Pini Muthu Palasa පිනි මුතු පලස
පරිසරය ඝෝෂාකාරී බවින් පිරී තිබුණේ විවේක කාලය වූ බැවිනි. මාත් තරුෂිත් පන්ති කාමරයටම වී සිටියේ වැඩිමනත්ම රජිව් මුණ ගැසුණහොත් කතා කිරීමට සිදුවේ යයි ඇති වූ බිය නිසාමය. ගිම්හාන පැමිණ අපට අයිස් පැකට්ටු දෙකක් දී යළි පිටතට ගියේ විදුර සමඟිනි. අපි දෙදෙන අපේ අසුන් වල හිඳ ගෙන ඒවා රස බැලීමු. සුළු මොහොතක් ගත වන්නට පෙර ගිම්හාන යළි පැමිණ මා පසෙක වූ අසුන මත හිඳ ගත්තේ වටපිට බලමින් රහසක් කියන්නට මෙනි.
“මේ මංදි…රජිව් මේන් හෝල් එක ළඟ ඉන්නවා…ඔයාට එන්න කිව්වා…”
රහසින් පැවසූ ඔහු යළි ආපසු නැඟිට යන්නට ගියේ මම කිසිත් කීමටත් පෙරය. මම තරුෂි දෙස බැලුවේ දෙගිඩියාවෙනි. රජිව් සමඟ මම කතා බස් කොට දැන් බොහෝ දිනකි.
“යමු…”
තරුෂි වහා හුනස්නෙන් නැඟී සිටිමින් කීවේ මා කිසිත් සිතන්නටත් පෙරය. තක්ෂිලා පෙනෙන මානයක නොවූවාය. බිය වීමට කාරණයක් නැතැයි මසිත මට කීවේය. ඈ අනුගමනය කරමින් මමද නැඟී සිටියෙමි. අපි දෙදෙන ඉක්මන් ගමනින් ශාලාව දෙසට ඇවිද ආවෙමු. මා සිතේ තිගැස්මක් නොවූවා නොවේ. රජිව් ගොඩනැඟිල්ල ඈත කෙලවර වූ සූරිය ගස අසළට වී අප එනතුරු පෙරමඟ බලා සිටිනු මම දුටිමි.
“ඔයා යන්න මංදි…මම මෙතන්ට වෙලා කවුරු හරි එයිද බලන්නම්…”
තරුෂි පඩි පෙළ අසළ නැවතෙන විට මම ගැහෙන සිතින් කොරිඩෝව දිගේ ඇවිද ආවේ පළමුවරට පෙම්වතකු හමුවන්නට යන පෙම්වතියක් මෙන් චකිතයෙනුත් තැතිගැන්මෙනුත් යුතුවය.
“මංදාකිණි…”
මා ඔහු සමීපයටම වන් ඇසිල්ලේ ඔහු මා ඇමතුවේ වඩා මෘදු වූත් ලෙංගතු වූත් හඬකිනි. මම ඒ හඬ ඇසුවේත් බොහෝ කලකට පමණ පසුවය. මසිත හිරි වැටී ගියේය.
“මං හිතුවා අදත් නෑවිත් ඉඳියි කියලා…”
නොමනාපය මුසු බවක් ඒ හඬේ විණැයි කියා මට සිතුණු බැවින් මම ඔහුට රැවුමක් පා කළේ මුව ඇද කරමින් බොරුවටය.
“බලාපොරොත්තු සුන් වුණාද දැන් මං ආව නිසා…?”
ඔහු මවිතයට පත්ව මදෙස බලා සිටියේය.
“ඔයා නෑවිත් හිටියා නම් තමා මගේ බලාපොරොත්තු සුන් වෙන්නේ…”
ඔහු කියන විට මම සිනහව සඟවාගෙන සිටියේ අසීරුවෙනි.
