිව් පිළිබඳව තොරතුරක් දැන ගැනීමටය.

    “ඇයි කමල් අයියේ…රජිව් අයියා අදත් ඉස්කෝලේ ආවේ නැත්තේ…?”

    මා විමසන විට ඔහු මා දෙස බැලුවේ ශෝකී බැල්මකිනි.

    “අනේ මන්දා නංගී…ඌ ඉන්නේ පට්ටම අප්සට් එකේ…”

    “අනේ…එයාට ඉස්කෝලේ එන්න කියන්න අයියේ…එයා ඉගෙනීම කඩාක්ප්පල් කරගත්තොත් කවදා හරි ඒකටත් දොස් අහන්න වෙන්නෙ මට…”

    “ඔය ටික ඉතින් මාත් කොච්චරවත් ඌට කියනවාද…?”

    “මම කියන නිසාවත් ඉස්කෝලේ එන්න කියන්න…එයා තාම ඔයාලා ගෙදරද ඉන්නේ…?”

    “හ්ම්ම්…අද උදේ ගෙදර යනවා කිව්වා…ඇඳුම් අරන් එන්න…”

    මා මුවින් සුසුමක් ගිළිහිණි. ඔහු මෙසේ පළිගැනීමට සැරසෙන්නේ මගෙන්ද, චිත්‍රා මිස්ගෙන්ද නොඑසේ නම් තමුන්ගෙන්මද…?

    “මොන දෙයක් වුණත් මංදාකිණි…ආයේ හැරෙන්න එපා…”

    කමල් කීවේ අපි යළි ඒමට සූදානම් වන විටය. ඔහු කී දේ ඔස්සේ මට බොහෝ දුර සිතීමට වුවමනා විය. නමුත් මා කෙසේ ඉදිරියට යන්නද, මාවත මැද මහා බාධකයක් ඇති විට මා කෙසේ එයින් පැන දුවන්නද.? ආදරය මෙතරම් පීඩාකාරී දෙයක් වනු ඇතැයි කියා මම සිතා නොතිබුණෙමි. මෙවන් දේවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියා සිතුවේ කවුද.? එය වේදනාකාරී වූවක් බව වැටහෙන්නේ එයට මුහුණ දෙන අයමය.

    “අනේමන්දා තරූ…එයා මෙහෙම පිස්සු නටන්න ගියොත් නම් මිස් තවත් මා එක්ක වෛර බැඳ ගනියි…මට ආයේ ස්ටාෆ් රූම් එකට එන්න කියලා දොස් කියයිද දන්නේ නැහැ…”

    සිතේ ඇති වූ බිය මුසු හැඟීමෙන් මම කීවෙමි.

    “ඒකනේ අප්පා…මේ මනුස්සයට තේරෙන්නේ නැත්ද මන්දා…?”

    තරුෂි කීවේද නොමනාපය මුසු හැඟීමෙනි. කිසිත් නොකී මා පසුවූයේ නිහඬවය. දේවින්ද සර් සමඟ කුමක් හෝ කාරණයකට පිටතට ගිය ගිම්හාන යළි පැමිණියේ පාසල ඇරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය. ඉහින් කණින් දාදිය පෙරාගෙන සිටි ඔහුගේ අව්වට නිරාවරණය වූ මුහුණ රත් පැහැයට හැරී තිබිණි.

    “මොකද ගිම්හාන…දාඩියා නාලා…මැරතන් එකක් දිව්වද…?”

    තරුෂි ඇසුවේ ඔහු සිය අසුන කරා පියමනින විටය.

    “අම්මේ…ඒ ගැන නම් අහන්න එපා…”

    ඔහු කමිසයට යටින් පපුවට හුළං බිඹිමින් කීවේ අසුන ඇද හිඳ ගනිමිනි. විදුර ඔහුට පොතකින් පවන් සළන්නට විය.

    “කොහේද බං උඹ දේවින්දයා එක්ක ගියේ…?”

    සුදේශ් ඇසීය.

    “යකෝ…කට කට…”

    ගිම්හාන වට පිට බලමින් ඔහුට සැර කළේය.

    “හරි…හරි ඉතින්…කොහේද ගියේ ඇහුවේ…?”

    “එඩුයුකේෂන් ඔෆිස් එකට ගියා…”

    “ආහ්…ඒක මිසක්…අපි හිතුවා සර්කාරයා උඹව එක්කන් ගිහින් ගම වටේ මැරතන් එකක් දිවෙවුවද කියලා…”

    සුදේශ් කී කතාවට පැතිර ගියේ උස් සිනා හඬකි. පාසල් අවසන් වන සීනුව නද වූයේ ඒ මොහොතේදීය.

