Pini Muthu Palasa පිනි මුතු පලස – 08
පාසල් භූමිය පුරා දුව පැන ඇවිදින පුංචි ළමුන් නෙත ගැටෙන විට මා සිත අතීතයට දිව ගියේය. විවේක කාලයේදී අපිත් පාසල් භූමිය පුරාම මෙළෙස දුව පැන සෙල්ලම් කළ අවදිය කෙතරම් නම් සුන්දරද.? එවන් වූ සුන්දර අතීතයක් යළිත් නොඑළඹෙන බව සිතන විට මසිත සංවේගයෙන් පිරී ගියේය.
“මොනාද කල්පනා කරන්නේ…?”
ගිම්හාන මා අසළට පැමිණෙනු හෝ මට නොදැනිණි. ඔහුගේ හඬින් මම තිගැස්මෙන් හැරී බැලීමි.
“ම්හ්…මොකුත් නහැ…පොඩි කාලේ මතක් වුණා…”
“ඒ කාලේ නම් ආයේ එන්නේ නැහැ…”
ඔහුද පැවසුවේ ශෝකී හඬකිනි.
“හැමදාම පොඩි ළමයි වගේ ඉන්න තිබුණා නම් නේද…?”
මම කීවෙමි.
“හ්ම්ම්..ඒත්…ඉතින් එහෙම වෙන්නේ නැහැනේ…”
“එහෙම වුණා නම්…මේ තියන ප්‍රශ්න ගැන වුණත් ඕනවට වඩා වද වෙන්න ඕන නැහැ…”
සුසුමක් හෙළමින් මම කියන විට ඔහු වඩාත් වුවමනාවෙන් මදෙස බැලීය.
“ඇයි මංදි…මොකද දැන් ගෙදර ප්‍රශ්න…අම්මා ළඟදි එනවද…?”
ඔහු ඇසූ පැනයට මා මුවේ ඇඳුණු උපහාසය මුසු සිනහව සඟවා ගන්නට මට වුවමනා නොවීය.
“එයා නොඑන නිසා නේන්නම් මේ ප්‍රශ්න..මම නම් දැන් එයා ගැන හිතන්නේත් නැහැ…එයා රට ගිහින් දැන් අවුරුදු කීයක්ද…?”
යළිත් මා මුවින් සුසුමක් ගිළිහිණි.
“ඔයා ලිව්වේ නැත්ද අම්මාට එන්න කියලා…?”
“මං කොච්චර ලියලා ඇත්ද ගිම්හාන…එයාට එන්න බැරි හේතුව මොකක්ද කියලා දැන් තමා තේරෙන්නේ…”
එසේ කියන විටත් මා උගුර සිරවූ සෙයකි. දෑස තෙත් වන විට මම ආයාසයෙන් කඳුළු වළකා ගත්තේ ඇසි පිය සළමිනි.
“ජීවිතේ ඔහොම තමා මංදි…අම්මා තරුණ කාලෙමනේ තාත්තා නැති වෙලා තියෙන්නේ…එයා අසරණ වෙන්න ඇති…”
“තාත්තා නැති වෙලා දැන් අවුරුදු ගානක් ගෙවිලා ගිහින්…අම්මා රට ගියේ අසරණකම නිසාම කියලා කියමු…ඒත්…තාමත් ඉන්නේ ඒ අසරණ කමින්ම නෙවේ නේද…? එහෙම අසරණයි නම් එයා එහෙටම වෙලා ඉන්න ඕන කමක් නැහැනේ…එයාට අපි ගැන ගානක් නැහැ…ඒකයි හේතුව…එයාට ලංකාවට නොඑන්න හේතුවක් තියනවා නම්…ඒ අර මනුස්සයා එක්ක තියන සම්බන්ධෙ…එයාව දාලා එන්න අමාරු ඇති…ඒකයි…”
මා සිතේ වූ කෝපය…ශෝකය දෙකම මම ගිම්හාන ඉදිරියේ පිට කළෙමි. නිවසේදී මට එය කළ නොහැකිය. අක්කා අම්මාට විරුද්ධ කිසිත් කීමට මට ඉඩ නොදුන්නාය.
“ඔයා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්…ඒත් ඉවසීමෙන් ඉන්න…ඔයා ඕවා කල්පනා කරන් නැතුව පාඩම් කරන්න…”
“අනේ මන්දා ගිම්හාන…මට වෙලාවකට පාඩම් කරන්නවත් හිතක් නැහැ…ගෙදර වැඩ සේරම කරලා ඉවර වෙනකොට අට නවය පහු වෙලා…ඊට පස්සේ ඇඟට මහන්සියි…සුමිත් අයියා හැමදාම ගෙට ගොඩ වෙන්නේ බීගෙන…ඒ ඇවිත් රෑ තිස්සේ කියෝනවා…ඔළුව නිදහසේ කොහොමද ගිම්හාන පාඩම් කරන්නේ…?