“මොකද ළමයෝ මේ…මරන්න ඇදන් යන වැස්සියක් වගේ බය වෙලා…පොඩ්ඩක් හිනා වෙලා ඉන්නකෝ…”
එවර මා මුවේ සිනහව පිට පැන්නේය.
“මාව දැන් වැස්සියෙක් ගානටද හිතන් ඉන්නේ…?”
සිනහව නවතාගෙන මම ඇසීමි.
“ඔන්න ඉතින් අල්ලා ගත්තා…මං දැන් එහෙමද කිව්වේ…?”
මම හිස සැළුවේ නැතැයි හඟවන්නටය. සිනහවක් මුව මත ඇඳ ගනිමින් මම ඔහු දෙස එක එල්ලේම බැලුවෙමි.
“ඔයා හිනා වෙත්දී හරි ලස්සනයි මංදාකිණි…”
ඔහු පවසන විට මා සිතේ ඇති වූයේ සියුම් ආඩම්බරය මුසු වූ ලැජ්ජාවකි.
“හැමදාම ඒ වගේ හිනා වෙලා ඉන්න…”
ඔහු යළිත් කීවේය. එවර ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් වළකා ගතිමි.
“හිනා වෙලා ඉන්න නම් මාත් ආසයි රජිව් අයියේ…ඒත් මට බයයි…ඒ හිනාව මගෙන් ඈතට යයි කියලා…”
ශෝකී හඬකින් මම කීවෙමි.
“හැමවෙලේම අසුභ විදියට හිතන්න එපා මංදාකිණි…”
ඔහුගේ හඬේ වූයේ තරමක නොමනාපයකැයි කියා මට සිතිණි. මා සිත ගලක් කරගෙන සිටියද ඔහුට එවැන්නකට සිත එකඟ කරගැනීමට නොහැකි වූවාට සැක නැත. ඔහු හමුවන්නැයි පණිවිඩ පිට පණිවිඩ එවූයේ ඒ නිසාය.
“එහෙම හිතනවා නෙවේ…”
සුසුමක් හෙළූ මම නිහඬ වූයෙමි. කොරිඩෝව දිගේ පුංචි ළමුන් කීපදෙනෙකු දුව පනිමින් සෙල්ලම් කරති.
“ආදරේ කරත්දී…එන හැම දේකටම මූණ දෙන්න පුරුදු වෙන්න ඕන…”
ඔහු කියන විට මම යටැසින් ඔහු දෙස බැලුවෙමි.
“මොකද හොරෙන් බලන්නේ…?”
“මම තාම ආදරේ කරන්න ඉගෙන ගන්නවා…ඔයාට තියන අත්දැකීම් මට නැහැ…ඔයා නම් ඉතින් හතර පස් දෙනෙකුටවත් ආදරේ කරලා ඇතිනේ…”
නිය පටින් බිත්තිය දිගේ ඉරි අඳිමින් මම කීවේ ඔහුව කේන්ති ගැන්වීමේ වුවමනාවටය.
“මොකක්ද කිව්වේ…?”
මා සුරත සිය ග්‍රහණයට ගනිමින් රජිව් කීවේ මා සිතූ ලෙසම තරමක කෝපයෙනි. මා තිගැස්සී ගියේ නම් ඔහුගේ දෑසේ වූ කෝපයට නොව ඔහුගේ ස්පර්ෂයෙන් මා ගත පුරා විදුලි රේඛාවක් ඇදී ගියාක් මෙන් දැනුණ නිසාය.
“අ…නේ රා…ජිව්…අයියේ…අතාරින්න… කවුරු හරි දකියි…”
බියට පත් මා ඔහුගේ ග්‍රහණයට නතුව තිබූ සුරත මුදා ගැනීමට උත්සාහයක යෙදෙමින් කීවේ තැතිගැන්මෙනි.
“මං අහන්නේ මොකක්ද ඒ කිව්ව කතාව කියලා…?”
ඔහු සිය ග්‍රහණය දැඩි කරමින් කියන විට මම සුරත මුදවා ගැනීමට දැරූ උත්සාහය අත්හළෙමි.