    “මංදි…මට ටිකක් කතා කරන්න ඕන…මා එක්ක යන්න ඉන්න…”

    ගිම්හාන මවෙත හැරී පහත් හඬින් කියන විට මම මවිතය රැඳි දෑසින් ඔහු දෙස බැලුවද ඔහු කිසිදු වෙනසක් නොපෙන්වා බෑගයට පොත් පත් දමන්නට විය.

    “බලාගෙන මංදි…මූ එක්ක යන්නේ…කොහේ එක්ක යයිද දන්නැහැ…”

    ඒ අතරේ විදුර විහිළු කළේය.

    “ගිම්හාන එක්ක යන්න නම් මට බයක් නැහැ…”

    මඳහසක් පාමින් මම කීවෙමි.

    “අම්මාට සිරි…ඒ කතාව කොහොමද…? හරි… හරි එහෙනම්…”

    විදුර සිනහවක් පාමින් කීවද මා සිතමින් සිටියේ ගිම්හානට මා සමඟ කීමට ඇත්තේ කුමක්ද කියාය. මාත් තරුෂිත් ගිම්හානත් පිටතට ආවේ අනෙක් ළමුන් සියළු දෙනම පිටත්ව ගිය පසුවය. තරමක උණුසුමක් පරිසරයේ විය. අපි තිදෙන මාර ගස සෙවන යටට ඇවිද ආවේ කතා කරගත්තාක් මෙනි. ළමුන් කීප දෙනෙක් අහළ පහළ රැඳී සිටියේ නිවසින් ඔවුන් කැඳවා ගෙන යාමට කිසිවෙකු හෝ පැමිණෙන තුරුය.

    “මොනවද ගිම්හාන කියන්න තියනවා කිව්වේ…?”

    ඔහු මා දෙස මොහොතක් බලා සිටියේ දෙගිඩියාවෙන් මෙනි.

    “මේකයි මංදි…මම මේ කියන්න හදන දේ කේළමක් කියල නම් හිතන්න එපා…”

    ඔහු පළමුව පවසන විට මම වඩාත් තිගැස්සුණු බැල්මකින් ඔහු දෙස බැලීමි. සිත මත මෙතෙක් වූ කුතුහළය පරයා මා සිතේ නැඟී ආවේ තරමක බිය මුසු හැඟීමකි. කාරණය එතරම් බරපතළ නොවූවා නම් ඔහු මෙසේ අදි මදි නොකරන බව මම දනිමි. මා ගත පුරා සිහින් දා බිඳු ගලා යන්නට විය. සෙමෙන් හමා ඇදී ගිය සුළඟට වුවද ඒවා නිවා දමන්නට තරම් හැකියාවක් නොහැකි සෙයකි.

    “ගිම්හාන…”

    දේවින්ද සර් යතුරු පැදිය අප අසළ නවතමින් ගිම්හාන අමතන විට අපි තිදෙනම හැරී දේවින්ද සර් දෙස බැලීමු.

    “සර්…”

    “යනවා නම් නඟින්න මං ඇරළවන්නම්.”

    ගිම්හාන අප වෙත ඉක්මන් බැල්මක් හෙළුවේ දේවින්ද සර් සමඟ යන අදහසින් මෙනි. ඔහු කුමක් කියන්නට සූදානම් වූවාද කියා මා සිටියේ කුහුළිනි. එය අද නම් දැන ගන්නට නොහැකි වනු ඇත.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    Iran israel attack බොරතෙල් මිල යළි ඉහළට

    Iran israel attack - ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර,...

    Syria පල්ලියකට මරාගෙන, මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 22 ක් මරුට

    Syria  - සිරියාවේ දමස්කස් (Damascus) නගරයේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.IS ත්‍රස්තවාදීන් ඊයේ රාත්‍රියේ ( ජුනි 22) එල්ල...

    Strong earthquake ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

    Strong earthquake - උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන්...

    Keheliyaගේ දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට

    Keheliya - මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගෙන...
    - Advertisement -spot_img

    Jack Betts ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු මිය යයි

    Jack Betts - ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වූ Jack Betts පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 19) අභාවප්‍රාප්ත වී තිබෙනවා. කැලිෆෝර්නියාවේ Los Osos...

    BAN vs SL 2025 එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි සඳහා ටිකට්පත් අලෙවිය

    BAN vs SL 2025 - බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි සඳහා ටිකට්පත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page