මට ඒ මිනිහව පේන්න බැහැ…අක්කා මොකට එයාව කසාඳ බැඳ ගත්තද මන්දා…”
“අපේ තාත්තාත් එහෙම තමා මංදි…කරන රස්සාවකුත් නැහැ…ඒත් බොන්න නම් සල්ලි තියනවා…”
ඔහුගේ තාත්තා ද සුමිත් අයියා මෙන්ම මිනිසෙකු කියා මම දැන නොසිටියෙමි.
“ඔයාගේ තාත්තාත් බොනවද අනේ…?”
පුදුමයෙන් මම ඇසුවේ ඒ නිසාය.
“බොනවා නෙවේ…නානවා…රංජියාගේ තිප්පොළට රිංගන්නේ…”
“අරක්කු රංජි…?” ඔහු ප්‍රසිද්ධව සිටියේ එනමිනි.
“අරක්කු නෙවේ…කසිප්පු රංජි…” ගිම්හාන කීවේ පිළිකුල් සහගත හඬකිනි.
“පොලීසියෙන් අල්ලන්නේ නැත්ද…?”
“අල්ලනවනම් ඔහොම කරගෙන යන්න පුලුවන්ද….?”
එවර ඔහුගේ හඬේ වූයේ කෝපයකි.
“අනේ මංදා…උන් පෝසත් වෙනවා…මේ මෝඩ මිනිස්සු හම්බ කරන තුට්ටු දෙකත් උන්ට පූජා කරලා විහින් නහිනවා…”
“කාට කියන්නද මංදි…අපේ ගෙදර අම්මා නිසා අපි මෙහෙම හරි ජීවත් වෙලා ඉන්නවා…නැත්නම් අපිට මොනවා වෙලාද දන්නැහැ…”
ගිම්හාන කතා කළේ සිත තුළ සඟවා ගත් ශෝකයකින් බව මට වැටහිණි. තාත්තා ජීවතුන් අතර සිටියද ඔවුන් අසරණය. අපි අසරණ වූයේ තාත්තා මිය ගිය නිසාය. නිවසක ශක්තිය, රැකවරණය, වගකීම් දැරිය යුත්තේ ඔහුය. නමුත් මෙවන් මිනිසුන් වගකීම් විරහිත ලෙස හැසිරෙන විට අසරණ වන්නේ දරුවන්ය.
ගිම්හානගේ ජීවිතය මා ගෙවන ජීවිතයට වඩා අසීරු වූවක් බව මට දැනුණේ මේ මොහොතේදීය. ඔහු පිළිබඳව උපන් අනුකම්පාවකින් මා හද ඇවිළුණු මුත් ඔහු වෙනුවෙන් යමක් මට කළ නොහැකි තරමට මාද අසරණය. මම හුස්මක් ඇද ළය පුරවා ගත්තේ සිතේ ඇවිළුණ ශෝකය නිසාය.
පන්තිය අතු ගා දමා පිරිසිදු කොට අවසන්ව වැවෙන් නෙළා ගෙනා සුදු නෙළුම් මල් කීපයකින් ගුරු මේසයේ මල් බඳුනත් සරසා මාත් තරුෂිත් පිටතට විත් දෙමහල් ගොඩනැඟිල්ල දෙසට ඇවිද ආවෙමු. පාසල තවමත් පාළු ස්වභාවයක් ඉසිළීය. එහි වූයේ අපි දෙදෙනා හැරුණු කොට තවත් ළමුන් කීප දෙනෙකු පමණි. අපි දෙමහල් ගොඩනැඟිල්ලේ වැට අයිනට වී පාර දෙස බලාන කතා බහක යෙදී සිටියේ සමන්මලී පැමිණෙනවා නම් අපට දුර තියා ඇයව පෙනෙන නිසාය. සුළු මොහොතක් අපි ඔහේ නොයෙකුත් දෑ කියවමින් සිටියෙමු. එක්වරම ඔළුවට වැදුණු ගල් කැටයක් හෝ යමක් නිසා මම තිගැස්මෙනුත් කෝපය මුසු වේදනාවකිනුත් හිස ඔසවා බැලුවෙමි.
“මොකෝ මංදි…?”
තරුෂිද එසේ අසමින් ඉහළ මාලය දෙසට ඉක්මන් බැල්මක් හෙළුවාය.
“සොරි සොරි…තරූට ගහපු එක ඔයාට වැදුණෙ…රිදුණාද…?”