“මම…නිකන් අනේ කිව්වේ…ඔයාව අවුස්සන්න….”
“නිකම්…? හිතුවද මාත් අනික් කොල්ලෝ වගේ කෙල්ලෝ දුසිම් ගණන් එක්ක යාළුවෙලා හිටියා කියලා…පස්සෙන් නම් ආවා හැටක් විතර…ඒත් ඉතින් හිත නැවතුණේ ඔයා ළඟ…”
ඔහු එසේ පවසන විට සියුම් ලැජ්ජා මුසු ආඩමබරයක් මා සිතට දැනුණු බව සැබෑවය. ඔහු සෙමෙන් මා සුරත මුදා හැරියේය.
“මං දැන් යන්නම් රජිව් අයියේ…”
ඔහු අසළින් මෑත් වීමට සැරසෙමින් මම වටපිට බැලුවෙමි. කොරිඩෝවේ එහා කෙළවරේ සිටි තරුෂි පෙනෙන්නට නොවූවාය. සියුම් තැතිගැන්මක් මා සිතේ ඉපදුණේ ඈ කොහේ ගියාදැයි සිතා ගනු බැරිවය.
“ටිකක් ඉන්න…තව වෙලා තියනවා…”
ඔහු යළිත් වරක් මා සුරතින් අල්ලා ගත්තේය.
“කවුරු හරි එයි අනේ…”
එවර නම් මම සුරත මුදා ගැනීමට අරගල කරන්නට නොගියෙමි.
“ඉතින් ආපුදෙන්කෝ….අපි බයද…?”
ඔහු මුරංඩු ලෙස කීවේය.
“හා…ප්‍රින්සිපල් සර් ආවා නම් බලන්න තිබුණා…”
මඳහසක් නඟමින් මම කිවෙමි.
“හා…හැංගී හැංගී වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිටලු…”
එම හඬින් මම තිගැස්සී හැරී බැලීමි. උපහාසයත් ඊර්ෂ්‍යාවත් ද්වේශයත් කැටි වූ දෑසින් තක්ෂිලා අප දෙස බලා සිටියාය. මා මුවේ නැගුණු සිනහාව අතුරුදහන්ව ගියේ ක්ෂණිකයෙනි. සිහින් දා බිඳු මා ගත පුරා නැඟෙන්නට විය. පිට දිගේද දා බිඳු ගලා යන බව මට දැනිණි. දෙවියනේ…! තක්ෂිලා කෙසේ මේ මොහොතේ මෙහි පැමිණියාද.? තරුෂිට කුමක් වීද.? මගේ සුරත තවමත් රජිව් ගේ ග්‍රහණයට නතු වූ ගමන්මය. අසරණ වූත් බියපත් වූ දෑසින් මම රජිව් දෙස බැලීමි. ඔහු තවමත් මා සුරත මුදා හැරියේ නැත. මා තරමක් වෙවුළන බව දැනීදෝ ඔහුගේ ග්‍රහණය දැඩි විය.
“කවුද දැන් හැංගී හැංගී වෙස් මූණු බැන්දේ…?”
රජිව් රළු හඬින් විමසුවද තක්ෂිලාගේ මුවේ වූයේ රහසක් සොයා ගත්තාක් මෙන් සතුටට පත් ජයාග්‍රාහී බැල්මකි. ඇගේ දැස් පවා කුරිරු සතුටකින් දිලිසෙන බව මට පැහැදිලිවම පෙනිණි. ඈ රජිව් සමඟත් පසුවන්නේ දැඩි වෛරයකින් බව මම දැන සිටියෙමි.
“කවුද කියලා අහන්නේ මගෙන්ද…හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු…”
සමච්චල් සහගත හඬකින් කී ඈ එවන්ම වූ සිනහවකින්ද මදෙස බලමින් ආපසු හැරී කොරිඩෝව දිගේ ඇවිද යන විට මම බියපත් දෑසින් රජිව් දෙස බැලීමි.
“බය වෙන්න එපා මංදාකිණි…”
මා සිතේ බිය මුහුණින්ද පෙනෙන්නට ඇත. ඔහු මා අස්වසන්නට මෙන් එසේ කියන්නට ඇත. නමුත් ඒ වචන වලින් මා සිතේ බිය පහව ගියා කියා මම නොසිතමි. කිසිත් කීමට මා මුවට වචන නොනැඟිණි. නොඑසේ නම් මට කතා කර ගැනීමට අපහසු වූවා වන්නට ඇත.
“ඔයා යන්න පන්තියට…ඒ ගැන හිතන්න එපා…”
ඔහු මා සුරත මුදා හරිමින් කියන විට මම ඔහුගෙන් සමුගෙන ගුරු නිවාසය දෙසින් පන්තිකාමරය වෙත ඇවිද ආවේ තෝන්තු වූ සිතිනි. විවේක කාලය අවසන් වන සීනුව නද වූයේ මම පන්තියට ගොඩ වන විටමය. තරුෂි පන්ති කාමරයේ නොවූ නිසා මම තරමක් කුතුහළයට පත් වූයෙමි. මට නොකියාම ඈ මා හැරදමා කොහේ ගියාද කියා මා සිතුවේ කනස්සළු සිතිනි. හදිසි අවස්ථාවක් නොවේ නම් ඈ මා හැර නොයන බව මම හොඳාකාරවම දැන සිටියෙමි. තක්ෂිලාද නොසිටීම මා සිතේ යම් සැකයක් ඇති කළේය. ඈ චිත්‍රා මිස් සොයා ගියා විය හැකිද.? එම සිතුවිල්ල පවා මා බිය ගැන්වීය.
“ඒයි…මංදි…කොහේද බං හිටියේ…අපි හැමතැනම හෙව්වා…”
පිටතින් ඇසුණූ මාලිකාගේ හඬින් මම අලුතින් තිගැස්සී ගියෙමි.
“ඇ…ඇයි…?”
“කුසුම් මිස් හෝම් සයන්ස් රූම් එකට එන්න කිව්වා…තක්ෂිලාත් ගියා ඔයාව හොයන්න…එයාව හමුවුණේ නැත්ද…?”
මාලිකා කියන විට මම තවත් කුහුළට පත් වූයෙමි. කුසුම් මිස් මා සොයන්නේ මන්ද.? එසේනම් තක්ෂිලා පැමිණියේ ඒ බව කියන්නට විය හැකිය. අපි කතා බහ කරමින් සිටිනු දැක ඈ එය නොපවසාම කෝපයෙන් පිටව ආවේ තමා පැමිණි කාරණයද අමතක කර දමාය. මම යළි පන්තිකාමරයෙන් පිටව මාලිකාද සමඟ ගෘහ විද්‍යාගාරය වෙත ඇවිද එන විට තක්ෂිලා අප ඉදිරියට එමින් සිටියාය. ඈ මා දෙස බලා අවඥා සහගත සිනහවක් පාමින් මා පසුකර පිය මැන්නාය.
“මොකද අප්පා ඒ හිනාව…”
මාලිකා ඇසුවේ ඇයටත් එය පෙනී ගිය නිසා වන්නට ඇත. මා සිත තව තවත් පීඩාවට පත්වන විට මම ගෘහ විද්‍යාගාරයට ඇතුළු වූයේ දැවෙන හදිනි. තනිවී හඬා වැටීමට වුවමනා වුවද මට ඊටද අවකාශයක් නොවීය. තක්ෂිලා සියල්ල ගිනි අවුළුවනු ඇති බවට සැකයක් නැත. චිත්‍රා මිස් මේ සම්බන්ධය පිළිබඳව දැනගත් විට කුමක් සිදුවනු ඇතිද කියා මට සිතා ගැනීමට පවා අපහසු විය. තරුෂි, සමන්මලී දුලානි සහ රොෂානි එකතුව කබඩයක් අස් පස් කරමින් සිටිනු මට පෙනිණි. කුසුම් මිස්ද ඔවුන් සමඟ එහි පොත් පත් අසුරමින් සිටියාය.