උඩු මහලේ අත් වැටට බරදී රජිව් වහා කියන විට මා සිතේ කෝපය හිරු දුටු පිනි බිඳුවක් සේ වියැකී ගියේ ක්ෂණිකයෙන් වුවද ඔහු ගැසූ පහර නම් තවමත් රිදුම් දෙයි.
“පොට්ට ඉල්ලක්කයක්…මගේ ඔළුවත් හිල් වුණාද මන්දා…”
හිස අතගාමින් මම කීවේ නොමනාපයක් ආරූඪ කරගනිමිනි. පළමු වරට මාත් රජිව්ත් අතර දෙබසක් ඇරඹුණේ එලෙසය.
“වෙරි…සොරි…මං අත ගාන්නද…?”
ඔහු දඟකාර ලෙස අසන විට ලැජ්ජාවෙන් මා රත්ව ගියේ මෙවන් දෙයක් ඔහුගෙන් පිටවනු ඇතැයි කියා නොසිතූ බැවිනි.
“හරි ආස ඇති කෙල්ලන්ගේ ඔළු අතගාන්න…”
තරුෂි මවා ගත් නොමනාපයකින් ඇනුම්පදය කීවද ඈ ඉලක්ක කොට ගෙන ගැසූ ගල් කැටය පිළිබඳව නම් ඈ සිත යටින් සතුටු වන බවට සැකයක් නැත. මා හද ගැහෙමින් තිබුණේ වෙනදා නොමැති තරම් වේගයකිනි.
“අම්මෝ…නැහැ…නැහැ…මම විහිළුවට කිව්වේ…මම ඕවට නැහැ…”
රජිව් වහා කීවේ වරදක් කළ අයෙකු මෙනි.
“දැන් මොකෙන්ද ගැහුවේ…?”
තරුෂි දිගටම කතා බහ ගෙන යාමට කැමැත්තකින් පසු වූවාක් මෙන් ඇසුවාය.
“පොඩි චෝක් කෑල්ලකින්…ළමයෝ…” රජිව් කීවේ සැහැල්ලුවෙනි.
“අම්මෝ…හරි පොඩි…තරහටම ගැහුවා වගේ…තවම රිදෙනවා…” මම කීවේ සැබෑවටමය.
“සොරි කිව්වේ ඒකනේ…”
“සොරි කියලා හරියනවද…දැන් මොකටද ගැහුවේ…?”
තරුෂිට සැබෑවටම එය දැන ගන්නට වුවමනා වී ඇති සැටියකි. ඒ නැතත් ඈ ඔහු සමඟ කතා බහට ප්‍රිය බව දන්නා නිසා මම නිහඬව සිටියෙමි.
“නිකන්…දෙන්නා දෙමලිච්චෝ…ජෝඩුව වගේ කච කච ගගා හිටියා මිසක්…වටපිට ඉන්නේ කවුද කියලවත් බැලුවද…?”
ඔහු එසේ පවසන විට නම් මා සිතේ ලැජ්ජා මුසු හැඟීමක් ඇති වූ අතර අපි දෙදෙන කුමක් කතා කරමින් සිටියාද කියා මතකයක් නගා ගැනීමට මම උත්සාහ කළෙමි. මේ මොහොතේ නම් මට ඒ කිසිවක්ම මතකයට නාවේය.
“කවුද දන්නේ ඉතින්…ඔයාලා උඩ ඉඳන් අනුන්ගේ කතා අහන් ඉඳියි කියලා…” තරුෂි නෝක්කාඩු කීවාය.
“අහන් ඉන්න ඕන නම් එහෙම කරන්නේ නැහැනේ…තරුෂි…” මම කීවේ සැබෑවටමය.
“ආහ්…එහෙනම් ඒ අපේ අවධානෙ ගන්න කරපු දෙයක්ද එතකොට…? හොඳ වෙලාවට ඒක චෝක් කෑල්ලක් වුණේ…නැත්නම් ඉතින් හොස්පිට්ල් තමා…”
“අපි එච්චර දරුණු නැහැ නංගී…හරිද…?”
“හ්ම්ම්…පේනවා…හොඳ වෙලාවට…”
“ඔයාගේ හොඳ වෙලාව…අර ළමයාගේ නම් නරක වෙලාව…ඒකයි ඒ ළමයගේ ඔළුවට වැදුණේ…”
“අම්මෝ…මෙයාට හරි අනුකම්පාව නේද…? ගහලා ඉවර වෙලා…”
“නැතුව…ඒකනේ ඔළුව අත ගාන්නද ඇහුවේ…හැබැයි ඉතින්…ඒක ඔයාට වුණා නම් එහෙම නොවෙන්නත් තිබුණා…”
ඔහු එය පැවසුවේ විහිළුවට වුවද මා හද තුළ ඇති වූයේ තිගැස්මකි. තරුෂි කෝප ගැන්වීමට සිතා ඔහු එසේ පවසන්නට ඇත.