“ආහ්…මේ ආවේ මංදාකිණි…එන්න එන්න…ඔයාලට ඊළඟ පීරිය්ඩ් එක ෆ්‍රී නිසා මං එන්න කිව්වේ…හෝම් සයන්ස් රූම් එක අස් කරගන්න…”
මා දුටු කුසුම් මිස් කියන විට මුව මත සිනහවක් නංවාගෙන මම අනික් අය සමඟ එකතු වූයෙමි.
“මොකෝ මංදි මේ…හොල්මනක් දැකලා වගේ බය වෙලා…?”
දුලානි මගේ මුහුණේ වෙනසක් දුටු නිසාදෝ මවිතයෙන් ඇසුවේ රහසින් මෙනි. මට තරුෂි දෙස බැලිණි.
“අනේ මංදි…මම අතන ඉද්දී මිස් මට කතා කළා…කරන්න දෙයක් නැති කමට මම දුවන් ආවා…ආයේ එන්න හිතාගෙන… ඔයාට කියාන්න විදියකුත් නැහැ…ඔය දෙන්නා කතා කළාද…අනේ සොරි හොඳද…? කවුද දන්නේ…මෙතන්ට හිර වෙයි කියලා…”
පසුතැවිළි හඬකින් තරුෂි කීවාය. සිදුවූ කිසිත් මට ඇය හා කීමට අවස්ථාවක් නොවූ නිසා මම නිහඬව සිටියෙමි. අපි සියළු දෙන එකතුව පොත් කබඩ අස් පස් කොට දමා ගෘහ විද්‍යාගාරයත් පිරිසිදු කොට පිටතට වන් ඇසිල්ලේ මම ඔවුන් සමඟ සිදු වූ දෑ පැවසුවෙමි.
“අනේ…මංදි…!”
මගේ දෑතින් තරයේ අල්ලා ගත් තරුෂි කෑ ගැසුවාය.
“මට තිබුණේ ඔයාවත් එක්ක එන්නයි…මං හිතුවේ නැහැ මිස් මාව තියා ගනියි කියලා…”
පසුතැවිළි හඬකින් තරුෂි කීවේ එය තමාගේ වරදක් මෙන් සිතාය.
“දැන් මොකද වෙන්නේ අනේ…?”
දුලානි ඇසුවේ මා මෙන්ම තැති ගත් බවක් පළ කරමිනි.
“දැන් ඉතින් මොනවා කරන්න්ද මංදි…? බය නැතුව ඉන්නකෝ…වෙන දෙයක් වෙයිනේ…කවදා වුණත් ඕක දැන ගන්නවානේ…”
සමන්මලී කීවේ මා සිත අස්වසන්නට උත්සහ දරා මෙනි.
“කවුරු දැන ගත්තත් කමක් නැහැ…චිත්‍රා මිස් නැතුව…ඔයාලා දන්නවානේ මිස් ගැන…?”
පසුතැවිල්ලත් ශෝකයත් මුසු හඬකින් මම කීවෙමි. බොහෝ දිනකට පසුව මා රජිව් මුණ ගැසුණේ මෙවන් දෙයක් සිදු වන බව නොදැනය.
“හිත කලබල කර නොගෙන ඉන්නකෝ මංදි…අපි බලමු මොකෝ වෙන්නෙ කියලා…”
තරුෂි මා උර මත දෑත තබමින් කීවාය.