“ආහ්…ඒකත් එහෙමද…මොකද දන්නෙ නැහැ විශේෂ්ත්වය…?”
“ඒ ළමයා පව්…අහිංසකයි ඔයාට වඩා…”
එසේ කීවේ කමල්ය. මම හිස බිමට නැඹුරු කොට ගත්තේ ලැජ්ජා මුසු හැඟීමෙනි. රජිව් රට හුණු කැබැල්ලෙන් තරුෂිට ගැසුවේ ඔහු ඈ පිළිබඳව සිතේ කැමැත්තකින් පසුවන නිසා බවට සැකයක් නැත. එම සිතුවිල්ල මා සිතේ ඇති කළේ සියුම් සිත් වේදනාවකි.
“හා…හා…අපි ඉතින් නපුරුයි නේ…”
මවාගත් නොමනාපයක් පළ කරමින් තරුෂි කීවද ඈ පසුවන්නේ සතුටින් බව මම දැන සිටියෙමි. උදෑසන පිපුණු නෙළුම් මලක් මෙන් ඇගේ මුහුණ ඔප නැංවී ඇති සැටි මම දුටිමි.
“කවුද දැන් ඔයා නපුරුයි කිව්වේ…අපි කිව්වේ ඔයාට වඩා අර ළමයා අහිංසකයි කියලානේ…නැත්ද කමල්…?”
“ඒකනේ…මචං…”
තරුෂි එවිට ලැජ්ජාවෙන් සිනහසුණාය.
“තරූ අපි යමුද…?”
පහත් හඬකින් මම ඇසුවේ මෙතනින් පැන දිවීමේ වුවමනාව තදින්ම දැනෙන්නට වූ නිසාය. පුංචි දෙබසක් වුවද මේ මොහොතේ ඔහු කෙරෙහි ඇති හදේ බැඳීම මහ මෙරක් මෙන් මට දැනෙන්නට වන විට මම එයට බිය වූයේ දැන දැනම මම තරුෂිට කරනුයේ ද්‍රෝහී කමක් බව මා සිතම මට දොස් පවරන්නට වූ නිසාය.
“අපි යනවා එහෙනම්…”
තරුෂි මා අතින් අල්ලාගනිමින් දෙදෙනාටම එක්විටම පැවසුවාය.
“ඇයි හදිසි…? තව වෙලා තියනවානේ…”
කමල් කීවේ අත රැඳි ඔරලෝසුව දෙසත් බලමිනි.
“වැඩි වෙලාවක් නැහැනේ…අපි යන්නම්…”
“මේ…මේ…තරූ…රජිව්ට ඔයාට මොනවද කියන්න තියනවාලු…”
කමල් යළිත් කෑ ගැසුවේ අප දෙදෙන ඒමට සූදානම් වන විටය. අපි දෙදෙනම එක්වරම නැවතී මුහුණින් මුහුණ බලාගෙන උඩු මහළේ සිටි ඔවුන් දෙස බැලුවේද එකවරමය. තරුෂි මගේ අතේ ග්‍රහණය දැඩි කළ අතර මා හද ගැස්ම වේගවත් විය. මේ ඇරඹුම විය හැකිය.
“මොනවද රජිව් අයියේ…?”
ඇගේ හඬේ වෙවුළන බවක් විණිද කියා සැකයක් මා සිතේ ඇති විය.
“නැහැ…නැහැ…ඔයාලා යන්න…ඒක මෙහෙම කියන්න බැහැ…පස්සෙ කියන්නම්…”
රජිව් කීවේ කමල් ගේ පිටට පහරක් ගසමිනි. කාරණය අපට පැහැදිලිය. තරුෂිගේ මුහුණ දිලිසෙන සැටියකි. ඈ මගේ අත යළිත් වරක් තද කරන විට මට ඒ සිතේ හැඟුමන් දැනිණි. සිත යටින් මම දෙදෙනාටම සුබ පැතුවේ අවංක වූ හැඟීමෙනි. මින්පසු සිතුවිල්ලකින් හෝ රජිව් පිළිබඳව නොසිතන්නට මම මටම දිවුරා ගතිමි.
“මට බයයි මංදි…මගේ පපුවත් ගැහෙනවා වගේ…”
අපි යළි පන්තිය දෙසට එන අතරේ තරුෂි කීවේ සිය ළමැද මත දෑත තබාගෙනය.
“මොකටද බය වෙන්නේ…මෙච්චර කල් බලන් හිටියේ ඕකටනේ…”
මඳහසක් පාමින් මම කීවෙමි.
“ඒත් ඉතින්…බයයි…”
බියකට වඩා එහි වූයේ ප්‍රීතිමත් බලාපොරොත්තුවක් යයි කියා මට සිතිණි.