“අනේ…ඔව් මංදි…බය නැතුව ඉන්න…ඔයා වරදක් කළා නෙවේනේ…”
සමන්මලීද මා අස්වසන්නට මෙන් කීවාය. අපි පන්තියට එන විට එහි වූයේ ඉතා නිහඬ බවකි. විවේකී කාල පරිච්ඡේදයක ඔවුන් මෙලෙස නිහඬව සටහන් පොත් පෙරළාගෙන නිහඬව සිටීම සැබෑවටම පුදුමයට කාරණයක් විය.
“උපාසක බළල්ලු මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවලු…”
අපි විත් අසුන් ගන්නා විටම තක්ෂිලා එල්ල කළ ඇනුම්පදයෙන් මා සිතේ හට ගත්තේ කෝපයකට වඩා දැඩි කළකිරීමකි. ඇගේ සිතේ ඊර්ෂ්‍යාවත් වෛරයත් එම වචන වලින් විහිදා පාන්නාක් මෙනි. තරුෂි නිහඬ බැල්මක් මවෙත හෙළා දෑසින් කීවේ සන්සුන් වන ලෙසය. මා සිටියේ කෝපයකින් නොව කැළඹීමකිනි.
“උපාසක බළල්ලු නම් මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවා කියමුකෝ…ඒත් තක්ෂිලා උඹට බැරි වුණානේ තාම මීයෙක් තියා හූනෙක් වත් අල්ල ගන්න…”
විදුරගේ කතාවට එහි පැතිර ගියේ සිනා හඬකි.
“අපිට ඔය හික් මීයෝ නැති වුණාට කමක් නැහැ…”
හිස ගස්සමින් තක්ෂිලා කීවාය. සුසුමක් මා මුවින් ගිළිහී ගියේ ඉබේමය. මා දෑස් රජිව්ගේ පන්ති කාමරය වෙත ඇදී ගියේය. ඔහු බිමට නැඹුරු කොට ගත් හිසින් යුතුව සටහන් ලියමින් සිටිනු මම දුටිමි.
“ඔව්…ඔව්…නරියෙකුත් ඔහොම කිව්වලු…අපි දැක්කානේ පහු ගිය කාලේ හොර පූසි වගේ රට මීයෙක්ට කුරුමාණම් අල්ලපු හැටි…නැත්ද විදුර…?”
ගිම්හාන කී දෙයින් යළිත් සිනා හඬක් පැතිර ගියේය.
“වෙන නැතුවට…”
තක්ෂිලා යළිත් කීවාය.
“ඕවා ගණන් ගන්න එපා මංදි…අපෙන් ෆුල් සපෝර්ට් එක…”
සුදේශ් මවෙත හැරී කීවේ තක්ෂිලා තවත් කෝප කරවමිනි.
“අභියෝග වැඩි වෙන තරමට ආදරේ සුන්දර බවත් වැඩියි…එහෙම නොවුණොත් කිසි ගතියක් නැහැ…”
ගිම්හාන කීවේ ඒ පිළිබඳව මනා අත්දැකීමක් ඇත්තාක් මෙනි.
“මූ දැන් දාර්ශණිකයා වෙලා…හැබැයි ඇති ලව් එකකුත් නැහැ…ඒත් බලකෝ දෙන ටෝක…”
විදුර කීවේ විහිළුවට වුවද එයට සිනහසීමට තරම් සිතක් මවෙත නොවීය. කතා බහ සුළු මොහොතකට වුවද වෙනතකට යොමු වීම ගැන යම් තරමක හෝ සතුටක් මා සිතේ ඇති වුවද අනියත බියකින් මා සිත සැළිණි.
“අරයා දැකලා නේද ඔය දෙන්නාව…අපිට ඇවිත් කිව්වා…ඉන්ටවල් එකේදී…”
අපි පාසල් ඇරී යන විට මාලිකා මා හා කීවාය. පන්තියේ එතරම් නිහඬ බවක් ඇතිව තිබීමට හේතුව එය බව එවිට මට වැටහී ගියේය. කෙසේ නමුත් තක්ෂිලා සිටියේ ජයග්‍රාහී හැඟීමකින් බව නම් මනාව පෙනී ගියේය.